කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර
ආර්ථිකය ගොඩගැනීමට නම් ව්‍යවසායකයන් රටට අත්‍යවශ්‍යය. ක්ෂුද්‍ර පරිමාණව අරඹන ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අපමණ උත්සාහයක් දැරිය යුතුය. මෙවැනි ව්‍යවසායකයන්ට මඟපෙන්වමින් ජය කණු කරා රැගෙන යෑමට කර්මාන්ත අමාත්‍යාංශයේ ද සහාය ලැබෙනු ඇත. නවක ව්‍යවසායකයන්ට මෙන්ම දැනට ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයන්ට අමාත්‍යාංශයෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුම්වත් කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ.
ව්‍යාපාරයක් ඇරඹීම ලෙහෙසි පහසු නැහැ. මහා පරිමාණ ව්‍යාපාරයක් වුවද කලකට ඉහතදී කුඩා තැනකින් පටන් ගන්නේ. අප රටේ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරය ආරම්භයේ කර්මාන්ත අමාත්‍යාංශයෙන් කරන කාර්යභාරය කුමක්ද?
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වන්නේ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ කියන සෑම ක්ෂේත්‍රයකම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර සිදු කරගෙන යෑමට අවශ්‍ය සහාය දැක්වීම. මේ සඳහා අමාත්‍යාංශය යටතේ ආයතන 34ක් පවතිනවා. ඉතින් මේ ආයතනවලින් කර්මාන්ත ක්ෂේත්‍රය නඟාසිටුවීමට සහ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයට අවශ්‍ය ආයතන පද්ධතිය තමයි අප අමාත්‍යාංශයත් සමඟ පවතින්නේ.
ව්‍යවසායකයන් වෙත නිසි මඟපෙන්වනු ලබන ආයතන පිළිබඳ හැඳින්වීමක් කළ හැකිද?
ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට ‘NEDA’ මඟින් (National Enterprise Development Authority) ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් යන්ත්‍රණයක් පවතිනවා. ව්‍යවසායකයන්ට අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඇති වන ගැටලුවලට විසඳුම් මේ ‘නෙඩා’ නිලධාරීන් මඟින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම SED (Small Enterprises Development) මඟින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ව්‍යවසායකයකුට වගේම කුඩා පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරපු කෙනකුට අවශ්‍ය තාක්ෂණික සහාය, දැනුම, කුසලතා වර්ධනයට අවශ්‍ය දේ, වෙළෙඳපොළ සපයා ගැනීම මෙන්ම නිෂ්පාදනවල ගුණාත්මකභාවයන් වැඩි කර ගැනීමට සහයෝගය ලබා දෙනවා. IDB (Industrial Development Board) එක හරහාත් තාක්ෂණික දැනුම, තාක්ෂණය පිළිබඳ පුහුණුවීම් මෙන්ම යන්ත්‍රෝපකරණ වැඩිදියුණු කර ගැනීම දක්වාම සහාය ලබා ගන්න පුළුවන්.
ඒ වගේම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS – National Productivity Secretariat) කියන්නෙත් ව්‍යවසායකයන්ට ඉතා වටිනා ආයතනයක්. ඇත්තටම අපේ ව්‍යවසායකයන්ට ඵලදායිතා සංකල්ප ගැන නිසි අවබෝධයක් නෑ. ඒක අප රටේ ව්‍යවසායකයන්ගේ දුර්වලතාවක්. එයාලගෙ මූල්‍ය විනය හදාගන්න, තම ව්‍යාපාරයට අවශ්‍ය වෙළෙඳපොළ හොයා ගන්න එයාලට දැනීමක් නෑ. ඉතින් මෙන්න මේ දේවල් පිළිබඳ NPS මඟින් ව්‍යවසායකයන්ට නිසි මඟපෙන්වීමක් සිදු කරනවා.
රටක් සංවර්ධනයට ව්‍යවසායකයන් අත්‍යවශ්‍ය කොටසක්. මේ නව වසරේ ව්‍යවසායකයන් වෙනුවෙන් ඇරඹුණු නව වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළ හැකිද?
ඇත්තටම අපි මේ අවුරුද්දේ ව්‍යවසායකයන් වෙනුවෙන් ගොඩක් දේවල් සැලසුම් කරල තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර ආරම්භ කරන නවක තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය සහාය දෙන්න. මෙතනදි NEDA, SED, IDB, NPS කියන ආයතන සියල්ල එකතු කරල අපි අලුතින් වැඩසටහනක් අරඹනවා. ඉස්සර මේ ආයතන වෙන වෙනමයි කටයුතු කළේ. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික්, පළාත් මට්ටමින් මේ ආයතන ඒකාබද්ධ කරල දැනට ඉන්න ව්‍යවසායකයන් සොයා ඔවුන්ට අවශ්‍ය සහාය දෙන්න වැඩසටහනක් සකසා තිබෙනවා.
ජාතික දත්ත පද්ධතිය කියන්නේ කුමක්ද එයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
අපි මේ අවුරුද්දෙ විශේෂ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ජාතික දත්ත පද්ධතියක් නිර්මාණය කිරීම. ඉතින් මේ දත්ත පද්ධතියේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සියලු දෙනා ලියාපදිංචි වීම අනිවාර්යයි. මොකද එහෙම ලියාපදිංචි වෙලා හිටියොත් තමයි අමාත්‍යාංශයත් සමඟ සම්බන්ධ වී විවිධ ප්‍රතිලාභ ගැනීමට හැකි වන්නේ. මෙමඟින් තවත් වාසියක් ලැබෙනවා. යම් කෙනකු නිෂ්පාදනය කරන දෙයක් තවත් කෙනකුට තම ව්‍යාපාරය කරගෙන යෑමට අවශ්‍ය වෙන්න පුළුවන්. එතැනදි ව්‍යාපාරිකයන් අතර ඒ සම්බන්ධතාවත් ගොඩනැඟෙනවා.
ණය පහසුකම් ලබාදීම පිළිබඳව පැහැදිලි කළ හැකිද?
වෙළෙඳපොළ සොයා ගැනීමටත් වඩා අප රටේ ව්‍යවසායකයන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මූල්‍ය පහසුකම් සපයා ගැනීම. මෙතනදි බැංකුවලින් ණය ගන්න යද්දි ඇපකරුවන් ඉල්ලනවා. ඇත්තටම ව්‍යවසායකයන්ට ඇපකරුවන් හොයා ගැනීම අමාරු දෙයක්. ඉස්සර තිබුණා ‘Development Financing’ කියල බැංකු සංකල්පයක්. දැන් අපි ආයෙත් රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කරගෙන යනවා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. දැනටමත් මේ සඳහා බැංකු කිහිපයක් අපත් සමඟ එක් වී සිටිනවා.
ඒ වගේම අමාත්‍යාංශයෙන් දෙන ණය වැඩසටහන් තියෙනවා. මෙතනදි අපි මිලියන 25 දක්වා 7% හෝ 8% පොලී අනුපාත යටතේ ණය දෙනවා. එක ණය යෝජනා ක්‍රමයක් ‘SMILE’ කියලා අපි හඳුන්වනවා. අනෙක් එක ‘E – Friends’. මේක පරිසර හිතකාමී ව්‍යාපාර සිදු කරන අයට දෙන ණය යෝජනා ක්‍රමයක්. මේ ණය යෝජනා ක්‍රම දෙක හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ ණය ගත් ව්‍යවසායකයන්ට අපි නිසි මඟපෙන්වීමක් සිදු කරනවා.
ව්‍යවසායකයන්ට දේශීය වෙළෙඳපොළක් තිබුණත් විදේශීය වෙළෙඳපොළක් සොයා ගැනීම අපහසු වී තිබෙනවා. ඔවුන්ට විදේශීය වෙළෙඳපොළට යන්න අමාත්‍යාංශයෙන් ලැබෙන සහාය කොහොමද?
දැන් අපේ අමාත්‍යාංශයත් සමඟ තමයි EDB (Export Development Board) එක තියෙන්නේ. EDB එක හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ සපයා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. දැනට අප රටේ අපනයන ආදායම ඩොලර් මිලියන 17ක්. විශේෂයෙන්ම EDB හරහා අපට ඉලක්කයක් තියෙනවා මේ අවුරුද්දේ ඉඳල 2030 වෙනකොට අපනයන ආදායම ඩොලර් මිලියන 28 දක්වා වැඩිකර ගන්න. ඒ ඉලක්කයට යන්න නම් අපේ ව්‍යවසායකයෝ ඔවුන්ගේ නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට ගෙනියන්නම ඕනෑ.
විවිධ නිෂ්පාදනවලටම ආවේණික වූ කර්මාන්තපුර තිබෙනවා නේද? ඒවායේ අරමුණු පැහැදිලි කළ හැකිද?
දැනට අමාත්‍යාංශය සහ IDB (ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය) යටතේ කර්මාන්තපුර 50ක් පවතිනවා. මේ අවුරුද්දේ අපි තවත් කර්මාන්තපුර කිහිපයක් අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ කර්මාන්තපුර ගත්තම ඒවායේ ආංශික නිෂ්පාදන කර්මාන්ත සමූහ වශයෙන් පවතින්නේ. අපි ඉදිරියේදී මේ ක්‍රමය වෙනස් කරමින් මැණික්, ආහාර සැකසුම් නිෂ්පාදන, රබර් සහ ඖෂධ ආදි වෙන වෙනම ආංශික නිෂ්පාදන වෙනුවෙන් වෙන් වුණු කර්මාන්තපුර ඇති කරන්න සැලසුම් කරනවා. ඵලදායිතා සම්මාන තරගාවලිය 2008දී ආරම්භ කළත් පසුකාලීනව එය නවතිනවා.
නැවතත් මේ අවුරුද්දේ සිට එය ක්‍රියාත්මක කරන්න යනවා. ඒ ගැන කිව්වොත්?
රාජ්‍ය, පෞද්ගලික, පාසල් සහ ප්‍රජාවට ඵලදායිතා සංකල්ප ගෙනියන වැඩපිළිවෙළ අපි නැවත ආරම්භ කරනවා. මෙය 2008දී ආරම්භ කර පසුකාලීනව ලොකු ව්‍යාපෘතියක් විදිහට කරගෙන ගියා. ඒත් 2018දී විතර නැවත එම තරගාවලිය නැවතුණා. යළි අපි රාජ්‍ය, පෞද්ගලික, පාසල්, කර්මාන්ත සහ සේවා අංශවලට ඵලදායිතා සංකල්ප හඳුන්වා දෙනවා. ඉතින් ඉදිරියේදී ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ යන සියලුදෙනාට මේ තරගාවලියට ඉදිරිපත් වෙන්න පුළුවන්. මේ තරගාවලියට ව්‍යවසායකයන් මුහුණදිය යුතු ආකාරය ගැන අමාත්‍යාංශයෙන් පූර්ණ දැනුම්වත් කිරීමකුත් කරනවා. ප්‍රාදේශීය, දිස්ත්‍රික් මෙන්ම ඵලදායිතා ලේකම් කාර්යාල මට්ටමින් සිටින නිලධාරීන් හරහා ව්‍යවසායකයන්ට උදවු කරනවා. මේ වැඩපිළිවෙළ මඟිනුත් ව්‍යවසායකයන් දැනුම්වත් කිරීම, තාක්ෂණික දැනුම දීම, ඵලදායිතාව වැඩි කිරීමට කටයුතු කරනවා.
ගයාන් සංජය – දිනමිණ ඇසුරිනි