සත්ත්ව ආහාරවලින් තොර ආහාර පිඟානක් සැළකීමේදී එහි ප්‍රමාණය කොපමණ විය යුතු ද යන්න සැමවිටම විශාල ප්‍රශ්නයකි. තනිකරම නිර්මාංශ ආහාර වේලක ඇති ගුණාත්මක බව ඇතැමුන් විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියත්, අනෙක් අය එය සලකන්නේ ප්‍රවේශමෙන් සාකච්ඡා කළ යුතු දෙයක් ලෙසට ය.
එමෙන්ම, සෑම වයස් කාණ්ඩයක් සඳහාම, විශේෂයෙන් වැඩිහිටි පරම්පරාවට නිර්මාංශවීම සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න පිළිබඳව එකිනෙකට විරුද්ධ මත තිබේ.
මෑතකදී BMC වෛද්‍ය විද්‍යා සඟරාවේ පළ වූ මතභේදාත්මකලිපියක්, නිර්මාංශ ආහාර වේලක් විසින් ජීව විද්‍යාත්මක වයස මත ඇති කරන සුබවාදී බලපෑම විස්තර කර තිබිණි. එයට අනුව නිර්මාංශ ආහාර වේලකට, වයස්ගත වීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමේ හැකියාවක් තිබේ.
විවිධ ආහාර වල බලපෑම් නිරීක්ෂණය කරන බොහෝ සමාන අධ්‍යයන මෙන්ම, මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල පිළිබඳවද ඉතා සැළකිලිමත් වන ලෙස සමහර විශේෂඥයන් ඉල්ලා ඇත්තේ මෙම පර්යේෂණය කුඩා නියැදි මත, සීමිත කාල සීමාවක කළ නිරීක්ෂණ මත පදනම් වී ඇති බැවිනි. නමුත් එය විවාදාත්මක තත්ත්වයක් ඇති කිරීමට ප්‍රමාණවත් විය.
වැඩිහිටි පූර්ණ නිර්මාංශිකයින් සැලකිලිමත් විය යුතු දෑ
ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ පෝෂණ විශේෂඥ මහාචාර්ය ටොම් සැන්ඩර්ස් වැනි සමහරු, මෙම සොයාගැනීම පිළිබඳව ප්‍රශ්න කර තිබේ. ඇත්ත වශයෙන්ම නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කිරීම වියපත් පුද්ගලයන් මුහුණ දෙන අවදානම් තත්ත්වය උග්‍ර කරන බවට ඔහු අනතුරු අඟවා ඇත.
“වයස්ගත නිර්මාංශිකයන්, මාංශ පේශි අඩු වීම, අඩු අස්ථි ඝනත්වය ආදී තත්ත්වවලින් සහ ජීවන තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ ස්නායු ආබාධවලින් පීඩා විඳීමට වැඩි ඉඩක් ඇති බව පෙනෙනවා “යැයි ඔහු පැවසුවේ ය.
“වයස්ගත නිර්මාංශිකයන්, අඩු බර කාණ්ඩයට වැටීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එවගේම ඒ අය අස්ථි බිඳී යාමේ වැඩි අවදානමකටද මුහුණ දෙනවා. කිරි සහ මස් නිෂ්පාදනවල ස්වාභාවිකව දක්නට ලැබෙන දෙයක් වන කැල්සියම් සහ ප්‍රෝටීන් ඔවුන් පරිභෝජනය කරන්නේ අඩුවෙන් වීම මෙයට විශාල හේතුවක්” යැයි ඔහු බීබීසීයට පැවසීය.

තනිකරම නිර්මාංශ ආහාර පරිභෝජනය කරන්නන්, යකඩ සහ සින්ක් අඩුවෙන් අවශෝෂණය වීමේ ගැටළුවට මුහුණ දිය හැකි බවට මහාචාර්ය සැන්ඩර්ස් අනතුරු අඟවයි. කෙසේ වෙතත් පළතුරු සහ එළවළු රාශියක් සමඟ ධාන්‍ය සහ ඇට වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් මෙම තත්ත්වය සමනය කළ හැකි බවත් ඔහු පවසයි.
නිර්මාංශ ආහාර වේලක සෞඛ්‍ය ප්‍රතිලාභ, වෙනත් ආහාර සමඟ සංසන්දනය කිරීමේදී පැහැදිලි වාසි නොමැති බව පවසන මහාචාර්ය සැන්ඩර්ස්, “නිර්මාංශභක්ෂකයන්ගේ සහ සර්ව භක්ෂකයින්ගේ සමස්ත සෞඛ්‍යය අතරේ සැලකිය යුතු වෙනසක් දකින්නට නොවේ” යැයි ද පවසයි.

එක්සත් රාජධානියේ උපදේශක වෛද්‍යවරියක් සහ පෝෂණ උපදේශන ආයතනයක් වන ඉන්සුලියන් හි නිර්මාතෘවරිය වන නියම්බුරා එම්බුරු ද, පූර්ණ නිර්මාංශ ආහාරවල සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව සැක පහළ කරයි. ඇය ඇගේ අන්තර්ජාල බ්ලොග් අඩවියේ ඒවා විස්තර කරන්නේ “පෝෂණමය වශයෙන් දුර්වල” ආහාර ලෙසට ය.
ඒ වෙනුවට සමබරතා ආහාර ගැනීමේ වැදගත්කම ඇය පෙන්වා දෙයි.
“ශාක හා සත්ව ආහාරවල ක්ෂුද්‍ර පෝෂකවල විවිධ සාන්ද්‍රණයන් අඩංගු ය. එබැවින් ඒවා එකිනෙකට තරගකාරී පෝෂණ ප්‍රභවයන් ලෙස සලකනවාට වඩා එකිනෙකට සහාය දක්වන පෝෂණ ප්‍රභවයන් ලෙස සැලකිය යුතු ය” ඇය ලියා තිබේ.

නිර්මාංශ ආහාර වේලක ප්‍රතිලාභ
එක්සත් රාජධානියේ ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යවරයෙකු සහ උපදේශකයෙකු වන ආචාර්ය ඇලන් ඩෙස්මන්ඩ් නිර්මාංශ ආහාර ප්‍රවර්ධනය සඳහා ප්‍රබල හඬක් නගන අතර ඒවායේ ප්‍රතිලාභ ගැන නිතර ප්‍රකාශයට පත් කරයි. ඔහු වැඩිහිටියන්ව සතුන්ගෙන් තොර ආහාර වේලක් අනුගමනය කිරීම සඳහා දිරිමත් කළ යුතු බව පවසන්නේ එහි සැලකිය යුතු වාසි ඉස්මතු කරමිනි. “සෞඛ්‍ය සම්පන්න, ශාක මත පදනම් වූ ආහාර වේලක් ඕනෑම වයසක දී විශාල ප්‍රතිලාභ රාශියක් ලබා දෙනවා. එයින් අප වයස්ගත වන විට ඇතිවන ප්‍රධාන ගැටළු රාශියක් වන හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකියි. ශාක මත පදනම් වූ ආහාර වේලකට මාරු වීම ගැන සලකා බැලීමට කිසි විටෙකත් ඉක්මන් වැඩි හෝ ප්‍රමාද වැඩි වෙන්නේ නැහැ “ඔහු පැවසුවේ ය.
නමුත් මස් හා කිරි රහිත ආහාර වේලක් අනුගමනය කරන වියපත් අය “ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ගැන සැලකිලිමත් විය යුතු” බවට වෛද්‍ය ඩෙස්මන්ඩ් අනතුරු අඟවවා තිබේ.
“සෞඛ්‍ය සම්පන්නව සිටීමට උනන්දුවන ඕනෑම අයෙකු ඇට වර්ග, ටෝෆු සහ ධාන්‍ය වර්ග වැනි ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත ශාක ආහාර අනුභව කළ යුතුය. එමෙන්ම අස්ථි සෞඛ්‍යය සහ මාංශ පේශි ස්කන්ධය පවත්වා ගැනීම සඳහා විටමින් බී 12 අතිරේක ලබා ගැනීම සහ නිතිපතා බර එසවීමේ ව්‍යායාමවල යෙදීම ද වැදගත්.”
විටමින් බී 12 තීරණාත්මක සාධකයක් වන අතර එය හමුවන්නේ සත්ත්ව ආහාරවල පමණි. එනිසාම එය නිර්මාංශ ආහාර වේලක නොමැති පෝෂක අතුරින් එක ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයක් වී තිබේ. B12 හි ඌනතාවය නිසා වෙහෙස, මාංශ පේශි දුර්වලවීම, මානසික අවපීඩනය සහ ව්‍යාකූලත්වය ඇති විය හැකි තර වැඩිහිටියන්ට මේ තත්ත්වය වඩාත් දරුණු හා අවදානම් විය හැක. මීට අමතරව, එක් අධ්‍යයනයක් විසින් බී 12 විටමින් මට්ටම අඩු වීම ආඝාත අවදානම වැඩි කිරීමට ද සම්බන්ධ බව හෙළි කර තිබුණි.
කොලීන් යනු බිත්තර, කිරි සහ හරක් මස්වල ඉහළ ප්‍රමාණවලින් දක්නට ලැබෙන තවත් ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයකි. බොහෝ ප්‍රවීණයන් පවසන්නේ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරන අය ස්නායු සෛල අතර සංඥා හුවමාරුවට මෙන්ම වකුගඩු ක්‍රියාකාරීත්වය මැනවින් පවත්වාගෙන යාමට ද අත්‍යවශ්‍ය වන කොලීන්, නිසි ප්‍රමාණයට තමන්ට ලැබෙන බවට වග බලා ගත යුතු බව ය. ගර්භනී කාන්තාවන් සඳහා අවශ්‍ය සංඝටක අතරින් කොලීන් ද ප්‍රධාන වන අතර එය කළලයේ මොළයේ වර්ධනය සඳහා වැදගත් බව විශේෂඥයෝ පවසති. වාසනාවකට මෙන්, එය බ්‍රොකොලි, ගෝවා අංකුර, රටකජු සහ හතු වැනි ආහාරවල ද තිබේ.

‘නොදැනුවත්වම නිර්මාංශවූවෝ’
වෛද්‍ය ඩෙස්මන්ඩ් නිර්මාංශ ආහාර වේලක සදාචාරාත්මක වාසි ද ඉස්මතු කරයි. “සත්ත්ව නිෂ්පාදන මත යැපීම අඩු කිරීමෙන් ඔබට පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය අඩු කරමින් ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීම ද කළ හැකි අතර, වඩාත් තිරසාර හා දයාවෙන් යුතු ලෝකයකට දායක විය හැකියි” ඔහු පවසයි.
වියපත් වැඩිහිටියන් නිර්මාංශ වීම සැමවිටම සාරධර්ම හෝ සෞඛ්‍ය ගැටළු මත හිතාමතාම කෙරෙන තෝරා ගැනීමක් නොවේ. එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විශේෂඥයින් සීමිත පෝෂ්‍ය පදාර්ථ සහ අඩු කැලරි සහිත ආහාර මත යැපෙන, පෝෂණ ඌනතාවලට තුඩු දෙන, නොදැනුවත්ම නිර්මාංශ භක්ෂකයන් වූ වැඩිහිටි පුද්ගලයින් ගැන දැඩි කනස්සල්ලෙන් පසු වෙති. මෙම සංසිද්ධිය හැඳින්වෙන්නේ “තේ-සහ-ටෝස්ට් සින්ඩ්රෝමය” ලෙසටය. මෙවන් වැඩිහිටියන් බොහෝ විට යකඩ ඌනතාවය සහ වෙනත් සෞඛ්‍ය ගැටළු සමඟ රෝහල් ගත වෙති.
මෙය අනිවාර්යයෙන්ම සිදු වන්නේ මස් හා කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීම වටා ඇති සදාචාරාත්මක සංකල්ප නිසා නොවේ. සහකරු මිය ගිය පසු සහ දරුවන් වෙනම පදිංචි වීම සඳහා නිවසින් ඉවත්ව ගිය පසු තනිවම ජීවත් වන්නේ නම් ආහාර පිළියෙල කිරීමට ඇති වන අලසකම, පෝෂණයෙන් අනූන මස් හා මාළු නිෂ්පාදන මිල අධික වීම හෝ මස්,මාළු සහ කිරි මිලදී ගැනීම සඳහා වෙළඳපොලට යාම සාපේක්ෂව දුෂ්කර වීම ආදී හේතු මස් මාංශ ආහාර වේලින් නොදැනුවත්වම බැහැර කිරීමට සිදුවන කරුණු බවට පත් වී තිබේ.
එය විෂම චක්‍රයක් විය හැකිය. සමහර විශේෂඥයින් පවසන පරිදි, මෙම තත්ත්වය ආර්ථික සාධකවල ප්‍රතිඵලයක් පමණක් නොව, හුදකලාව හා තනිකම සහ මානසික අවපීඩනයේ ආරම්භය මගින් ද සිදු වේ. එයින් ම ඇතිවන විටමින් බී 12 වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම මෙම තත්ත්වය තවත් උග්‍ර කරවයි. මිනිසුන් වියපත්වත්ම මෙයින් ශරීරයට ඇති කරන දුර්වලකම සුළුපටු නොවේ.
උපුටා ගැනීම –
bbc.com/sinhala