Monday, June 23, 2025
More
    Homeආධ්‍යාත්මිකතිරිසන් සතුන්ටත් ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවාද ?

    තිරිසන් සතුන්ටත් ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවාද ?

    එහෙයි. තිරිසන් සතෙකුට කොයිම වෙලාවකවත් ඉහළට මතුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තිරිසන් සතා තුළ වැඩෙන්නෙම අකුසල මූලයන්. දැන් බලන්නකෝ මේ ලෝකයේ ලස්සනම සතා කවුද ? කුරුල්ලනේ. කුරුල්ලන්ට අපි කොච්චර ආදරේද? කොච්චර කැමතිද? එයා ලස්සනට නාද කරනවා. ලස්සන වර්ණයක් තියෙනවා.

    නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලට කියන්නේ අකුසල් නිධියක් කියලා. අකුසල් නිධියක් කියලා කියන්නේ ඇයි? මේ කුරුල්ලා උදේ ඉදන් හවස් වෙනකල් මොකද කරන්නේ. පණුවන්, දළඹුවන් මර මරා කනවා. තේරුණාද? මේ පණුවන්, දළඹුවන් මර මරා කන මොහොතක් පාසා එයා තුළ මරණීය චේතනාව සකස් වෙනවා. ඊට අදාළව ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා.

    නමුත් එයා කර්මය, කර්මඵල විශ්වාසය හදුනන්නෙ නැහැ. කර්මය, කර්මඵල විශ්වාසය හදුනන්නෙ නැති වුණාට මරණීය චේතනාවට අදාළ ව ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන්න සමහර අන්‍යාගමික මහත්වරු ඉන්නවා. ඒගොල්ලන්ට සත්තු මැරීම කියන එක තහනම් නැහැ ආගමේ. ඒගොල්ලෝ කැමැත්තෙන්, සතුටින් තමයි සත්තු මරන්නේ. නමුත් මැරුවා කියලා ඒගොල්ලන්ට කර්මය, කර්මඵල විශ්වාසයක් නැහැ.

    කර්මය, කර්මඵල විශ්වාසයක් නැතුව ඒගොල්ලො සත්තු මැරුවා කියලා ඒගොල්ලන්ට අකුසලය නැද්ද? අකුසලය තියෙනවා. කුරුල්ලාටත් එහෙම තමයි. එයා කර්මය, කර්මඵල විශ්වාසය හදුනන්නෙ නැහැ. ඒත් මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙනවා.

    ඒ නිසා මේ කුරුල්ලෙක් තිරිසන් ලෝකයට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලයි ගොඩ එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තිරිසන් කුලේ ඉපදෙන සෑම සතෙක්ම එක දිගට ආත්මභාව පන්සියයක් විතර එකම කුලේ ඉපදෙනවා කියනවා. ඒ කියන්නේ හරකෙක් මැරෙන වෙලාවේ ඒ හරකට උපාදානය වෙන්නේ හරක් රැලමයි. හරකෙක් වෙලාම ඉපදෙනවා. ඌරෙක් මැරෙන වෙලාවෙ ඌරාට උපාදානය වෙන්නේ ඌරු රැලමයි. ඌරෙක් වෙලාම ඉපදෙනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුළාට උපාදානය වෙන්නේ කුකුල් රැලමයි. බිත්තරයක ප්‍රතිසන්ධිය ලබනවා.

    ඒ වගේ එක දිගටම ආත්මභාව පන්සියයක් විතර එකම කුලයේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඉතින් ගැලවිල්ලක් නැහැ. අපි තිරිසන් සතා තුළින් ඔය සංසාර භය දකින්න ඕනේ. ඔය සංසාර භයයි.

    ඔය සංසාර භය දැක්ක නම් ඒක තමයි අපි මේ ලෝකයට කරන්න තියෙන, මේ ධර්මයෙන් ගන්න තියෙන ⁣ෙශ්‍ර්ෂ්ඨම හරය. ඒක දකින්නේ නැතිව අපි ඔය සිල්ලර දේවල් පස්සේ ගියොත් මේ ශාසනයත් අපිට අහිමි වෙලා යනවා. අපිත් අවසානයේ තිරිසන් ලෝකයට වැටෙනවා. එච්චර තමයි අපිට වෙන්නේ. ඒ නිසා ධර්මයේ අර්ථවත් දේ ගන්න අපි දක්ෂ වෙන්න ඕනෙ.

    සිරස FM පන්සිල් මළුව වැඩසටහනකින් උපුටා ගැනිමකි

    උපුටා ගැනීම Thushani Silva facebook page

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments