Wednesday, January 22, 2025
More
    Homeආධ්‍යාත්මිකදස සංයෝජනවලින් දැකීමේ නුවණ වසන් කරනවා - දඬුබැඳිරුප්පේ මහින්ද හිමි

    දස සංයෝජනවලින් දැකීමේ නුවණ වසන් කරනවා – දඬුබැඳිරුප්පේ මහින්ද හිමි

    ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨිය විග්‍රහ කළොත්?

    සක්කාය දිට්ඨිය බුදු වදනට අනුව පැහැදිලි කළොත් කය හෙවත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධය තමා ප්‍රධාන වශයෙන්ම සක්කාය දිට්ඨිය ලෙස හඳුන්වන්නේ. මේ පංචස්කන්ධය පිළිබඳ මමය, මාගේය කියන අප තුළ ඇති වන දෘෂ්ටිය තමා මෙතැන සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨිය එහෙමත් නැත්නම් දෘෂ්ටිය කියන්නේ දැකීම. දැකීම කියන කාරණය යටතේ අපි ගැන, තම තමන් ගැන, ලෝකය ගැන දකින ආකාරය තමා දෘෂ්ටිය ‍ කියන්නේ. විවිධ කෙනා විවිධ විදියට මෙය දකිනවා.

    ස්වාමීන් වහන්ස, සෝතාපත්ති අංග පිළිබඳ හැඳින්වීමක් කළොත්?

    සෝතාපත්ති අංග පිළිබඳ සංයුක්ත නිකායේ විග්‍රහ වෙනවා. සත්පුරුෂයන් ආශ්‍රය කිරීම එහි ප්‍රධාන සෝතාපත්ති අංගයක්. දෙවැනි කාරණය තමයි සද්ධර්මය ශ්‍රවණය කිරීම. තුන්වැනි කාරණය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනා සිහි නුවණින් යුතුව කටයුතු කිරීම, නුවණට අනුව බැලීම වගේ කාරණා තමා මෙහිදී විග්‍රහ වෙන්නේ. නිවැරදිව තමන් කරන කාරණය පිළිබඳ කටයුතු කිරීම තමා යෝනිසෝ මනසිකාරය. අපි මොන කර්තව්‍යය කළත් යෝනිසෝ මනසිකාරය අප තුළ පිහිටා නැතිනම් එහි සාර්ථක ප්‍රතිඵල ලබන්න බෑ. යෝනිසෝ මනසිකාරය සමස්ත ප්‍රජාවගේම ජීවිතවලට බලපානවා. අද බහුතරයක් තනතුරු දරන අය මේ යෝනිසෝ මනසිකාරයෙන් බැහැරව කටයුතු කරනවා. බොහෝ වෙලාවට රෑ නිදාගන්න යනකොට තියෙන සිතුවිලි නෙමේ පසුදා අවදි වන විට තිබෙන්නේ. සිහියෙන් බැහැර වෙලා. මේක හොඳ නෑ. මේක හිතක් එක්ක යන ගමනක්. ඒ වගේම තමා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඕනෑම කෙනකුට ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන්. එහෙත් ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කිරීම තමයි පුද්ගලයාගේ ප්‍රධානම කාර්යය බවට පත්වෙන්න ඕනෙ. භික්ෂූන් වහන්සේනමක් ‍ වේවා, ගිහි පුද්ගලයකු වේවා අපි හැම දෙනාම ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්වලට අනුකූලව ජීවිතය මෙහෙයවාගෙන යනවා නම් මේ පවතින අඬදබර, කලකෝලාහල, යුද්ධ කවදාවත් ඇතිවීමට ඉඩ නෑ. ඒවායෙන් බැහැර වන නිසා තමා මේ තත්ත්වයන් අපට උදා වෙලා තියෙන්නේ.

    සෝතාපත්ති අංග හතරයි. පළමු වැන්න සත්පුරුෂයන් ඇසුරු කිරීම. පුද්ගල ජීවිතය ඉතාම සාධනීය මට්ටමට ගන්න පුළුවන් තත්ත්වයක්. නිවන් දකින මොහොත දක්වාම මේ සත්පුරුෂ ආශ්‍රය ඉතා වැදගත් වෙනවා. දෙවැනි කාරණය සද්ධර්මය ශ්‍රවණය කිරීම. යහපත් දේ ඇසීමෙන් පුද්ගලයකුගේ ප්‍රඥාව දියුණු වෙනවා. සද්ධර්මය ශ්‍රවණය කිරීම නිසා පැහැදිලිවම නරකින් මිදී හොඳ මඟට පැමිණ ධර්මයට අනුගතව පුද්ගලයාගේ ජීවිතය මෙහෙයවාගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා.

    ස්වාමීන් වහන්ස, සක්කාය දිට්ඨිය අකුසලයට බලපාන්නේ කෙසේද?

    මමත්වය වැඩිවෙන්න වැඩිවෙන්න ඉහළට එන්නේ අකුසලය. මේක මට ඕනෙ. මට නොලැබුණොත් මම මේ දේ කරනවා. මම බලෙන්හරි ගන්නවා. මම වෛර කරලා හරි මේක ගන්නවා. එකක් මේ ජීවිතයට. අනිත් එක ඊළඟ ආත්මයටත් එයා ඒක විග්‍රහ කරනවා, ලබන ආත්මේ හරි මම ඒක ලබා ගන්නවා කියලා. එය සමාජ න්‍යාය පත්‍රයට හානිකරයි. ඉතාම හානිකරයි. ඒ නිසා සක්කාය දිට්ඨිය ප්‍රධාන වශයෙන්ම අකුසලයට බලපානවා. මමත්වයට තමා බහුතරයක් බැඳී ඉන්නේ. තමන් ගැන පමණක් සිතා අනුන් ගැන නොසිතා කටයුතු කරනවා. බුදු දහම අනුව අපට ඕනෑම දෙයක් බැහැර කිරීමට හැකියාව තිබිය යුතුයි. යමක් බැහැර කිරීමෙන් තවත් යහපත් දෙයක් අපට ලැබෙනවා. සක්කාය දිට්ඨිය අකුසලයට හේතු වුණාම අපට සසර ගමන හොඳ මඟට ගැනීමට හැකියාවක් නෑ. අපි උපයනවා. ඊට පස්සෙ අපි බැහැර වෙනවා. මෙය මානසිකව රෝගයක් වශයෙන් තමා මම දකින්නේ. මේවා තියෙන තාක් කල් කෙනෙක් සැකයෙන්, වෛරයෙන්, උඩඟුකමින් තමා කටයුතු කරන්නේ. ධර්මානුකූලව බලන විට එය ජීවිතයට විශාල හානියක්. වෙස්සන්තර ආත්ම භාවයේදී සියල්ල බැහැර කළ හැටි අපි අසා තිබෙනවා. අත්කර ගත් හැම දෙයක්ම බැහැර කර තමා ඒ ගමන යන්න ගියේ. අපිත් දුකෙන් මිදෙනවා කියන අදහසින් ඉන්නවා නම් මමත්වය බැහැර කර මේ ගමන යා යුතුයි. මෙය සංයෝජනයක්.

    ස්වාමීන් වහන්ස, පෘතග්ජන මිනිසුන් ලෙස අපි සක්කාය දිට්ඨියෙන් මිදෙන්නේ කොහොමද?

    අපට ආශාවන් වැඩි නිසා පෘථග්ජන කියනවා. ආශාවන්ගෙන් මිදෙන්න අපට අමාරුයි. ගිහි වේවා පැවිදි වේවා අපි එක එක්කෙනා ගැන තියෙන තත්ත්වයන් වෙනස්. සක්කාය දිට්ඨියෙන් මිදෙන්න අපි මෙය ධර්මානුකූලව දැකීම අත්‍යවශ්‍යයි. සක්කාය දිට්ඨියෙන් මිදෙනකොට ජීවිතයට හොඳ උත්තරයක් ලැබෙනවා. එයා සැනසිලිදායක කෙනෙක්. නිරාමිසව ජීවිතය ගත කරන කෙනෙක්. එයාට ඇලීම්, බැඳීම් එච්චර ඇති වෙන්නේ නෑ. මේ ගිහි සමාජය තුළ අපි දන්නා තරමින් බොහෝ දෙනා මධ්‍යස්ථව ජීවිත ගත කරන අය. බැඳීම්වල ආදීනව එයාලා දකිනවා. ඒවා දැක පෘථග්ජන පුද්ගලයා එයින් මිදෙන්න උත්සාහ කරනවා. සක්කාය දිට්ඨිය, මමත්වයෙන් බැහැර වෙලා නිවැරදිව කටයුතු කරන්න පුරුදු වීම තුළ සමාජයට යහපත, සෙත, ශාන්තිය උදා වෙනවා. නිවන් දකින මොහොත දක්වාම මේ කාරණා බලපානවා. බෝසත් චරිතය අපට පරමාදර්ශී චරිත බවට පත්වුණා. ත්‍රෛලෝක තිලක වූ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යාගෙත් ප්‍රධානියා, දෙවියන්ගෙත් ප්‍රධානියා, තුන්ලෝකෙම ප්‍රධානියා. ඒ තත්ත්වයට බුදුරජාණන් වහන්සේ පත්වුණේ තමන් සන්තකයේ තිබූ බොහෝ දේ බැහැර කළ නිසා. ඇලීම් බැඳීම්වලින් තොරව තමා අපට බුද්ධ චරිතය විග්‍රහ කරන්න පුළුවන්. සක්කාය දිට්ඨියෙන් මිදුණාම යහපත්වූ පුද්ගල ජීවිතයක්, යහපත්වූ ආයතන ජීවිතයක්, යහපත් වූ ගෘහ ජීවිතයක්, යහපත් වූ පැවිදි ජීවිතයක්, යහපත් වූ සමාජ ජීවිතයක් ගොඩනඟාගන්න මනා හැකියාවක් ලැබෙනවා.

    ස්වාමීන් වහන්ස, සෝතාපත්ති අංග, සෝවාන් ඵලය ලබා ගන්න උදව් වන්නේ කෙසේද?

    මෙය විග්‍රහ වන්නේ සතර මඟ සතර ඵල ලෙසයි. සෝවාන්- සෝවාන් ඵල, සකෘදාගාමී, සකෘදාගාමී පල, අනාගාමී – අනාගාමී ඵල, අරහත් – අරහත් ඵල ලෙස විග්‍රහ වෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දෘෂ්ටිය. විචිකිච්ඡා කියන්නේ සැකය. සීලබ්බත පරාමාස කියන්නේ විවිධ නිෂ්ඵල වූ වෘත සමාදානය. මේවා තිබෙන තාක් කල් සෝවාන් ඵලයට පත්වීමේ හැකියාවක් නෑ. එ‍හෙත් මේවායෙන් බැහැරව කටයුතු කිරීමෙන් සෝවාන් ඵලය සාධනීය මට්ටමට එන කාරණාවක් බවට පත් වෙනවා. සෝවාන් ඵලයට පත්වන කෙනා කවදාවත් අපාගත කෙනෙක් බවට පත්වෙන්නේ නෑ. එයා අනිවාර්යයෙන්ම නිවන් දකිනවා. නිබ්බානං පරමං සුඛං. අරහත් ඵලය ලැබූ කෙනා රහතන් වහන්සේ නමක්. සකල ක්ලේශයන් ප්‍රහීන කොට එයා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. රහතන් වහන්සේනමක් පිරිනිවන්පෑවාට පසු නැවත ඉපදීමක් නෑ. ඒ වගේම මේ සසර ගමන හමාර කළා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වනාහි මේ සසර ගමන නතර කළ ආර්යන් වහන්සේලා. ඒ නිසා ඒ මඟට එන්න අදාළ කරන ප්‍රධානම සාධකය තමා අපි විග්‍රහ කළ සෝවාන් ඵලය. එය ලබාගත හැකි ක්‍රමානුකූල පියවරයන් තමා අපි ඉහතින් විග්‍රහ කළේ.

    දිල්හානි ජයවර්ධන -දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments