දකුණු කොරියාවේ ආරම්භ වූ 4B ස්ත්‍රීවාදී ව්‍යාපාරය කෙරෙහි ඇති උනන්දුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු, ලොව පුරා ඉහළ ගොස් තිබේ. නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම සිදුවන අතරේ, ඇතැම් කාන්තාවන් ලිංගිකත්වය, ආලය, විවාහය සහ දරුවන් නැති මූලධර්ම හතර අනුව ජීවත් වීමට තෝරා ගන්නේ මන්දැයි අපි ගවේෂණය කළෙමු.
ලොව පුරා කාන්තාවන්ගේ ආවධානය යොමු වූ සටහනක් මින්-ජූ සිහිපත් කරයි. “ට්‍රම්ප් තේරී පත්වීමෙන් පසු, පිරිමින් ගබ්සාව පාපයක් බව කියනවා. නමුත් එහෙම කියන අතරේ ම, කාන්තාවන් ඔවුන් සමග ලිංගිකව හැසිරෙ යි කියලත් එයාලා බලාපොරොත්තු වෙනවා. මේ දෙක ම එක සැරේ තියෙන්න බෑ.”
මෙම ලිපිය සඳහා අප සමග කතා කළ කාන්තාවන් කිහිප දෙනෙකු මෙන් ම, මෙම 27 හැවිරිදි කාන්තාව ද, හිරිහැරවලට ලක්වීමට ඇති බිය නිසා සිය නම වෙනස් කරන ලෙස ඉල්ලා සිටියා ය. ඇය ද 4B මූලධර්ම අනුගමනය කරමින් ආදරය, ලිංගිකත්වය, විවාහය සහ දරුවන් නොමැති ජීවිතයක් ගත කරන්නී ය.
4B ව්‍යාපාරය නිර්මාණය කරන ලද්දේ දකුණු කොරියානු ස්ත්‍රීවාදීන් පිරිසක් විසිනි. සමාජය පුරා පැතිරී ඇති බවට ඔවුන් විශ්වාස කරන ස්ත්‍රීන්ට එරෙහි ද්වේශයට ප්‍රතිචාරයක් ලෙස පිරිමින් නොමැතිව ජීවත් වීම ඔවුන් තෝරාගෙන තිබේ.
“කාන්තාවන් සම්බන්ධතා පවත්වාගෙන යද්දී හිංසනයට ලක්වෙනවා වගේ ම සම්බන්ධතාවක් අවසන් කරන්න උත්සහ කරද්දී ඝාතනයට පවා ලක්වුණු අවස්ථා ගැන අපට නිරන්තරයෙන් ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා,” මින්-ජූ පවසයි.
සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සහ අපේක්ෂාවන් අභියෝගයට ලක් කරමින්, මෙය දැන් එක්සත් ජනපදයට ද ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු බටහිර රටවල් තුළ, 4B ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡා ඇති වී තිබේ. මෙම ව්‍යාපාරයේ මූලධර්ම නිර්මාණය කිරීමට මුල් වූ සහ ඒ අනුව ජීවත් වන දකුණු කොරියානු ස්ත්‍රිවාදීහු, ගෝලීය අවධානය ලැබීමත් සමග දිරිමත් වීමට මෙන් ම කලකිරීමට ද පත්වී සිටිති.
4B යනු කුමක් ද?

“4B” යන යෙදුමට කොරියානු වාක්‍ය ඛණ්ඩ හතරකි: බී යොන්-ඊ (ආදර සබඳතා නැති), බී සෙක්ස් (ලිංගික සබඳතා නැති), බී හොන් (විවාහයක් නැති) සහ බී චුල්-සන් (දරු ප්‍රසූතියක් නොකරන) යනු ඒ යෙදුම් හතර යි.
බී [Bi] යනු කොරියානු භාෂාවෙන් “නැත” අර්ථය යි.
ජි-සන්, [සැබෑ නම නොවේ] මෙසේ පවසයි: “ඒක සංකල්පයක්, ව්‍යාපාරයක් සහ කාන්තාවන් සඳහා ජීවන ක්‍රමයක්.”
ගබ්සා අයිතිවාසිකම් සංවිධානයේ හිටපු නායිකා බී-වේව් [ඇගේ නම සහ මෙම ව්‍යාපාරයේ නම අතර සම්බන්ධයක් නැත] පවසන්නේ, 4B ව්‍යාපාරය රැඩිකල් ස්ත්‍රී කණ්ඩායම් කිහිපයක් අතරේ 2016 දී පමණ වර්ධනය වූ බව ය.
ජී-සුන් පවසන්නේ, විවාහය කාන්තාවන් “සම්පූර්ණ කරන” බවට ඇති පුරුෂ මූලික අදහස ප්‍රතික්ෂේප කිරීමක් ලෙස බී හොන් (විවාහ නොවීම) නිර්මාණය වී ඇති බව ය.
ලිංගිකත්වය, ආදරය සහ දරු ප්‍රසූතිය වැනි දේ ප්‍රතික්ෂේප කිරීමේ අනෙකුත් මූලධර්ම, කාන්තාවන්ගේ ස්වාධීන බව වෙනුවෙන් එකතු කර තිබේ.
“මේක වර්ජනයක් නෙවෙයි- වගකීමක් ගැන කරන ඇඟවුමක් වුණත් අපට ගරුත්වයක් ලබා ගන්න කරන තෝරා ගැනීමක්,” ඇය පවසයි.
ඇයට අනුව, 4B යනු පුරුෂාධිපත්‍යය බිඳ දැමීම මිස පිරිමින් ප්‍රතික්ෂේප කිරීමක් නොවේ.
“එක කාන්තාවන්ට මනුෂ්‍යයින් විදිහට ජීවත් වෙන්න තියෙන ව්‍යාපාරයක්. ආදරය, ලිංගිකත්වය, විවාහය සහ දරු ප්‍රසූතිය ඇත්තට ම කාන්තාවන්ව දුර්වල කරනවා.”ඇය පවසයි.
“6B” යන නව සංකල්පය ගැන ද ජී-සන් සිය අවධානය යොමු කරයි. එය බී සෝ-බී (කාන්තාවන් ලිංගිකව සූරාකන නිෂ්පාදනවලින් වැළකී සිටීම) සහ බී දොබ්-බී (එකිනෙකාට සහය දක්වන අවිවාහක කාන්තාවන්) ද ඇතුළත් වූ 4B ව්‍යපාරයේ ම දිගුවකි.
මෙම ව්‍යාපාරය පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ලියා ඇති ගොං යොන්-හ්වා, ඇය 4B මූලධර්ම අනුගමනය කිරීමට තීරණය කළ කාලය සිහිපත් කරයි.
“ඒක සැලකිය යුතු සිදුවීම් පිරුණු කාලයක්,” යැයි ඇය පවසන්නේ, 23 හැවිරිදි කාන්තාවක් ගංග්නම් දුම්රිය ස්ථානයේදී මිය ගිය සිදුවීමක් සඳහන් කරමිනි. රහස් කැමරා භාවිත කරමින් කාන්තාවන් රූගත කිරීමේ සහ වෙබ්හාර්ඩ් කල්ලිය විසින් ඉන්ටර්නෙට් හරහා එවැනි වීඩියෝ බෙදා හැරීම වසංගතයක් වූ කාලයක, ඇයට එම ඉරණම අත්වූයේ ඇය කාන්තාවක වූ නිසාවෙනි.
“බොහෝ කාන්තාවන් විවාහය විතරක් නොවෙයි ආදරය කිරීම සහ ලිංගිකව හැසිරීම පවා එයාලව අනතුරට ලක් කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න පටන් ගත්තා,” ඇය තවදුරටත් පවසයි.
2016 දී 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් පොදු විවේකාගාරයකදී කාන්තාවකට පිහියෙන් ඇන මරා දැමූ ගන්ග්නම් ඝාතනයෙන් පසුව, සෝල්හි ස්ත්‍රීවාදී රැලි වර්ධනය වූයේ ය. කාන්තාවෝ වීදි බැස, “ඇය වින්දිතයෙක් වුණේ සරලව ම ඇය කාන්තාවක් වුණ නිසා” වැනි සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළ හ.
යොන්-හ්වා පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ පවුල් අමාත්‍යංශයේ 2020 වාර්තාවකට අනුව, එයට ප්‍රතිචාර දැක්වූ පිරිමින්ගෙන් අවම වශයෙන් 42%ක් අවම වශයෙන් එක් වරක් වත් ගණිකාවන් සමග සම්බන්ධ වී ඇති බව යි. ඇය පවසන්නේ, මෙම හෙළිදරව්ව නිසා ඇගේ මිතුරියන් තුළ, ඔවුන්ගේ පිරිමි සහකරුවන් ගැන වඩ වඩාත් සැක පහළ වී ඇති බව ය.
“මටත් සමහර වෙලාවට තනිකමක් දැනෙනවා වගේ ම බැඳීමක් ඇති කර ගන්න හිතෙනවා. ඒත් සැකයෙන් සහ බයෙන් පිරුණු සම්බන්ධතාවක් වෙනුවෙන් කාලය ගත කරනවාට වඩා, තවත් කාන්තාවන්ට සහය වෙන්න මගේ කාලය සහ ශක්තිය ආයෝජනය කිරීම වටින බව මට තේරුම් ගිහින් තියෙනවා.”
4B ව්‍යාපාරයේ සිටින දකුණු කොරියානු කාන්තාවන්

මින්-ජූට අනුව, 4B යනු සබඳතාවලදී කාන්තාවක ලෙස ඇය මුහුණ දෙන ප්‍රචණ්ඩත්වයෙන්, ශාරීරික සහ මානසිකව ආරක්ෂා වීමේ ක්‍රමයකි.
“මේ වගේ අපරාධකරුවන්ට ගොඩක් වෙලාවට දෙන්නේ අවම දඬුවමක්. කොරියාවේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගැනීම මට දැනෙන්නේ මට හානියක් කරන්න හෝ පොඩි හේතුවක් නිසා මගේ ජීවිතය පවා නැති කරන්න මිනිහෙකුට අයිතිය ලබා දීමක් විදිහට.”
අන්වර්ථ නාමයකින් පමණක් තමන්ව හැඳින්වීමට කැමති වයස අවුරුදු 30 ගණන්වල මුල සිටින ගොම්සේ පවසන්නේ, ඇගේ ඩිම්බ කෝෂ ඉවත් කිරීම සඳහා සැත්කමකට භාජනය වීම 4B ජීවන රටාව අනුගමනය කිරීමට ඇයව පෙළඹවූ බව ය.
“වෛද්‍යවරු මගේ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය යථාතත්ත්වයට පත් කරන්න අවධානය යොමු කළා. ඒත් අවධානය ප්‍රධාන වශයෙන් යොමු වූයේ ප්‍රජනනයට. අවශ්‍යතාවක් ඇති වුණොත් කියලා, ඒ අය මගේ අසනීපය නොසලකා ඩිම්බ කෝෂ ඉවත් කිරීම සහ හෝමෝන එන්නත් කරලා, මගේ ඩිම්බ ෆ්‍රීස් කරලා තියන්න යෝජනා කළා.” ඇය සිහිපත් කරයි.
“එයාලා මේක යෝජනා කරන්න හේතුව කාන්තාවකගේ ශරීරය ප්‍රජනන මෙවලමක් ලෙස සලකන නිසා බව මට ඒකෙන් තේරුණා.”
විවෘතව ප්‍රකාශ නොකළ ද කාන්තාවන් ප්‍රජනනය පාලනය කිරීම සඳහා නිහඬව තීරණය කළ ප්‍රතිරෝධයේ නිෂ්ක්‍රීය ආකෘතියක් ලෙස ගොම්සේ 4B හඳුන්වයි.
“කාන්තාවන්ගේ හඬ නොසලකා හරින සමාජයක, ඒක ආරක්ෂා වීමේ මාර්ගයක් බවට පත්වෙලා තියෙනවා. ඒක ස්ත්‍රීන්ට සහ ස්ත්‍රීවාදයට එල්ල වන ද්වේශයට එරෙහි ජාතික වර්ජනයක්.” ඇය පවසයි.
4B මූලධර්ම අනුව ජීවත් වීම දකුණු කොරියාවේදී අභියෝගාත්මක බව කාන්තාවෝ පවසති.
මින්-ජූ පවසන්නේ, ඇය තම තීරණය ගැන පිරිමි මිතුරන්ට හෝ සගයන්ට පවසා නැති බව ය.
“4B කෙනෙක් කියලා විවෘතව හඳුන්වාගන්න එක අවදානම් කියලා මට දැනෙනවා,” ඇය පවසයි. “ගොඩක් ස්ත්‍රීවාදීන් සහ බී හොන් (විවාහයෙන් ඉවත් වීම) වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්ටර්නෙට් හරහා එයාලගේ ස්ථාවරය බෙදා ගැනීමෙන් පස්සේ සයිබර් හිරිහැරවලට මුහුණ දෙනවා මම දැකලා තියෙනවා.”
යොන්-හ්වා දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අතර, ඇය පවසන්නේ තම මව් රට තුළ තමාට “අනාරක්ෂිත” බවක් හැඟුණු බව ය.
“ලිංගිකත්වය මත පදනම් වූ වෙනස්කම්වලින් එහාට ගිහින්, හුදෙක් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ස්ත්‍රීවාදය අනුගමනය කිරීම මාව තර්ජනවල ඉලක්කයක් බවට පත් කළා. ඒක නිසා මම ගොඩක් නොසන්සුන් වුණා. මම 4B ව්‍යාපාරයට සහය දෙන බව විවෘතව ප්‍රකාශ කරන හැම වෙලාවක ම, මාව ඉක්මනින් ම කොරියානු සමාජය ඇතුළේ ඔයා ගැන නොරිස්සුමක් ඇති කරන්න පුළුවන් යෙදුමක් වෙන ‘ස්ත්‍රීවාදියෙක්’ විදිහට හංවඩු ගහනවා. දකුණු කොරියාව මෙම ව්‍යාපාරවල නිජබිම බවට පත්වීමට හේතුව ස්ත්‍රී විරෝධය ඒ සමාජය තුළ ගැඹුරින් මුල් බැස ගෙන තියෙන එක.”
4B වෙනත් රටවලට ව්‍යාප්ත වීම

ගබ්සාවේ නීති රීති මොනවා ද යන්න තීරණය කිරීම තනි තනි ප්‍රාන්තවලට භාර කෙරෙන අලුතෙන් පත්වූ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ගබ්සාව පිළිබඳ ස්ථාවරය, සමස්ත ඇමෙරිකාවට ම බලපාන ෆෙඩරල් ගබ්සා තහනමක් පිළිබඳව බියක් කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් අතර වර්ධනය කර තිබේ.
රිපබ්ලිකන් පාක්ෂිකයන් ජනාධිපති ධූරය, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාලනය කිරීමට සූදානම් වීමත් සමග සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගතානුගතික බහුතරයක් සමග ඔවුන් සිටින්නේ බාධාකාරී නීති සම්මත කර ගැනීමට හැකි ශක්තිමත් තැනක ය. මීට අමතරව, ට්‍රම්ප්ට එල්ල වූ ලිංගික අපයෝජන චෝදනා සහ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ කමලා හැරිස් පිළිබඳ ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ද ඇතුළුව, කාන්තාවන් සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රශ්නකාරී හැසිරීම් ද සාකච්ඡා වී තිබේ. මෙයට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු කාන්තාවන් අතර “පිරිමින් පිටුදැකීමේ” සහ 4B ව්‍යාපාරය වැළඳ ගැනීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මේ පිළිබඳ උනන්දුව විශාලවශයෙන් ඉහළ ගිය බවට Search Engine දත්තවලින් පෙනී යන අතර, මෙම ව්‍යාපාරය පිළිබඳ සමාජ මාධ්‍ය සටහන් සැලකිය යුතු අවධානයක් ආකර්ෂණය කර ගනිමින් සිටියි.
යොන්-හ්වා, 4B හි ගෝලීය ව්‍යාප්තිය දකින්නේ, ධනාත්මක හා එහෙත් සතුට හා වේදනාව මිශ්‍ර හැඟීමකිනි.
“එක් අතකින්, කොරියානු කාන්තාවන් විසින් ආරම්භ කරන ලද 4B දැන් ගෝලීය ස්ත්‍රීවාදී සංවාදයේ කොටසක් වීම ගැන මට ආඩම්බරයි. නමුත් ඒ වගේ ම ඒක අවමන්සහගතයි. එක්සත් ජනපදය ස්ත්‍රීවාදී කතිකාව තුළ කොරියාවට වඩා වසර 100ක් ඉදිරියෙන් ඉන්නවා වුණත්, 4B තෝරාගැනීම අවධාරණය කරන්නේ ඇමෙරිකාව තුළ පවා කාන්තාවන්ට ආරක්ෂිතව හා සමානව ජීවත් වීම කොතරම් අභියෝගාත්මක ද කියන එක,” ඇය එක් කළා ය.
“ඒක කාන්තාවන් මුහුණ දෙන විශ්වීය අරගල ඉස්මතු කරනවා.”
කෙසේ වෙතත්, දකුණු කොරියාවේ, 4B පිළිබඳ මහජන දැනුවත්භාවය අඩු අතර හෝ වඩා ඍණාත්මක ය. කිම් හියුන්-ජුන්ග් පළමු වරට අන්තර්ජාලය හරහා මෙම ව්‍යාපාරයට එකතු වූයේ මීට වසර තුනකට පෙර ය.
“මම 4B අනුගමනය කරන අයව විනිශ්චය කරන්නේ නැති වුණත් මම දැක්කා තමන් දරන ආකල්ප ම නොදරන කාන්තාවන්ව වෙනත් කාන්තාවන් විසින් විවේචනය කරනවා. එය වැරදියි,” යි 30 හැවිරිදි ඇය පවසයි.
තවත් පිරිසක් ඔවුන් මේ ව්‍යාපාරය ගැන දැනුවත් නොමැති බවට පිළිගනිති.
“මම ඒක ගැන සොයා බැලුවා විතරයි. සමහර කාන්තාවන් මෙම ජීවන රටාව තෝරා ගන්නේ ඇයි කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණත්, මට අනුව නම් ඒක ගොඩක් ආර්ථිකයට සම්බන්ධ දෙයක්. ජීවන වියදම ඉහළ යාමත් එක්ක සමීප සබඳතාවක ඉන්න එක වැඩි වැඩියෙන් දුෂ්කර යි කියලා දැනෙනවා.”කිම් මී-රිම් පවසයි.
4B සමහර කොරියානු කාන්තාවන් ජීවිත සැලසුම් සම්පූර්ණයෙන් ම වෙනස් කර ඇති අතර පවුල පිළිබඳ ඔවුන්ගේ දැක්ම වෙනස් කර තිබේ.
වසර අටකට ආසන්න කාලයක් 4B ජීවන රටාව අනුගමනය කළ ගොම්සේට අනුව, එක්සත් ජනපදයට මෙම ව්‍යාපාරය ව්‍යාප්ත වීම දකින්නේ දිරිගන්වනසුලු මෙන් ම හද කම්පා කරවනසුලු දෙයක් ලෙස ය.
“4B කියන්නේ සමාන වැඩවලට සමාන වැටුපක් වගේ අයිතිවාසිකම් ඉල්ලන එක නෙවෙයි. ඒකෙන් කියන්නේ මගේ ශරීරය සම්බන්ධයෙන් මට තියෙන මූලික අයිතිවාසිකම් නැවත ලබා ගන්න එක. මේවා පිරිමින්ට නම් සටන් කරන්න හෝ සලකා බලන්නවත් සිද්ධ වුණේ නැති අයිතිවාසිකම්.”
සම්පූර්ණ උපුටා ගැනීම – බීබීසී සිංහල වෙබ් අඩවිය