ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණ සහ තවත් අරමුණු සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකි ය. ශ්‍රී ලංකාවේ අලෙවි වන මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කලින් කලට නිවේදන නිකුත් කරනු ලබයි.
සැමට අහිතකර රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග ඒවා භාවිත කර යට කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන බලපෑම් ද ඇති කරයි.
හඳුනාගත් හානිකර ආලේපන වර්ග මොනවා ද?
අන්තර්ජාතික නිර්ණායකය වන ISO/TR/17276 අනුව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත කරන ලද ශ්‍රි ලංකා ප්‍රමිතී නියෝග SLS 743 අනුව ශරීර ආලේපනයක තිබිය හැකි උපරිම රසදිය (Mercury) ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් එකක් (1mg/kg) විය යුතු ය.
නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයේ දක්වා ඇති නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා අධික ප්‍රමාණයක් වේ. ඇතැම් නිෂ්පාදනවල එය දස දහස් ගුණයන්ගෙන් ඉහළ ය.
එමෙන් ම අධිකාරිය විසින් දක්වා ඇති ඇතැම් නිෂ්පාදනවලට කාණ්ඩ අංකයක් නොමැති අතර, එවැනි කාණ්ඩ අංකයන් නොමැතිව නිෂ්පාදන විකිණීම ද තහනම් ය.
පහත නිෂ්පාදන 49 තුළ ප්‍රමිතිගත රසදිය ප්‍රමාණයට වඩා ඉතා අධික රසදිය ප්‍රමාණයක් ඇති බවට නිවේදනයේ දැක් වේ.



රසදිය ශරීරයට අහිතකර ඇයි?
රසදිය යනු පිළිකා කාරකයක් වන අතර බොහෝ විට සමේ පිලිකා සහ වෙනත් සංකූලතා වලට හේතු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
2019 වර්ෂයේදී මෙවැනි ආලේපන වර්ග 16ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වූ කරුණු පිලිබඳ වාර්තා කිරීමේදී බීබීසී සිංහල විසින් රසදිය අඩංගු ආලේපන භාවිත කරන්නේ නම් සිදුවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර විසින් පැහැදිලි කර තිබේ.
රසදිය ශරීරගත වීම නිසා,
- වකුගඩු රෝග
- ස්නායු ආබාධ
- නොරුස්සන ගතිය
- සිහිමද ගතිය
- සමේ දද සහ කැළැල් ඇති වීම
- සම දුර්වර්ණ වීම
- ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා පහසුවෙන් බැක්ටීරියා හා අසාදනවලට ලක්වීම
- කන් ඇසීම අඩුවීම
- ඇස් පෙනීම අඩු වීම
වැනි ආබාධ ඇතිවිය හැකි බව ඇය පවසා තිබේ.
මව්වරුන් රසදිය අඩංගු ආලේපන භාවිත කිරීම, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වීමට හේතු වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ද ඇය 2019 වසරේදී බීබීසී සිංහල වෙත පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය කුමක් ද?
යම් ක්‍රීම් හෝ දියර වර්ගයක උපරිම සීමාවට වඩා රසදිය අන්තර්ගත බවට අනාවරණය කර ගත්ත ද ඒවා ශ්‍රී ලංකාව පුරා විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නීතිමය හැකියාවක් නොමැත.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ මහේස්ත්‍රත්වරකුට බලතල ඇත්තේ අදාළ අධිකරණ බල සීමාව තුළ ඇති වෙළෙඳසල්වලින් එම භාණ්ඩ ඉවත් කිරීමට පමණකි.
2015 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික ඖෂධ නියාමන අධිකාරි සංශෝධන පනත යටතේ ආරම්භ වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධ, වෛද්‍ය උපකරණ, නිෂ්පාදන නියාමන, සායනික පරික්ෂණ ඇතුළු අංශ ස්ථාපනය කිරීමේ බලයක් පැවරී තිබේ.
ජාතික උපදේශක කමිටුවක් පිහිටුවීමට පනතේ විධිවිධාන සලසා ඇති අතර 1980 අංක 27 දරන උපකරණ හා ඖෂධ පනත මේ සමග අහෝසි විය.
මෙම පනතෙන් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රමවලින් ඇතිවිය හැකි අතුරු ආබාධවලින් පුද්ගලයන් ආරක්ෂා කිරීමේ නීති සම්පාදනය කර ඇති අතර, අදාළ ඖෂධය මගින් අපේක්ෂිත පරමාර්ථය ඉටුවේ ද යන්න විමසා බැලීම, ගුණාත්මක භාවය යන කරුණු ද ආවරණය වේ.
මෙම පනතේ ක්‍රියාකාරීත්වයෙන් ඖෂධ සල් සහ රූපලාවන්‍යාගාරවල ඇති ප්‍රමිතිය සහ නිසි අවසරයකින් තොර නිෂ්පාදන, කල් ඉකුත්වූ නිෂ්පාදනවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට ද හැකි ය.
මීට අමතරව මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1970 යන දුරකථනය අංකයට ඇමතීමෙන් පැමිණිලි කිරීමේ හැකියාව ද පාරිභෝගිකයින්ට පවතියි.
සම්පූර්ළු උපුටා ගැනීම – bbc.com/sinhala