පිඬු සිඟා වඩිමින් බුදුන් උපන් දේශය වෙත පාද යාත්‍රාවේ නිරත තික් මින් තියු හිමියන්ගේ චාරිකාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙමින් පවතී. උන්වහන්සේ ඇතුළු භික්ෂු කණ්ඩායම ඊසානදිග තායිලන්තය ඔස්සේ වඩිමින් සිටි අවස්ථාවේ උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට කිරීමට බීබීසී පුවත් වියට්නාම සේවයට අවස්ථාව ලැබිණි.
තික් මින් තියු හිමි මීට පෙර බොහෝ දෙනෙකු අවධානයට ලක් වූයේ වියට්නාමය කළඹමින් රටපුරා පාද චාරිකාවේ නිරත වීමෙන් අනතුරුවය. සාම්ප්‍රදායික දාන පාත්‍රය වෙනුවට උන්වහන්සේ රැගෙන ගියේ ‘රයිස් කුකරයක්’ (rice cooker) වන අතර එය බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන් ම ප්‍රසාදයට බඳුන් වීමට ද හේතු විය.
බොහෝ බෞද්ධ අනුගාමිකයින් අතර උන්වහන්සේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්වූයේ මන්දැයි මිනිසුන් නොදන්නා තරම් ය. තෙළෙස් ධූතාංග කෙරෙහි වූ අචල කැපවීම නිසා ත් පැවිදි චර්යාවේ ඇති විශේෂ බව නිසා ත් උන්වහන්සේගේ ක්‍රියාකලාපය සුවිශේෂී සංසිද්ධියක් බවට පත්ව ඇත. පාවහන් නොමැතිව ඇවිදීම, පිණ්ඩපාතයෙන් ජීවත් වීම, වනාන්තරවල, ලඳු කැළෑවල හෝ සුසාන භූමිවල සෙවණක් සෙවීම සහ සියලු භෞතික දෑ කෙරෙහි ඇති ඇලීම අත්හැරීම මෙයට ඇතුළත් ය.
තික් මින් තියු හිමියන් සහ අප අතර සංවාදය සිදු වූයේ, තායිලන්තයේ උබොන් රචතනී ප්‍රදේශයේ 217 අධිවේගී මාර්ගයට යාබද උද්‍යානයක දහවල් දානය සඳහා නතර වූ අවස්ථාවේදී ය.
සම්මුඛ සාකච්ඡාවේදී, මින් තියු හිමියන් සිය ප්‍රතිපත්තිය පිළිබඳ උන්වහන්සේගේ අදහස් මෙන් ම වසර ගණනාවක් කළ පාද යාත්‍රාව පිළිබඳ උන්වහන්සේගේ හැඟීම් සහ අත්දැකීම් බෙදාහදා ගත්හ.
බීබීසී: හාමුදුරුවනේ, ලාඕසයේ සහ තායිලන්තයේ පාද යාත්‍රාවේ නිරත වීම වියට්නාමයේ පාද යාත්‍රාවේ නිරත වීමට සමාන හා වෙනස් වන්නේ කෙසේ ද?
මින් තියු හිමි: ලාඕසයේ සහ තායිලන්තයේ දේශගුණය වියට්නාමයේ දේශගුණයට වඩා වෙනස්. එහේ දේශගුණය තරමක් සීතලයි. පොදුවේ ගත්තා ම පාරවල්, වනාන්තර ආදියේ බොහෝ වෙනස්කම් තියෙනවා. මිනිසුන් සහ සිරිත් විරිත් පවා වෙනස්. තවත් වෙනස්කමක් තමයි වියට්නාමයේ සංචාරය කරවාට වඩා ලාඕසයේ සහ තායිලන්තයේ සංචාරය කරද්දී හම්බ වෙන්නේ බෞද්ධයන් අඩු ගණනක්. වියට්නාමයේ ක්වන් චී සහ හියු ප්‍රදේශවල ගත කළ කාලයේ සෙනග වැඩියි. ඒකෙන් වාහන තදබදයක් ඇති වෙනවා. මේ පැත්තේ [ලාඕසය සහ තායිලන්තය], යද්දී වාහන තදබදයක් නැහැ. හැමදේ ම හොඳයි. ස්ථාවරයි. දුෂ්කර පාරවල් සහ මහන්සිය කොහේ ගත්තත්, සංචාරය කළත් එකයි. හැම තැනකදී ම නොපසුබට උත්සහය අවශ්‍යයි. කන බොන එක කොහෙත් එක හා සමානයි. සමහර වෙලාවට බඩගිනි උණත් සීලය රැකගන්න වෙනවා. දවසකට එක දානේ වේලක් අරගෙන. තාර දාපු පාරක වමෙන් ගමන් කළත් දකුණෙන් ගමන් කළත් වෙනසක් නැහැ.
බීබීසී: පාරේ ලොකු වාහන වේගයෙන් එහා මෙහා යනවා. ඔය වගේ පාගමිනින් වඩිද්දී ඔබ වහන්සේට ආරක්ෂාව ගැන ගැටලුවක් දැනෙන්නේ නැද්ද?
මින් තියු හිමි: නැහැ. අපි වඩින්නේ පාර අයිනෙන්. නීති රෙගුලාසිවලට අනුව. ජීවිතය සහ මරණය ගැන ඔබට වද වෙන්න බැහැ. මම සෞඛ්‍යය ගැන සග මරණය තැකීමක් කරන්නේ නැහැ. මම මැරේවි. ඒකෙ ගැටලුවක් නැහැ. වාහන තියෙන නිසා මම වඩින්නේ පාරේ දකුණු පැත්තෙන්. ඒ අය වාහනවලින් යද්දී, මම බය වෙනවා නම්, මම තවදුරටත් මේ ගමන යන්නේ නැහැ, මම මගේ ගමන නවත්තනවා.
බීබීසී: තනියම පාද යාත්‍රාවේ නිරත වීම සහ අනිත් හාමුදුරුවරු එක්ක පාද යාත්‍රාවේ නිරත වීම අතර වෙනස ඔබ වහන්සේට මට කියන්න පුළුවන් ද?
මින් තියු හිමි: ඔව්, වෙනසක් තියෙනවා. උදාහරණයක් විදිහට, තනියම පාද යාත්‍රාවේ නිරත වීම පහසුයි වගේ ම නිදහස්. නමුත් තවත් පිරිසක් එක්ක පාද යාත්‍රාවේ නිරත වීම කියන්නේ, සාමාන්‍යයෙන් නවාතැන් ගැනීමට ස්ථානයක් සොයා ගැනීම සහ විශාල ස්ථානයක් සොයා ගැනීම වැනි බොහෝ දේ වෙනස් වෙනවා. තනිය ම යනකොට ඕන තැනක යන්න පුළුවන්, නිදහසේ. ඒත් දැන් මම මෙහෙම ගියා ම මට උදව් කරන්න, දේවල් ගැන කලින් දැනුම් දෙන්න කෙනෙක් ඉන්නවා. උදාහරණයක් විදිහට මාත් එක්ක ඉන්නවා බාඕ මහත්තයා, සේප් මත්තයා සහ අද සන් මහත්තයත් ඉන්නවා. නවතින්න ඉන්න ඕනේ තැන කියලා ඒ අය මාව දැනුවත් කරනවා, රජය දැනුවත් කරනවා. ඒ ඒ තැනට යන්න කලින් ඒ ගැන මාව දැනුවත් කරනවා. මේ විදිහට මට හැඟෙන්නේ හැමදේ ම හොඳින් සිද්ධ වෙනවා කියලා සහ ඒක සතුට ගේනවා. තනිව ගියත් තවත් පිරිසක් එක්ක ගියත් වැදගත් දේ ඔබේ මනස. මම මෙතන අනිත් හාමුදුරුවරු එක්ක හිඳගෙන, මිනිස්සු හම්බ වුණාට මගේ මනස සන්සුන්. වෙන කෙනෙක් හිටියේ නැතත් මට දැන්නෙන්නේ ඒකමයි.
ඔබේ මනස නොනවත්වා වැඩ කරනවා කියන්නේ, ඒක නිකම් සෙනඟ ගොඩක් ඉන්න තැනක් වගේ. මොකද, ඔබ එක තැනක වාඩි වෙලා හිටියත්, තනිව ඇවිද ගියත්, ඔබ හැම වෙලේ ම අනිත් අය ගැන හිතන නිසා. එහෙම නැත්නම්, මෙන්න මේ පුද්ගලයා ගැන ආශාවක්, එහෙම නැත්නම් ඒ කෙනාට වෛර කරන්න, එහෙමත් නැත්නම් පොදුවේ ගත්තා ම, බොහෝ අඳුරු සහ නරක දේවල්, සහ ලෞකික ආශාවන් මනසේ ඇති වුණා ම ඒකයි සෙනඟ ගොඩක් ඉන්න තැනකයි අතර වෙනසක් නැහැ. මම මෙහෙම ඉන්න ගමන්, ඒ අයට වෛර කරන්නේ නැත්නම්, ඒ අය ඉන්න එකෙන් මම කිපෙන්නේ නැත්නම්, මම සලකන්නේ මම තනියම ඉන්නවා කියලා. අන්න ඒක තමයි වෙනස. පොදුවේ ගත්තා ම, එතන ජනාකීර්ණ ද නැද්ද කියන එක ඔබේ මනස මත රඳා පවතිනවා. ඔබ කඩ සාප්පු ගොඩක් මැද වැඩි වෙලා ඉන්නවා. නමුත් ඔබේ එතන ඉන්න අය එක්ක අන්තර්ක්‍රියාවල නිරත වෙන්නේ නැත්නම්, එතන සෙනගක් නැහැ. ඔබ තනියම ඉන්නවා. ඔබේ මනස අවුල් වෙලා හෝ අවධානය වෙනතකට යොමු වෙලා නම්, එහෙනම් එතන ජනාකීර්ණයි.
බීබීසී: ඔබ වහන්සේගේ ප්‍රතිපදාව අනුව දවස ගත වෙන්නේ කොහොම ද?
ඔව්, රෑට අපි විවේක ගන්නවා. සාමාන්‍යයෙන්, අපි උදේ 6 ඉඳලා රෑ 7 වෙනකම් පා ගමනින් වදිනවා. අපි අපේ චාරිකාව අවසන් කරලා නැත්නම්, තව ටිකක් දුර ගිහින් විවේක ගන්නවා. උදේ ඉර පෑව්වම, එහෙමත් නැත්නම් පාරේ කලබලයක් නැතිවෙනකම් ඉඳලා, අපි පිඬු සිඟා වඩිනවා. ගොඩක් වෙලාවට මේ දේවල් මේ වෙලාවට, අර වෙලාවට කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. වැදගත් දේ තමයි හරි තැන හරි වෙලාවට ඉන්න එක. උදාහරණයක් විදිහට, මම තැනකට ළඟා වුණා ම, ඔවුන් කියනවා ඔවුන්ට වෙහසයි කියලා. නැත්නම් දැනටමත් මද්දහන, අපි දැන් විවේක ගමු කියලා. එතකොට මම වැඩියේ කෙටි දුරක් නොකියා මම විවේක ගන්නවා. දැන් මම තව දුර යා යුතුයි. පොදුවේ ගත්තා ම, ඒක වැඩ කරන්න, නැත්නම් විවේක ගන්න එහෙමත් නැත්නම් ආහාර ගන්න කාලය වුණත්, නියම වේලාවට නියම ස්ථානයේ සිටීම. සමහර වෙලාවට මම පා ගමනින් වඩිද්දී වෙහෙසට පත් වෙනවා. ඒ වෙලාවට මම කලින් නිදාගෙන වේලාසන අවදි වෙනවා. ඒක නිකම් හැම වෙලේම 10ට නිදාගෙන 2ට අවදිවෙනවා වගේ එකක් නෙවෙයි. සමහර වෙලාවට, විනාඩි 5-10ක් කලින්, නැත්නම් පරක්කු වෙලා. ආසන්න වශයෙන්. දැඩි කාලසටහනක් අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. පොදුවේ ගත්තා ම, හැම දෙයක් ම රඳා පවතින්නේ, ඉරණම මත. මාර්ගයක ගමන් කරලා විවේක ගන්න එකත් සාපේක්ෂයි. වැදගත් දේ ගමන අතරතුර තමයි සුදුසු වෙලාවේදී විවේක ගන්න එක. දවල් කාලයේදී ම වඩින්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක රඳා පවතින්නේ ඒ ඒ තත්ත්වයන් මත. ඒත් හැමදාම වඩින්න ඕන කියලා නීතියකුත් නැහැ.
බීබීසී: පාද යාත්‍රාවේදී ඔබ වහන්සේ මෙනෙහි කරන්නේ මොනවා ද?
මින් තියු හිමි: මම පා ගමනින් වඩිද්දී හිතනවා. මම බලාපොරොත්තු වෙනවා, මම සහ අනෙක් අයටත් ඇවිද යන්න ඕනේ නම්, අපිට ඇවිද යන්න පුළුවන් කියලා. මම හිතනවා හැමෝම සතුටින් සහ හොඳින් ඉන්නවා කියලා ඒ අයට අවශ්‍ය දේ ලැබෙනවා කියලා. මම මෙහෙම පා ගමනින් වඩිද්දී මම බලාපොරොත්තු වෙන්නේ සාමය සහ සතුට. හැම කෙනෙකුට ම කිසිදු බාධාවකින් තොරව වෙනත් රටවලට යා හැකියි. අපිට සතුටින්, නිදහසේ, සැපසේ ජීවත් වෙන්න පුළුවන්, ඒ රටට අහිතකර කිසි ම දෙයක් නොකර. පොදුවේ ගත්තා ම, මට ශීලයක්, සදාචාරයක් සහ ප්‍රඥාව තියෙනවා, කිසිවෙකුට හානියක් නොකරන්න. මම හානියක් කරන්න වැඩම කරන්නේ නැහැ. මට ආර්ථික, දේශපාලනික සහ යුද්ධ සම්බන්ධ අභිලාෂයන් ඇත්තෙත් නැහැ. මම සංචාරය කරන්නේ සැනසීම සහ සමාදානය හොයා ගෙන. කිසිවෙකුට හානියක් නොවන පරිදි, කිසිවෙකුට අනතුරක් නොවන පරිදි ගමන් කරන්න. මම හිතනවා, හැම කෙනෙකුට ම ඒක කරන්න පුළුවන් කියලා, කිසිදු බාධාවකින් තොරව සුවපහසු ලෙස ඇවිදින්න. කැලේ ඇවිදින මුවෙකු වගේ කැමති විට ඇවිදින්නටත්, කැමති විට වැතිරීමටත්, කැමති විට වාඩි වීමටත් පුළුවන්. අත්අඩංගුවට ගැනීම් නැහැ, හිත් තැවුලක් නැහැ, සොරා ගැනීම් නැහැ, වැරදි ක්‍රියා නැහැ. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
බීබීසී: ඔබ වහන්සේ මේ ප්‍රතිපදාව තුළ ජීවත් වුණු කාලයේදී සිතට දැනුනු කතාවක්, නැතිනම් උගත් වටිනා පාඩමක් තියෙනවා නම්, ඒ ගැන සඳහන් කරමු?
මින් තියු හිමි: ඔව්, මේක ගැඹුරු සිතුවිල්ලක් හෝ වෙනත් යමකට සම්බන්ධ දෙයක් නොවෙයි. ඒත් මම දකිනවා, උදාහරණයක් විදිහට බාඕ හෝ ලාම් දෙපළට දැන් සිල්පද රකින්නට පුළුවන්, සිල්පද පහ රකිමින්, සතුන් නොමරා, සොරකම් නොකර, කාමමිථ්‍යාචාරයෙන් තොරව, බොරු කීමෙන්, සුරාවෙන් තොරව, සැමදා සැමට ආදරය කරමින්, ඉස්සර වගේ මෙහෙ එන මිනිස්සුන්ගේ ජීවිතවලට කරදර ඇති නොකර ජීවත් වෙන්න පුළුවන්. මම ඒ වෙනස ගැන සතුටුයි. අනිත් මිනිස්සුත් හැමෝම එහෙම වුණොත් මට ඒකෙත් හොඳක් පේනවා.
බීබීසී: මේ ප්‍රතිපත්තිය තුළ යම් කාලයක් හිටියම, ඔබ වහන්සේගේ වෙනස ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?
තික් මින් තියු හිමි: මම මාව වෙනස් වෙනවා දකිනවා. ලෞකිකත්වයට සාපේක්ෂව වෙනස් වෙන්නේ. ඒ වගේ ම මම හැමෝට ම කියනවා මම ගුරුවරයෙක්, භික්ෂුවක් හෝ කිසි ම ආකාරයක පල්ලියකට හෝ සංඝ සභාවකට අයත් නොවන බව. මම සාමාන්‍ය මනුස්සයෙක්. අතීතයේදී මම බුදුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගෙන ඒ අනුව කටයුතු කළා. මම දකින වෙනස තමයි ඉස්සර මට ගොඩක් දේවල් අරගෙන යන්න වුණා. ඒත් දැන් මේ තුන්පට සිවුරයි, පාත්තරයයි ඇරෙන්න මට වෙන දෙයක් නැහැ.
බීබීසී: වසර කිහිපයක් ආපස්සට හැරිලා බලද්දී, ඔබ වහන්සේ ඇයි මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න තීරණය කළේ?
මින් තියු හිමි: හරි, මම ධර්මය කියවද්දී දැක්කා බුදු හාමුදුරුවෝ තරම් කිසි කෙනෙක් ශ්‍රේෂ්ඨ නැහැ කියලා. තථාගතයන් වහන්සේ ඉගැන්නුවේ හොඳ ම දේ. ඊට වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා නම්, මම ඒ කෙනා අනුව යනවා. නමුත් මට එහෙම කෙනෙක් හම්බ වුණේ නැහැ. ඒ නිසා මම තීරණය කළා හොඳ දේවල් ඉගෙන ගන්න බුදුන් වහන්සේ පෙන් වූ මග යන්න සහ උන් වහන්සේ ඉගැන්වූ පරිදි සතුටින් ඉන්න. සතුට, විමුක්තිය, ප්‍රඥාව අරමුණු කරගන්න.
බීබීසී: පැවිදි දිවියට ඇතුළු වෙන්න තීරණය කළා ම ඔබ වහන්සේ ඒ ගැන පවුලේ සාමාජිකයින්ට දැනුවත් කළා ද? ඒ අයගේ ප්‍රතිචාර දැක්වූවේ කොහොම ද?
මින් තියු හිමි: මම පැවිදි වෙන්න කලින් මාස හයක් බුදුන් වහන්සේගේ ධර්මය පුරුදු කළා. ඊට පස්සේ මම ඇවිල්ලා අවසර ඉල්ලුවා. මම මහණ වෙන්නේ මගේ දෙමව්පියෝ කැමති වුණොත් විතරයි. ඔවුන් එකඟ වුණා. දැන් මම භික්ෂුවක් නිසා, මම තවදුරටත් ඒ අය මගේ දෙමව්පියන් විදිහට සලකන්නේ නැහැ. මට සමානාත්මතාව ඉගෙන ගන්න අවශ්‍යයි. හැම කෙනෙකු ම මගේ දෙමාපියන් කියලා. ඔයාලා දෙන්න මෙතන වාඩි වෙලා හිටියත්, මම සලකන්නේ ඔයාව මගේ වැඩිමල් සහෝදරයා, බාල සහෝදරයා නැත්නම් ඥාතියෙක් විදිහට. ඒ වගේ ම අම්මලා තාත්තලා ද නැද්ද කියලා කිසි ම සංකල්පයක් නැතිව හැමෝම සතුටින්, සැපවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම බුදුන්ගේ ධර්මය ඉගෙන ගන්න මනුස්සයෙක්.
බීබීසී: රාත්‍රී කාලයේදී තායිලන්තය සැලකිය යුතු ලෙස සීතලයි. ඔබ වහන්සේ රෑට සීතල දරා ගන්නේ කොහොම ද?
මින් තියු හිමි: රෑට, හුළං හමන්නේ නැති තැනක් හොයා ගන්නවා නවාතැන් ගන්න. ඇඳුම් ගත්තාමත් එහෙමයි. තුන්පට සිවුර, රෙදි අරගෙන එකතු කරලා ඝන රෙදි මහගන්න එක, ආරක්ෂාවට තමන්ගේ ම ඇඳුම් මහගන්න එක. තුන්පට සිවුරක් සහ එක පාත්තරයක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා නම්, ඔබට ඉවසීම පුරුදු කරන්න වෙනවා. මට ඒක දරාගන්න බෑ කියලා හිතෙන වෙලාවල් තියෙනවා, ඉතින් හුළඟට අවහිර කරන්න මේ ටෙන්ට් රෙද්ද තියෙනවා. පොදුවේ ගත්තා ම, ඔබ ප්‍රමාණවත් ලෙස පුහුණු වී නොමැති නම්, ප්‍රමාණවත් අධිෂ්ඨානයක් නොමැති නම් සහ එය දරාගත නොහැකි නම්, ඔබට අනුවර්තනය වීමට හැකි වන තෙක් ඔබට ක්‍රම ක්‍රමයෙන් පුහුණු විය හැකියි. ඒක තමයි ප්‍රාර්ථනාව, ඒත් කවුරුත් කිව්වේ නෑ මට සීතල දරාගන්න පුළුවන් කියලා. සෑම දෙයක් ම පැමිණෙන්නේ පුහුණුවීමෙන්. පුහුණු වීම නිසැකව ම ඔබට එය ජය ගැනීමට උපකාරී වේවි.
බීබීසී: ලිපියකින්, ඔබ වහන්සේ පා ගමනින් ම ඉන්දියාවට වැඩම කිරීමට අවශ්‍ය බව ත්, ඔබට අවශ්‍ය වන්නේ, ලිපි ලේඛන කටයුතු සඳහා කෙනෙක් පමණක් බව ත් ඔබ වහන්සේට තනිව ම වැඩම කළ හැකි බව ත් සඳහන් කළා. දැන් අනෙක් භික්ෂූන් වහන්සේලාට අමතරව ඩොවාන් වැන් බාඕ මහත්තයා, ලේ ඛා සේප් මහත්මයා වගේ අය ඉන්නවා ඔබ වහන්සේට සහයෝගය දෙන්න.ඒ වගේ ම බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්න වාහන ටිකක් තියෙනවා. එවැනි සහයෝගයක් ඔබේ ප්‍රතිපත්තියේ මූලාරම්භයට සහ පරිශුද්ධභාවයට බලපාන්නේ දැයි මම අහන්න කැමතියි?
මින් තියු හිමි: ඔව්, ඔව් බලපෑමක් තියෙනවා සහ බලපෑමක් නෑ. මොකද ඒ වාහන තියෙන්නේ ඒ අයගේ සහයට.
මට කිසි දෙයක් රැගෙන යන්න අවශ්‍ය නැහැ. මට මගේ දේවල් අරගෙන යන්න පුළුවන්, මගේ දානය, මගේ ඇඳුම්. වාහනය තියෙන්නේ මගේ මග එන අයට උදව්වක් විදිහට. මොකද, [ඒ මිනිස්සුන්ට] තමන්ව උණුහුම්ව තියාගන්න, එල්ලෙන ඇඳක්, ඇතිරිලි වගේ දේවල් තියෙන නිසා. එයාලට කාර් එකක් තියෙනවා. එයාලට ඇවිදින්න බැරි නම් කාර් එක අරගෙන ගිහින් ලිපි ලේඛන කටයුතු ටික කර ගන්න පුළුවන්. ප්‍රාදේශීය බලධාරීන් සම්බන්ධ කර ගන්න එයාලට පුළුවන්. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ හැකි වීම හොඳ දෙයක්. මගේ මතය අනුව, බාධාව තමයි බලාගෙන ඉන්න උදවිය මේ කාර් එක දැකලා කියන්නේ, “ඔයා ඇවිදන් යනවා. ඒත් ඔයාගේ දේවල් අරගෙන මෝටර් රථ පෙළක් ඔබේ පස්සෙන් එනවා. ඒ තමයි මිනිස්සු කියන දේ. මට නම්, මගේ ඉගෙනීමේ ක්‍රමයට ඒක තවමත් සත්‍යයක් කියලා මට හැඟෙන තෙක් මට එයාලා කියන දේ ප්‍රශ්නයක් නැහැ. මම තවමත් තුන්පට සිවුරක් අඳිනවා. කාර් එක ගැන මොනව කිව්වත්, ඒක තාම එහෙම ම යි.
බීබීසී: ඔබ වහන්සේ වඩා ත් ම කැමති සහ සියලු දෙනා සමග බෙදා ගැනීමට කැමති බෞද්ධ ඉගැන්වීම කුමක් ද?
මින් තියු හිමි: බෞද්ධ ඉගැන්වීම්වලට අනුව යහපත කිරීම තමයි වැදගත් ම. ඊට පස්සේ සතුට, සාමය, විමුක්තිය සහ නිර්වාණය වඩා ත් ම වැදගත් දේවල්. සෑම කෙනෙකුට ම සතුටින් ජීවත් වෙන්න, සාමය භුක්ති විඳින්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඔවුන්ට විමුක්තිය ලැබෙනවා කියන්නේ, ඔවුන් තවත් සතුටින් ජීවත් වෙනවා කියන එක.
බීබීසී: මෙහෙම පාද චාරිකාවේ නිරත වෙද්දී ඔබ වහන්සේට පවුලේ අය මතක් වෙන්නේ නැද්ද? විශේෂයෙන් ම ඔබ වහන්සේ වෙනත් රටක ඉන්නකොට?
මින් තියු හිමි: මට එයාලව මතක් වෙනවා, මතක් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා, ඒත් මම ඒක මැඩපවත්වා ගන්නවා. මගේ දෙමාපියන් ඉක්මනින් හෝ පසුව මිය යාවි. මමත් ඉක්මනින් හෝ පසුව මිය යාවි. එයාලව මතක් වුණා කියලා මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. දුක, ආදරය දුකේ උල්පත, ආදරය භයේ උල්පත. මේ බව අවබෝධ කර ගත්තා ම, මට තවදුරටත් ආදරය ගැන හැඟීමක් නැහැ. ඒක තාවකාලිකයි. මම ඒක මැඩපවත්වා ගන්නවා. ඔබට සෑම දෙයකින් ම නිදහස් වීමට හැකි නම්, ඔබ තවදුරටත් දුක් විඳින්නේ නැහැ. ඒක දැනගෙන මම දුක් විඳිනවා නම් ඒක පිළිගන්නවා, ඊට පස්සේ බුදුන්ගේ ධර්මයෙන් ඉගෙන ගන්නවා. එවිට මම තෘෂ්ණාව, ශෝකය ජයගෙන, අවසානයේ දුකින් මිදෙනවා.
source: bbc.com / sinhala