ස්වාමීන් වහන්ස ක්‍රෝධය යනු කුමක්ද?
සත්ත්වයා සසර බැඳ තබන ප්‍රධාන ධර්මයක් තමයි ක්‍රෝධය. ක්‍රෝධය කියන දේට තවත් අරුත් කිහිපයක් තිබෙනවා. ද්වේශය, වෛරය, තරහාව යනාදි වචනවලිනුත් හඳුන්වන්නේ ක්‍රෝධයේ කොටස්මයි. ක්‍රෝධය යනු පුද්ගලයාගේ සිතේ සැනසිල්ල නැති කරන සාධකයක්. ලෝභය, ද්වේශය, මෝහය ලෙස ප්‍රධාන ලෙස අකුසල් තුනක් සද්ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ද්වේශය කියන දේට ක්‍රෝධය ආදේශ වෙනවා. සතර අපායට කෙනෙක් වැටෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ ක්‍රෝධය. තමන්ට උහුලා ගැනීමට නොහැකි වන විටදී තමයි මේ ක්‍රෝධය ඇති වන්නේ. පරුෂ වචන භාවිතයේදී ඇති වන්නේ ක්‍රෝධයක්. තමන් අපේක්ෂා කරන දේ නොලැබෙන විටදී, එනම් තමන් කැමැති දේ නොලැබෙන විටදී මේ තරහාව ඇති වෙනවා. තමන්ට සුදුසු ආකාරයට දේවල් සකස් කර ගත නොහැකි විට ඇති වන මානසික ස්වභාවය ක්‍රෝධය තුළින් ඇති වෙනවා. ක්‍රෝධය යනු සාමාන්‍ය කාරණාවක් නොවෙයි. ලෝභය, මෝහය කියන කාරණා ඉක්මවා යන සාධකයක් තමයි ක්‍රෝධය. ඉක්මණින්ම සතර අපාගත වීමට හැකි වන කාරණාවක් එය. දරුණුම කාරණාවක් එය. සිතක ඇති වන දරුණුම මානසික මට්ටම තමයි ක්‍රෝධය. ක්‍රෝධය සම්බන්ධයෙන් සූත්‍ර පවා වෙනම බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.
ක්‍රෝධය යනු අකුසලයක් නේද?
කුසල්, අකුසල් කියන කාරණාවේදී සාමාන්‍ය විදියට කතා කළොත් එය දක්ෂ අදක්ෂතාව කියලා බෙදා වෙන් කළ හැකියි. අදක්ෂතාව නිසා තමයි අකුසල් හට ගන්නේ. බුදුරජාණන් වහන්සේලා මෙලොවට පහළ වී දේශනා කළේම මිනිසාගේ චිත්තයන් පිරිසුදු කර ගැනීම සම්බන්ධයෙන්මයි. ලෝකයේ තිබෙන සියලුම විෂයන් ගැන බුදුන් වහන්සේලා දේශනා කර තිබෙනවා. සත්ත්වයාගේ මනසට බලපාන සියලු දේ බුදුන් වහන්සේ දේශනා කළා. පුද්ගලයාගේ සිත පිරිසුදු කර ගැනීම ගැන උන්වහන්සේලා දේශනා කළා. දේව, බ්‍රහ්ම, මනුෂ්‍ය සිත් පිරිසුදු කර ගැනීම ගැන බුදුන් වහන්සේ දේශනා කළා. ක්‍රෝධය තුළින් පීඩාකාරී ස්වභාවයක් සිත තුළ හට ගන්නවා. එය අකුසල් මූලික සිතුවිලි ස්වභාවයක්. අකුසල් ධර්ම 12ක් තිබෙනවා. ද්වේශය සඳහා අකුසල් සිත් දෙකක් හට ගන්නවා. කුමන ද්වේශයක් හට ගත්තත් මේ අකුසල් සිත් දෙකෙන් එකක් මුල් වී තිබෙනවා. දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංකාරික සිත, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංකාරික සිත යනාදිය එම අකුසල් සිත් ලෙස හඳුන්වනවා. ඒ අනුව ක්‍රෝධය නියත වශයෙන්ම අකුසලයක්. මේ සිතුවිලි ඇති වන විටදී පුද්ගලයා දැවි දැවී සිටිනවා. සිතේ තිබෙන ප්‍රසන්නභාවය නැති වන කාරණා අකුසලයක් බවට බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.
කෙනෙකුගේ සිතක් තුළ ක්‍රෝධ සිතුවිලි හට ගැනීමෙන් සිදු වනුයේ කුමක්ද?
උදාහරණයක් විදියට සියදිවි නසා ගැනීම ගැන කතා කළොත් එහිදී ඇති වන්නේ ක්‍රෝධයක්. මනසට පීඩාකාරි සිතුවිල්ලක් ඇතිව මානසික සුවතාව නැති කරන දෙයක් තමයි ක්‍රෝධය කියන්නේ. සියුම්ව හට ගන්නා ක්‍රෝධය ජීවිතය නැති වීමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දෙවියකු වේවා, බ්‍රහ්මයෙකු වේවා කුමන හෝ සත්ත්වයකු තුළ ද්වේශයක් ඇති වුවහොත් ඇති වන්නේ අකුසල් සිත් දෙකකි. මේ සිත් දෙක පාලනය කර ගැනීමෙන් හරිම අපූරුවට ක්‍රෝධය වළක්වා ගත හැකියි. කුසල් සිත් 21ක් තිබෙනවා. අකුසල් සිත් දෙකක් නැති කර ගැනීමට අපට නොහැකියි කියන්නේ අපි කොතරම් දුර්වලද. ද්වේශය නැති තැනක් නැහැ. වචනය තුළ, ක්‍රියාව තුළ හැමතැනකම ද්වේශය තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී ක්‍රෝධය පෙනෙන අවස්ථාත් තිබෙනවා. නොපෙනෙන අවස්ථාත් තිබෙනවා. ඇතැම් විට සිත තුළ මේ සිතුවිලි ඇතිවෙලා ඒක නැතිවෙනවා. ඒ දේ අපට පේන්නේ නැහැ. කවුරු හරි ගහ බැණ ගන්නා අවස්ථාවකදී තමයි මේ ක්‍රෝධය පේන්නේ.
ක්‍රෝධය නිසා සිදු වන හානි මොනවාද?
ක්‍රෝධ සිත් තිබෙන විට තිරිසන්ගතව උපත ලැබුවත් උපදින්නේ මහා ක්‍රෝධ සහගත සතෙක් විදියට. කොටි, වලස්සු වගේ ද්වේශ සහගත භයානක සතෙක් විදියට උපදිනවා. සතර අපාය මහගෙදර බවට පත් කිරීමට මේ සිතුවිලි හේතු වෙනවා. ක්‍රෝධ සහගත සිතකින් යුක්ත අයෙක් කිසිවිටෙක යහපත් ස්වභාවයකින් වෙසෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ කාලයේ දිවැස්ලාභීන් අතර අග තනතුරු දැරුවේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ නැඟණිය දරුණු කුෂ්ඨ රෝගයකින් පෙළුණා. ඊට හේතුව වූයේ ඇය තුළ පැවැති ක්‍රෝධයක්. කලින් ආත්ම භාවයකදී තමන්ගේ ස්වාමි දියණිය යහනේ සිටියදී කහඹිලියා දාලා. මෛත්‍රී සහගත සිතකින් කහඹිලියා දැමිය නොහැකියි. වෛරී ස්වාභාවයක් නිසා තමයි එවැනි සිද්ධියක් වුණේ. ඒ ක්‍රෝධය නිසා ඇයට සංසාරේ පුරාවටම විඳවන්න වුණා. ඇගේ මුළු ශරීරයේම කුෂ්ඨ රෝගයක් ඇති වීම නිසා ඇය පුදුම විදියට විඳෙව්වා. අපි තවත් උදාහරණයක් ගැන බලමු. පිළිකාවක් හැදුණු රෝගියෙක් ගන්නකෝ. ඒ චරිත අධ්‍යයනය කර බැලුවොත් අපිට හොයා ගන්න පුළුවන් ඔවුන් නිතර කෑ කෝ ගසන අය බවට. නිතර කෑ කෝ ගසනවා, තවත් කෙනෙක්ට බණිනවා වගේ කාරණා නිසා ඔවුන් නිතරම ක්‍රෝධ සහගත සිතුවිලිවලින් යුක්තයි. ඒ නිසාම ඔවුන්ගේ ශරීරයේ රුධිරය පවා වෙනස් වෙනවා. රුධිරය පවා අපිරිසුදු වෙනවා. ලෙඩ රෝග බොහොමයකට මේ රුධිරය අපිරිසුදු වීම බලපානවා. ක්‍රෝධය නිසා කෙනෙකුගේ කීර්තියට පවා හානි විය හැකියි.
අප සිත් තුළ ඇති වන ක්‍රෝධ සිතුවිලි පාලනය කර ගන්නේ කෙසේද?
අපේ සිතුවිලි අපට පාලනය කර ගත හැකියි. එම සිතුවිලි පාලනය සම්බන්ධයෙන් තමයි අපට බුදුදහම තුළ කරුණු කාරණා පැහැදිලි කර දෙන්නේ. ක්‍රෝධය කියන සිතුවිල්ලත් අපට පාලනය කර ගත හැකියි. මේ සිතුවිලි පාලනය කර ගන්නවා කියන මානසික මට්ටම තමයි හිතට ගත යුත්තේ. ඒ අනුව හරි අපූරුවට අපේ සිත් අපට පාලනය කර ගැනීමට පුළුවන්. ක්‍රෝධ සිතුවිල්ලක් පැමිණි විට මෛත්‍රී සහගත සිතුවිල්ලක් ඇති කර ගත යුතුයි. සියුම් ද්වේශයකදී මෛත්‍රීය ඇති කර ගැනීමට අපි සිත පුරුදු කළ යුතුයි. මනසේ හට ගත් ද්වේශය වචනවලට පෙරළෙනවා. පරුෂ වචන කීමෙන් එය පිට කරනවා. ඒ වචන ඉක්මවා ගොස් අතින් පයින් ගහන තැනට පත්වෙනවා. ඒ වගේම කෙනෙකුගේ ජීවිතයක් මරණ තැනට පත්වෙනවා. ඒ අනුව ක්‍රෝධ සිතුවිල්ලක් ප්‍රාණ ඝාතයට පවා මුල් වෙනවා. මෛත්‍රියේ ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි ක්‍රෝධය. නිවෙසේ කෙනෙක් කතා කළත් ඒ දේ උහුලන්න බැරි වෙනවා. ඒ වගේම කවුරු හරි ඇඟේ හැපුණත් තරහවක් ඇති වෙනවා. ක්‍රෝධය නැති කර ගැනීමේ වුවමනාවක් තිබිය යුතුයි. පළමුවෙන්ම කාමරයේ තිබෙන අපිළිවෙළ සහගත මේසය අස් කරන්න අපි පුරුදු වෙමු. මේසය අස් කිරීමත් ද්වේශය ඇති වීමත් තුළ තිබෙන සම්බන්ධතාව මොකද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ද්වේශය ඇති වීම නිතර සිත තුළ තිබෙනවා. අතුගාන්න හරි වෙනත් ක්‍රියාවක් කරන්න හරි කරන්න ගිය විට කුමන හෝ නොගැළපෙන දෙයක් සිදු වුවහොත් ඒ දේට බැණීම අපේ පුරුද්දක්. ඒ තමයි අපට නොදැනුවත්ව වුණත් ඇති වන ද්වේශය. ඉවසීම කියන ධර්මතාව ටිකෙන් ටික පුරුදු වීම කළ යුතුයි. රිය අනතුරුවලට පවා හේතු වී ඇත්තේ ද්වේශය. නිවෙසේදී එය පුරුදු කළ හැකියි. අපිළිවෙළට තිබෙන මේසය අස් කිරීම කවදා හෝ ඉවසීමට පුරුදු වෙනවා. තරහ සිතුවිල්ලක් අපේ සිතේ හට ගත් විට එය හඳුනා ගැනීමට අපි දක්ෂ වෙන්න ඕන. සිහිය පිහිටුවීම තුළින් එය හඳුනාගත හැකියි. තරහ සිතුවිල්ල යටපත් කිරීම සඳහා අපි ඉවසීම පුරුදු කරන්න ඕන. ඒ තුළින් අපට ක්‍රෝධය මර්දනය කර යහපත් සිතුවිලි කොට්ඨාසයක් සිත තුළ ගොඩනඟාගෙන යහපත්ව ජීවිතය ගත කරන්න පුළුවන්. සිතට ඇතිවෙන ක්‍රෝධයේ ස්වභාවය පිළිබඳ සිතා එහි ප්‍රතිවිපාකවල දරුණුකම මනසින් දැක තමාත් අන්‍යයන් කෙරෙහිත් නිතර මෛත්‍රියෙන් යුක්තව ක්‍රෝධය පාලනය කළ යුතුයි. නිතර සිනහවෙන් සතුටින් ජීවත්වීමට නම් සිතේ ඇතිවන්නා වූ ක්‍රෝධය පාලනය කළ යුතුම වෙනවා. එවිට ආතතියෙන් තොරව සැහැල්ලුවෙන් ජීවත්වීමට හා සුහදශීලි පුද්ගලයකු වීමට හැකියාව උදා වෙනවා.
සන්ධ්‍යා කරුණාරත්න -දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි