Monday, June 23, 2025
More
    Homeක්‍රීඩාSL vs WST 1st ODI: පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක...

    SL vs WST 1st ODI: පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක පහසු ජයක්

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවේය. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහර දෙමින් සිටියදී වර්ෂාව පතිතවීමෙන් ඉනිම ඕවර් 38.3කදී කඩුලු 4කට ලකුණු 185ක් විය.

    ශ්‍රී ලංකා පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඕවර් 37කදී ලකුණු 232ක ඉලක්කයක් එල්ල වූ අතර, ඕවර් 31. 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

    තරගයේ වීරයා සම්මානය දිනාගත් නායක චරිත් අසලංකගේ හා සිය මංගල එක්දින තරගයට එක්වූ නිශාන් මධුෂ්කගේ සුපිරි ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් වූ අතර, මේ හේතුවෙන් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණියේය.

    අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් වෙද්දී ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නන් සමත්ව සිටියදී නිශාන් මධුෂ්ක සමඟ එක් වූ නායක චරිත් අසලංක හතරවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109කදී ලකුණු 137ක සබඳතාවක් ගොඩනැගීමෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතට යොමු වුණි. නිශාන් මධුෂ්ක පන්දු 54කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 71කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 77ක් ලබා ගැනීමට සමත් විය.

    අනතුරුව ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් ඉනිමේ හය වැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු 47ක් එක් කළ අතර, කමිඳු හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ පන්දු 21කදී නොදැවී ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය. ජනිත් පන්දු 18කදී හයේ පහරක් හා හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 18ක් ලබා ඉනිම අවසන් කළේය.

    කොදෙව් ඉනිම ආරම්භ කළ අලික් අතනාසේ හා බ්‍රෙන්ඩන් කිංග්  දෙදෙනා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වනිඳු හසරංග සමත්වූ අතර එවිට ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 41ක් විය. ප්‍රෙව්ගකාරී පිතිකරු ෂායි හෝප් ලකුණු 5කට සීමා කිරීමට ජෙෆ්‍රි වැන්ඩර්සේ සමත්වීමෙන් ලකුණු වේගය පහළ ගියේය. කඩුලු 3ක් ලකුණු 54කට බිඳ වැටී සිටියදී එක් වූ කේසී කාටි හා ෂිර්ෆේන් රදර්ෆර්ඩ් හතරවැනි කඩුල්ලට ලකුණු 46ක් එක් කිරීමට සමත් වූ අතර, කේසී කාටි ලකුණු 37ක් එක් කළේය.

    ෂිර්ෆේන් රදර්ෆර්ඩ් සමඟ එක්වූ රොස්ටන් චේස් පස්වැනි කඩුල්ලට පන්දු 78කදී නොබිඳුණු ලකුණු 85ක සබඳතාවක් ගොඩනැගීමට සමත්ව සිටියදී වර්ෂාවෙන් ඉනිමට බාධා ගෙන දුන්නේය. ෂිර්ෆේන් රදර්ෆර්ඩ් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 74ක් ලබාගත් අතර, රොස්ටන් චේස් හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 33ක් ලබා ගත්තේය. වනිඳු හසරංග කඩුලු 2ක් බිඳහෙලා ගනිද්දී වැන්ඩර්සේ හා අසලංක අතරේ කඩුල්ල බැගින් බෙදී ගියහ.
    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි එක්දින තරගය බදාදා (23) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

    බටහිර ඉන්දීය කොදෙව්

    ඇලික් අතනාසේ ස්ටම්ප් කළා මෙන්ඩිස් ප. හසරංග 10
    බ්‍රැන්ඩන් කිං ප. හසරංග 14
    කීසි කාර්ටි ඇ. වෙල්ලාලගේ ප. අසලංක 37
    ෂායි හෝප් කඩුල්ල මුවා කළා ප. වැන්ඩර්සේ 05
    ෂිර්ෆේන් රදර්ෆර්ඩ් නොදැවී 74
    රොස්ටන් චේස් නොදැවී 33
    අතිරේක 12
    එකතුව (ඕවර් 38.3කදී කඩුලු 4කට) 185

    කඩුලු බිඳ වැටීම : 1-34, 2-41, 3-54, 4-100
    පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 4- 0- 28- 0, ජනිත් ලියනගේ 3- 0- 9- 0, දුනිත් වෙල්ලාලගේ 7- 0- 20 – 0, වනිඳු හසරංග 6 – 0- 18- 2, ජෙෆ්රි වැන්ඩර්සේ
    8.3 – 0 – 45- 1, චරිත් අසලංක 10- 0- 56- 1

    ශ්‍රී ලංකාව

    නිශාන් මධුෂ්ක ඇ. කිං ප. මෝටි 69
    අවිශ්ක ප්‍රනාන්දු ඇ. චේස් අප. ජෝශප් 05
    කුසල් මෙන්ඩිස් ඇ. හෝප්. ප. ජෝශප් 13
    සදීර සමරවික්‍රම ප. මෝටි 18
    චරිත් අසලංක කඩුල්ල මුවා කළා ප. මෝටි 77
    ජනිත් ලියනගේ නොදැවී 18
    කමිඳු මෙන්ඩිස් නොදැවී 30
    අතිරේක 04
    එකතුව (ඕවර් 31.5කදී කඩුලු 5කට) 234

    කඩුලු වැටීම : 1 – 6, 2 – 22, 3 – 45, 4 – 182, 5- 187
    පන්දු යැවීම: ජේඩන් සීල්ස් 4.5 – 0 – 43 – 0, අල්සාරි ජෝෂප් 6- 0- 39- 2, ගුඩකේෂ් මෝටි 8- 0- 47- 3, රොස්ටන් චේස් 6- 0- 42- 0, හේඩන් වොල්ෂ්
    4- 0- 37- 0, රොමාරියෝ ෂෙපර්ඩ් 3- 0- 24- 0

    source; sri lanka cricket.lk

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments