Wednesday, January 22, 2025
More
    Homeආධ්‍යාත්මිකවනගත භාවනානුයෝගී හුදෙකලාවේ සොඳුරු බව

    වනගත භාවනානුයෝගී හුදෙකලාවේ සොඳුරු බව

    ගහකොළ, ඇළ දොළ, සතා සිවුපාවෝ කවුරුවත් මවන දේවල් නොවේ. එය තේරුම් ගන්නට ස්කන්ධ ගැන මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ සෑම දෙයක්ම හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයන් පමණි. ඒවා ඇතිවන, පවතින ආකාරය සොයන්නට විවේකය අවශ්‍ය වේ. නිදහස අවශ්‍ය වේ.

    ගිහි නිවෙස්වල සිටින්නන්ට කොයින් ද මෙවැනි නිදහසක්. ඉපදුණ දිනයේ සිටම අලුත් ජීවිතයට හුරු වෙමින් ඔවුන් ළමා විය ගෙවිය යුතු ය. ඉන් පසුව එන්නේ වැඩි වශයෙන් ක්‍රීඩා කරන අවුරුදු දහය යි. ළමා කණ්ඩායම් සමඟ ජීවත් විය යුතුය. ඒ කාලයේ දී අධ්‍යාපනය සමඟ ගෙවිය යුතු ය. පැහැපත් ලස්සන වන අවුරුදු විස්සත්, තිහත් අතර අවුරුදු දහය ද අධ්‍යාපනය, රැකියා, ගෙවල් දොරවල් සමඟ පොර බැදිය යුතු ය.

    ලෙඩ රෝග අඩු වුණත් ශරීර ශක්තිය තිබුණත් ඊළඟ අවුරුදු දහය දරු සුරතල් බලමින් ගෙදර දොරේ සහ රෝහල්වල රස්තියාදු විය යුතු ය. නෑදෑ ගෙවල් මරණාධාර සමිති, තරුණ සමිති, දේශපාලන සමිති සමාගම්, සහ වෙනත් සංවිධානවල වැඩ ද එමට ය. ඊළඟ අවුරුදු දහයට යන්නේ අත්දැකීම් බහුල අයෙක් ලෙසටය. ජීවන අත්දැකීම් සමඟ ඒ ඒ අයගේ තරමේ හැටියට නුවණ හොඳට මෝරා තිබේ.

    අවුරුදු පනහත් හැටත් අතර කාලය ගෙවා දමන්නේ ද වියපත් මිනිසකුගේ විනාශයට පත් වීමේ ලකුණු හොඳින් පෙන්වමිනි. දැන් මහල්ලෙකි. අවලංගු කාසියකි. වෙනදා වටිනාකම් දුන් ශරීර අවයව දැන් පිළිකුල් කරන, අප්‍රසන්න ඒවා වේ. කිසිවෙකු ඒවාට වටිනාකම දෙන්නේ නැත. උගත්කමක් හෝ යම් විෂයක හැකියාවක් හෝ දේපළ, ඉඩ කඩම්, භවභෝග සම්පත් හෝ යහමින් ඇත්නම් නම් පිළිගැනීමක් තිබේ. මේ කාලය චිත්තපීඩා සමඟම ගෙවී යයි. ඉන් පසු අවුරුදු දහය ගෙවී යන්නේ ටිකෙන් ටික ශරීරය ඉදිරියට නැමී යමිනි. අවුරුදු හැත්තෑවත් අසූවත් අතර කාලයේදී එය තවත් වැඩි වේ. අවුරුදු අසූවයි අනූවයි කියන්නේ කල්පනා ශක්තිය ඉතාමත්ම අඩු, සිහි කල්පනාව අඩුවෙන්නට පටන් ගන්නා කාලය යි. බහුතරයකට එසේ වෙයි. අන්තිම අවුරුදු දහය අනූවයි සීයයි අතර කාලය යි. දැන් රෝද පුටුවක හෝ ඇඳේ වැඩි වශයෙන් ඉන්නට සිදු වේ.

    ජීවිතය කොතරම් අවිනිශ්චිත ද? හැමෝම ඉහත කී අවස්ථා පහුකරන්නේ නැත. මවු කුස පිළිඳගත් දවසේ සිට කවර මොහොතක හෝ මරණයට පත්විය හැකි ය.

    මිනිසුන්ට තරම් ආයුෂ නැති වුණත් කැලෑවේ ජීවත් වන කුරුල්ලෝ ද කුරුලු කූඩු තනති. අවුරුද්දේ ඔවුන්ගේ සංවාස කාලවල දී ඒවායෙහි බිත්තර දමති. වල් ඌරෝ ද රෑන් වශයෙන් ජීවත් වෙති. ඔවුහු ද එක් වරකට පැටවුන් රාශියක් බිහි කරති. දහඩිය නොදමන ඔවුහු මඩ ගොඩවල්වල ලගින්නේ මහත් ආසාවෙනි. අනෙක් සත්ත්ව වර්ගයාගේ ලෝකය ද අතිශයින්ම විවිධාකාරය. ඔවුහු හැමෝම ආශාවන් පස්සේම යති. වෙනස් වෙනස් විදිහට හිතන අය හැර සියලුම සත්ත්වයෝ ආශාවන් පසුපසම යති. වෙනස් විදිහට හිතන අය ඒ ඒ වෙනස් ගමන් යති.

    කොතැනක ජීවත් වුණත් ඒ හැමෝම විශ්වාසය මත තීරණ ගනියි. මිනිසුන් අතර ද විශ්වාසය විවිධාකාර වේ. සතා සිවුපාවුන් අතර ද විශ්වාසය විවිධාකාර වේ. සත්ත්ව ලෝකයේ විශ්වාසයට, පිළිගන්නා ස්වභාවයට විශේෂ තැනක් හිමි වේ. වනාතරයේ ජීවත් වන හැම සත්ත්ව වර්ගයක්ම වෙන වෙනම සිටියත්, සමූහ වශයෙන් සිටියත් විශ්වාසයට මුල් තැනක් දෙති. එසේ නොවන දඩබ්බරයෝ ද සිටිති. ඔවුහු දඩබ්බර වැඩ කරති. මිනිසුන් අතර පමණක් නොව සතා සිවුපාවුන් අතර ද අනියම් සබඳතා එමට ය. සමහර ඒවා අතිශයින්ම දරුණු බලහත්කාරකම් ද වේ. නමුත් සතා සිවුපාවුන් මිනිසුන්ට වඩා අසරණයෝය. ඔවුන්ට ස්වභාව ධර්මයේ හේතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සංවාස කාලයන්, මද කිපීම්, පැටවුන් බිහි කිරීම් ආදිය යම් කාලවලදී කරන්නට සිදු වේ. සමහර සත්ත්වයෝ කොයි මොහොතෙත් බිත්තරම දමති. සමහරු සෑම දිනකම බිත්තර දමති.

    “විශ්වාසා පරමා ඤාතී” සියලුම සත්ත්වයෝ විශ්වාසයට ලබා දෙන්නේ මුල්ම තැනකි. ඒ විශ්වාසයට කළ නොහැකි දෙයක් නැත. විශ්වාසය බොහෝ හොඳ ප්‍රතිඵල ලබා දෙති. ඒ විශ්වාසය බොහෝ නරක ප්‍රතිඵල ද ලබා දෙති.

    “ආරෝග්‍යා පරමා ලාභා, – සන්තුට්ඨී පරමං ධනං;

    විස්වාසා පරමා ඤාති, – නිබ්බාපරමං සුඛං.”

    “මිනිසෙකුට ඇති උතුම්ම ලාභය නිරෝගීකමයි. ගිහි, පැවිදි කාටත් සිතේ ඇති වන සතුට උතුම්ම ධනය යි. හොඳම ඤාතියා විශ්වාසය යි. නිවන් දැකීම හා සම කළ හැකි සුවයක් නැත. ඒ නිසා නිවන් සුවය උතුම්ම සුවයයි.”

    භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් දේශනාව සියලුම සත්ත්වයන්ට පොදුය. කැලේ වේවා! ගමේ ගෙදරක වේවා! හැමෝම නිරෝගීව ඉන්නට කැමැති ය. සියලුම සතුන්ගේ සිතේ ඇති වන සතුටට හැමෝම කැමැතිය. විශ්වාසය සත්ත්ව ලෝකයේ සියල්ලන්ම සොයන දෙයකි. නිවන උතුම්ම සුවය වුවත් එය ලැබෙන්නේ ඉතා අමාරු‍ෙවන්ය.

    ධර්මය මෙනෙහි කිරීමෙන් බොජ්ඣංග ධර්ම වැඩේ. කොයි මොහොතෙත් භික්ෂුව ධර්මය මෙනෙහි කිරීමට කැමැතිය. කිසි දිනෙක භාග්‍යවතුන් වහන්සේ මෙන් ධර්මයෙහි පරතෙරට යා නොහැකි මේ මහා ධර්ම සාගරයේ මොහොතක් නමුත් පිහිනීම මහා සැපයකි.

    අර දරුවන් දෙදෙනා සියදිවි නසා ගත්තේ රාගය මිශ්‍ර දැඩි විශ්වාස‍ෙයන් බැඳුණු නිසාය. ඔවුනට ඔවුන් අහිමි වන බව දැනෙන විට ජීවිතයෙන් සමුගන්නට තීරණය කර තිබිණි.

    මීට වසර ගණනකට පෙර ද ළමයින් දෙදෙනෙක් සියදිවි නසා ගන්නට කැලයකට ගොස් තිබිණි. දෙදෙනාම වස බොන්නට කතා කරගෙන සිට ඇත. මුලින්ම තරුණිය වස බී තිබේ. ඇය අපහසුවෙන් දඟලන විට එතැන සිටි පිරිමියා ඇයව දමා පලාගොස් තිබිණි. පසුව ඔහු වෙනත් විවාහයක් ද කරගෙන ජීවත් විය. දරුවන් ලබන්නට පෙර හැපින්නක් දෂ්ඨ කිරීමෙන් ඔහු ද මියගොස් තිබුණි. සමහර විශ්වාසයන් සමඟ ගොඩනගා ගන්නා ප්‍රේම සමබඳතා කෙළවර වන්නේ සාංසාරික බද්ධ වෛරයන් වෙමිනි.

    අද භික්ෂුවට විවේකයෙන් විසීමට සිත් ඇති විය. වැඩි වශයෙන් තවදුරටත් ධර්මයම මෙනෙහි කළ යුතුය. එය මහා සැපයකි. මේ නිදහස වටිනා සුවයකි.

    සියදිවි නසා ගත් දරුවන් ගැන විස්තර බැලීම හෙට දිනට කල් තබා පට්ඨාන ධර්මය තේරුම් සහිතව සජ්ඣායනා කළ යුතුය. එය බොජ්ඣංග ධර්ම වැඩීමට අතිශයින්ම උපකාරි වේ.

    බොජ්ඣංග ධර්මයන්ගේ වැඩීමට හේතුවන ධර්ම දැනගත යුතුයි. ඒ ඒ බොජ්ඣංග ධර්මයන් වැඩිය යුතු කාල, නොවැඩිය යුතු කාල දැනගත යුතුයි.

    මේ බොජ්ඣංග ධර්ම හත වන්නේ:-

    1. සති සම්බොජ්ඣංගය – භාවනාවේ අරමුණුම නැවත නැවත පැමිණෙන ස්වභාවය. භාවනා අරමුණම සිතට නැවත නැවත එන ස්වභාවය.

    2. ධම්මවිචය සම්බොජ්ඣංගය – සමථ භාවනාවේ දී කාය කොට්ඨාසාදිය ද, විදර්ශනා භාවනාවේදී ස්කන්ධ, ධාතු ආයතන ආදිය ද හොඳින් වැටහෙන දැනෙන ස්වභාවය යි.

    3. විරිය සම්බොජ්ඣංගය – අලස බවක් පසුබැසීමක් නැතිව භාවනාව හොඳින් කළ හැකි බව.

    4. පීති සම්බොජ්ඣංගය – භාවනාවෙහි යෙදී සිටියදී ලැබෙන ආස්වාදය, සතුට.

    5. පස්සද්ධි සම්බොජ්ඣංගය – වෙහෙසක් පීඩාවක් නැතිව සැපසේ භාවනාව කිරීමට පුළුවන් බව.

    6. සමාධි සම්බොජ්ඣංගය – භාවනා අරමුණෙහි සිත නොවිසිරෙන ස්වභාවය.

    7. උපෙක්ඛා සම්බොජ්ඣංගය – නිරුත්සාහයෙන් මෙන් භාවනාව කරගෙන යා හැකි බව.

    සියදිවි නසා ගත් දරුවන්ගේ විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

    වනගත භික්ෂුවකගේ අත්දැකීම් ඇසුරින් සැකසුනකි – උපුටා ගැනීම දිනමිණ ඊ පුවත්පත

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments