Monday, June 23, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයඔබ අවට ඇති ඝෝෂාකාරී ශබ්ද හෘදයාබාධ, දියවැඩියාව, ඩිමෙන්ෂියා වැනි රෝගවලට බලපාන බව...

    ඔබ අවට ඇති ඝෝෂාකාරී ශබ්ද හෘදයාබාධ, දියවැඩියාව, ඩිමෙන්ෂියා වැනි රෝගවලට බලපාන බව දන්නවා ද?

    අපට නොපෙනෙන ඝාතකයෙක් අප වටා සැරිසරමින් සිටියි. එම ඝාතකයා නිරන්තරයෙන් අපට හමු වුණ ද, එය අපගේ ජීවිත කෙටි කරන ආකාරය අපට නිරීක්ෂණය නොවන තරම් ය. එය හෘදයාබාධ, දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇති කරන අතර ම, අධ්‍යයනයන් පෙන්වා දෙන ආකාරයට ඩිමෙන්ෂියා වැනි තත්ත්වයන් ඇති වීමට පවා එය හේතුකාරී වේ.

    ඔබ සිතන ආකාරයට එය කුමක් විය හැකි ද?

    පිළිතුර, ඝෝෂාව. ඉන් මිනිස් ශරීරයට ඇතිවන බලපෑම, ශ්‍රවණයට සිදුවන හානියට වඩා ඉතා බරපතළ වේ.

    “ඒක මහජන සෞඛ්‍යය පිළිබඳ අර්බුදයක්. එදිනෙදා ජීවිතයේදී ගොඩක් මිනිස්සු ඒකට නිරාවරණය වෙනවා,” යැයි සාන්ත ජෝර්ජ්හි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාලට් ක්ලාක් පවසයි.

    එය අප අවධානය යොමු නොකරන ආකාරයේ අර්බුදයකි.

    ඒ නිසා, ඝෝෂාව අනතුරුදායක වන්නේ කුමන අවස්ථාවලදී ද යන්න පිළිබඳව මම සොයා බැලුවෙමි. ඒ සඳහා ඝෝෂාව නිසා රෝගී වී සිටින අය සමග කතාබහ කරමින්, ඝෝෂාකාරී ලෝකයෙන් මිදීමට කුමක් හෝ මගක් තිබේ ද යන්න පිළිබඳව මම විමසුවෙමි.

    මා එය ආරම්භ කළේ, බියජනක යැයි හැගෙන තරම් නිශ්ශබ්දතාවයෙන් යුත් ශබ්ද විද්‍යාගාරයකදී මහාචාර්ය ක්ලාක් හමු වීමෙනි. අපගේ සූදානම් වූයේ මාගේ ශරීරය ශබ්දයට ප්‍රතික්‍රියා දක්වන ආකාරය කෙසේදැයි නිරීක්ෂණය කිරීම ය. විශාල ප්‍රමාණයේ ස්මාර්ට් ඔරලෝසුවක් වැනි උපකරණයක් මා හට පළඳවනු ලැබිණි.

    ඉන් මාගේ හෘද ස්පන්ද වේගය හා මා කොපමණ ප්‍රමාණයක් දහඩිය ප්‍රමාණයක් වගුරුවන්නේ දැයි මැනීම සිදුකරයි.

    හෙඩ්ෆෝන් එකක් තිබේනම් ඔබටත් ඊට සම්බන්ධ විය හැකියි. මේ ශබ්ද පහ ඔබට දැනෙන ආකාරය පිළිබඳව සිතන්න.

    ඒවා අතරින් සැබැවින් ම මා හට ඉතාමත් අමිහිරි ශබ්දය වන්නේ ලෝකයේ වඩාත් ම ඝෝෂාකාරී නගරය ලෙසට සැලකෙන බංග්ලාදේශයේ ඩකා නුවර වාහනවලින් නැගෙන දැඩි ඝෝෂාව යි. ක්ෂණයකින් මා හට හැඟී යන්නේ මා අතිවිශාල, පීඩාකාරී වාහන තදබදයකට මැදි වී ඇති බවයි.

    ඒ හා සමග ම සංවේදක විසින් මා පත්ව සිටින කැළඹීම ග්‍රහණය කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව, මාගේ හෘද ස්පන්දනය ඉහළ ගොස් ඇති අතර, දහඩිය දැමීම ද වැඩියෙන් සිදු වේ.

    ඊළග ශබ්දය ඇසීම සඳහා සූදානම් කරන අතරවාරයේ මහාචාර්ය ක්ලාක් පවසන්නේ, “වාහනවල ශබ්දය ඔයාගේ හදවතේ සෞඛ්‍යයට බලපාන බවට හොඳ සාක්ෂි තියෙනවා,” යනුවෙනි.

    ක්‍රීඩාපිටියෙන් පිටවන ප්‍රීතිදායක ශබ්ද මගින් පමණක් මාහට සන්සුන්භාවයක් ලබා දුන්නේ ය. සුනඛයින්ගේ බිරීමේ හඬ හා අලුයම් කාලයේ අසල්වැසියෙකු පවත්වන සාදයකින් ඇති වන ශබ්ද ඍණාත්මක ප්‍රතිචාරයකට මග කියයි.

    James Gallagher holding a sound meter
    බාසිලෝනාහි ශබ්ද මට්ටම් මනිමින් සිටින ජේම්ස් ගැලගර්

    නමුත්, ශබ්දය මාගේ ශරීරයෙහි වෙනසක් ඇති කරන්නේ ඇයි?

    “ශබ්දයට ඔයා ප්‍රතිචාර දක්වන්නේ චිත්තවේගාත්මකව,” යැයි මහාචාර්ය ක්ලාක් පවසයි.

    කන්වලින් ග්‍රහණය කර ගන්නා ශබ්ද මොළය කරා රැගෙන යන අතර, එහි තිබෙන ඇමිග්ඩලා (amygdala) නම් කොටස මගින් ඊට අදාළව චිත්තවේගාත්මක තක්සේරුවක් සිදු කරයි.

    ශරීරයේ “සටන් කිරීම හෝ පළා යාම” යන ප්‍රතිචාරය දක්වන මෙම කොටස විකාශනය වී ඇත්තේ, විලෝපියෙකු පඳුරු බිඳගෙන එන ශබ්දයට සමාන ශබ්දවලට ප්‍රතිචාර දැක්වීමට අපට උපකාරී වීමට පරිණාමය වී ඇත.

    “ඉතින්, ඔයාගේ හදවතේ ගැස්ම ඉහළ යනවා, ඔයාගේ ස්නායු පද්ධතිය බලපෑමට ලක් වෙලා ආතතියට සම්බන්ධ හෝමෝන මුදා හරිනවා,” යැයි මහාචාර්ය ක්ලාක් මා හා පවසයි.

    A diagram of a human body showing (1) sound entering the ear, (2) it being detected by the amygdala - the emotional centre of the brain, (3) the nervous being activated and the release of stress hormones like cortisol and adrenaline and (4) heart rate being increased, as well as blood pressure and inflammation in the body

    මේ සියල්ල ම හදිසි අවස්ථාවක සිදුවන්නේ නම් යහපත් වනු ඇති නමුත්, දිගින් දිගට ම එය සිදුවන්නේ නම් කල් ගතවත් ම එයින් හානිකර බලපෑම් ඇති කරයි.

    “ඔයා ඒකට අවුරුදු ගණනාවක් නිරාවරණය වුණොත් ඔයාගේ ශරීරය ඒකට අර වගේ ප්‍රතිචාර හැම වෙලාවෙ ම දක්වනවා. ඒකෙන් ඔයාට හෘදයාබාධ, ආඝාතය හා දෙවැනි වර්ගයේ දියවැඩියාව වගේ රෝග ඇති වෙන්න තියෙන අවදානම වැඩි වෙනවා,” යැයි මහාචාර්ය ක්ලාක් පවසන්නී ය.

    නින්දේදී පවා අපට නොදැනී මෙය සිදු වේ. ඔබ ශබ්දයට හැඩගැසෙනවා කියා ඔබට සිතීමට හැකි ය. ගුවන්තොටුපොළක් ආසන්නයේ කුලී නිවසක මා ජීවත්ව සිටින කාලයේදී එවැන්නක් මා හට දැනිණ. නමුත්, ජීවවිද්‍යාත්මකව කියැවෙන්නේ වෙනස් ම කථාවකි.

    “ඔයා කිසි වෙලාවක කන් දෙක වහගන්නෙ නැහැ. නින්දේදී පවා ඔයා සවන් දෙනවා. ඒ නිසා, හදවතේ ගැස්ම ඉහළ යාම වගේ ප්‍රතිචාර ඔයා නින්දේ ඉන්නකොට පවා සිදු වෙනවා,” යැයි මහාචාර්ය ක්ලාක් වැඩිදුරටත් පහදා දෙන්නීය.

    Coco has a broad smile and a white/pink scarf
    කොකෝ ජීවත්ව සිටින ඝෝෂාකාරී පරිසරය නිසා ඇයගේ සෞඛ්‍යයට හානි සිදු විය

    ඝෝෂාව යනු අනවශ්‍ය ශබ්ද යි. තදබදය, දුම්රිය සහ ගුවන් යානා වැනි ප්‍රවාහන මාධ්‍ය ඊට ප්‍රධාන වශයෙන් හේතුකාරී වේ. නමුත්, අපි ප්‍රීතිමත් වීමට කරන ශබ්ද පවා එවැනි ආකාරයෙන් ම බලපෑම් ඇති කරයි. එක් පුද්ගලයෙකු පවත්වන සාදයක් තවත් අයෙකුට ඉවසාගත නොහැකි ඉමහත් ශබ්දයකි.

    කොකෝ මා හට මුණගැසෙන්නේ, ස්පාඤ්ඤයේ බාසිලෝනාහි ඓතිහාසික විලා ඩී ග්‍රාසියා ප්‍රදේශයේ සිව්මහල් නිවාස සංකීර්ණයකදී ය.

    අසල්වැසියෙකු විසින් තෑගි කරන ලද නැවුම් දෙහි මල්ලක් ඇගේ නිවසේ දොරට තබා බැඳ තිබේ. ඇගේ ශීතකරණයේ තවත් අසල්වැසියෙකු විසින් පිසූ ටෝටිල්ලා ඇති අතර පැටිස් සැකසීමේ පුහුණුව ලබන තුන් වන අසල්වැසියෙකු විසින් සාදන ලද අලංකාර කේක් ඇය මට පිරිනමයි.

    සඳලුතලයේ සිට බැලූ විට පෙනෙන්නේ, නගරයේ ඉතා ප්‍රසිද්ධ සැග්රාදා ෆැමිලියා බැසිලිකා දේවස්ථානය යි. ජීවත් වීමට කොකෝ මෙම ප්‍රදේශය තෝරා ගත්තේ ඇයි දැයි ලෙහෙසියෙන් අවබෝධ කරගත හැකි ය. නමුත්, ඒ සඳහා ඇයට විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබෙන අතර, ප්‍රදේශය හැර යාමට පවා තමන්ට බලපෑමක් ඇතිව තිබෙන බව ඇයගේ අදහස යි.

    “මෙහෙ හරි ම ඝෝෂාකාරී යි. ඒක පැය 24 තිස්සේ ම තියෙනවා,” ඇය මා හට පවසයි. සුනඛයින් ඇවිද්දවීම සඳහා අසල පිහිටා තිබෙන උද්‍යානයේ උදෑසන 2, 3, 4, 5 සිට ඔවුන්ගේ බිරීම ඇසෙන අතර, නිවාස සංකීර්ණයේ මිදුල පොදු ස්ථානයක් නිසා ළමුන්ගේ උපන්දින සාදවල සිට දිනය පුරා පවත්වා ගිනිකෙළි සංදර්ශනයකින් අවසන් වන ප්‍රසංග දක්වා සෑම උත්සව අවස්ථාවක් ම එහි සිදු වේ.

    කොකෝ තම ජංගම දුරකතනය පිටතට ගෙන නිවසේ වීදුරු ජනේල පවා සෙලවී යන තරම් ශබ්දයෙන් යුත් සංගීත ඛණ්ඩ වාදනය කරන්නී ය.

    සේවා ස්ථානයේ වැඩකටයුතුවලින් ඇති වන ආතතියෙන් මිදීමට ආරක්‍ෂිත ස්ථානයක් විය යුතු ඇයගේ නිවස ඇයට “ඉච්ඡාභංගත්වය ගෙන එනවා වගේ ම මට අඬන්න හිතෙනවා,” යැයි ඇය පවසයි.

    “පපුවේ වේදනාව නිසා දෙවරක් රෝහල්ගත වූ” ඇය සිතන්නේ මෙවැනි ආකාරයේ ආතතියක් තමන්ට ඇති කරමින් ඇයගේ සෞඛ්‍යට හානි කරන්නේ මෙම ඝෝෂාව බව ය. “මට දැනෙන ශරීරයේ වෙනස්කම් තියෙනවා. ඇත්තට ම ඒකෙන් ශරීරයට කිසියම් දෙයක් සිදු කරනවා,” යැයි ඇය පවසන්නීය.

    පර්යේෂකයෙකු වන ආචාර්ය මාරියා ෆොරස්ටර් පවසන ආකාරයට බාසිලෝනා නගරයේ හෘදයාබාධ වැළඳීම් අවස්ථා 300ක් හා මරණ 30ක් සිදුව ඇත්තේ වාහනවල ඝෝෂාව හේතුවෙන් ය. ශබ්දය සම්බන්ධයෙන් වන තොරතුරු ඇය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සමාලෝචනය කරයි.

    Maria, wearing glasses and a green polo necked jumper, stands in front of a busy road.
    ආචාර්ය මාරියා ෆොරස්ටර් පවසන්නේ වඩාත් ම සුලබව පවතින වාහනවල ශබ්ද සෞඛ්‍යයට වැඩි වශයෙන් බලපෑම් කරන බව ය.

    යුරෝපයේ පමණක් වාර්ෂිකව සිදුවන අකල් මරණ 12,000කට පමණ ශබ්දය හේතු වේ. එමෙන් ම, මිලියන ගණනාවක් තවත් පුද්ගලයින්ගේ නින්දට ඉන් දැඩි බාධා පැමිණෙන අතර, මානසික සෞඛ්‍යයට බලපෑම් එල්ල කරන ආකාරයෙන් හිංසාකාරී ද වෙයි.

    මා ආචාර්ය ෆොරාස්ටර් හමුවූ ආපන ශාලාව බාසිලෝනාහි වඩාත් ම කාර්ය බහුල මාර්ගවලින් වෙන් වන්නේ කුඩා උද්‍යානයකිනි. මා සන්තකයෙහි ඇති ශබ්දය මනින උපකරණය පෙන්නුම් කරන්නේ ඈතින් සිදුවන වාහන ගමනාගමනයේ ශබ්දය ඩෙසිබල් (ශබ්දය මනින ඒකකය) 60කට මඳක් වැඩි බව ය.

    ඒ ශබ්දය මධ්‍යයේ වුව ද, අපගේ හඬ වැඩි කිරීමකින් තොරව ලෙහෙසියෙන් කතාබහ කිරීම කළ හැකි ය. නමුත්, එම ශබ්දය පවා සෞඛ්‍යයට අහිතකර වේ.

    හදවතෙහි නීරෝගීභාවය සඳහා දැරිය හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 53ක් වන බව ඇය මා සමග පැවසුවා ය. ඉන් ඉහළට යාමත් සමග සෞඛ්‍යයට ඇති කරන අවදානම ද වැඩි වේ.

    “53ක් කියන්නේ අපි සෑහෙන නිශ්ශබ්දතාවක් තියෙන වටපිටාවක සිටිය යුතු යි කියලා,” ආචාර්ය ෆොරස්ටර් කියා සිටියා ය.

    Graphic design showing decibel scale - Ticking watch 20dB; Library 40 dB; Office 60 dB; vacuum cleaner 80 dB; motorbike 100 dB; Siren 120 dB; Gunshot 140 dB

    එය දිවා කාලයට පමණක් අදාළ වන අතර, නින්දට යාම සඳහා ඊටත් වඩා අඩු අගයක් අවශ්‍ය වේ. “නිශ්ශබ්දතාව රෑට අපට වැඩියෙන් අවශ්‍ය වෙනවා,” යැයි ඇය පැවසුවා ය.

    එය ශබ්දයේ ප්‍රමාණය පමණක් නොවන අතර, ශබ්දයක් කෙතරම් දුරට ඔබට බාධා කරන්නේ ද? යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔබට තිබෙන පාලනයෙහි තරම ද චිත්තවේගාත්මක ප්‍රතික්‍රියාවට බලපෑමක් සිදු කරයි.

    ශබ්දය නිසා සෞඛ්‍යයට ඇති කරන බලපෑම “වායු දූෂණය” තරමට ම සමාන වුව ද, එය අවබෝධ කර ගැනීම වඩාත් අපහසු වන බව ආචාර්ය ෆොරාස්ටර් කියා සිටින්නීය.

    “රසායනික ද්‍රව්‍ය අපේ සෞඛ්‍යයට බලපාන බව හා ඒවා විස සහිත බව අපි දන්නවා. නමුත්, ශබ්දය වගේ ඉන්ද්‍රීයගෝචර දෙයක් අපේ සෞඛ්‍යයට කරන දැඩි බලපෑම අවබෝධ කර ගැනීම ඒ වගේ සරල දෙයක් නෙවෙයි,” යනුවෙන් ඇය පවසන්නී ය.

    ජීවත් වීමට වටිනාකමක් දෙන විනෝදාත්මක සාදයක් තවත් අයෙකුට දැරිය නොහැකි ලෙසින් ඝෝෂාකාරී විය හැකි ය.

    වාහනවල ශබ්දවලට වැඩිම පිරිසක් නිරාවරණය වන නිසා එය සෞඛ්‍යයට වැඩි ම බලපෑමක් එල්ල කරයි. නමුත්, රැකියාවට යාම, සාප්පු සවාරියේ යාම සහ ළමුන් පාසලට රැගෙන යාම වැනි කටයුතුවලදී පවා වාහනවල ශබ්දවලින් මිදිය නොහැක. එවැනි ශබ්දවලින් ගැලවීම යනු තවත් ගැටලුවලට මග පාදන, ජීවන රටාව වෙනස් කර ගන්නැයි මිනිසුන්ගෙන් කරන ඉල්ලා සිටීමකි.

    ගෝලීය සෞඛ්‍යය පිළිබඳ බාසිලෝනා ආයතනයේ ආචාර්ය නැටලි මියුලර් මා සමග එක්ව නගර මධ්‍යයේ ඇවිද යාමට පැමිණෙයි. අප මුලින් ම කාර්ය බහුල මාර්ගයකට අවතීර්ණ වන්නෙමු. මගේ ශබ්දය මනින උපකරණයෙන් ඩෙසිබල් 80කට අධික අගයක් පෙන්වයි. දෙපස ගස්වලින් සමන්විත නිසල මාර්ගයකට අප එළැඹීමත් සමගම එය 50ට මඳක් වැඩි අගයක් ගනී.

    Natalie, with long blonde hair, stands in the middle of a pedestrianised street that has trees and flowerbeds in the background
    පෙර කලකදී වාහනවලින් පිරීගොස් තිබූ, දැන් නිශ්චලව පවතින මාර්ගයක සිටින නැටලි මියුලර්

    මෙම මාර්ගයේ යම්කිසි වෙනසක් තිබෙන බව පෙනී යයි. දැඩි කාර්ය බහුල මාර්ගයක්ව පැවති එය දැන් පදිකයින්ට, ආපන ශාලාවලට සහ උද්‍යානවලට ඉඩහසර සපයයි. මල්පාත්ති අතරින් මාහට පෙර පැවති හරස් මාර්ගවල ඡායාවන් දිස්වේ. ප්‍රදේශයට පැමිණීමට වාහනවලට තවමත් ඉඩ ලබා දුන්න ද, එය සිදුකළ යුත්තේ ඉතා සෙමෙනි.

    ඇතැම් ශබ්ද අප ශරීරය සනසවන බව මීට පෙර විද්‍යාගාරයේදී හඳුනාගත් බව මතක තබා ගත යුතු ය.

    “ඒක සම්පූර්ණයෙන් ම ශබ්දවලින් තොර දෙයක් නෙවෙයි. නමුත්, ඝෝෂාව ගැන වෙනස් ම හැගීමක්,” යැයි ආචාර්ය මියුලර් පවසන්නීය.

    People sit on benches as others walk their dogs through an area that used to be a road but is now taken over by trees and flowerboxes. The road has been decorated in brightly coloured yellow and oranges triangles and blue stripes.
    බාසිලෝනාහි Superblock සැලැස්ම යටතේ වෙන්කොට ඇති පදිකයින් සඳහා වෙන්වූ ප්‍රදේශයක ඇවිද යන පිරිසක්

    මූල් සැලසුම වූයේ, නගරයේ ඉඩම් කට්ටි කිහිපයක් එක්කොට පිහිටුවන එවැනි ආකාරයේ පදිකයින්ට හිතකාමී superblock ප්‍රදේශ 500කට වැඩි සංඛ්‍යාවක් ඇති කිරීම ය.

    ඊට අදාළ පර්යේෂණ සිදුකළ ආචාර්ය මියුලර් අනුමාන කළේ, නගරයේ ඇති ඝෝෂාකාරී බව 5%ත් 10%ත් ප්‍රතිශතයකින් අඩු කොට, ඝෝෂාව නිසා වාර්ෂිකව සිදුවන “අකල් මරණවලින් 150ක්” පමණ අඩු කිරීමට ද එය හේතු වනු ඇති බවට ය. ඉන් ලැබිය හැකි සෞඛ්‍යමය ශුභසිද්ධිය “අයිස් පරයකින් කුඩා කොටසක්” ය. නමුත්, සත්‍ය වශයෙන් ම ගොඩනැංවීමට හැකි වූයේ, එවැනි ප්‍රදේශ හයක් පමණි. ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීම නගර සභාව ප්‍රතික්ෂේප කළේ ය.

    නාගරිකකරණය

    එසේ නමුත්, ඝෝෂාකාරී බව නිසා එල්ල වන හානිකර බලපෑම් තවදුරටත් වර්ධනය වෙමින් පවතී. නාගරිකකරණය නිසා මිනිසුන් වැඩි දෙනෙක් ඝෝෂාකාරී නගර කරා ඇදෙමින් සිටිති. බංගලාදේශයේ ඩකා යනු ලෝකයේ වඩාත් ම වේගයෙන් වර්ධනය වෙමින් පවතින විශාල නගරයකි. ඒ හේතුවෙන් එහි දැඩි රථවාහන තදබදයක් ඇති අතර, වාහනවල නලා ශබ්දයේ අමිහිරි බවින් දෝංකාර දෙන නගරයක් බවට එය පත්ව ඇත.

    කලාකරුවෙකු වන මොමිනූර් රහ්මන් රෝයල් “හුදෙකලා වීරයෙකු” ලෙසින් නම් වූයේ, ඩකාහි පවතින මේ ඝෝෂාකාරීත්වයේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීම සඳහා නිහඬ විරෝධතා පැවැත්වීම නිසා ය.

    දිනපතා විනාඩි 10ක කාලයක් ඔහු කාර්ය බහුල මංසන්ධියකට ගොස් විශාල ප්‍රමාණයේ කහ පැහැති දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරන්නේ, තම වාහනවල නලා අධික ශබ්දයෙන් හඬ නංවන රියැදුරන් ඉමහත් හිරිහැරයක් සිදු කරන බවට චෝදනා කරමිනි.

    Momina Raman Royal wearing a yellow t-shirt and sporting a full beard
    කලාකරුවෙකු වන මොමිනූර් රහ්මන් රෝයල් “හුදෙකලා වීරයෙකු” ලෙසින් නම් වූයේ, ඩකාහි පවතින මේ ඝෝෂාකාරීත්වයේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීම සඳහා නිහඬ විරෝධතා පැවැත්වීම නිසා ය

    ඔහු එම කටයුත්ත පටන් ගත්තේ ඔහුගේ දියණිය උපත ලැබීමෙන් පසුව ය. “ඩකාවලින් විතරක් නෙවෙයි බංග්ලාදේශයේ සම්පූර්ණයෙන් ම වාහනවල නලා ශබ්දය නවත්වන්න ඕනේ,” යනුවෙන් ඔහු පවසයි.

    “කුරුල්ලන්, ගස් හරි ගංගා හරි දිහා ඔයා බැලුවොත්, මිනිස්සු නැතිව ඒවා කිසිවක් ශබ්ද ඇති කරන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු තමයි වගකියන්න ඕනෑ.”

    දේශපාලනික වශයෙන් පියවර ගැනීම් ද කඩින්කඩ සිදු වේ. බංගලාදේශ ආණ්ඩුවේ ඇමතිවරියක හා පරිසරය පිළිබඳ උපදේශිකාවක වන සයියදා රිස්වානා හසන් මා සමග පැවසූයේ, ශබ්දය නිසා සෞඛ්‍යයට ඇති වන බලපෑම සම්බන්ධයෙන් තමන් “දැඩි කනස්සල්ලට” පත්ව සිටින බව ය.

    ඝෝෂාකාරී බව අඩුකර ගැනීමේ පරමාර්ථයෙන් වාහනවල නලා ශබ්ද කිරීමට එරෙහිව ක්‍රියාන්විතයක් පැවැත්වෙන අතර, දැනුවත් කිරීමේ ව්‍යායාමයක් හා පවතින නීතිරීති වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීම ද ඊට සමගාමීව සිදු වේ.

    “අවුරුද්දකදි හරි දෙකකදි හරි ඒක කරන්න බැහැ. ඒත් මම හිතනවා නගරයේ ශබ්දය අඩු කර ගැනීම කළ හැකි යි කියලා. ශබ්දය අඩු වෙනකොට හොඳ යි කියලා මිනිස්සුන්ට දැනෙනකොට ඒ අයගේ පුරුදුත් වෙනස් වෙන බව මට සහතික යි.”

    ශබ්දයට ඇති විසඳුම් දුෂ්කර, සංකීර්ණ හා අභියෝගාත්මක විය හැකි ය.

    බංගලාදේශ වෘත්තිකයින්ගේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මස්රුර් අබ්දුල් කාදර්ගේ වචනවලින් පවසන්නේ නම්, ශබ්දය යනු “නිශ්ශබ්ද මාරයෙකු සහ ඉතා සෙමින් විස වන” දෙයකි. ඒ නිසාවෙන් ම, ශබ්දයෙන් මිදී යාම සඳහා අපගේ ජීවිතවලින් කිසියම් ඉඩහසරක් ලැබීම පිළිබඳව මා තුළ නව අගැයුමක් ඉතිරි ව තිබේ.

    LOUD නිෂ්පාදනය කරන ලද්දේ ජෙරී හෝල්ට් විසිනි. අතිරේක වාර්තාකරණය බංග්ලාදේශයේ සල්මන් සයීඩ් විසින

    සම්පූර්ණ උපුටා ගැනීම – bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments