Homeක්‍රීඩාSL Vs Aus Test: ශ්‍රී ලංකාවට ඉතිහාසගත ටෙස්ට් පරාජයක්

SL Vs Aus Test: ශ්‍රී ලංකාවට ඉතිහාසගත ටෙස්ට් පරාජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද (01) සිදු විය. ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගිනි.

තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියේය. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ය.

අද පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දැවි ගියේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 72 යි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 165 ක් පමණයි. පන්දු යැවීමේදි මැතිව් කුනේමන් කඩුලු 5 ක් දවාගත්තේය. නේතන් ලයන් කඩුලු 3 ක් බිඳහෙලු අතර මිචෙල් ස්ටක් කඩුලු 2 යි.

පසුව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 654 ට ලකුණු 489 ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඔෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න යි. පළමු කඩුල්ල ලෙස ඔෂද ලකුණු 6 කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ කිසිදු ලකුණක් රැස් කිරීමකින් තොරවයි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 247 කට සීමා විය.

වැඩිම ලකුණු ලාභියා වූ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 53 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මැතිව් කුනේමන් සහ නේතන් ලයන් කඩුලු 4 බැගින් බිඳ හෙළිය. මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, ඔස්ට්‍රේලියාව තම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් සිව් වැනි විශාලතම ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලැබූ විශාලතම පරාජය ලෙස සටහන්ව තිබුණේ 2012 වසරේදී ඉනිමකින් සහ ලකුණු 201 කින් හිමි කරගත් පරාජයයි. මේ අතර, ශ්‍රී ලංකාව තම ‍ටෙස්ට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය මෙය වන අතර, මීට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ඉනිමකින් සහ ලකුණු 239 කින් පරාජය වී තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments