2025 වසර සහ ඉදිරි කාලය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය ජනවාරී 08 වැනිදා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලදී.
75 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත්තේ, “සෞභාග්‍යය උදෙසා ස්ථාවරත්වය” යන අරමුණ පදනම් කරගෙන ය.
“ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට කැපීපෙනෙන ලෙස යථා තත්ත්වයට පත්ව ඇති,” බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මිල ස්ථායීතාව සඳහා සහය වන ප්‍රතිපත්ති
ශ්‍රී ලංකා ආර්ථිකයේ මිල ස්ථායීතාව ආරක්ෂා කර ගැනීම සඳහා යෝජිත සැලසුම් ඔස්සේ අපේක්ෂිත ක්‍රියාකාරකම් මෙසේ ය.
- මුදල් ප්‍රතිපත්තිය මගින් උද්ධමනය 5%ක මට්ටමේ පවත්වා ගන්නා අතර ආර්ථිකය තිරසර වර්ධනයක් ළඟා කර ගැනීම අපේක්ෂා කෙරේ.
- උද්ධමනය 2025 වසරේ මැද භාගය වන විට නැවත ධන අගයක් කරා ළඟා වනු ඇත.
- ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සහය වෙමින් පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතිනු ඇත.
- මූල්‍ය ආයතන සමග එක්ව තෝරා ගත් ණය උපකරණ සඳහා පවතින අධික ණය පොළී අනුපාතික අඩු කිරීමට නියමිත ය.
- ඉතුරුම් ඉහළ නැංවීම සඳහා නව්‍ය ක්‍රමවේද හඳුන්වා දීම.
- ඉදිරි දැක්මක් සහිත සහ දත්ත පදනම් කර ගත් මුදල් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා තවදුරටත් වැඩිදියුණු කිරීම.
- එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය හා සමගාමීව කෙටිකාලීන පොළී අනුපාතික මෙහෙයවීම සඳහා මුදල් ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.
- ද්‍රවශීලතා පුරෝකථන රාමුව වැඩිදියුණු කිරීම.
- ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා රාමුව වැඩිදියුණු කිරීම.
- විවෘත වෙළෙඳපොළ වෙන්දේසි සඳහා කාලසටහනක් ප්‍රකාශයට පත් කිරීම.
- බාහිර ස්වාරක්ෂක යළි ගොඩනැගීම සඳහා වන ප්රයත්න අඛණ්ඩව සිදු කෙරේ.
- වෙළෙඳපොළ සහ මහ ජනතාවට මගපෙන්වීමක් ලබා දීම සඳහා විනිමය අනුපාතයක් හඳුන්වා දීම.
- සන්නිවේදන උපාය මාර්ගය මගින් ප්‍රතිපත්ති පිළිබඳ තොරතුරු සෑම දෙනා වෙත ම ළඟා වීම තහවුරු කිරීම.
මූල්‍ය පද්ධති ස්ථායීතාව අරමුණු කර ගත් ප්‍රතිපත්ති
- සියලු ම බැංකු ඊට අදාළ අවම ප්‍රාග්ධන අවශ්‍යතා සමග අනුකූල වන බව සහතික කිරීම සඳහා බැංකු ප්‍රාග්ධනීකරණ උපාය මාර්ගය පිළිබඳ නියාමන අධීක්ෂණය කිරීම.
- බැංකු ආයතනවලට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිතව ශක්තිමත් සහ කම්පනවකට ඔරොත්තු දීමේ හැකියාවක් පවතින බව සහතික කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සඳහා වෙළෙඳපොළ මත පදනම් වූ ඒකාබද්ධ කිරීමේ රාමුවක් ස්ථාපනය කිරීම.
- බැංකු (සංශෝධන) පනත යටතේ නියාමන රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම.
- අක්වෙරළ බැංකු ව්‍යාපාර පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය කිරීම.
- මුදල් සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙළෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම.
- මුදල් ව්‍යාපාර පනත සහ කල්බදු මූල්‍යකරණ පනතට සංශෝධන හඳුන්වා දීම.
- දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු සඳහා අදාළ ප්‍රාග්ධන ස්වාරක්ෂක ප්‍රකාශයට පත්කිරීම සහ පද්ධතිමය වශයෙන් වැදගත් මුදල් සමාගම් හඳුනා ගැනීම.
- තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකීය පෙරදැක්ම – 2.0 නිකුත් කිරීම
- සුදුසු සාර්ව විචක්ෂණ උපකරණ භාවිතය තුළින් බැංකු අංශයේ ණය අධීක්ෂණය ශක්තිමත් කිරීම.
- අනුබද්ධ නීති කිහිපයක් සමග ගෙවීම් සහ පියවීම් පද්ධති පනත සංශෝධනය කිරීම.
- රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කිරීම.
- මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලව වෙළෙඳපොළ හැසිරීම් අධීක්ෂණය පුළුල් කිරීම.
- පාරිභෝගිකයින්ට දැනුවත් තීරණ ගැනීමට හැකි වන පරිදි ප්‍රධාන මූල්‍ය තොරතුරු ප්‍රකාශයට පත්කිරීම.
මහ බැංකුවේ අනෙකුත් ප්‍රතිපත්ති හා කාර්යයන්
- අදාළ ප්‍රතිපත්ති රාමු පුළුල් කිරීම හරහා මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය සඳහා යත්න දැරීම.
- රාජ්‍ය ණය කළමනාකරණ කාර්යය, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත ක්‍රමානුකූලව පැවරීම සඳහා පහසුකම් සැලසීම.
- වෙළෙඳපොළෙහි වෙනස් වන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දැනට පවත්නා විදේශ විනිමය රෙගුලාසි පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් කිරීම.
- මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩැපැවැත්වීමේ රාමුව සහ රෙගුලාසි ශක්තිමත් කිරීම.
- ඩිජිටල්කරණය ඔස්සේ සේවක අර්ථසාධක අරමුදලෙහි මෙහෙයුම් කර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම.
- සාමාජිකයන් සඳහා ආරක්ෂිත සහ ස්ථාවර විශ්‍රාම ප්රතිලාභ ලබා දීම සඳහා සේවක අර්ථසාධක අරමුදලෙහි ආයෝජන විවිධාංගීකරණය කිරීම.
‘ශක්තිමත් නැගී සිටීමක්’
දුෂ්කර වසර කිහිපයකින් පසු යථා තත්ත්වයට පත්වූ සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සමගින් අද වන විට ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, “එවැනි ම තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වූ බව ය.
කෙසේ වෙතත්, “එම ස්ථාවරත්වය මැදි කාලීනව සහ දිගු කාලීනව පවත්වා ගැනීම, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රටෙහි ඇති කැපවීම මත පදනම් වන,” බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
“කම්පනවලට ඔරොත්තු දීමට හැකි වන පරිදි ස්වාරක්ෂක ගොඩනැගීම සහ ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාවට හානියක් නොවන පරිදි වර්ධනය වේගවත් කිරීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන අතර, ආර්ථිකයට එහි විභවයන් කරා ළඟා වීමට සහය වන අතර ම, දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීමෙහිලා සිය කාර්යභාරය අඛණ්ඩව සිදු කරන,” බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
උපුටා ගැනීම- bbc.com/sinhala