Tuesday, July 1, 2025
More
    Homeපෝෂණයඅපේ ශරීරයට 'මස් ජීර්ණය කරන විධිය' අමතක වෙන්න පුළුවන් ද?

    අපේ ශරීරයට ‘මස් ජීර්ණය කරන විධිය’ අමතක වෙන්න පුළුවන් ද?

    මස් ආහාරයට ගැනීම නතර කරන ඇතැම් පුද්ගලයින් නැවත මස් ආහාරයට ගන්නා විට යම් අප්‍රසන්න බලපෑම් ඇති වන්නේ යැයි වාර්තා කර තිබේ. ඔබේ ශරීරයට මස් ජීර්ණය කරන ආකාරය අමතක කළ හැකි ද?

    අඩුවෙන් මස් ආහාරයට ගැනීම ඔබ හරිතාගාර වායු විමෝචනයට දායක වීම අඩු කිරීමට ඇති පහසු ක්‍රමයකි.

    එක්සත් රාජධානියේ සෑම කෙනෙකු ම මස් අඩුවෙන් එනම්, දිනකට මස් ග්‍රෑම් 50කට වඩා අඩුවෙන් ආහාරයට ගන්නේ නම්, නැතිනම් කම්බර්ලන්ඩ් සොසේජස් එකක් හා සමාන ප්‍රමාණයක් මස් ආහාරයට ගන්නේ නම්, මෝටර් රථ මිලියන අටක් භාවිතයෙන් ඉවත් කිරීමෙන් නතරවන කාබන් ප්‍රමාණය හා සමාන කාබන් ප්‍රමාණයක් විමෝචනය වීම වැළැක්විය හැකි බව පර්යේෂකයින් සොයා ගෙන තිබේ. එක්සත් රාජධානියේ රජයේ දත්තවලට අනුව මස් පරිභෝජනය පහත වැටෙමින් පවතී. 1980 සිට 2022 දක්වා කාලය තුළ හරක් මස්, ඌරු මස් සහ බැටළු මස් පරිභෝජනය 62%කින් පහත වැටිණි. ඊට බලපෑ හේතු වෙනස් වුව ද, ඒවා පාරිසරික හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට වඩා ජීවන වියදම ඉහළ යාම සමග සම්බන්ධ විය හැකි වුව ද, වැඩි වැඩියෙන් ජනතාව පැහැදිලිව ම මස් එපා යැයි පැවසීම අත්හදා බලමින් සිටිති.

    නමුත් ඔබ දිගු කාලයක් මස් ආහාරයට නොගෙන සිටියහොත්, එය ඔබේ ශරීරයට ඒවා ජීර්ණය කර ගැනීමට ඇති හැකියාවට බලපාන්නේ ද? නිර්මාංශිකයෝ සහ පූර්ණ නිර්මාංශිකයෝ ඇතැම් අවස්ථාවලදී මස් නැවත ආහාරයට ගැනීම ඇරඹීමෙන් උදරයේ වේදනාව, උදරය පිපීම සහ වෙනත් ගැටලු ඇති විය හැකි ද යන්න ප්‍රශ්න කරති. තවත් පිරිසක් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනා අතර එය රාත්‍රියේ කුතුහලය දනවන ප්‍රශ්න රැසකට මග කියයි.

    කෙසේ වෙතත්, දිගු විරාමයකට පසු මස් ආහාරයට ගැනීම උදරයේ ගැටලු ඇති කරනවා ද යන්න පිළිබඳව එතරම් පර්යේෂණ සිදු කර නොමැති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝනෙල් විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය සැන්ඩර් කර්ස්ටන් පවසයි. “සාක්ෂි නැහැ කියන්නේ එහෙම දෙයක් සිදුවෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒකෙන් කියැවෙන්නේ අපි ඒ ගැන අධ්‍යයනය කරලා නැහැයි කියන එක,” ඔහු පවසයි. ඒක හැමවෙලේ ම සෑහීමකට පත් වෙන්න පුළුවන් තත්ත්වයක් නැත්නම් උත්තරයක් නෙවෙයි. නමුත් ඒක සමහර වෙලාවට ඔබට මුහුණ දෙන්න සිදුවන දෙයක්.”

    මස්වලට අසාත්මිකතා ඇති විය හැකි නමුත් එය ඉතා දුර්ලභ තත්ත්වයකි. එය ඇල්ෆා-ගැල් සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වයි. එම තත්ත්වයේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය සත්ව ප්‍රෝටීන ආක්‍රමණිකයින් ලෙස සලකන අතර එය මරණය පවා ගෙන දිය හැකි ඇනෆිලැක්සිස් වැනි දරුණු තත්ත්ව ඇති කළ හැක. මෙම ආසාත්මිකතාව ජීවිත කාලය පුරා මස් ආහාරයට ගත් පුද්ගලයින්ට ඇතිවන තත්ත්වයක් වන අතර මාංශ අඩු ආහාර වේලක් සඳහා මාරු වීමෙන් ඇතිවන තත්ත්වයක් නොවේ. උදාහරණයක් ලෙස එය කිනිතුල්ලෙකු දෂ්ට කිරීමෙන් පසු ද ඇතිවිය හැකි තත්ත්වයකි.

    මස් කෑමෙන් වැළකී සිටින බොහෝ දෙනෙකුට, අහම්බෙන් හෝ ඒවා ආහාරයට ගත් බව අවබෝධ වීම වේදනාකාරී සිතුවිල්ලක් විය හැකි අතර ම එය පෞද්ගලික සීමා මායිම් උල්ලංඝණය කිරීමක් ලෙස හැඟිය බව නිර්මාංශිකයෙකු වන කර්ස්ටන් පවසයි. “ඒකෙන් කෙනෙක් අතිශයින් දුක් වෙන්න පුළුවන්,” ඔහු පැහැදිලි කරයි. “මම දන්නේ නැහැ, ඒක කායික රෝගී තත්ත්වයක් ඇති කිරීමට බලපානවා ද කියලා. හැබැයි ඒකෙන් ලොකු තරහක් ඇති වෙන්න පුළුවන්.”

    නමුත් ආහාර දිරවීමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සලකා බලන විට, යමෙකු දිගු කාලයක් මස් ආහාරයට ගැනීම නැවැත්වූ පමණින් මිනිස් සිරුරට මස් ජීර්ණය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ම අහිමි වනු ඇතැයි ඔබ සිතුවත් එය එසේ නොවේ. පලතුරු, එළවළු සහ රනිල කුලයට අයත් බෝගවල ඇති තන්තු මෙන් නොව, මස් සාමාන්‍යයෙන් ජීර්ණය කිරීමට පහසු ය. මස් දිරවීමට, මයික්‍රෝබයෝම් අවශ්‍ය වේ. එම ක්ෂුද්‍ර ජීවීන් සතුව මස් ජීර්ණය කිරීමට අවශ්‍ය කරන එන්සයිම ඇත.

    එපමණක් නොව, මස් ප්‍රෝටීන ජීර්ණය කිරීමට ද භාවිත කරන්නේ ශාක ප්‍රෝටීන ජීර්ණය කිරීමට භාවිත කෙරෙන එන්සයිම ම ය. මෙම එන්සයිම ප්‍රෝටීනවල ඇති නිශ්චිත රසායනික බන්ධන හඳුනා ගෙන ඒවා බිඳ දමයි. ප්‍රෝටීන ශාකවලින් පැමිණියත් සතුන්ගෙන් පැමිණියත් ඒවා ඇමයිනෝ අම්ලවලින් සෑදී තිබේ. එන්සයිමවලට ඒවායේ ප්‍රභවය නොසලකා බිඳ දැමිය හැකි ය.

    මෙම ක්‍රියාවලිය සත්ව කිරිවල ඇති සීනි, එනම් ලැක්ටෝස් ජීර්ණ ක්‍රියාවලියට වඩා වෙනස් වේ. ලැක්ටෝස් ජීර්ණය කිරීම සඳහා ඔබේ ශරීරයට ලැක්ටේස් නම් එන්සයිමය අවශ්‍ය වන අතර, එම එන්සයිම ප්‍රමාණවත් ලෙස නිපදවන්නේ නැති පුද්ගලයින්ට ලැක්ටෝස් ඉන්ටොලරන්ස් (lactose intolerants) තත්ත්වය ඇති විය හැකි අතර ඔවුන්ට කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් උදරයේ ගැටලු ඇති විය හැක.

    නමුත් මස් ප්‍රෝටීන සම්බන්ධයෙන් ගත් කල, හැම්බර්ගර් එකක් පහසුවෙන් ලෙස ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිම නිපදවීම ශරීරය කෙසේ හෝ නතර කරයි යැයි සිතීම තාර්කික නැහැ. ඒවා සෑම විටම එහි පවතින අතර, කඩල, ඒවා සෝයා බෝංචි හෝ ස්ටේක්ස්වලින් එන ඕනෑ ම ප්‍රෝටීනයක් බිඳ දමමින් සිටින බව කර්ස්ටන් පවසයි.

    Fibre-filled fruits and vegetables are actually more likely to cause digestive issuesතන්තු බහුල පලතුරු සහ එළවළු ඇත්ත වශයෙන්ම ආහාර ජීර්ණ ගැටළු ඇති කිරීමට වැඩි ඉඩක් ඇත.
    තන්තු බහුල පලතුරු සහ එළවළු ඇත්ත වශයෙන් ම ආහාර ජීර්ණ ගැටලු ඇති කිරීමට වැඩි ඉඩක් ඇත

    මිනිස් අන්ත්‍රයේ පවතින ක්ෂුද්‍ර ජීවීන් එක් එක් පුද්ගලයින් ගන්නා ආහාර අනුව වෙනස් වේ. මෙයින් අදහස් කරන්නේ ඇතැම් විට එහි ඇති නිශ්චිත බැක්ටීරියා වර්ග වෙනස් වන බව ය; ඇතැම් විට එම ක්ෂුද්‍ර ජීවීන් වෙනත් එන්සයිම නිපදවන බව ය. සර්ව භක්ෂකයින්ගේ සහ නිර්මාංශිකයින්ගේ සහ සත්ව ආහාරවලින් සම්පූර්ණයෙන් ම තොර අයගේ අන්ත්‍රයේ පවතින් ක්ෂුද්‍රජීවීන් අතර වෙනස්කම් තිබුණ ද සර්ව භක්ෂකයින් විවිධ ශාක ආහාර පරිභෝජනය කරන තුරු ඒවා එතරම් වෙනස් නොවන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.

    අප ගන්නා ආහාර වේලෙහි ඇති වෙනස්කම් අනුව ක්ෂුද්‍රජීවීන් ඉක්මනින් වෙනස් විය හැකි ය. එක් අධ්‍යයනයකදී හෙළි වූයේ, මස් පමණක් ඇති ආහාර වේලකට මාරු වූ පුද්ගලයින් දිනක් ඇතුළත ඔවුන්ගේ අන්ත්‍රයේ සිටින බැක්ටීරියාවල වෙනසක් පෙන්නුම් කළ නමුත්, ඔවුන් එය නැවැත්වූ පසු සාමාන්‍ය තත්ත්වයට පත් වූ බව ය. මෙම අධ්‍යයනයට සහභාගිවන්නන්ගෙන් ඕනෑ ම ආකාරයක අපහසුතා පවතින්නේ නම් වාර්තා කරන ලෙස ඉල්ලා සිටි නමුත් එවැනි කිසිවක් එහි සඳහන් නොවිණි.

    දිගු කලක් කෙඳි අඩංගු ආහාර නොගෙන සිටීමෙන් පසු හදිසියේ ම අධික ලෙස කෙඳි සහිත ආහාර ගැනීම ආහාර ජීර්ණ ගැටලු ඇති කළ හැකි ය. ක්‍රමයෙන් මෙම වෙනස්කම්වලට අනුවර්තනය වීම වඩා ත් උචිත ය. “කෙඳි සහිත අර්ගය අනුව ඒක ප්‍රතික්‍රියා කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්,” කර්ස්ටන් පවසයි.

    කෙටියෙන් කිවහොත්, ඔබ වසන්ත සමය දක්වා පූර්ණ නිර්මාංශික ආහාර වේලක් දිගට ම ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබේ ශරීරයට මස් ජීර්ණය කිරීමේ හැකියාව අහිමි වීම ගැන කරදර විය යුතු නැත. නැවත මස් අනුභව කිරීමෙන් පසු ඔබට උදරයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන්නේ නමේ, ඒ බොහෝ විට එන්සයිම අහිමිවීම නිසා නොවේ. නමුත් මෙය එතරම් ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බව කර්ස්ටන් පවසයි.

    “ශරීරයට හොඳට අනුවර්තනය වෙන්න පුළුවන්, එයට ඔබ සිතනවාට වඩා වැඩි යමක් කරන්න පුළුවන්,” ඔහු තවදුරටත් පවසයි.

    source; bbc.com/sinahala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments