දරුවෙකු බිහි කිරීමට කුසතුළ දරාගෙන සිටින ගැබිනි මවුවරුන්ට හොඳ ශාරීරික සෞඛ්‍යක් සේම මානසික සෞඛ්‍ය ද යහපත් මට්ටමකින් පවත්වාගෙන අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව විශේෂඥ මතයයි. බොහෝ රටවල්වල කාන්තාවක් ගැබ්ගත් පසුව ඇගේ පවුලේ සාමාජිකයන් ඇය කෙරෙහි විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය තුළ තවමත් එවැනි අක්මුල් දැකගත හැකි අතර, සාමාන්‍යයෙන් ශෝකජනක හෝ කෝපයට පත්වන පුවතක්වත් ගැබිනි මවකට නොකීමට ඔවුහු වග බලා ගත්තේ ඇගේ මානසික යහපැවැත්ම උදෙසායි.
නමුත් වර්තමානය වන විට බොහෝ දෙනෙකු ජීවත්වන කාර්යබහුල සමාජය හා විවිධ ආර්ථික හා සමාජීය හේතු නිසා ගැබිනි මවුවරුන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් බොහෝවිට අවධානයක් යොමු නොවන මට්ටමට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්වය ඇති වීමට අදාළ බොහෝ හේතු සාධක තිබේ.
‘නූපන් දරුවන්ට සංගීතය’ – ‘Music for the unborn’
මෙලෙස නාගරික සමාජය තුළ ජීවත්වන ගැබිනි මවුවරුන් සංගීතයෙන් සනසාලීම අරමුණු කරගත් වැඩසටහනක Nonames Collective සංගීත කණ්ඩායම හා කලා එකතුව නියැළී සිටියි. එහි ආරම්භකයා වන සංජීව සෙනවිරත්න බීබීසී සිංහල සමඟ සිය වැඩසටහන සමබ්න්ධයෙන් අදහස් පළ කළේ ය.
“අපි එකතුවක් විදිහට Nonames collective එක හදගන්නකොට අපි කල්පනා කළා අපට කලාවෙන් මොකක්ද සමාජයේ කරන්න පුලුවන් වෙනස කියලා. එතැනදී අපට අවශ්‍ය වුණා ගොඩක් කතා කරනවා වෙනුවට ගොඩක් වැඩ කරන්න. මමත් බිරිඳත් ජීවත් වෙන්නේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් බිරිඳ ගර්භනී කාලයේ දී මම එයාට ඇහෙන්න සංගීහ භාණ්ඩ වාදනය කළා, සින්දු කිව්වා. මේ දේවල් එයාට වගේම දරුවටත් හොඳ බව දැනුණා,” ඔහු විස්තර කළේ ය.
ඔහු ඇතුළු කණ්ඩායමට ‘Music for the Unborn’ සඳහා මුල් අදහස පැමිණ ඇත්තේ ඒ ආකාරයෙන් ය.
“අපි කටින් කතා කරන දේවල්වලට වැඩිය දෙයක් සංගීතය ඇසුරින් කරන්න පුළුවන්. Nonames සංගීත කණ්ඩායම පටන් ගත්ත කාලයේ පටන් අපි විවිධ අත් හදා බැලීම් කළා. සිංදු කිව්වා. කවි කිව්වා. සමාජ මාධ්‍යයේ ගොඩක් ජනප්‍රිය වුණ ‘මල්ලිකා මිස්ට මාව මතකද?’ කවිය නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීමත් එහි එක ප්රයත්නයක්,” සංජීව විස්තර කළේ ය.
‘ශ්‍රී ලංකාවේ parenting සම්බන්ධ ලොකු ගැටළුවක් තියෙනවා’
සංජීව පෙන්වා දෙන්නේ නාගරික සමාජය තුළ බොහෝවිට හදිසි ගැබ්ගැනීම් වැනි සිදුවීම් නිසා සැලසුම් සහගතව දෙමවුපියන් වීමේ අදහසක්වත් ඇතැමුන්ට නොතිබෙන බවයි.
“ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය එක සංසන්දය කරනවිට නාගරික සමාජය තුළ බොහෝ අය දරුවෙක් හදන්න සැලසුමක්වත් නැතිවෙලාවල් වල දරුවො ලැබෙන්න එනවා. නාගරික මහල් නිවාස, වතු ආශ්‍රිතව ජීවත් වෙන සමහර අය වයස අවුරුදු 17න් 18න් දෙමවුපියන් වෙනවා. සමහර අය දෙමවුපියෙක් වෙන්න හිතලවත් නැති අය. ඉතින් මේ නිසාම ලංකාවේ parenting කියන කාරණාවම ලොකු ගැටළුවක් වෙලා තියෙනවා,” ඔහු පවසයි.
මේ නිසාම දරුවන් ලැබීමෙන් පසු ඇතැම් පවුල් සංස්ථා තුළ ගැටළු ද පැන නැගින බව සංජීවගේ මතයයි.
“දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ඒ අම්මාගේ මානසික යහපැවැත්ම හොඳින් තිබිය යුතුයි කියලා සැමියාට සහ පවුලේ අනෙක් අයට අදහසක් නෑ. දරුවා ලැබුණායින් පසුව ‘පසු ප්‍රසව විශාදයට’ කාන්තාවන් මුහුණ දෙනවා. ඒකට සැමියාගෙන් බොහෝ විට කාන්තාවට සහයෝගයක් ලැබෙන්නෙ නෑ. මොකද ඔහු දන්නෙ නෑ එහෙම දෙයක් තියෙනවා කියලාවත්.”
මෙවැනි ගැටළුකාරී තත්වයන් හමුවේ සිය ගර්භිණී කාලය ගෙවා දමන මවුවරුන් වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මාණය කළ බව සංජීව පවසයි.
“මේ ඔක්කොම කරදර මැද්දෙ උදේට චූන්පාන් සද්දෙට ඇහැරිලා දවසම විවිධ ශබ්ද ගොඩක් අහගෙන ඉඳලා රෑට කොත්තු ගහන සද්දෙ අහගෙන නින්දට යන්න තමයි නාගරික ගැබිනි මවුවරුන්ට සිදුවෙලා තියෙන්නෙ. ඒ අයව සංගීතයෙන් සුවපත් කරන්න තමයි අපේ වැඩසටහන නිර්මාණය කළේ.”
‘සායන වලින් හොඳ සහයෝගයක් ලැබුණා’
ඔවුන් මේ වැඩසටහන පවත්වා ඇත්තේ මාසික ගැබිනි මවුවරුන්ගේ සායන ඉලක්ක කරගෙනයි.
“අපි මුලින්ම මේ සායන වලට ගිහින් ඒ ඉන්න නිලධාරීන් සමඟ අපේ අදහස් බෙදාගත්තා. ඒ අය ඉතාමත් සතුටු වුණා මෙවැනි වැඩසටහනක් පවත්වන්න. විශේෂයෙන් ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්නා.”
මේ වන විට මෙම Music for the Unborn වැඩසටහන් 17ක් පමණ කොළඹ තදාසන්න ප්‍රදේශ ආශ්රිත සායන වල පවත්වා තිබේ. මෙම වැඩසටහන හුදෙක් ගැබිනි මවට පමණක් සිදු කරන්නක් නොව ඇගේ සැමියා ද සම්බන්ධ කරගන්නකි.
‘සජීවී සංගීත වාදයනක් අහලා නැති අය හිටියා’
වැඩසටහන සිදුකෙරුණු ආකාරය සංජීව විසින් විස්තර කළේ ය.
“අපි අම්මාටත් තාත්තටත් දෙදෙනාටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කළා. මුළු වැඩසටහනම පවත්වාගෙන ගියේ නාට්‍යක් විදිහට. ගැබිනි මවක් සහ පියෙක් ඔවුන්ගේ ගර්භිණී සමයේ විවිධ කාල ගත කරන විදිහ සහ ඔවුන්ට එන ප්‍රශ්න නාටකීය විදිහට නිරූපණය කරන අතරේ අපි සංගීතය වාදනය කළා.”
ඔහු පවසන්නේ ශබ්ද පරිපාලනය එහි දී තරමක් අභියෝගාත්මක වූ බවයි.
“ගැබිනි මාතාවන් ට සුදුසු හරිම සන්සුන් සංගීතය ගැන අපි අධ්‍යනය කරලා සංගීත ඛණ්ඩ හදාගත්තා. ඒ වගේම එක් එක් ප්‍රදේශවල සායනයේ ස්වභාවය අනුවත් අපි වෙනස්කම් සිදු කළා. ගැබිනි මාතාවන් නිසා අපිට ලොකුවට ශබ්ද පාවිච්චි කරන්න බෑ. ඒ නිසා අඩු ප්‍රමාණයක ශබ්ද සන්සුන් විදිහට ගලායන්න තමයි සංගීතය නිර්මාණය කළේ.”
සංජීව පැවසුවේ ඇතැම් අය ඒ දක්වා සජීවී සංගීත භාණ්ඩ වාදනයක් හෝ නොදැක තිබූ අය බවයි.
“සමහර අම්මලා තාත්තලා සජීවිව ගිටාරයක්, බටනළාවක් හෝ වයලීනයක් වාදනය කරනවා දැකලා තිබුණ අය නොවයි. ඉතින් ඒ අය ගොඩක් මේ වැඩසටහන රසවින්දා. ඒ අතරතුරේ දි අපට සමාජයට දෙන්න තියෙන පණිවුඩය අපි ඒ අයට දුන්නා.”
වැඩසටහනට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු ඔවුන්ට යහපත් ප්‍රතිචාර ලබා දී තිබේ.
Nonames Collective Youtube නාලිකාවේ එක් වැඩසටහනක වීඩියෝවක් පළ කර ඇති අතර, එහි අදහස් දක්වන වැඩසටහනට සමබන්ධ වූ අය වැඩසටහනෙන් තමන් මෙතෙක් නොදැන සිටි බොහෝ දේ ගැන දැනුවත් වූ බව පවසති.
‘අමාරුවෙන් වුණත් කරනවා’
වර්තමානය වන විට වැඩසටහන පැවත්වීම දුෂ්කර වී ඇති බව සංජීව පවසයි.
“අපි කලින් අපේ යාලුවො එකතු කරගෙන, යාලුවන්ගේ සහ අපේ සල්ලි දාලා තමයි මේ වැඩේ කරගෙන ආවේ. නමුත් දැන් වෙනකොට සංගීත භාණ්ඩ ටික කුලියට ගන්න, ඒ ටික අදාළ තැන්වලට ගෙනියන්න සහ අවශ්‍ය ශබ්ද පරිපාලන උපකරණ ගන්නම විතරක් ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසාම මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන එක දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා.”
නමුත් ඔහු පවසන්නේ කලාවෙන් සමාජයට යහපත් දෙයක් ලබා දීම සිය කණ්ඩායමේ ඒකායන අරමුණ බවයි.
“මේ දිනවල අපි තරුණ අය වෙනුවෙන් Harmony Centre නමින් වැඩසටහන් කීපයක් කරගෙන යනවා. සින්දු කියන්න, නටන්න, නාට්‍ය බලන්න, උයන්න ඒ වගේ ගොඩක් දේවල් එතැනදි අපි කරනවා. නිවසේ හුදෙකලාව ඉන්න වැඩිහිටියන් සවසට එකතු කරගෙන ඔවුන් එක්ක සින්දු කියන සංගීත වැඩසටහනක් අපි මේ දිනවල සැලසුම් කරගෙන යනවා,” සංජීව විස්තර කළේ ය.
“අපට කොච්චර අමාරු වුනත් අපට කලාවෙන් සමාජයට කරන්න පුළුවන් දේ කරනවා. එක එක අයට එක එක දේවල් තමන්ගේ බලය විදිහට පෙන්වන්න පුළුවන්. අපට තියෙන එක ම ආයුධය කලාව. ඉතින් අපි කලාව යොදාගෙන සමාජය වෙනුවෙන් වැඩ කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.
මූලාශ්‍රය – බීබීසී සිංහල