මේ පියයුරු පිළිකා මාසයයි. මේ ලිපිය ඒ වෙනුවෙනි.
වසරකට මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් වාර්තා වේ. කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා රෝගය වන්නේ මේ පියයුරු පිළිකාවයි. කිසියම් පාලනයකින් තොරව ශරීරයේ වැඩෙන සෛල කොට්ඨාසයක් සාමාන්‍යයෙන් පිළිකා වශයෙන් හඳුන්වනු ලබයි. මෙය පියයුරුවක හෝ ශරීරයේ කුමන ස්ථානයක හෝ ඇතිවීමේ හැකියාව පවතී. පියයුරුවක ඇතිවීම පියයුරු පිළිකාවක් ලෙස හඳුනා ගත හැකියි. පියයුරුවේ ඇතිවන ගැටිත්තක් සහ කිහිල්ල ප්‍රදේශයේ වසාගැටිති ඉදිමීම හරහා අපට රෝග ලක්ෂණ දැකගත හැකියි. පියයුරුවේ ඇතිවන කැක්කුමක්, පියයුරුවේ සිදුවන හැඩයේ වෙනස්වීමක්, ප්‍රමාණයේ වෙනසක්, සමේ ඇතිවන වෙනසක්, පියයුරුවේ ශ්රාවයක් වහනය වීමක් පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි. එසේම පියයුරුවේ ඇතිවන ඕනෑම වෙනසක් වෛද්‍යවරයෙකු පරීක්ෂා කර තහවුරු කරන තුරු පියයුරු පිළිකාවක ලක්ෂණ ලෙස සැලකිය හැකියි.
වයස් කාණ්ඩ
කාන්තාවන් සඳහා මෙම පියයුරු පිළිකා රෝග අවදානම 99%ක් පවතී. එසේම පුරුෂ පාර්ශ්වයට 1%ක අවදානමක් පවතී. අවුරුදු 45 – 65 අතර පසුවන අයට මෙම රෝගයේ අවදානම වැඩිය. නමුත් වර්තමානයේ තරුණ වයසේ පසුවන අවුරුදු 40ට අඩු කාන්තාවන්ටද මෙම පියයුරු පිළිකා තත්ත්වයට ගොදුරු වීමක් දැකගත හැකියි. ඊට ජානමය සාධකය යම්කිසි ආකාරයකට බලපා ඇති නමුත් එම අවස්ථාව 05%ක වගේ අඩු අගයක් ගනී. තරුණ වයසේ අයට මෙම රෝගය වැලඳීම ජානවල ඇතිවන බලපෑමක් නිසා බව බොහෝ පුද්ගලයන් පැවසුවත් ජානවලින් ඇතිවන පිළිකාමය තත්ත්වයක් ඇත්තේ ඉතා අතළොස්සකි. වර්තමානයේ මිනිසුන්ගේ ඇති ආහාර රටාව මේ පිළිකා තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. සත්ත්ව මේදය සහිත ආහාර, සීනි ප්‍රමාණය අධික ආහාර, සුප් කැට වර්ග ආහාරයට ගැනීම මෙම තත්ත්වය අවදානම වැඩිවීමට හේතුවී ඇත. මෙම ආහාර කෙටි කාලයක් ආහාරයට ගැනීම මඟින් අවදානමක් ඇති නොවන අතර දීර්ඝ කාලයක් තිස්සේ මේ ආහාර ගැනීම නිසා අවදානම ඉහළ අගයක් ගනී. පළා වර්ග, පලතුරු සහ සිංහල ගැමි ආහාර ආහාරයට ගැනීමෙන් මෙහි අවදානම අඩුකර ගැනීමට හැකිය. ශාරීරික ව්‍යායාම, ඇවිදීම, දිවීම, යෝග ව්‍යායාම, හා භාවනාව ආදී ක්‍රියාකාරකම් මඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීමට හැකිය. ඒ ඔස්සේ පිළිකා අවදානම අඩුකර ගත හැකියි. වර්තමානයේ බොහෝ කාන්තාවන් අධ්‍යාපන කටයුතුවල සහ රැකියාවල නිරතවීම තුළ විවාහ වීම් ප්‍රමාද වීමේ ප්රමණතාවක් දක්නට ලැබෙන්නකි. අවුරුදු 30 ඉක්ම වූ පසු පළමු දරුවා ලැබීම මෙම රෝගයේ අවදානම වැඩිවීමට හේතු විය හැකියි. ඒ වගේම දරුවන් නොලැබූ කාන්තාවන් පියයුරු පිළිකාවේ ඉහළ අවදානම් මට්ටමක සිටී. අධික තරබාරුකම, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, දුම්පානය වැනි ක්‍රියාවන් නිසාද කාන්තාවන්ට මෙම පියයුරු පිළිකාව ඇතිවීමේ අවදානම වැඩි වී ඇත.
රෝග ලක්ෂණ
පියයුරුවේ ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකාමය තත්ත්වයන් නොවේ. කාන්තාවන් වැඩිවියට පත්වීමෙන් අනතුරුව ග්‍රන්ථි පටක හා මේද පටක හෝමෝන ක්‍රියාකාරිත්වය යටතේ එක හා සමානව වැඩිවීමට පටන් ගනී. වයස් ප්‍රමාණය අනුව ග්‍රන්ථි පටක ප්‍රමාණය හා මේද පටක ප්‍රමාණයේ ප්‍රතිශතය වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස දරුවන් ලැබෙන අවස්ථාවේදී දරුවන් හට කිරි දෙන අවස්ථාවේදී ග්‍රන්ථි පටක ඉතා වැඩි අගයක් ගනී. කාන්තාවන් වයස්ගත වීමත් සමඟ මෙම ග්‍රන්ථි පටක ප්‍රමාණය අඩුවී මේද පටක ප්‍රමාණය වැඩි වේ. ග්‍රන්ථි පටක මෙලෙස වෙනස් වීමේදී ගැටිති හෝ ගෙඩි ඇති විය හැකියි. මෙවැනි බොහෝ අවස්ථාවල පියයුරු පිළිකා අවදානමක් නැත. ගැටිත්තක් පියයුරුවේ තිබූ පමණින් එය පිළිකාවක් බවට පත් නොවේ. යම් රෝග ලක්ෂණයක් පියයුරුවේ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් පරීක්ෂණයක් සිදු කර ගැනීම වඩාත් සුදුසුය.
පිළිකාව වර්ධනය
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් පියයුරු පිළිකාවක් වැලඳීමෙන් අනතුරුව පියයුරුව ඉවත් කිරීමක් සිදුකරන බවට වැරදි වැටහීමක සිටිති. නමුත් වර්තමානයේ පියයුරු පිළිකාවකදී පියයුරුව ඉවත් කිරීමක් සිදු නොවේ. ඉතා කලාතුරකින් පියයුරුව ඉවත් කිරීමට කටයුතු කෙරේ. ලෝකයේ භාවිත කරන තාක්ෂණයෙන් ඉහළ ක්‍රම භාවිත කරමින් පියයුරු පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම රාගම ශික්ෂණ රෝහලේ මහාචාර්ය ශෛල්‍ය ඒකකය මඟින් සිදු කෙරේ. මෙම ප්‍රතිකාරවලදී පිළිකාව පමණක් ඉවත් කිරීම (Wide local excision) සහ පියයුරු ඉවත් කළ ස්ථානයේ වළ ගැසීම වැළැක්වීම සඳහා (Chest Wall Perforator Flap (CWPF)) මඟින් පටක පිරවීමක් සිදු කෙරේ. යම් හෙයකින් සම්පූර්ණයෙන්ම පියයුරුව ඉවත් කළහොත් ශරීරයේ ඇති පටක උපයෝගී කරගනිමින් පියයුරුවේ ඉඩස සකස් කර තිබූ පියුරුවේ ප්‍රමාණයට හා හැඩයට සකස් කිරීම (Breast Reconstruction) සිදුකෙරේ. ලෝකයේ මේ සම්බන්ධය ඉතා දියුණු පර්යේෂණ හා දියුණු ක්‍රම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමක් අපට දැකගත හැකියි. පියයුරු ඉවත් කිරීම හෝ නොකිරීම මත පියයුරු පිළිකාවක් නැවත ඇතිවීමේ අවදානමක් ඇති නොවේ. පියයුරු පිළිකාවේ ඇති ලක්ෂණ අනුව එම අවදානම අඩු වැඩි වශයෙන් පවතී. පිළිකා සෛල කෙතරම් දුරට වර්ධනය වී තිබෙනවාද, කෙතරම් ක්රියාකාරිද යන ලක්ෂණ අනුව පියයුරු පිළිකාව නැවත ඇතිවීමේ අවදානම ඇති වේ.
අවදානම
ජානමය තත්ත්වයන් හේතුවෙන් ඇතිවන පිළිකා තත්ත්වයන් අපට හමුවන්නේ ඉතා අල්ප ප්රමාණයකි. නමුත් පවුලේ මවට පියයුරු පිළිකාවක් වැලඳී තිබුණා නම් දියණියට ඇතිවීමේ යම් අවදානමක් පවතී. එසේ නැත්නම් සහෝදරියකට තිබුණා නම් අනෙක් සහෝදරියට පියයුරු පිළිකාවක් ඇතිවීමේ අවදානමක් තිබේ. පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් වැලඳී තිබෙනවා නම් එයට පවුලේ අනෙක් සාමාජිකයන් බිය යුතු නැහැ. පියයුරු පිළිකා සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවී ඒ අවදානම පිළිබඳව දැනගැනීම ඉතා වැදගත්ය. ඒ වගේම පවුලේ පිරිමි අයෙකුට පියයුරු පිළිකාවක් වැලඳී තිබෙනවා නම් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට පියයුරු පිළිකාව වැලඳීමේ අවධානම වැඩි වශයෙන් පවතී.
පියයුරු පරීක්ෂාව
පියයුරු පිළිකා පරීක්ෂණයකදී වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂණයක් කර ගැනීම ඉතාම යෝග්‍ය ක්‍රමයයි. වයස අවුරුදු 40ට පසුව වසර 3 කට වරක් හෝ පියයුරු පරීක්ෂා කළ යුතුය. ඒවගේම ස්වයං පියයුරු පරීක්ෂාවක්ද අපිට සිදු කර ගත හැකිය. විශේෂයෙන්ම සෑම මසකම සියලුම කාන්තාවන් පියයුරු පරීක්ෂාවක් කර ගැනීම සුදුසුය. ස්වයං ආර්ථව චක්‍රය ක්‍රියාත්මක වන කාන්තාවක් නම් සෑම මාසෙම මාස් ශුද්ධිය අවසන් වී සතියකට පසු තමාම තමාගේ පියයුරු පරීක්ෂා කිරීම කළ යුතුයි. ඒ වගේම මාස් ශුද්ධිය සිදුවෙන කාන්තාවක් තමාගේ පියයුරුවේ හැඩය, ප්‍රමාණය, සමේ වළ ගැසීමක්, පැහැයේ වෙනසක් සහ ගැටිති ස්වභාවයක් තිබෙනවාද, තණපුඩුවේ වෙනසක් තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර ගත යුතුයි. මාස් ශුද්ධිය සිදු නොවෙන කාන්තාවක් නම් මසකට වතාවක් මෙවැනි පරීක්ෂාවක් සිදු කිරීමේ හැකියාව පවතී. සෑම මාසයකම මෙය සිදු කරන විට තමාගේ පියයුරු පවතින්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් ලබාගත හැකියි. ඒ හරහා වෛද්‍ය උපදෙස් සඳහා ඉතා ඉක්මණින් යොමු විය හැකියි. ලංකාවේ ඕනෑම කෙනෙකුට අවුරුදු 40න් පසුව රජයේ රෝහලකින් හෝ පෞද්ගලික රෝහලකින් පියයුරු පරීක්ෂාවක් සිදු කරගත හැකියි. නමුත් පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් වැලඳී තිබෙනවා නම් ඊට පෙර පියයුරු පරීක්ෂාවක් සිදුකරගත යුතුය.
පිළිකාවෙන් ආරක්ෂා වීම
සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කර ගැනීමෙන් ඔබට පියයුරු පිළිකා වැලඳීමේ අවදානම අවම කර ගත හැකියි. පියයුරු පිළිකා පරීක්ෂාවන් සඳහා යොමු වීම තුළින් ඉක්මණින් සොයා ගත් පසු ප්‍රතිකාර කිරීමට පහසුය. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තාම හොඳ කර ගත හැකියි. ඒ නිසා බය වෙලා මේ රෝගය සඟවා ගෙන ඉන්නේ නැතිව වහාම ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් සුදුසුය. තමන්ට යම්කිසි සැකයක් තියෙනවා නම් හැකි ඉක්මණින් පරීක්ෂණයක යොමු වීම හරහා මෙයින් ආරක්ෂා විය හැකියි.
ඕනෑම පිළිකාවක් කලින් හඳුනාගැනීම ඉතා වැදගත් කරුණකි. කලින් හඳුනාගැනීම හරහා ශරීරය පැතිරීම අවම කරගත හැකියි. ඒ හරහා මේ පිළිකාව සුව කළ හැකි තැනකට ගෙන එන්න හැකියාව තිබේ. ලෝකේ බොහෝ රටවල නීරෝගි කාන්තාවන් පවා පියයුරු පිළිකා පරීක්ෂණ සිදු කරනු ලබයි. ඒ හරහා කලින්ම පිළිකා තත්ත්ව හඳුනාගැනීම හා නිසි ප්‍රතිකාරවලට යොමු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එමඟින් නැවත ඇතිවීම හා ශරීරය පැතිරීම අවම කර ගත හැකියි. ශරීරය පුරා පිළිකා සෛල පැතිරීම නිසා ගැඹුරු ප්‍රතිකාරවලට යොමුවීමට සිදුවන නිසා කලින් පිළිකාව හඳුනාගැනීම හරහා එම තත්ත්වය මඟහරවා ගත හැකියි.
රුවන් පුෂ්ප කුමාර, සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය
දිනමිණ ඇසුරිනි