Tuesday, June 24, 2025
More
    Homeආධ්‍යාත්මික'කුකුල් කේන්තිය' අවාසනාවන්ත ඉරණමකින් කෙළවර නොවන්නට ඔබ දැන ගත යුතු දේ

    ‘කුකුල් කේන්තිය’ අවාසනාවන්ත ඉරණමකින් කෙළවර නොවන්නට ඔබ දැන ගත යුතු දේ

    “අපෝ එයා කුකුල් කේන්ති කාරයෙක් නේ…”

    “එයාට හොස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බෑ…”

    ඉහත දැක්වෙන කියමන් අප එදිනෙදා ජීවිතයේ පුද්ගලයින් ඇසුරු කිරීමේදී පමණටත් වඩා අසා තිබේ. එපමණක් නොව එවැනි අධික ලෙස කෝපයට පත්වන පුද්ගලයින් ද අපට අපගේ ජීවිතය තුළ විවිධ අවස්ථාවලදී හමු වී තිබේ.

    ‘හදිසි කෝපය’ ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුන ද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු.

    මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්‍රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදී ද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි.

    ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කෝපය ඇති වීමට බොහෝ අවස්ථාවලදී කලකිරීම හේතු වන බව ය.

    ඊට අමතරව පුද්ගලානුබද්ධ අත්දැකීම් ද ඊට හේතුවන බව ඔහු පෙන්වා දුන්නේ ය.

    “ඒ කියන්නේ ළමා කාලයේ ඇතිවන මාසින සහ කායික පීඩා නිසා. එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් ලෙස සලකන සමාජයක එම පුද්ගලයා ජීවත් වීම නිසා. මෙන්න මේ වගේ හේතු නිසා සමහර පුද්ගලයෝ අනෙක් අයට වඩා ප්‍රචණ්ඩකාරී වෙනවා, දරුණු වෙනවා, තරහ ගිය වෙලාවට ඒ අය පහසුවෙන් තව කෙනෙකුට හානි කරන්න පෙළඹෙන්න පුළුවන්.”

    එවැනි පුද්ගලයින් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී, “ඔවුන් තම ක්‍රියාව නිසා අනෙක් පුද්ගලයාට සිදුවන හානිය පිළිබඳව සංවේදී බවකින් තොරවීම” වැනි පොදු රටාවක් හඳුනා ගෙන ඇති බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේ ය.

    “ඒ වෙලාවට ඒ අය දෙපාරක් හිතන්නේ නැහැ, තමන් කරන දෙයින් තව කෙනෙකුට හානියක් වෙනවා කියලා. සමහර වෙලාවට ඒකෙන් තමන්ට පසුවිපාක විඳින්න සිද්ධ වෙනවා කියලවත් හිතන්නේ නැහැ.”

    අවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාව ද ඊට තවත් හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය. ඇතැම් අවස්ථාවලදී තමන් තුළ ඇතිවන කෝපයෙන් සිදුවන හානිය පිළිබඳව අවබෝධයක් තිබුණ ද තම ආවේගය නතර කර ගැනීමට ඔවුන්ට අපහසු බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

    “ආවේගයක් හටගෙන යම් කිසි ක්‍රියාවක් පටන් ගත්තට පස්සේ, නැවත සිතා බලා ඒක වෙනස් කිරීමට හෝ නවතා දැමීමට ඒ අයට බැහැ.”

    ඒවා එම පුද්ගලයින්ගේ පෞරුෂත්වය සම්බන්ධ ගැටලු බව ඔහු සඳහන් කළේ ය.

     මිනීමැරුම් චෝදනාවලට සිරගතව සිටින ගම්බද ප්‍රදේශවල බොහෝ දෙනෙකු හදිසි කෝපය පාලන කර නොගැනීම හේතුවෙන් එම වරදේ යෙදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
    මිනීමැරුම් චෝදනාවලට සිරගතව සිටින ගම්බද ප්‍රදේශවල බොහෝ දෙනෙකු හදිසි කෝපය පාලන කර නොගැනීම හේතුවෙන් එම වරදේ යෙදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය

    ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ද කෝපය ඇති කිරීමට ත් ඉන් පුද්ගලයින් බිහිසුණු අපරාධ කිරීමටත් පෙළඹිය හැකි බව ය. මත්ද්‍රව්‍ය සහ මත්පැන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව මොළයට බලපෑම් ඇති කරන අතර එමගින් අවේග පාලනය දුර්වල කරන බව ත් ඒ ඔස්සේ දරුණු තීරණ ගැනීමට පෙළඹවීම් ඇති කරන බව ත් ඔහු සඳහන් කළේ ය.

    “[මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය] නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩු කරනවා, හොඳ නරක අවබෝධ කර ගැනීමට නොහැකි වෙනවා.”

    භින්නෝන්මාදය, විශාදය, මේනියා මානසික රෝගී තත්ත්වලින් පෙළෙන විට ද හදිසි කෝපය ඇති වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් විශේෂඥ මනෝවෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, එවැනි තත්ත්ව අපරාධ සඳහා හේතු වීම ඉතා කලාතුරකින් සිදු වන බව ය.

    මනුෂ්‍ය ඝාතන කිරීම නිසා වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාරගතව පසුවන සිරකරුවන් සම්බන්ධයෙන් බීබීසී සිංහල, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායකගෙන් විමසීමක් කළේ ය.

    එහිදී ඔහු සඳහන් කළේ, මිනීමැරුම් චෝදනාවලට සිරගතව සිටින ගම්බද ප්‍රදේශවල බොහෝ දෙනෙකු හදිසි කෝපය පාලන කර නොගැනීම හේතුවෙන් එම වරදේ යෙදී ඇති බව ය.

    ඔවුන් බොහෝ අවස්ථාවලදී තම ක්‍රියාව සම්බන්ධයෙන් පසුතැවෙන බව ඔහු පැවසුවේ, තම බන්ධාගාර වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇසුරෙනි.

    “ගම්බද මිනිස්සු ගොඩක් වෙලාවට මිනීමැරුම්වලට එන්නේ ඔය වගේ හේතු [හදිසි කෝපය] හින්දා. ඒ අය පසුතැවෙනවා. එක මිනී මැරුමකට වගේ ආව කට්ටිය. ඒකත් එක්ක එයාලාට අහිමි වෙන ගොඩක් දේවල් තියෙනවා නේ. පවුල් පසුබිම. එයා හිටපු සමාජය. ගෙවල්වල අයට ප්‍රශ්න ඇති වෙනවා. ඒ අය මේ වැරදිවලට පසුතැවෙනවා.”

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කෝපය ඇති වීමට බොහෝ අවස්ථාවලදී කලකිරීම හේතු වන බව ය.
    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කෝපය ඇති වීමට බොහෝ අවස්ථාවලදී කලකිරීම හේතු වන බව ය

    මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ගත වුණු උත්සව සමයේ දින කිහිපය තුළ සංවිධානත්මක හෝ අපරාධ කල්ලි අතර නොවන මනුෂ්‍ය ඝාතන සිදුවීම් 10ක් පමණ වාර්තා වුණු බව ය.

    “අවුරුදු දවස්වල මීනීමැරුම් 10ක් විතර වාර්තා වුණා. ඒ හැම එක ම බීලා එක එක ආරවුල් තමයි. ඒ කියන්නේ ක්ෂණික කේන්තිය. අවුරුද්දේ බොනවා, එකට බීලා ගහගන්නවා. මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙන එක හේතුවක් තමයි හදිසි කෝපය,” ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.

    වත්මන් සමාජයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීමට හේතුව කුමක් ද යන්න විමසූ විට විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පළ කළේ මෙවන් අදහසකි:

    “සමාජයේ අද ප්‍රචණ්ඩත්වය කියන දේ සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒකට බොහෝ වෙලාවට හේතු වෙලා තියෙනවා සමාජ මාධ්‍යවල තිබෙන දේවල්. ඒවා මිනිස්සු එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේද හැටියට හඳුනා ගන්නවා. ඒක නිසා ඒ ක්‍රමවේද අත්හදා බලනවා තමන්ට ගැටලුවක් ආවට පස්සේ. අනෙක් පැත්තට මිනිස්සු පීඩනයකින් ඉන්නකොට අවේග පාලනය කර ගැනීමේ හැකියාව ගිලිහී යන්න පුළුවන්. සමස්ත සමාජයේ ම තියෙන, සමාජ, ආර්ථික පීඩනයත් බලපාලා තියෙනවා මිනිස්සුන්ට තරහා යන්න.”

    විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පවසන්නේ, හදිසි කෝපය ඇති වීම වැනි තත්ත්ව වළක්වා ගැනීමට පෞරුෂත්ව සංවර්ධනයට ළමා කාලයේ සිට ම වැඩි ඉඩක් ලබා දිය යුතු බව ය.

    ඒ සඳහා විධිමත් සහ අවිධිමත් ක්‍රම ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

    විධිමත් ක්‍රම ලෙස: ගැටලු විසඳා ගැනීමේ උපක්‍රම, අවේග පාලනය කර ගැනීමේ උපක්‍රම ආදිය සමාජ කුසලතා ලෙස දරුවන්ට කුඩා කල සිට ම ප්‍රයෝගික වශයෙන් කියා දීම සිදු කළ යුතු බව ඔහු පැවසීය.

    අවිධිමත් ක්‍රම ලෙස: දරුවන් ක්‍රීඩා, කලාව, සාමූහික ක්‍රියා ආදී බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය. ඒ හරහා දරුවන්ට ගැටුම් ඇතිවීම තුළින් ගැටලු විසඳා ගැනීමේ පුහුණුවක් ලැබෙන බව ත් ඉන් දරා ගැනීමේ හැකියාව වර්ධනය වන බව ත් ඔහු සඳහන් කළේ ය.

    කෙසේ වෙතත්, පසුකාලීනව ද දිගින් දිගට ම ඇතැම් පුද්ගලයින්ට කෝපය පාලනය කර ගැනීමේ ගැටලු පවතිනවා නම්, අවේග පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන මනෝසෞඛ්‍ය සේවා සායනයක් සඳහා යොමු විය යුතු බව ඔහුගේ මතය විය.

    වැඩිහිටි පුද්ගලයෙකු නිතර කෝපයට පත්වනවා නම් ඒ සඳහා මුල් වන හේතුව හඳුනා ගෙන, ඒ අනුව ඊට ගත යුතු උපක්‍රම මොනවා ද යන්න තීරණය කළ යුතු බව ඔහු පැවසීය.

    “කෝපයට පත්වන්නේ ආතතිය නිසා නම්, ආතතිය අඩු කර ගැනීමට අවශ්‍ය මනස සැහැල්ලු කිරීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. සංගීතයට සවන් දීම, හොඳ විවේකයක් ලබා ගැනීම, විනෝදාස්වාද කටයුතුවල යෙදීම, ස්වභාව සෞන්දර්යයත් සමග සිටීම වැනි දේවල් කරන්න පුළුවන්.”

    ඊට අමතරව කෝපයට පත් වන අවස්ථාවක, එම අවස්ථාව මගහැර සිටීමට පියවර ගැනීම හරහාත් ඊට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වැළකී සිටීම හරහාත් අවාසනාවන්ත තත්ත්ව ඇතිවීම වළක්වා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.

    “එවැනි අවස්ථා මගහැරලා ඉඳලා තරහා අඩු වුණාට පස්සේ තමයි සුදුසු පියවරක් ගන්න ඕනේ. අපි තරහ ගිහිල්ලා ක්‍රියා කරන හැම අවස්ථාවකදී ම වැරදි දෙයක් සිද්ධ වෙනවා. තව කෙනෙකුට හානියක් වෙනවා. ඒ වගේ ම නිවැරදිව අපිට ඒකට පිළිතුරු සපයන්නත් බැහැ.”

    කෝපයක් හටගත් අවස්ථාවක පුද්ගලයින් ගැඹුරු හුස්මක් ගැනීම, සටහන් තැබීම, යහපත් නින්දක් ලබා ගැනීම, ව්‍යායාම කිරීම, පරිසරය වෙනස් කිරීම සහ ගණනය කිරීම ආදී සරල උපක්‍රමවල ද නිරත වීම ද බොහෝ විට දැකගත හැකි වේ.

    source; bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments