ඕනෑම කාලෙකදී උත්සව සමය කිට්ටු වෙන්න, කිට්ටු වෙන්න පොල් තෙල් සම්බන්ධයෙන් මහජනතාවගේ තිෙයන සොයා බැලීමත් වැඩියි. මොකද කැවිලි ජාති හැම දෙයක් සම්බන්ධයෙන්ම තෙල් සමඟ මනා ගනුදෙනුවක් තියෙන නිසා. ඉස්සර නම් හැමදාම කෑමට කන්න ගන්න පොල්තෙල් වුණත් මිනිස්සු ගිහින් හැමතැනින්ම මිලදී ගත්තේ නෑ. සියලු පරිභෝජන කටයුතු වලට යොදා ගත්තේ ගෙදර හිඳපු තෙල් වර්ග. ඒ වගේම පොල්තෙල් ගන්න හැමෝම එක්කාසු වුණ තැනක් තමයි ගමේ තියෙන පොල්මඩුව.
එහෙම වුණත් කාලයක් යනකොට ඒ පොල්තෙල්ම සිල්ලර වෙළඳපොළවලින් මිලදී ගන්න පුළුවන් තත්වෙකට පත්වුණා. ඒත් කාලානුරුපීව පොල්මඩුව අපෙන් ඈතට ගිහින් අපි හැමෝම ගිහින් අවසානෙදි නතර වුණේ සුපර් මාර්කට් එක ඉදිරිපිට. හැබැයි හිතට ගන්න ඕන එකදෙයක් තියෙනවා. ඒක තමයි පොල්මඩුවෙන් ගන්න පොල්තෙල් වගේ නෙවේ සුපර් මාර්කට් එකෙන් ගන්න තෙල් වර්ගවල නොයෙකුත් විදියේ රසායනික ජාති එක්වෙලා තියෙනවාය කියලා. කතාව එහෙම වුණා කියමුකෝ. එතකොට අපිට කන්න වෙන තෙල් වර්ගයක් ඇත්තේම නැද්ද. පොල් හිඟයකුත් තියෙන මේ වගේ වෙලාවක පොල්තෙල් හොයාගෙන ගිහිල්ලා එලොව පොල් බලාගන්නවට වඩා කැමති නැද්ද අපිට තවත් කන්න පුළුවන් තෙල් වර්ග මොනවද කියල හොයල බලන එක.
ඉතින් උත්සව සමයක් අහලකවත් නැති කාලෙක පොල්තෙල් කතාව මේ විදියට කරලියට එන්න හේතුවුණ කාරනාව තමයි මිනිස් පරිභෝජනයට අහිතකර විෂ සහිත පොල් තෙල් කිලෝ කෝටි 8000ක් පමණ වෙළඳ පොළට නිකුත්ව ඇති බව ප්‍රකාශයට පත් වීම. මේ කතාව වර්තමානයේදී අලුත් හැඩයකින් ඉදිරිපත් වුණත් මීට ඉහත 2021දිත් මෙවැනි පුවතකින් කියවුණේ ආනයනය කරන ලද පොල්තෙල්වල සියයට 40ක ප්‍රමාණයක විෂ රසායනික කලවම්ව තියෙනව කියල . ඒවගේම මේකට විසඳුමක් හොයන්න 2020 ඔක්තෝබරයේදී, පොල්තෙල්වල රසායනික ද්‍රව්‍ය අඩංගු මොන විදියටද කියල හොයල බලන්න හා එය නියාමනය කරන්න, අවශ්‍ය රෙගුලාසි සකස් කරන්න කටයුතු සුදානම් කළේ එවක හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්
කතාව එහෙම වුණත් හැමදෙනාම පොල්තෙල් පසුපස යනවා විනා පරිභෝජනයට සුදුසු තවත් තෙල් වර්ගයක් ඇතිදැයි සෙවීමට තරම් කිසිවෙකුත් සූදානම්ව නැති හැඩ තවමත් පේන්න තියෙනවා. කොහොමහරි පොල්තෙල් සිදුවීම් ඒ අයුරින් සිදු වෙනකොට පොල්තෙල්වලින් පස්සෙ කන්න සුදුසුම තෙල් වර්ග විදියට බොහෝදෙනා පිලි අරගෙන වගේම භාවිත කරන්න පටන් ගත්තෙ එළවළු තෙල්.
මොනවද මේ එළවළු තෙල්
එදා ඉඳන් ලංකාවේ මිනිස්සුන්ට කෑමට පුරුදු පොල්තෙල් භාවිතාව පැත්තක දාලා ආනයනික වශයෙන් ලංකාවට ගෙන්නන එළවළු තෙල් භාවිත කරන්න ගොඩක් දෙනෙක් පුරුදු වුණා. හැබැයි කටට පුරුදු විදියට හැඩේට කවුරුත් මේකට කියන්න ගත්තා vegetable oil කියලා. කිසිම කෙනෙක් හොයන්න බලන්න නම් ගියේ නෑ කොහොමද මේ තෙල් වර්ගය හින්දන්නේ, ශරීරයට හිතකරද අහිතකරද යන්න පිළිබඳව. හැබැයි ඒවා කොහොම හරි එළවළු තෙල් වුණා.
මලෙන් හිඳින සූරියකාන්ත තෙල්
පොල් තෙල් වෙනුවට ආහාරයට ගන්න පුළුවන් තවත් තෙල් වර්ගයක් තමයි සූරියකාන්ත තෙල්. සූරියකාන්ත තෙල් ආහාරයට ගන්න පුළුවන් වගේම වෙනත් කටයුත් සඳහා ද භාවිත කරන්න පුළුවන්. ඒ අතුරින් රූපලාවණ්‍ය කටයුතුවලදී මෙය බහුලව භාවිත කරනවා,. සූරියකාන්ත තෙල්වල බහුලව දකින්න ලැබෙන්නේ E විටමින්.
විශේෂයෙන් ආතරයිටිස් රෝගීන්ගේ රෝගී තත්ත්වය සමනය කරන්න සූරියකාන්ත තෙල් මනා ඔසුවක් ලෙසින් සඳහන් වෙනවා. ඒ වගේම හෘද රෝග, එනම් රුධිර වාහිනී රෝග වැළැක්වීමටත්, හෘදයාබාධ ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමටත් මේ සූරියකාන්ත තෙල්වලට විශේෂ හැකියාවක් පවතිනවා. කොලොස්ට්‍රෝල් අඩු කිරීමේ හැකියාව ඒ අතරින් ඉහළයි. මීට අමතරව මොළයේ සහ ස්නායුවල ක්‍රියාකාරිත්වය උදෙසා ඇස්පෙනීම අඩුව යාම වැළැක්වීමට හා ආහාර ජීරණ කටයුතු මනාව සිදු කිරීම සඳහා සූරියකාන්ත තෙල් උපයෝගී කරගැනීමේ හැකියාවක් පවතිනවා.
කෑමට හොඳ සෝයා තෙල්
ඒ මොනවා වුණත් සෝයා තෙල් කියන්නේ පොල් තෙල්වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි තවත් එක් තෙල් වර්ගයක් .18 වැනි සියවසේ මැද භාගයේ දී වගේ තමයි සෝයාතෙල් භාවිතයට සුදුසුයි කියලා හොයාගෙන තියෙන්නේ. සෝයාතෙල් ආහාරයට ගැනීම තුළින් රෝග වැළැක්වීම සඳහා එය හොඳ ආදේශකයක්. මේ වෙනකොට ලෝකයේ බහුලවම සෝයා බෝංචි තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ රුසියාවෙ, ඒ කොහොම වුණත් මීට වසර කිහිපයකට පෙර ලංකාවෙත් නිවේදනය කළා පොල්තෙල් වෙනුවට සෝයාතෙල් ආහාරයට ගන්න ඒවා ලංකාවේ නිෂ්පාදනය කරනවා කියලා. කාලයක් තිස්සෙ ඉඳලා පොල්තෙල් වෙනුවට ලංකාවේ භාවිත වන තවත් ආදේශකයක්, ඔලිව් තෙල් කියලා කියන්නේ. පොල්තෙල් සමඟ සකස් කර ගන්නා ආහාර සියල්ලම මේ ඔලිව්තෙල් එක්ක සකස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වෙනසකට තියෙන්නෙ ලංකාවේ අපිට මේ ඔලිව් තෙල්වල මිල ඒ තරම් දරාගැනීමේ පහසුකමක් නැති එකයි. ඔලිව් තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ මේද තැන්පත් වීම ඉතාමත් අඩු වනවා වගේම කොලෙස්ටරෝල් වගේ රෝගයන් වැලඳීමේ ඇති හැකියාවත් ඉතාමත් අඩු මට්ටමක තමයි පවතින්නේ.
කෑමට ගුණ තල තෙල්
තව දුරටත් සඳහන් කරන්නේ නම් පොල්තෙල්වලට ආදේශකයක් ලෙස තලතෙල් භාවිත කිරීමේ හැකියාවද පවතිනවා . තලතෙල් භාවිත කිරීම මගින්, පොල්තෙල් සහ ඔලිව්තෙල්හි ඇති පාරජම්බුල කිරණ මගින් සම ආරක්ෂා කිරීමේ හැකියාවට වඩා වැඩි හැකියාවක් තලතෙල් සතුව පවතිනව. නිතරම ජපානය සම්ප්‍රදායික ආහාර මත තම පරිභෝජන කටයුතු කරණ නිසා මේ වන විට ලෝකයේ ප්‍රධානම තලතෙල් ආනයන කරන රට වන්නේද ජපානයයි.
ඉන්දියාවෙත් කන එළඟි තෙල්
පිරිසිදු එළඟිතෙල් ආහාරයට ගන්න පුළුවන් තවත් එක් තෙල් වර්ගයක් ලෙස නම් කරන්න පුළුවන්. ලංකාව තුළ කෙසේ වෙතත් අපේ අසල්වැසි රටේ බහුල ලෙසින් භාවිත කරන්නේ එළඟිතෙල් . මේ ආකාරයට ආහාරමය අවශ්‍යතා සඳහා එළඟිතෙල් භාවිත කිරීමෙන් සෞඛ්‍යමය වශයෙන් ද ප්රතිලාභ ගණනාවක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. පිරිසුදු එළඟි තෙල් ආහාර සඳහා භාවිත කිරීමේදී කොලොස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් ඇතිවන හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කර ගැනීමට හැකියාව තියෙනවා වගේම මොළය හා ස්නායු පද්ධතිය ශක්තිමත් කීරීමේ හැකියාවද පවතිනවා.
මීට අමතරව ආහාරමය කටයුතුවලට මෙන්ම වෙනත් කටයුතු උදෙසාද භාවිත කරනු ලබන තෙල් වර්ග කීපයක් ලෙස රටකජු තෙල්, අබතෙල් , කුරුඳු තෙල් හා මීතෙල් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලත් කිව්ව වගේ තෙල් කන්නම ඕන නම් ඇහෙන දකින දේවල්වලට ඔළුව අවුල් කරගන්නේ නැතුව අපිට පේන මානේ තියෙන තෙල් වර්ග ගැනත් අවදානය යොමු කරන එක තමයි හොඳම දේ.
රජිත බස්නායක – මූලාශ්‍රය – දිනමිණ ඊ පුවත්පත