Monday, June 23, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයකනේ කලාඳුරු ඔබේ සෞඛ්‍යය ගැන හෙළි කරන දේ

    කනේ කලාඳුරු ඔබේ සෞඛ්‍යය ගැන හෙළි කරන දේ

    ඇල්සයිමර් (Alzheimer) සිට පිළිකා ආදී රෝග දක්වා කනේ කලාඳුරුවල පුද්ගලයෙකුගේ සෞඛ්‍යය පිළිබඳ කියැවෙන වටිනා ඉඟි අඩංගු විය හැකි ය. රෝග විනිශ්චය කිරීමේ නව ක්‍රම සොයා ගැනීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ විද්‍යාඥයෝ එහි රසායනික සංයුතිය පිළිබඳව විශ්ලේෂණය කරමින් සිටිති.

    තැඹිලි පැහැ, ඇලෙනසුලු එය සංවාදයකදී මාතෘකාවකට බඳුන් නොවන ම දෙයක් විය හැකි ය. එහෙත් පිළිකා, හෘද රෝග සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැනි රෝග පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමට කලාඳුරු භාවිත කිරීමේ අවශ්‍යතාවෙන් පසුවන විද්‍යාඥයින්ගේ අවධානය ඒ කෙරෙහි වැඩි වැඩියෙන් යොමු වෙමින් පවතී.

    මෙම ඇලෙනසුලු ද්‍රව්‍ය වෛද්‍ය විද්‍යාවේදී සෙරුමන් (cerumen) ලෙස හඳුන්වන අතර එය බාහිර ශ්‍රවණ නාලය දිගේ පිහිටා ඇති ග්‍රන්ථි වර්ග දෙකක් වන සෙරුමිනස් සහ සෙබේෂස් ග්‍රන්ථිවලින් නිකුත් කරන ස්‍රාවයකි. එය රෝම, මිය ගිය සමේ කැබලි සහ ශරීරය විසින් බැහැර කරනු ලබන අනෙකුත් අපද්‍රව්‍ය සමග මිශ්‍ර වෙමින්, අප සැවොම දන්නා, නමුත් එතරම් තැකීමක් නොකරන ඉටි වැනි ද්‍රව්‍යයක් බවට පත් වේ.

    එලෙස ශ්‍රවණ නාලය තුළ සෑදෙන කලාඳුරු, මිය ගිය සමේ සෛල ආධාරයෙන් සම්ප්‍රේෂක පටියක් ක්‍රියාකරන ආකාරයට ස්වභාවික යාන්ත්‍රණයක් ඔස්සේ දිනකට මිලිමීටරයකින් විස්සෙන් පංගුවක් පමණ වේගයකින් පිටතට පැමිණේ.

    EARWAX
    කලාඳුරු පිටතට ගමන් කරන්නේ දිනකට මිලිමීටරයකින් විස්සෙන් පංගුවක් පමණ වේගයකිනි

    කලාඳුරුවල මූලික අභිප්‍රාය කුමක්දැයි යන්න ගැන විවාදයක් පවතින නමුත් බොහෝ දුරට එහි කාර්යය වන්නේ බාහිර ශ්‍රවණ නාලය පිරිසිදුව තබා ගැනීම හා එය ලිහිසි කර තබා ගැනීමයි. කෙසේ වෙතත්, එය උගුලක් ලෙස ද ඵලදායීව ක්‍රියා කරමින් බැක්ටීරියා, දිලීර සහ කෘමීන් වැනි ආගන්තුකයින් අපගේ හිසට ඇතුළු වීම වළක්වයි. මේ වන තෙක්, එය පිළිකුල්සහගතයි දෙයක් විය. එමෙන් ම එහි ඇති අප්‍රසන්න ස්වභාවය නිසා, ශාරීරික ස්‍රාවයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පර්යේෂකයන්ට පවා එය මගහැරුණු දෙයක් විය.

    කෙසේ වෙතත්, විශ්මයජනක විද්‍යාත්මක සොයාගැනීම් රැසකට ස්තූතිවන්ත වන්නට, දැන් එය වෙනස් වීමට පටන් ගෙන තිබේ. පළමුවැන්න වන්නේ පුද්ගලයෙකුගේ කන් කලාඳුරු මගින් ඔවුන් පිළිබඳ පුදුමසහගත, වැදගත් බවින් අඩු මෙන් ම වැදගත් බවින් වැඩි යන දෙවර්ගයෙන් ම තොරතුරු ප්‍රමාණයක් ලබා දිය හැකි වීම ය.

    උදාහරණයක් ලෙස, යුරෝපීය හෝ අප්‍රිකානු සම්භවයක් ඇති පුද්ගලයින්ගෙන් අතිමහත් බහුතරයකට ඇත්තේ කහ හෝ තැඹිලි පැහැයෙන් යුත් ඇලෙන සුළු තෙත් ස්වභාවයක් ගන්නා කලාඳුරු වේ. කෙසේ වෙතත්, නැගෙනහිර ආසියානු ජනතාවගෙන් 95%කට වියළි ස්වභාවයක් ගන්නා කලාඳුරු ඇති අතර ඒවා ඇලෙන සුළු නොවේ. තෙත් හෝ වියළි කන් කලාඳුරු නිපදවීමට හේතුවන ජානය ABCC11 ලෙස හඳුන්වන අතර, එය පුද්ගලයෙකුගේ දහඩිය දුගඳට වගකිව යුතු ය. බොහෝ දුරට වියළි කලාඳුරු කාණ්ඩයේ පුද්ගලයින්ගෙන් 2%කගේ පමණ මෙම ජානයේ අනුවාදයක් ඇති අතර එයින් අදහස් වන්නේ ඔවුන්ගේ දහඩිය දුර්ගන්ධයෙන් තොර බවයි.

    කෙසේ වෙතත්, කන් කලාඳුරු ආශ්‍රිත වඩා ත් ප්‍රයෝජනවත් සොයාගැනීම් අපගේ කන්වල ඇති එම ඇලෙන සුළු ද්‍රව්‍යයට අපගේ සෞඛ්‍යය ගැන හෙළි කළ හැකි දේට සම්බන්ධ විය හැකි ය.

    වැදගත් ඉඟි

    1971දී, සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිකලස් එල්. පෙට්‍රකිස්, “තෙත් ස්වභාවයක කන් කලාඳුරු” ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ කොකේසියානු, අප්‍රිකානු-ඇමෙරිකානු සහ ජර්මානු කාන්තාවන්, “වියළි” කන් කලාඳුරු ඇති ජපන් සහ තායිවාන කාන්තාවන්ට වඩා පියයුරු පිළිකා වැළඳී මිය යාමේ සම්භාවිතාව ආසන්න වශයෙන් හතර ගුණයකින් වැඩි බව සොයා ගත්තේ ය.

    ඉතා මෑතකදී 2010දී, ටෝකියෝ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් විසින් ආක්‍රමණශීලී පියයුරු පිළිකා ඇති කාන්තා රෝගීන් 270 දෙනෙකුගෙන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නීරෝගී කාන්තාවන් 273 දෙනෙකුගෙන් රුධිර සාම්පල ලබා ගන්නා ලදී. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ නිරෝගී කාන්තාවන්ට වඩා පියයුරු පිළිකා ඇති ජපන් කාන්තාවන්ගෙන් 77%කට තෙත් කලාඳුරු නිපදවීමේ ජානය තිබීමට ඉඩ ඇති බව ඔවුහු සොයා ගත්හ.

    කෙසේ වෙතත්, මෙම සොයා ගැනීම තවමත් මතභේදාත්මක වන අතර වියළි කන් කලාඳුරු ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉතා අඩු ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ ඉතාලිය යන රටවල සිදු කරන ලද මහා පරිමාණ අධ්‍යයනයන් මගින් තෙත් සහ වියළි කන් කලාඳුරු ඇති පුද්ගලයින් අතර පියයුරු පිළිකා වැළඳීමේ අවදානමේ වෙනසක් ඇතැයි සොයාගෙන නැත.

    වඩා ත් තහවුරු වී ඇත්තේ, සමස්ත ශරීරයට ම බලපාන ඇතැම් රෝග සහ කන් කලාඳුරුවල ඇති ද්‍රව්‍ය අතර සම්බන්ධයක් පවතියි. ආහාරවල ඇති ඇතැම් ඇමයිනෝ අම්ල බිඳ දැමීම වළක්වන දුර්ලභ ජානමය ආබාධයක් වන මේපල් සිරප් මුත්‍රා රෝගය (MSUD) උදාහරණයක් ලෙස ගෙන බලමු. මෙය රුධිරයේ සහ මුත්‍රාවල වාෂ්පශීලී සංයෝග ගොඩනැගීමට හේතු වන්නේ මුත්‍රාවලට මේපල් සිරප්වල ඇති සුවිශේෂී ගන්ධයක් ලබා දෙමිනි.

    EARWAX
    කන් කලාඳුරුවල මගින් ලබා දෙන ඉඟි මෙනියර්ගේ රෝගයට ප්‍රතිකාර කිරීමට උපකාරී විය හැකි යැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති

    මෙලෙස සුවඳක් ඇති මුත්‍රාවලටහේතු වන අණු වන්නේ සෝටෝලෝන් වන අතර එය මෙම රෝගී තත්ත්වය ඇති අයගේ කලාඳුරුවලින් හමුවේ. මෙයින් අදහස් කරන්නේ ජාන පරීක්ෂණයකට වඩා සරල හා ලාභදායී ක්‍රියාවලියක් වන, කෙනෙකුගේ කනකින් ලබා ගන්නා කලාඳුරු සාම්පලයකින් සරලව මෙම තත්ත්වය හඳුනා ගත හැකි බව ය. ඇතැම් විට ජාන පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නොවිය හැකි ය.

    “කන් කලාඳුරුවල සුවඳ මේපල් සිරප් වගේ, ඒ නිසා බබා ඉපදිලා පැය 12ක් ඇතුළත මේ වෙනස් සහ හොඳ සුවඳ ඔබට දැනෙනවා කියන්නේ (කියවෙන්නේ) ඒ බබාගේ සහජයෙන් ම පරිවෘත්තීය දෝෂයක් තියෙනවා කියලා,” ලුවීසියානා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික රසායන විද්‍යාඥවරියක වන රබී ඈන් මූසා පවසයි.

    කොවිඩ් 19 රෝගය ඇතැම් අවස්ථාවලදී කන් කලාඳුරුවලින් ද හඳුනාගත හැකි අතර, පුද්ගලයෙකුට පළමු වර්ගයේ දියවැඩියාව හෝ දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ ද යන්න ද එම පුද්ගලයාගේ කන් කලාඳුරුවලින් ඔබට පැවසිය හැකි ය. මුල් කාලීන පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ යමෙකුගේ කන් කලාඳුරු මගින් යම් ආකාරයක හෘද රෝගයක් තිබේ ද යන්න දැනගත හැකි බව නමුත් රුධිර පරීක්ෂණ මගින් මෙම තත්ත්වය හඳුනා ගැනීම තවමත් වඩාත් පහසු ය

    මිනිසුන්ට කරකැවිල්ල සහ ශ්‍රවණාබාධ ඇති කරන කන අභ්‍යන්තරයේ ඇතිවන රෝගී තත්ත්වයක් වන මෙනියර්ගේ රෝගය නමැති රෝගයක් තිබේ. “රෝග ලක්ෂණවලින් ඔබ ගොඩක් දුර්වල වෙන්න පුළුවන්,” මූසා පවසයි. “ඒකට දරුණු ඔක්කාරය සහ කරකැවිල්ල ඇතුළත්. වාහන පදින්න හෝ තැනකට ගිහින් පුද්ගලයන් එක්ක සම්බන්ධ වෙන්න බැරි කරනවා. අන්තිමේදී බලපෑමට ලක්වුණු කන සම්පූර්ණයෙන් ම ඇහෙන්නේ නැතිව යනවා.”

    මූසා මෑතකදී නායකත්වය දුන් කණ්ඩායමක් මෙනියර්ගේ රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ කන් කලාඳුරුවල, සෞඛ්‍ය සම්පන්න අයට වඩා මේද අම්ල තුනක අඩුවක් ඇති බව සොයා ගන්නා ලදී. මෙම තත්ත්වය සඳහා නිශ්චිත ජීව විද්‍යාත්මක සලකුණක් සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර සාමාන්‍යයෙන් මෙම රෝගය විනිශ්චය කරනු ලබන්නේ වසර ගණනාවක් පුරා ඊට හේතු විය හැකි අනෙකුත් රෝග බැහැර කිරීමෙන් පසුව ය. මෙම සොයාගැනීම, අනාගතයේදී වෛද්‍යවරුන්ට මෙම රෝගී තත්ත්වය වඩාත් ඉක්මනින් හඳුනා ගැනීමට කන් කලාඳුරු භාවිත කළ හැකි බවට බලාපොරොත්තුවක් ඇති කරයි.

    “රුධිරය හා මුත්‍රා හෝ මස්තිෂ්ක සුෂුම්නා තරලය වැනි සාමාන්‍ය ජීව විද්‍යාත්මක තරල භාවිත කරලා රෝග විනිශ්චය කරන්න ඉතා අපහසු, සහ ඒවා දුර්ලභ හින්දා රෝග විනිශ්චය කිරීමට බොහෝ කාලයක් ගත වන රෝග ගැන වාර්තා කරන්නෙක් විදිහට කන් කලාඳුරු පිළිබඳව අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ,” මූසා පවසයි.

    නමුත් කන් කලාඳුරු සෞඛ්‍ය තොරතුරු රාශියක් ඇතුළත් නිධානයක් බවට පත් කරන්නේ කිනම් කාරණයක් ද? වැදගත් දෙය නම් ප්‍රධාන වශයෙන් ඉටි වැනි මෙම ස්‍රාවයට ශරීරය තුළ සිදුවන අභ්‍යන්තර රසායනික ප්‍රතික්‍රියා එනම්, පුද්ගලයෙකුගේ පරිවෘත්තීය ක්‍රියාවලිය පිළිබිඹු කිරීමේ හැකියාව බව ය.

    “පිළිකා රෝග විනිශ්චය සඳහා “ඇඟිලි සලකුණු” වර්ගයක් ලෙස ක්‍රියා කරන කන් කලාඳුරුවල ඇති සංයෝග 27ක් පර්යේෂකයෝ හඳුනා ගත්හ”

    බ්‍රසීලයේ ගොයියාස් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය නෙල්සන් රොබර්තෝ අන්තෝනියෝසි ෆීලෝ විසින්, දියවැඩියාව, පිළිකා, පාකින්සන් සහ ඇල්සයිමර් රෝග උදාහරණ ලෙස පෙන්වමින් පවසනු ලබන්නේ, “ජීවීන්ට තියෙන ගොඩක් රෝග පරිවෘත්තීය ක්‍රියාවලියේ ගැටලු නිසා,” බව ය. “මේ වගේ අවස්ථාවලදී, ලිපිඩ, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදු කරන සෛල ඉන්ද්‍රයිකා වන මයිටොකොන්ඩ්‍රියා, නිරෝගී සෛලවල ක්‍රියා කරන ආකාරයට වඩා වෙනස් ලෙස ක්‍රියා කිරීමට පටන් ගන්නවා. ඒවා විවිධ රසායනික ද්‍රව්‍ය නිපදවීමට පටන් ගන්නවා සහ ඒවා නිපදවීම පවා නතර කරන්න පුළුවන්.”

    අන්තෝනියෝසි ෆීලෝගේ රසායනාගාරයෙන් සොයාගෙන ඇත්තේ කන් කලාඳුරුවල රුධිරය, මුත්‍රා, දහඩිය සහ කඳුළු වැනි අනෙකුත් ජීව විද්‍යාත්මක තරලවලට වඩා රසායනික සයෝග සාන්ද්‍රණය වැඩි බව ය.

    “කන් කලාඳුරු නිතර වෙනස් වෙන්නේ නැති නිසා ඒක ගොඩක් තර්කානුකූලයි,” ෆිලඩෙල්ෆියාහි පිහිටි පර්යේෂණ ආයතනයක් වන Monell Chemical Senses Centreහි රසායනික පරිසර විද්‍යාඥයෙකු වන බෲස් කිම්බෝල් පවසයි. “ඒක එක විදිහකට ගොඩනැගෙනවා, ඒ නිසා පරිවෘත්තීය ක්‍රියාවලියේ සිදුවන වෙනස්කම් පිළිබඳ දිගු කාලීන සාක්ෂි ග්‍රහණය කර ගැනීමට ඒක හොඳ තැනක් කියලා කියන්න හේතු තියෙනවා.”

    හඳුනා ගැනීමට අපහසු රෝග විනිශ්චය

    මේ බව සිතේ තබාගෙන, අන්තෝනියෝසි ෆීලෝ සහ ඔහුගේ කණ්ඩායම පවසන ආකාරයට පුද්ගලයෙකුගේ කන් කලාඳුරු මත පදනම්ව යම් ආකාරයක පිළිකාවක් තිබේ ද යන්න නිවැරදිව පුරෝකථනය කළ හැකි රෝග විනිශ්චය මෙවලමක් වන “සෙරුමෙනොග්‍රෑම්” (cerumenogram) නමැති මෙවලම ඔවුහු සංවර්ධනය කරමින් සිටිති.

    2019 වසරේදී සිදු කළ අධ්‍යයනයකදී, අන්තෝනියෝසි ෆීලෝගේ කණ්ඩායම විසින් ලිම්ෆෝමා [වසා පද්ධතිය ආශ්‍රිතව ඇති වන පිළිකා], කාසිනෝමාව හෝ ලියුකේමියාවෙන් පෙළෙන පිළිකා රෝගීන් 52දෙනෙකුගෙන් කන් කලාඳුරු සාම්පල එකතු කරන ලදී. පර්යේෂකයෝ නිරෝගී පුද්ගලයින් 50 දෙනෙකුගෙන් ද කන් කලාඳුරු ලබා ගත්හ. ඉන්පසු ඔවුන් සාම්පල විශ්ලේෂණය කළේ, වාතයේදී පහසුවෙන් වාෂ්ප වන රසායනික ද්‍රව්‍ය වන වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) නිවැරදිව හඳුනාගත හැකි ක්‍රමයක් භාවිත කරමිනි.

    පිළිකා රෝග විනිශ්චය සඳහා “ඇඟිලි සලකුණු” වර්ගයක් ලෙස ක්‍රියා කරන කන් කලාඳුරුවල ඇති සංයෝග 27ක් පර්යේෂකයෝ හඳුනා ගත්හ. වෙනත් වචනවලින් කිවහොත්, මෙම අණු 27හි සාන්ද්‍රණය මත පදනම්ව, යමෙකුට පිළිකාවක් (ලිම්ෆෝමා, පිළිකා හෝ ලියුකේමියාව) තිබේ ද යන්න 100%ක නිරවද්‍යතාවකින් පුරෝකථනය කිරීමට කණ්ඩායමට හැකි විය. සිත්ගන්නාසුලු කරුණ නම්, මෙම පරීක්ෂණයේදී පිළිකා වර්ග අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වූ අතර, එයින් ඇඟවෙන්නේ අණු මෙම සියලු වර්ගවල පිළිකා සෛල මගින් හෝ ඒවාට ප්‍රතිචාරයක් ලෙස නිපදවන වුණු බව ය.

    “පිළිකා රෝග වර්ග සිය ගණනක් තිබුණත්, පරිවෘත්තීය දෘෂ්ටි කෝණයකින් ගත්තා ම පිළිකා කියන්නේ තනි ජෛව රසායනික ක්‍රියාවලියක් වෙන නිසා ඒක නිශ්චිත VOC පරීක්ෂණයකින් ඕනෑ ම අවධියකදී හඳුනාගන්න පුළුවන්,” අන්තෝනියෝසි ෆීලෝ පවසයි.

    2019දී කණ්ඩායම VOC 27ක් හඳුනා ගත් අතර, ඔවුන් දැනට අවධානය යොමු කරන්නේ ඒවාට අනන්‍ය වූ පරිවෘත්තීය ක්‍රියාවලියේ කොටසක් ලෙස පිළිකා සෛල මගින් පමණක් නිපදවන කුඩා සංඛ්‍යාවක් කෙරෙහි ය. අන්තෝනියෝසි ෆීලෝ පවසන්නේ, පූර්ව පිළිකා අවධියේදී සිදුවන පරිවෘත්තීය බාධා හඳුනා ගැනීමට සෙරුමෙනොග්‍රෑම් පරීක්ෂණයේ ඇති හැකියාව, තවමත් ප්‍රකාශයට පත් කර නොමැති පර්යේෂණයක් මගින් ඔවුන් පෙන්නුම් කර ඇති බවයි. පූර්ව පිළිකා අවධිය යනු, සෛල අසාමාන්‍ය වෙනස්කම්වලට භාජනය වන අතර ඒවා පිළිකාවක් බවට වර්ධනය විය හැකි නමුත් පිළිකාවක් බවට පත්ව නොමැති අවධියයි.

    “පළමු අදියරේදී හඳුනාගත්ත බොහෝ පිළිකා සඳහා 90%ක සුවවීමේ සම්භාවිතාවක් ඇති බව වෛද්‍ය විද්‍යාවෙන් බැලුවා ම පේන නිසා, පිළිකාවේ පූර්ව අවධීන් හඳුනා ගැනීමත් එක්ක ප්‍රතිකාරවල සාර්ථකත්වය ගොඩක් වැඩි වෙයි කියලා හිතන්න පුළුවන්,” අන්තෝනියෝසි ෆීලෝ පවසයි.

    EARWAX
    බැක්ටීරියා සහ දිලීර වැනි ආක්‍රමණිකයන් අපගේ හිසට ඇතුළු වීමට පෙර උගුලට හසු කර ගැනීමට කන් කලාඳුරු උපකාරී වේ

    පාකින්සන් සහ ඇල්සයිමර් වැනි ස්නායු පරිහානියට හේතු වන රෝග හා සම්බන්ධ මුල් පරිවෘත්තීය වෙනස්කම් මෙම මෙවලමට හඳුනාගත හැකි ද යන්න පර්යේෂණ කණ්ඩායම විමර්ශනය කරමින් සිටිය ද, අධ්‍යයනය තවමත් එහි ආරම්භක අවධියේ පවතියි.

    “අනාගතයේදී, දියවැඩියාව, පිළිකා, පාකින්සන් සහ ඇල්සයිමර් වැනි තත්ත්වයන් එක පාර හඳුනා ගැනීමට සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලුවලට සම්බන්ධ පරිවෘත්තීය වෙනස්කම් තක්සේරු කරන්න කන් කලාඳුරු පුංචි සාම්පලයක් භාවිත කරන සෙරුමෙනොග්‍රෑම් පරීක්ෂණය, සෑම මාස හයකට වරක් කරන වඩාත් සුදුසු සාමාන්‍ය සායනික පරීක්ෂණයක් බවට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,” අන්තෝනියෝසි ෆීලියෝ පවසයි.

    බ්‍රසීලයේ, අමරාවෝ කර්වාලෝ රෝහල මෑතකදී පිළිකා ප්‍රතිකාර සඳහා රෝග විනිශ්චය සහ අධීක්ෂණ තාක්‍ෂණයක් ලෙස සෙරුමෙනොග්‍රෑම් භාවිත කර ඇති බව අන්තෝනියෝසි ෆීලියෝ පවසයි.

    දැනට ප්‍රතිකාරයක් නොමැති මෙනියර්ගේ රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට තම පර්යේෂණය යම් දිනක උපකාර වනු ඇතැයි මූසා බලාපොරොත්තු වේ. ඇයගේ මූලික ඉලක්කය වන්නේ, වැඩි පිරිසක් මත පරීක්ෂා කිරීමෙන් ඇයට අවශ්‍ය වන්නේ පරීක්ෂණය නිවැරදි බව තහවුරු කර ගැනීමට සහ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ සායනවලදී භාවිත කළ හැකි පරීක්ෂණයක් නිර්මාණය කිරීමට ය.

    “කොවිඩ්-19 පරීක්ෂණ සඳහා ඔයාට කවුන්ටරයෙන් මිල දී ගන්න පුළුවන් කට්ටලවලට සමානව ඔයාලා දකින පරීක්ෂණ කට්ටලයක් හදන්න අපි දැනට කටයුතු කරමින් ඉන්නවා,” ඇය පවසයි.

    කලාඳුරු ගැන තේරුම් ගැනීම

    සාමාන්‍ය කන් කලාඳුරු හා සසඳන විට මේද අම්ල තුනක් ඉතා අඩු බව නිරීක්ෂණය කිරීම තවදුරටත් විමර්ශනය කළ හැකි ඉඟි කිහිපයක් ලබා දිය හැකි බව මූසා පැහැදිලි කරයි. “ඒක රෝගයට හේතුව තේරුම් ගැනීමට හෝ ඒකට ප්‍රතිකාර කළ හැකි ක්‍රම යෝජනා කිරීමට පවා අපට උපකාරී වෙන්න පුළුවන්,” ඇය පවසයි.

    සාමාන්‍ය, සෞඛ්‍ය සම්පන්න කන් කලාඳුරුවල රසායනික පැතිකඩ සහ විවිධ රෝග තත්ත්වයන් යටතේ මෙය වෙනස් වන ආකාරය තේරුම් ගැනීමට තවමත් මූලික දේවල් රාශියක් අවශ්‍ය බව මූසා පවසයි. නමුත් යම් දිනක එය රුධිරය මෙන් රෝග විනිශ්චය කිරීම සඳහා රෝහල්වල නිතිපතා විශ්ලේෂණය කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ.

    “කන් කලාඳුරු භාවිත කිරීම ඇත්තෙන් ම ප්‍රයෝජනවත්, මොකද ඒක ලිපිඩවලින් සෑහෙන්න පොහොසත් නිසා, ලිපිඩ බිඳ දැමීමේ ක්‍රියාවලියට ඇති වන බාධා හේතුවෙන් බොහෝ රෝග ඇති වන නිසාත්, බව මූසා පැහැදිලි කරයි.

    එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥවරියක සහ ස්කන්ධ වර්ණාවලිමිතිය (mass spectrometry) පිළිබඳ මහාචාර්යවරියක වන පර්දීතා බාහොන් විසින් කන් කලාඳුරු විශේෂයෙන් අධ්‍යයනය නොකරන නමුත් ජීව විද්‍යාත්මක අණු විශ්ලේෂණය කර රෝග හඳුනා ගැනීමට ඒවා භාවිත කළ හැකි ද යන්න විමර්ශනය කරනු ලබයි. අවම වශයෙන් න්‍යායාත්මකව, මෙම ද්‍රව්‍යය රෝගයේ ලක්ෂණ සොයා බැලීමට හොඳ තැනක් වනු ඇතැයි යන්නට ඇය එකඟ වේ.

    “රුධිරයේ තියෙන සංයෝග සාමාන්‍යයෙන් ජලයේ දියවෙනවා වුණත් කන් කලාඳුරුවල ලිපිඩ බහුලයි, ඒ නිසා ලිපිඩ ජලයෙදී ඒ වගේ වෙන්නේ නෑ,” බාහොන් පවසයි. “ඉතින් ඔයා රුධිරය විතරක් අධ්‍යයනය කළොත්, ඔයාට ලැබෙන්නේ පින්තූරයෙන් බාගයක් විතරයි. ලිපිඩ කියන්නේ අණුවල පූර්ව අනතුරු ඇඟවීම් වගේ. ඒවා තමයි මුලින් ම වෙනස් වෙන්න පටන් ගන්නේ.

    source: bbc.com/sinhala

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments