දරු ප්‍රසූතිය කළ හැකි වයසේ සිටින කාන්තාවන්ගේ ඔසප් වීම නැවතීම ඇමෙනොරියා ලෙස හඳුන්වන අතර, ඔසප් වීම ප්‍රමාද වීමට හෝ මග හැරීමට වඩාත් ජනප්‍රිය හේතුව ගැබ් ගැනීම වුවත් එසේ සිදු වීමට තවත් හේතු තිබේ.
සාමාන්‍යයෙන් කාන්තාවකට ඔවුන්ගේ ප්‍රජනන අවදියේදී සෑම දින 28කට වරක් ඔවුන්ගේ මාසික ඔසප් වීම සිදුවන අතර, කෙසේ නමුත් දින 24 ත් 35 ත් අතර තරමක් කෙටි හෝ දිගු චක්‍ර තිබීම සාමාන්‍ය දෙයකි.
විටින් විට ඔසප් වීම මග හැරීම බරපතල ගැටලුවක් ලෙස නොසැලකෙන නමුත් එය නැවත නැවත සිදුවන ගැටලුවක් නම්, එය අභ්‍යන්තරයෙන් පවතින ගැටලුවක සංඥාවක් විය හැකි ය.
“ඔයා ඔයා ගැන දැනගන්න ඕනේ සහ ඔයාගේ ශරීරය වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ, එතකොට මොකක් හරි දෙයක් වැරදියට වෙනකොට ඔයා ඒක දන්නවා. හැම කාන්තාවකගෙම ශරීර වැඩ කරන විදිහ හරි ම අමුතු විදිහට එකට එකක් වෙනස්. කාන්තාවෝ දෙන්නෙක් එක වගේ වෙන්නේ නෑ,” නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමීරා අල්කුර්දින් මාර්ටිනස් බීබීසීයට පැවසුවා ය.
ඔබට අඛණ්ඩව මාස තුනක් ඔසප් වීම මග හැරී ඇත්නම් සහ එම කාලය තුළදී ඔබ ගැබ්ගෙන නොමැති නම්, හෝ වයස අවුරුදු 45 ට පෙර ඔබේ ඔසප් වීම නතර වුවහොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීමට එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) නිර්දේශ කරයි. එසේම වයස අවුරුදු 15 වන විටත් ඔසප් වීම ආරම්භ වී නොමැති ගැහැනු ළමයින් සඳහා වෛද්‍ය උපදේශනයක් ලබා ගන්නා ලෙසත් එක්සත් ජනපදයේ මායෝ සායනය ද නිර්දේශ කරයි.
මේ ඉහත ආයතන දෙකට ම අනුව ඇමෙනෝරියා තත්ත්වය හෙවත් ඔසප් නොවීමට ගැබ්ගැනීම හැර බලපෑ හැකි පොදු හේතු 8කි.
1. ආතතිය
“වඩාත් ම වැදගත් හේතුව වෙන්නේ අපේ කාලයේ ඇත්ත ම වසංගතය වෙන ආතතිය,” වෛද්‍ය අමීරා අල්කුර්දින් මාර්ටිනස් පවසයි.
ආතතිය ඇඩ්රිනලින් වැනි හෝර්මෝන නිපදවීමට හේතු වන අතර, එම හෝර්මෝනය අවදානම් සහගත අවස්ථාවන්හිදී ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාකරයි. මෙම හෝමෝනවලට දීර්ඝකාලීන ව නිරාවරණය වීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප් චක්‍ර දිගු හෝ කෙටි කිරීමට, ඔසප් වීම අතපසු වීමට, නැතහොත් ඔසප් වීම වඩාත් වේදනාකාරී වීමට හේතු වේ.
සමහර අවස්ථාවලදී, සාමාන්‍ය සති හතරක ඔසප් චක්‍රය තුළ කාන්තාවකට ඔසප් වීම් දෙකක් අත්විඳීමට හේතු විය හැකි ය. ආතතිය ඔසප් වීම ප්‍රමාද වීමට හෝ අතපසු වීමට හේතුව වී තිබෙන්නේ නම් දිනපතා ව්‍යායාම කිරීම හෝ හුස්ම ගැනීමේ ක්‍රම පුහුණු වීම වැනි පියවර ගැනීම බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරයි. මෙම පියවර ඵලදායී නොවුණහොත් පුද්ගලයන්ට ආතතිය හා කාංසාව සමග සාර්ථකව කටයුතු කිරීමට උදවු කළ හැකි ප්රජානන චර්යා ප්‍රතිකාර ක්‍රම (CBT) තිබේ.
2. අධික ලෙස බර අඩුවීම හෝ හදිසියේ බර අඩු වීම
පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය දැඩි ලෙස සීමා කිරීමෙන් ශරීරයෙන් ඩිම්බ මෝචනය සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීම නතර කළ හැකි ය. ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 18.5ට අඩු වැඩිහිටියන් ඇතුළු අඩු බර රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් බර වැඩි කරගැනීමට ලියාපදිංචි පෝෂණවේදියෙකුගේ උදව් ලබා ගැනීමට හැකි ය. නිදසුනක් ලෙස ආහාර අරුචිය වැනි ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් නිසා බර අඩු වීම සිදු වූ විට, මනෝ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම අවශ්‍ය වේ.

3. අධි බර හෝ තරබාරු බව
කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය විධිමත් කරන හෝමෝනවලින් එකක් වන ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයෙන් අතිරික්තව නිපදවීම අධික බරට හේතු විය හැකි ය. ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම ඔසප් වීමේ වාර ගණනට බලපෑ හැකි අතර සමහර අවස්ථාවලදී ඔසප් වීම සම්පූර්ණයෙන්ම නතර වීමට හේතු වේ. ඇමෙනෝරියා තත්ත්වයෙන් පෙළෙන සහ අධික බර ඇති හෝ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 30 ට වැඩි කාන්තාවන් සඳහා, සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට වෛද්‍යවරු ඔවුන්ව බොහෝ විට පෝෂණවේදියෙකු වෙත යොමු කරති.
4. අධික ශාරීරික ව්‍යායාම
තදබල ව්‍යායාමවල ශාරීරික ආතතිය ඔසප් වීම විධිමත් කරන හෝමෝන මට්ටමට ද බලපෑ හැකි අතර, අනෙක් අතට අධික මේද දහනය ඩිම්බ මෝචනය වැළැක්විය හැකි ය. වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා, ඔවුන්ගේ කාර්ය සාධනය නිවැරදි තීව්‍රතා මට්ටමේ තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයින්ට උපදෙස් දිය හැකි ය.

5. පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (PCOS)
පොලිසිස්ටික් ඩිම්බ කෝෂවල ඌන සංවර්ධිත කෝෂ විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙම තත්ත්වය ඇති කාන්තාවන් තුළ ඇති මෙම කෝෂවලින් බොහෝ විට ඩිම්බ මුදා හැරීමට නොහැකි වන අතර, එම නිසා ඩිම්බ මෝචනය සිදු නොවේ. එක්සත් රාජධානියේ, ජාතික සෞඛ්‍ය සේවය (NHS) ඇස්තමේන්තු කර ඇත්තේ PCOS කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන බව ය. එය 33%කගේ ඔසප් නොවීමට හේතු වේ.
ආර්තවහරණය සහ නොමේරූ ආර්තවහරණය
ගැබ් ගැනීම සහ මව්කිරි දීමත් සමග වන ආර්තවහරණය ඇමෙනෝරියා තත්ත්වය හෙවත් ඔසප් නොවීමට ස්වාභාවික හේතුවක් වේ. කාන්තාවන් ආර්තවහරණයට ආසන්න වන විට, ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීමට පටන් ගන්නා අතර ඩිම්බ මෝචනය නිතර සිදු නොවේ. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45 ත් 55 ත් අතර කාලයේදී ය. කෙසේ වෙතත්, වෛද්‍ය පර්යේෂණයන් ඇස්තමේන්තු කර ඇත්තේ සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 40 ට පෙර ආර්තවහරණය අත්විඳින අතර, එය නොමේරූ ආර්තවහරණය හෝ නොමේරූ ඩිම්බකෝෂ ඇණහිටීම ලෙස හැඳින්වේ.
7. උපත් පාලන ඖෂධ
සමහර උපත් පාලන පෙති, එන්නත්, බද්ධ කිරීම් සහ අභ්‍යන්තර ගර්භාෂ උපාංග ද ඇමෙනෝරියා තත්ත්වයට හේතු විය හැකි ය. මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම නැවැත්වීමෙන් පසුව වුවද, ශරීරය තුළ නැවත සාමාන්‍ය පරිදි ඩිම්බ මෝචනය වීමට යම් කාලයක් ගතවනු ඇත.
8. වෙනත් රෝග තත්ත්වයන් සහ දීර්ඝ කාලීනව ලබා ගන්නා ඖෂධ
දියවැඩියාව වැනි දිගුකාලීන රෝග තත්ත්වයන් හෝ තයිරොයිඩ් වැඩිවීම හෝ තයිරොයිඩ් අඩුවීම වැනි හෝමෝන ආබාධ හේතුවෙන් ද ඔසප් නොවීමට හැකි ය. මායෝ සායනයට අනුව, මානසික තත්ත්වයන්ට ලබා දෙන ඖෂධ, කිමෝ තෙරපි, විෂාදයට ලබා දෙන ඖෂධ සහ අධි රුධිර පීඩනය සහ අසාත්මිකතා සඳහා වන ප්‍රතිකාර වැනි ඇතැම් ඖෂධ මගින් ඇමෙනෝරියා තත්ත්වය ඇති විය හැකි ය.
සම්පූර්ණ උපුටා ගැනීම – bbc.com/sinhala