මවකට පියෙකුට තමන්ගේ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම තරම් වටිනා දෙයක් තවත් නැත. ඒ, නිරෝගී දරුවෙකු පවුලකට සතුටක් ගෙනදෙනවා මෙන්ම රටට ද සම්පතක් වන නිසාය.
නමුත් මේ වන විට අනෙකුත් දරුවන්ට සාපේක්ෂව තම දරුවා වචන උච්ඡාරණය කිරීමට මැලිකමක් දක්වන බව පවසමින් බොහෝ දෙමව්පියන් බියට පත්ව සිටින අවස්ථා වාර්තා වේ.
“ඇතැම් මව්පියන් උත්සාහ කරනවා තමන්ගේ දරුවා තවත් දරුවෙක් එක්ක සංසන්දනය කරලා බලලා කියන්න ‘මගේ ළමයා අර ළමයා වගේ කතා කරන්නේ නැහැ’ කියලා. එක එක ළමයාගේ වර්ධනයේ සුළු වෙනස්කම් තියෙනවා. ඒ ගැන මව්පියන් හොඳ අවබෝධයකින් සිටීම ඉතා වැදගත්,” ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග අධ්‍යයන අංශයේ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මනෝරි ගමගේ බීබීසී සිංහල සේවය වෙත පවසා සිටියා ය.
“පළමුවෙන්ම තමන්ගේ දරුවා කතා කරන්න පටන් ගන්නේ කුමන වයස් සීමාව සම්පූර්ණ වන විට ද යන්න පිළිබඳ මව්පියන්ට හොද අවබෝධයක් තිබීම ඉතා වැදගත්,” මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.
දරුවෙක් වචන උච්ඡාරණය කිරීම ආරම්භ කරන්නේ කුමන වයස් සිමාවේ සිට ද?
පළමුව තමන්ගේ දරුවා කතා කිරීමට උත්සාහ ගන්නේ කුමන වයස් සීමාවේ දී ද යන්න සම්බන්ධයෙන් මව්පියන් අවබෝධයක් ලබා සිටීම වැදගත් බව මහාචාර්ය මනෝරි ගමගේ පැවසුවා ය.
“මව්පියන්ට සිය ළදරුවාගේ කථන හැකියාව තියෙන බවට හොදින් තේරුම් ගන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් මාස 12ත් 15ත් අතර කාලසීමාව වන විට යි. ඒ වයස් සීමාව වෙද්දී ළමයා බබා, මමා, පපා වගේ අකුරු දෙකේ වචන කියන්න උත්සාහ ගන්නවා. ඊට අමතරව දරුවෙක් අවුරුදු දෙකක් ගතවෙද්දී වචන දෙකක් ගලපලා වාක්‍යයක් කියන්න පුළුවන් වෙන්න ඕන. එමෙන්ම දරුවාගේ වයස අවුරුදු 4-5 වගේ සම්පූර්ණ වෙද්දී වචන කිහිපයක් කතා කරමින් කතාවක් කියන්න උත්සහ ගන්න තත්ත්වයට එනවා.
“මේ වගේ මම කිව්ව වයස් කාණ්ඩයන්වල දී තමන්ගේ දරුවා කතා කරන්න උත්සාහ ගන්නේ නැත්නම් මව්පියන් ඒ ගැන අවධානය යොමු කිරීම වැදගත්,” මහාචාර්ය ගමගේ පැවසුවා ය.
දරුවෙකුගේ කථන හැකියාව අවමවීමට බලපාන ප්‍රධාන කරුණු මොනවා ද?
දරුවෙකුගේ කථන හැකියාව අවම වීමට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පවතින බව මහාචාර්ය ගමගේ පැවසුවා ය.
- උත්තේජනය අවම වීම
“ළමයෙකුගේ කථන හැකියාව වර්ධනය කිරීමට බලපාන ප්‍රධාන සාධකය තමයි උත්තේජනය. කථන හැකියාව මඳි වෙන්න බලපාන ප්‍රධාන කරුණ වන්නේත් උත්තේජනය අවම වීමයි. උත්තේජනය කියලා අපි මෙතැනදී අදහස් කරන්නේ ‘ස්ටිමියුලේෂන්’ එකක්.
“උදාහරණයක් විදිහට අපි හිතමු එක අම්මා කෙනෙක් ඉන්නවා, එයා ගෙදර සියලු වැඩ කරගෙන ළමයත් බලාගෙන ඉන්නවා නම්, එයාට ළමයා එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. එතකොට ඒ අම්මලා කරන්නේ රූපවාහිනියක් හරි ටැබ් එකක් තියෙනවා නම් ඒකේ නර්සරි රයිම් එකක් දාලා දීලා තමාගේ වැඩ කරගෙන යනවා. හැබැයි ඒකෙන් ළමයෙකුගේ කථන හැකියාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. කථනය වෙන්න නම් කමියුනිකේෂන් එකක් තියෙන්න ඕන නේ. ළමයා කතා කරන එකට අනෙක් පැත්තෙන් උත්තර දුන්නේ නැත්නම් ඒ ළමයට කථන හැකියාවක් එන්නේ නැහැ, එයා කරන්නේ ඇහුම්කන්දීම පමණයි. ගෙදර ඔක්කොම වැඩත් එක්ක අම්මට ළමයා අහන ඒවාට උත්තර දෙන්නත් බැරි නම්, තනියෙන් නම් ඉන්නේ එතැන දී මේ ප්‍රශ්නය ඇතිවෙනවා. ළමයි එක්ක හිතලම කතා නොකර ඉන්න වෙලාවක් තියෙනවා. කථනය පරක්කු වෙන්න එක හේතුවක් ඒක.”
- දරුවාගේ මොළයේ වර්ධනය අවම වීම
“වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා මොළයේ වර්ධනයේ පුංචි වෙනස්කම් තියෙනවා නම් – මොකද කථනය කියන්නේ මොළයේ වර්ධනයත් එක්ක ඇතිවෙන දෙයක්. ළමයි දණගානවා, ඇවිදින්න පටන් ගන්නවා, කථනය ටික ටික ඩිවලොප් වෙන්නේ – මොළයේ වර්ධනයේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කථන හැකියාව අවම වෙන්න බලපානවා. ඒ වගේම දරුවා උපදින අවස්ථාවල දී මොළයට ඔක්සිජන් සැපයුම මඳිවීම නිසා ශ්‍රවණ ආබාධ ඇතිවෙන්න පුළුවන්.”
- දරුවෙකුට ඇතිවන ශ්‍රවණ ආබාධ
“ප්‍රධාන වශයෙන්, කථන හැකියාව ළමයෙකු තුළ වර්ධනය නොවෙන්න බලපාන ප්‍රධාන හේතුව කියලා හොයාගෙන තියෙන්නේ ශ්‍රවණ ආබාධ. ශ්‍රවණ ආබාධ දරුවෙකුට ඇතිවෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ අතර පවුල්වලින්, ජානමය වශයෙන් බලපාන අවස්ථා තියෙනවා. මව්පියන් දෙන්නම බිහිරි, ළමයත් බිහිරි වගේ ජානමය වශයෙන් ශ්‍රවණ ආබාධ තියෙන්න පුළුවන්. නමුත් මෙය ඉතා අවම යි.
“ඒ වගේම දරුවන්ට පසුකාලිනව මොළයේ උණ රෝගී තත්ත්වයෙන් පසුව ශ්‍රවණ ස්නායුවට වන බලපෑමක් නිසා කන් ඇසීමේ අපහසුතාව නිසා කථන හැකියාවට ගැටලු ඇතිවෙන්න පුළුවන්.”
- තිර සහිත උපකරණ
“වර්තමානයේ විද්‍යාත්මකව පෙන්නුම් කර තිබෙනවා තිර සහිත උපකරණ, උදාහරණ වශයෙන් ගත්විට ටැබ්, ජංගම දුරකථන වැනි දේවල් භාවිතයට පෙළඹීම නිසා දරුවන් කතා කරන්න පෙළඹීමේ මඳිකමක් තියෙනවා. මොකද ඒ දරුවට අර උපකරණත් එක්ක තියෙන ගනුදෙනුව ඇති. ඒකෙන් ඇහුවට උත්තර නොදුන්නට ඒ උපකරණ එක්ක ගනුදෙනු කරනකොට කතා කරන්න ළමයාගේ දිව වර්ධනය වෙන්නේ නැහැ. ඒක වෛද්‍යවරුන් හොයාගෙන තියෙන එකක්.
“මේ නිසයි අමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ ළමා රෝග විශේෂඥවරුන්ගේ සංගමය නියම කරලා තියෙන්න අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට තිර කාලය (Screen Time) අනුමත කරලා තියෙන්නේ පැය බින්දුව යි. ඒ අය කියන්නේ පවුලේ අය එක්ක කරන වීඩියෝ කෝල් එකක් ඇරෙන්න, එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ අධීක්ෂණය සහිතව ලබාදෙන සුළු වෙලාවකට යම් කිසි තිරයක දකින දෙයක් දකිනවා ඇරුණුකොට තිර කාලය ලබා දිය යුතු නැහැ කියලා, ඒක කථනයට බලපාන බවට සොයා ගෙන තිබෙන නිසා.”
- ඔටිසම් රෝගී තත්ත්වය
බොහෝ මව්පියන් තම දරුවා කතා කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට ඔටිසම් රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවට සිතන්න පුරුදු වී ඇතැ යි මහාචාර්ය මනෝරි ගමගේ ප්‍රකාශ කළා ය.
“අම්මලා ගොඩක් කථනය ගැන බය වෙන්න හේතුව තමයි දැන් දරුවන් තුළ නිතර අහන්න ලැබෙනවා ඔටිසම් කියන රෝගී තත්ත්වය. ඔටිසම් කියන රෝගී තත්ත්වයේ එක් රෝග ලක්ෂණයක් තමයි කතා පමාව. ඒක එක ලක්ෂණයක් විතරයි. අනිත් එක ඒ ළමයි ඇසට ඇස බලන්නේ නැහැ, අනිත් අයත් එක්ක ගැවසෙන්න කැමති නැහැ, තනියෙන් ඉන්න කැමති. ඒ අය ඇස්වලින්වත් සම්බන්ධයක් තියා ගන්න කැමති නැහැ. ඒ අය හරිම කැමති එකම දේ ආයේ ආයේ කරන්න. උදාහරණයක් විදිහට වාහනයක රෝදය කරකව කරකවා ඉන්න, නැත්නම් එකම දේ පිළිවෙලට තියලා ඒ දිහා බලන් ඉන්න වගේ. ඔටිසම් කියන රෝගයට තවත් රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා. එතකොට අම්මලා කතාව ගැන පොඩ්ඩක් බය වෙන්නේ මගේ දරුවට ඔටිසම් ද කියලයි.
“නමුත් අම්මා කෙනෙකුට පුළුවන් දරුවා කතා කිරීමේ පමාවක් තියෙනවා නම්, ඒ වයසට අනෙක් ළමයි එක්ක බලනකොට ලොකු පමාවක් තියෙනවා කියලා සුදුසුකම් ලත් ළමා රෝග විශේෂඥවරයෙකුට පෙන්වන්න. එතකොට ඒ වෛද්‍යවරයාට දරුවාගේ සැබෑ රෝගී තත්ත්වය ගැන විනිශ්චයකට එන්න පුළුවන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරලා.
“ඔටිසම් රෝග තත්ත්වයෙන් පෙලෙන දරුවෙකු හඳුනාගන්න වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සිදුකරන්න වෙනවා වගේම ඒ දරුවා එක්ක වෛද්‍යවරයාට කාලයක් ගත කරන්න වෙනවා. අම්මා කෙනෙක්ට රෝග විනිශ්චයකට එන්න බැහැ.”
- ද්විභාෂා ප්‍රගුණ කිරීමට උත්සාහ දැරීම
දරුවෙකු එක් භාෂාවක් ප්‍රගුණ කිරීමට පෙර ඒ දරුවාට තවත් භාෂාවක් හුරු කිරීමට යාම ද කථන හැකියාව අවම වීමට බලපාන ප්‍රධාන ගැටලුවක් වී තිබෙන බව මහාචාර්යවරිය ප්‍රකාශ කර සිටියා ය.
“හොඳටම අපි දකින දෙයක් තමයි මව්පියන්ට අවශ්‍ය යි තමන්ගේ ළමයට ඉක්මනින් ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වන්න. නිවසේ ඉන්න වෙලාවට මව්පියන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. දවසේ පැය හත අටක් දරුවා ඉංග්‍රීසි කතා කරන්න බැරි මිත්තණිය එක්ක හරි, නිවසේ වැඩට සිටින සේවිකාව එක්ක ඉන්නකොට ඒ ළමයා කතා කරන්නේ සිංහලෙන්.
“මම දැකලා තියෙනවා සමහර අවස්ථාවල දී ළමයි ඉන්නවා සිංහලෙන් අම්මලා කතා කරන්නේ නැති හින්දා ළමයි දෙමළ භාෂාවෙන් කතා කරනවා. මොකද ඒ ළමයි බලාගන්න ඉන්න පුද්ගලයෝ හොඳට ගනුදෙනු කරන්නේ දෙමළ භාෂාවෙන් නිසා ඔවුන් ළමයට ඒවා කියලා දෙනවා. උදාහරණයක් විදිහට ගත් විට, දවසේ වැඩි කාලයක් පුටුවට, ළමයා ‘පුටුව’ කියලා, අම්මා හවස ගෙදර ඇවිල්ල කියනවා ‘චෙයාර්’ කියලා. ඒ ළමයා කල්පනා කරනවා මේකට මම පුටුව ද නැත්නම් චෙයාර් ද කියන්න ඕන කියලා. ඔය දෙකටම වඩා හොදයි මම කතා නොකර ඉන්න එක ඒ වගේ ළමයි තුළ දකින්න ලැබෙන ලක්ෂණයක්.
“අපි ඒකට කියනවා ‘බයිලින්ගුවල් කන්ෆියුෂන්’ හෙවත් භාෂා දෙකක් අතර ඝට්ටනයක් ළමයගේ මොළයේ ඇති වෙනවා. ඒ නිසා අපි හැම තිස්සෙම නියම කරන එකක් තමයි ඉංග්‍රීසි කතා කරන්න උගන්වන එක හොදයි අම්මලා කැමති නම්. ඒ ළමයට එක භාෂාවක්, ගෙදර හැමෝම හැම වෙලාවෙම ඉංග්‍රීසි කතා කරන්න ඕන. එක භාෂාවක් ප්‍රගුණකර ගත්තට පස්සේ තමයි දෙවන භාෂාව උගන්වන්න ඕන. නැත්නම් ඒ ළමයා එක භාෂාවක් හෝ කතා නොකර සිටින්න ඉඩ තියෙනවා,” මහාචාර්ය ගමගේ ප්‍රකාශ කළා ය.
අතීතයේ සිටි කුඩා දරුවන්ට සාපේක්ෂව වර්තමානයේ සිටින දරුවන්ට ස්වභාවික පරිසරය සමග ගනුදෙනු කිරීමේ අවස්ථාව අවම වීම ද කථන හැකියාව වර්ධනය විමට බාධාවක් වී ඇති බව, නාවල විවෘත විශ්වවිද්‍යාලයයේ කථන භාෂා චිකිත්සක උපදේශකවරියක ලෙස කටයුතු කරන ශෂිකලා දිල්හානි සේරසිංහ බීබීසී සිංහල සේවයට පවසා සිටියා ය.
“අතීතයේ මව්පියන් උගතුන් නොවුණත්, ඔවුන් දරුවන්ව බහුසංවේදී ඉගැන්වීම් රටාවකට පුහුණුකර තිබුණත්, එය වර්තමානයේ දරුවන්ට හිමිවන්නේ නැහැ. අපි වුණත් කුඩා කාලයේ දී යම් දෙයක් අල්ලන්න, අහන්න, දකින්න සහ රස විඳින්න හුරුවක් ලැබුවා. නමුත් දැන් ළමයින්ට පංච ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන දෙයක් ඉගෙන ගන්න අවස්ථාවක් හිමිනොවීම කියන සාධකයත් කථන හැකියාව අවම වීමට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්වෙලා තිබෙනවා,” සේරසිංහ පැවසුවා ය.
කොවිඩ් වසංගතය දරුවන්ගේ කථන හැකියාවට බාධාවක් වුණා ද?
කොවිඩ් වසංගත සමය නිසා ද දරුවන්ගේ කථන හැකියාවට බාධාවන් එල්ල වූ බව ඇය සඳහන් කළා ය.
“කොවිඩ් වසංගතය නිසා ලංකාවේ පමණක් නොවෙයි විදේශ රටවලත් දරුවන්ට විශාල බලපෑමක් එල්ල වූ බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා, කුඩා දරුවන්ට පැන්ඩමික් කාලයේදී කතාවේ දෝෂයක් ඇතිවුණා කියලා. කතාවේ අඩුකමේ ගැටලු විතරක් නෙමෙයි, ගිලීම සම්බන්ධයෙන් ගැටලු ඇති බව හඳුනාගෙන තියෙනවා.
“කතාව අඩුවීමට බලපාපු තවත් එක් හේතුවක් තමයි මුහුණු ආවරණ කියන එක. වසංගත සමයේ දී ඉන් ආරක්ෂා වෙන්න කියලා මුහුණු ආවරණ භාවිතා කළා. වැඩිහිටි පුද්ගලයෙකු කතා කරන විට අනෙක් කෙනාගේ ඇස් දිහා බැලුවත්, කුඩා දරුවෙකු කතා කරන විට බලන්නේ අනෙක් කෙනාගේ මුව දෙස යි. එතකොට අපේ කට වැහුනම ඒ ළමයා කොහොමද ඉගෙනගන්නේ වචන උච්ඡාරණය කරන විදිහ. මොකද එයාගේ ඇසට පෙන්නේ නැහැ.”
“ඒ වගේම ශ්‍රවණ ආබාධයක් තියෙන ළමයෙක් ඉදිරියේ මුව ආවරණයක් පැළඳ ගෙන කතා කරනකොට ඒ ළමයාට අඩුම තරමින් අපේ තොල් චලනය වෙන ආකාරය දිහා බලලා හරි කියන දේ තේරුම් ගන්න හැකියාව නැති වෙනවා.
“ඒ වගේම, සමාජ දුරස්ථභාවය ද ළමයින්ගේ කථන හැකියාව අවමවීමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් කියලා හොයාගෙන තියෙනවා. ළමයෙක්ට තවත් ළමයෙක් එක්ක කාලය ගත කරන්න නොලැබීම මේකට බලපාන තවත් හේතුවක්. කොවිඩ් වසංගත සමයේ මව්පියන් නිවසේ සිටියත් ඔවුන් බොහෝවිට නිවසේ සිට රාජකාරී කිරීම නිසා දරුවන් එක්ක ගත කරන්න කාලය නිසි විදිහට යොදා ගන්න බැරි වෙනවා.
“කොවිඩ් සමයේ මුදල් තියෙන ඇතැම් මව්පියන් තම දරුවාට කථන භාෂා චිකිත්සකවරුන්ගේ සේවාවන් ඔන්ලයින් හරහා ලබා දුන්නාට මුදල් නැති ළමුන්ගේ මව්පියන්ට ඒ අවස්ථාව අහිමි වුණා. ඇතැම් කථන හැකියාව අවම දරුවන් ඉන්නවා ඔවුන්ට වෛද්‍යවරුන් නිර්දේශ කරලා තියෙනවා බෙහෙත්. ඒවා ලබා ගැනීම පවා අපහසු වුණා කොවිඩ් වසංගත සමයේ දී. කතා කිරීමට අපහසු ළමයින්ගේ හැසිරීමේ වෙනස්කම් තියෙනවා. ඒවා පාලනය කරන්න යි ළමයින්ට වෛද්‍යවරුන් ඖෂධ නියම කරන්නේ. ඉතින් ඒ ඖෂධ නියම අයුරින් ලබාදීම අපහසු වූ විට ළමුන්ගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා,” සේරසිංහ අවධාරණය කර සිටියා ය.
කථන හැකියාව අවම දරුවෙකුට ලබාදිය යුතු සුදුසු ප්‍රතිකර්ම මොනවා ද?
කථන හැකියාවන් අවම දරුවන්ගේ ස්වභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් ප්‍රතිකාර සහ චිකිත්සක සේවාවන් සඳහා යොමු කළ හැකි බව කථන භාෂා චිකිත්සක උපදේශකවරිය මෙහිදී සඳහන් කර සිටියා ය.
“විවිධ දරුවන්ට තියෙන කථන හැකියාව අවම වීමට බලපා තියෙන හේතු සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා, ඒ ඒ අවස්ථාවන් අනුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ කථන චිකිත්සක සායනයන් සඳහා යොමු කිරීම සිදුකරනු ලබනවා.
“අතීතයේ දී මව්පියන්ට දරුවන්ගේ කථන හැකියාව අවම වීම ගැන ලොකු දැනුවත්භාවයක් නොතිබුණත්, වර්තමානයේ දී මව්පියන් දරුවන් ගැන ලොකු අවධානයකින් පසුවනවා. ඒ නිසා තමාගේ දරුවාගේ කථන හැකියාව අඩුයි කියලා දැනුන ගමන් ඔවුන් දරුවන්ව වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට උත්සුක වෙනවා. දරුවන්ට තියෙන තත්ත්වය ගැන පූර්ණ සොයා බැලීමකින් පසුව තමයි ඔවුන්ට සුදුසු ප්‍රතිකාර ක්‍රමයට යොමු කිරීම සිදුකරන්නේ,” සේරසිංහ වැඩිදුරටත් පවසා සිටියා ය.
source:bbc.com/sinhala