අනතුරු ඇඟවීම යි: ඇතැම් පාඨකයන් පීඩාවට පත්විය හැකි වේදනාත්මක උපත් ගැන තොරතුරු මෙම කතාවේ ඇතුළත් වේ.
2021 දී එමා කාර් ගර්භණී බවට පත් වනවිට, ඇගේ පරමාදර්ශී උපත ගැන ඇයට දැක්මක් තිබුණි. මූලිකව, ඇයට බලගැන්වුණුබව, ඇයට සවන්දෙන බව සහ ඇය සතුව පාලනයක් ඇතිබව අත්විඳීමට අවශ්‍ය විය. නමුත් බොහෝ කාන්තාවන් මෙන්ම, කාර්ගේ දර්ශනය ඊට වඩා වැඩිදුරක් ගියේ ය. විශේෂයෙන් ම ඇයට, සුළු වෛද්‍ය මැදිහත්වීමක් සහ හැකිතාක් අඩුවෙන් ඖෂධීය වේදනා නාශක යොදාගනිමින් සිදුකරන “ස්වභාවික උපතක්” (සාමාන්‍යයෙන් යෝනී මාර්ගය හරහා සිදුවන උපතක්) ඇය බලාපොරොත්තු වූවා ය.
උපත සිදුවන අතරේ, වේදනාව අඩුකර ගැනීම සහ සිහියෙන් යුතුව සිටීම පහසුවීම සඳහා සැහැල්ලුවීමට සහ හුස්මගැනීමට උගන්වන “Hypnobirthing” ලෙස හඳුන්වන එක් ජනප්‍රිය ප්‍රවේශයක් ඇතුළත් පාඨමාලා දෙකක් ඇය අනුගමනය කළා ය. එමෙන් ම ඇගේ උපදේශකයා නිර්දේශ කළ ආකාරයට, ඇය නිවැරදි මානසිකත්වයට පැමිණීම සඳහා සෞඛ්‍යමත්, ප්‍රීතිමත්, වේදනාකාරී නොවන ප්‍රසූති වීඩියෝපට ඇය නැරඹුවා ය.
ලන්ඩනයේ ජීවත්වන 36 හැවිරිදි කාර් පවසන්නේ, “බබාලා ඉපදෙන මේ හැම වීඩියෝ එකක්ම අපි බලනවා, ඒවා ගොඩක් සුන්දරයි,” යනුවෙනි. “එයාලා ලේසියෙන් ම එළියට එනවා, කාන්තාව එයාලා ව අල්ලගන්නවා. ඒ වගේ ම ‘ඒක තමයි මටත් වෙන්නේ’ කියලා ඔයාටත් හැඟෙනවා.”
නමුත් කාර්ගේ කළලවාරික කෝෂය (water bag) බිඳී යන විට, මවටත් දරුවාටත් අනතුරුදායක විය හැකි මෙකෝනියම් – එනම් කළලයේ මළ, අදාළ තරලයේ අඩංගු විය. ඇය ඉක්මනින් රෝහලට ගිය අතර, ඇයට වෛද්‍යවරයා පවසා තිබුණේ ඔවුන්ට ඉක්මනින් ම දරුවා ලබාගැනීමට සිදුවන බව යි. වෛද්‍ය මැදිහත්වීමකින් තොරව සිදුවන ස්වභාවික උපතකට, එනම් ඇගේ පරමාදර්ශයට ඈතින් ගොස්, ඇගේ දරුවා සිසේරියන් සැත්කමකින් උපත ලැබුවේ ය. සියල්ලෙන් ම නරක ම දෙයයැ යි ඇය පවසන්නේ, ධනාත්මක මනෝභාවයක් නිර්මාණය කරගැනීම සඳහා ඇය හැදෑරූ පාඨමාලා සඳහා ඇය කෙතරම් අවධානයක් යොමු කළේ ද සහ ඒ සඳහා කෙතරම් ධෛර්යයමත් කළේ ද යන්න සැලකිල්ලට ගත් විට, මෙවැනි අවසන් ප්‍රතිඵලයක් සඳහා ඇය කොපමණ තරම් සූදානම් ව සිට නොමැති ද යන්න දැනීම බව යි.
“ඒක කොහොමද ‘විය යුතු’ කියලා (අදහසක්) මගේ ඔලුවේ තිබුණේ නැත්නම් ඒක කරගන්න බැරිවුණා කියලා මට දැනෙන එකක් නෑ,” ඇය පවසයි. “මේ උපත් සිද්ධ වෙන ආකාරය ගැන [මගේ උපදේශකයන්] තව ටිකක් විවෘත වුණා නම් කියලා මම හිතනවා. ඔයා ‘Hypnobirthing’ කළ පමණින් ම හැමවෙලාවකම ඒ දේ හරියට ම වෙන්නෙ නෑ.”
කාර් පවසන්නේ ඇය ගර්භනී ව සිටින විට දී, ඇය බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රසූතියක් නොලැබීමට ඉඩ ඇති බවට අනතුරු හැඟවීමට ඇගේ මිතුරියන් උත්සාහ කළ බවයි. නමුත් ඇය ඔවුන් ව මඟ හැරියේ ඇය බලාපොරොත්තු වන මානසිකත්වය හෝ ක්‍රවේදයන් ගැන ඔවුන් අනිවාර්යයෙන් ම නොදන්නවා යැයි සිතමින් ය.
“ප්‍රසූතිය ස්වභාවික සහ මායාකාරී විය යුතුයි සහ ඔයාගෙ ශරීරය ඒක කරන්න සර්වසම්පූර්ණ විදිහට හැදිලා තියෙනවා කියලා ඔයාට කියන ඔයාගේ ඔලුවෙ ඉන්න අය නිසා, ඔයා සාමාන්‍යයෙන් ඇහුම්කන් දෙන අයටත් ඇහුම්කන් දෙන එක නවත්වනවා,” ඇය පවසයි. “නමුත් මම හිතන්නෙ නෑ මගේ [ශරීරය] එහෙම යි කියලා.”
බොහෝ කාන්තාවෝ උපත සඳහා මෙම ප්‍රවේශයෙන් ප්‍රයෝජන ලබති. සමහරු ඔවුන් බලාපොරොත්තු වූ පරමාදර්ශී තත්ත්වය පවා අත්විඳිති. මේ වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් පවසන්නේ හුස්ම ගැනීම, ප්‍රතිඥාවලට සවන් දීම හෝ සම්බාහනය වැනි නිවැරදි ක්‍රමවේදයන් මඟින් ප්‍රසූතිය සුබදායක, අතිශය සතුටට පත්විය හැකි දෙයක් වුව ද විය හැකි බවයි. නමුත් කාර් වැනි අනෙක් අයට, කම්පනයට පත්විය හැකි උපතක පමණක් නොව, නරක ආකාරයට විශ්මයට පත් වීමක් ඉතිරි වී තිබේ. එය (බලාපොරොත්තු වූ ආකාරයෙන්) සිදු නොවුණහොත්, ඒ සඳහා විවිධ ආකාරයෙන් සූදානම් ව නොසිටීම ඔවුන්ගේ අත්දැකීම වඩාත් නරක දෙයක් බවට පත් කළේ ය.
සංවිධානයක උපත

උපතක් බලාපොරොත්තු වන බොහෝ දෙමවුපියන් ඔවුන්ට ගැලපෙන තේරීම ලෙස නවීන වේදනා කළමනාකරණය තෝරාගන්නා අතර, බොහෝ වෛද්‍යවරු ද එය නිර්දේශ කරති. කෙසේ නමුත්, වෛද්‍ය මැදිහත්වීම් මත ඇති අධික විශ්වාසය නිසා ඒවා අනවශ්‍ය, අවදානම් සහගත හා අමානුෂික බව පවා ඇති කරන බව පවසමින්, අනෙකුත් කාන්තාවන් සහ සෞඛ්‍ය වෘත්තිකයන් විශ්වාස කරන්නේ උපත් ක්‍රියාවලිය මේ ඔස්සේ දුර ගොස් වැඩි බව යි. උදාහරණයක් ලෙස 1960 ගණන්වල දී, ධනවත් රටවල් වල කාන්තාවන් බොහෝවිට ප්‍රසූතිය කළේ සාමාන්‍ය නිර්වින්දනයෙන් සන්සුන්ව සිටින අතරේ ය. ඔවුන්ට වේදනාවක් දැනෙන්නට නැතිවුවත්, ඔවුන්ට (එහි) සිටින බව දැනීමට හෝ ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා මේ මොහොතේ ගතයුතු තීරණ ගැනීමට හැකි වූයේ නැත.
අද වනවිට, බොහෝවිට ‘ධනාත්මක උපත’ ලෙස හඳුන්වන දෙයට බොහෝ කාන්තාවෝ උත්සාහ කරන අතර එය උත්කෘෂ්ට ලෙස සලකති. එක්සත් රාජධානියේ උපත් ප්‍රචාරකයෙකු සහ ධනාත්මක උපත සංවිධානයේ ආරම්භක මිලී හිල් විසින් නිර්මාණය කළ ‘ධනාත්මක උපත’ යෙදුම, මුල් අවස්ථාවේ දී යම්කිසි සුවිශේෂී ප්‍රසූති ආකාරයක් විස්තර කිරීමට යොදා ගත්තේ නැත. එය (දැන්) වඩාත් පුළුල් වී ඇත.
“ධනාත්මක උපතක් ‘ස්වභාවික’ හෝ ‘ඖෂධ රහිත’ විය යුතු නැත. එය සරලව ම බියට විරුද්ධව සටන් කරනවා වැනි ධනාත්මක ස්ථානයක සිට දැනගැනීමක් විය යුතුයි,” සංවිධානයේ වෙබ් අඩවිය කියවයි. “ඔබට වෛද්‍ය මැදිහත්වීමක් ඇති ව හෝ නැති ව, රෝහලේ දී හෝ නිවසේ දී ධනාත්මක ව උපතක් ලබා දිය හැකියි.” ඒ වෙනුවට එය, “තේරීමේ නිදහස, පිළිගත හැකි තොරතුරු වෙත ප්‍රවේශ වීම, ඇය පාලනයක් තුළ සිටීම මෙන් ම, බලවත් සහ ගෞරවාන්විත” බවක් ඇයට ඇති බවට කාන්තාවකට දැනෙන තැනක් සේම, ඇය “ප්‍රීතියට පත්වීමට යන බවත් පසුව එය උණුසුම් ව සහ අභිමානයකින් මතක සිටින එකක් බව” සඳහන් කරයි.
තවමත්, ධනාත්මක උපත් පාඨමාලා හදාරන බොහෝ කාන්තාවන් පවසන්නේ විශේෂයෙන් ම ‘ස්වභාවික’ උපත් පරමාදර්ශී කිරීමේ යටි ප්‍රවාහයක් ඇතැ යි ඔවුන්ට දැනෙන බවයි. ඇතැම් උපදේශකයන් උපත “ධනාත්මක” වියහැකි කෙසේදැ යි අවධාරණය කිරීමේ දී එහි විශාල කොටසක් පැමිණෙන්නේ, උපතක් ලබා දීම සඳහා කාන්තාවකගේ ශරීරය “නිර්මාණය” වී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ කතා කරමින් ය. එහි යටිඅරුත වියහැක්කේ මෙම ක්‍රියාවලියේ දී සහය වීමට වඩා වෛද්‍ය මැදිහත්වීම් වළකාලීම යි.
මෙවැනි ප්‍රවේශයන්වල මූලික ඇදහීමක් ලෙස, බිය හා කාංසාව (විසින්) තත්ත්වය නරක අතට හැරවිය හැකි, ප්‍රසූතිය මන්දගාමී හා (ශරීරය) හැකිලීමකට පත් කළ හැකි ඇඩ්‍රිනලීන් වැනි හෝර්මෝන නිපදවීම වැඩි කරන බව උදාහරණයකි. ඒ වෙනුවට, උපත් සහායකයා (හෝ කණ්ඩායම) විසින් සහාය වීම; හුස්මගැනීමේ හෝ භාවනා ක්‍රමවේදයන් යොදාගැනීම මෙන් ම, සියල්ලට ම වඩා සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන් ප්‍රසූතියට වෙත යාම වැනි, යමෙකුගේ ප්‍රසූති අවකාශය සාමාන්‍ය හා සුවපහසු එකක් කිරීමේ ක්‍රමවේදයන් ඇතුළත් අදහස වන්නේ, ප්‍රසූතිය වේගවත් හා අඩු වේදනාකාරී කරවන ඔක්සිටොසින් නිපදවීමට ඔබට දිරිමත් කළ හැකි බවයි.
විශේෂයෙන් ම ‘ස්වභාවික’ උපත ජනප්‍රියකරණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ: එය, අවම වශයෙන් 1930 ගණන් දක්වා ආපස්සට දිව යන එය පළමු ප්‍රසව හා නාරිවේද විද්‍යාලයය ආරම්භ කළ කාලයට සමාන කාලයක දී වීම සිත්ගන්නාසුළු කරුණකි. මෙවැනි ප්‍රවේශයන් බොහෝ කාන්තාවන් සඳහා වැඩි බරක් තබා නැත: ඔබට හැකිතාක් වේදනා රහිත උපතක් ලබාදීමට අවශ්‍ය නම් තිබෙන සියලු නව වෛද්‍ය මැදිහත්වීම් සහ ඖෂධ භාවිත නොකරන්නේ ඇයි?
නමුත් සමහරුන්ට, ‘ස්වභාවික’ පරමාදර්ශී උපත පිළිබඳ මෙම ප්‍රතිරූපය ඇණහිට තිබෙන අතර, ගැඹුරු ප්‍රසූති – අධ්‍යාපන කර්මාන්තය සමග (එය) වර්ධනය විය. සමාජ මාධ්‍ය තුළ ඉටිපන්දම් සහ සැනසිලිදායක සංගීතය සමග (සිදුවන) සැහැල්ලු, ජලයේ දී සිදුකරන ප්‍රසූති පිළිබඳ සුන්දර කතා සෑම තැනකම බහුල වී ඇත.
මෙම ප්‍රසූති ව්‍යාපාරවලට බොහෝ ප්‍රයෝජන ඇති අතර, විශේෂයෙන් ම ප්‍රසූතිය සිදුකරන දෙමවුපියන්ගේ අතට නැවත තීරණ ගැනීමට දීම ඔවුන්ගේ එක් ඉලක්කයකි. නමුත් ‘ස්වභාවික’ හා ‘ධනාත්මක’ යන දෙක ම පොදු සංස්කෘතික පරමාදර්ශයන් ලෙස වර්ධනය වීම සමග ඇතැම් කාන්තාවන්ට අවාසියක් ඇත. සෑම ප්‍රසූතියක්ම වෙනස් යන පරිධියේ යතාර්ථය සැමවිට ම ජයගැනීමට පන්ති ගණනට හෝ සැහැල්ලු කිරීමේ ක්‍රමවේදයන්ට නොහැකි ය. රැකබලාගැනීමේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් විශාල ජාතීය සහ වාර්ගික විෂමතාවයන් පවතින අතර, මාතෘ රැකවරණය සමස්ත ප්‍රමාණයට වඩා අඩුවීම හෝ, ඇතැම්විට කාන්තාවන්ට මැදිහත්වීමක් භාරගැනීමට පීඩනයක් දැනෙයි. ප්‍රසූතිය අතර බලවත් බවක් දැනීම හෝ ප්‍රසූතිය ගැන ප්‍රියජනක මතක ලබගැනීම යන සරල අරමුණු පවා ළඟාකරගත නොහැකි බව දැනීමට හැකියි. (බොහෝ අයට මෙම ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය වන කාලය සහ මූල්‍ය ආයෝජනය යන දෙක ම, ඒවා ළඟා කරගත නොහැකි ඒවා බවට පත්කරන බව සඳහන් කිරීම වටියි. ඒවාට මාර්ගගතව (online) සිදුකිරීමට ඇ.ඩො. 50ට අඩුවෙන් හෝ පෞද්ගලික මඟපෙන්වීමකට ඇ.ඩො. 1000කට වැඩියෙන් වැය වියහැකි අතර, සාමාන්‍යයෙන් පැය කිහිපයකවත් උපදෙස් අවශ්‍ය වේ.)
මෙම ප්‍රවේශයේ යෝජකයන් පවසන්නේ මවුවරුන් ඔවුන්ගේ බලාපොරොත්තු අඩුකරගන්නවාට වඩා, වෛද්‍ය සැපයුම්කරුවන් විසින් මෙම ගැටළු විසඳීමට පියවර ගතයුතු බව යි. නමුත් මේ අතරතුරේදී ම, ඉතා නිශ්චිත, බොහෝවිට පරමාදර්ශී, උපත් දැක්මක් සිතේ තබාගෙන සිටින – ප්‍රසූතිය සැලසුම් කළ ආකාරයෙන් සිදු නොවන කාන්තාවන්ට අවසානයේ දී, (ප්‍රසූතිය) අනපේක්ෂිත අත්දැකීමක් මත අධික පීඩනයක් ඇති කරන දෙයක් විය හැකිය. නරක ම අවස්ථාවක් තුළ දී, ඔවුන්ට තමා කෙරෙහි හෝ ඔවුන්ගේ ළදරුවන් කෙරෙහි අසමත් වූ බව දැනිය හැකි ය.
සම්මතයක් නොවන පරමාදර්ශයක්

හැමදෙයක් ම පරිපූර්ණ හා මැදිහත්වීමක අවශ්‍යතාවයෙන් තොර ව දිගහැරෙන ‘ස්වභාවික’ උපත සම්මතයෙන් බොහෝ දුරින් පවතියි. උදාහරණයක් වශයෙන් එකසත් ජනපදයේ 2020 දී CDC දත්ත පෙන්වන්නේ ආසන්න වශයෙන් සියලු උපත්වලින් තුනෙන් එකකට කෘත්‍රිම ක්‍රමවලින් සිදුකළ ප්‍රසූතීන් ඇතුළත් බවයි. මීට අමතර ව, තුනෙන් එකක් සිසේරියන් සැත්කම් විය. බොහෝවිට අවසානයේ දී ‘ස්වභාවික’ ප්‍රසූතීන් ලෙස සලකන නිවසේ සිදුවන උපත් සියලුම උපත්වලින් 1%ක් පමණක් විය.
නමුත් ස්වභාවික උපත ඔවුන්ගේ ‘ධනාත්මක’ ප්‍රවේශයේ ඉලක්කය බවට අවධාරණය කරන, උපතක් ලබා දීමට සිටින බොහෝ දෙමවුපියන්ට, සැමවිට ම ඔවුන් සැලසුම් කළ ආකාරයෙන් ප්‍රසූතිය සිදු නොවන අතර මේ නිසා දීර්ඝකාලීන බලපෑම් ඇතිවිය හැකි ය.
ඇතැම් මවුවරුන් පවසන්නේ, ඔවුන්ගේ පරමාදර්ශී උපත පිළිබඳ පමණක් අවධානය යොමු කිරීම නිසා ඔවුන් යතාර්ථයට අන්ධ වී සිටි බවත්, ඔවුන් බලාපොරොත්තු වූ පරිපූර්ණ ප්‍රසූතියේ අත්දැකීම ලබාගැනීමට නොහැකි වීම ගැන අමතර සිත්තැවුලක් දැනෙන බවත් ය. අධ්‍යයනයක දැක්වෙන්නේ, අනපේක්ෂිත C සැත්කම් සිදුකර ඇති කාන්තාවන්ගෙන් 15%ක් ඔවුන් ‘අසමත්’ වන බව දැනුණේයැ යි වාර්තාකර ඇති බවයි.
source: bbc.com/sinhala