ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 50%ක ප්‍රතිශතයක් අධිබර තත්ත්වයෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.
එහි පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවේ අධිබර තත්ත්වයේ පසුවන කාන්තාවන්ගෙන් 30%ක් තරබාරු (obese) මට්ටමේ සිටින බවය. දිස්ත්‍රික්ක වශයෙන් ගතහොත් මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ලෙස ද හඳුනාගෙන තිබේ.
ගෙවුණු වසර 19 තුළ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ බර වැඩි වීම 19%කින් ඉහළ ගොස් ඇතැයි අදාළ පර්යේෂණයෙන් පෙන්වා දී ඇත. මෙම පර්යේෂණ වාර්තාවට අනුව කාන්තාවන්ගේ බර වැඩි වන අවධි තුනක් හඳුනාගෙන තිබේ.

”කාන්තාවකගේ බර වැඩි වන පළමු අවස්ථාව තමයි අවුරුදු 18 වගේ වයස. ඒ කියන්නේ උසස් පෙළට පාඩම් කරන කාලය. ඒ කාලේ වැඩිපුර ආහාර ගත්තට ඉන්නේ එක තැන. දෙවන අවස්ථාව දරු ප්‍රසූතියෙන් පසු සමය. ඒ කාලේ අම්මලා හිතනවා දරුවටත් එක්ක කන්න ඕන කියල. තුන් වෙනි අවස්ථාව තමයි අවුරුදු 40-50 අතර ඔසප් චක්‍රය නතර වෙන කාලය,” යැයි විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැහැදිලි කළාය.
වැරදි ආහාර පුරුදු, ව්‍යායාම අඩුකම හා ජීවන රටාව වෙනස් වීම කාන්තාවන්ගේ තරබාරු බව වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
අත්දැකීමක්
තරබාරු තත්ත්වයට පත්වීම නිසා එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී මුහුණ දෙන ගැටලු සමන්ධයෙන් කළුතර පදිංචි 37 වන වියේ පසු වන තිලිණි සමරවීර සිය අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

2001 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින කාලය වන විට ඇගේ බර කිලෝ 65 ක් පමණ වී තිබුණු බව පැවසුවාය. ඇය අවුරුදු 24 දී සිය පළමු දරුවා ප්‍රසුත කර ඇති අතර ඒ වන විට ඇගේ බර කිලෝග්‍රෑම් 90 දක්වා වැඩි වී තිබිණි. මේ වන විට ඇගේ බර කිලෝග්‍රෑම් 85කි.
”ඇඟේ බර වැඩි වුණා ම නැගිට ගන්න බෑ. උදේ පාන්දර දරුවෝ ඉස්කෝලේ යවන්න බොහොම අමාරුවෙන් තමයි නැගිට්ටේ මං. ඇවිදිනකොට හරි අමාරුයි. කොන්දේ කැක්කුම්, ඔළුවේ කැක්කුම් නිතර එනවා. ඒ මදිවට කකුල් ඉදිමිලා. සමහර වෙලාවට දරුවෝ බැඩ්මින්ටන් ගහන්න කතා කළාට කම්මැලි ගතියක් තිබුණා,” යැයි තිලිණි සමරවීර සිය අත්දැකීම් විස්තර කළාය.
තරබාරුබව දැනගන්න පහසු ක්‍රමයක්
උසට සරිලන බරක් තිබීම නිරෝගිමත් දිවියක් ගත කිරීමට ඉතා වැදගත් වේ. තමන්ගේ උස හා බර මැන ගැනීමෙන් අනතුරුව අධිබර තත්ත්වයට හෝ තරබාරු තත්ත්වයට පත්ව ඇත්දැයි ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.
විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසන්නේ, යමෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය) 25-30 අතර නම් ඔහු හෝ ඇය අධිබර තත්ත්වයේ සිටින බවය. එම අගය 30 ඉක්මවූ විට තරබාරු අයෙකු ලෙස සැලකේ.
ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම සඳහා කළ යුතු වන්නේ ඔබේ බර, උසෙහි වර්ගයෙන් බෙදීමය. එහිදී උස මීටර්වලින් ද බර කිලෝග්‍රෑම්වලින් ද මැනගත යුතුය.

“බර වැඩි වීම ලෙඩ වැඩි වීමට හේතුවක්”
අධිබර තත්ත්වයෙන් පෙළෙන අය බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි බව වෛද්‍ය මතය වේ. එවැනි අය පහත සඳහන් රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවාය.
- දියවැඩියාව
- හෘද රෝග
- අංශභාගය
- අධික රුධිර පීඩනය
- පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකා
- අක්මාවේ තෙල් තැන්පත් වීම
පාසල් යන වයසේ සිටින කුඩා ගැහැණු දරුවන් බොහොමයක් ද අධිබර තත්ත්වයේ පසුවෙති. එවැනි දරුවන් ශරීරය වෙහෙසෙන ක්‍රීඩා සඳහා යොමු කිරීමට පාසල් පද්ධතිය තුළ පෙළඹවීම් ඇති කළ යුතුය යන්න වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ.
“ගෙදර වැඩ ව්‍යායාම නොවෙයි”
උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරු දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු කරන ගෘහණියෝ සිටිති. ඔවුන් නගන මැසිවිල්ලක් වන්නේ තමන් කොතරම් වැඩ කළ ද ශරීරය ස්ථුල වීමේ අඩුවක් නොමැති බවය.
එදිනෙදා වැඩ කිරීමේදී ශරීරයට තෙහෙට්ටුව දැනුණ ද ඒවා ශරීරයේ තැන්පත්ව ඇති තෙල් හා මේදය දහනය වීමට ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. එබැවින් දිනකට අවම වශයෙන් දහදිය දමන තුරු විනාඩි විස්සක්වත් ව්‍යායාම කිරීම යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා නාගරික පදික මං තීරුවල ඇවිදීම, ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම සහ ‘එරෝබික්’ වැනි නර්තනයන්හි නිරත වීම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.
තරබාරුබව පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ තිලිණි සමරවීර ද ප්‍රකාශ කළේ, අසල්වැසි කාන්තාවන් කිහිප දෙනෙකු සමග තමන් ද ඇරොබික්ස් නර්තන පංතියකට සහභාගි වන බවය.
”එකපාර ලොකුවට ඇඟ අඩු කර ගන්න බැරි වුණාට මම දැන් ඒ සඳහා උත්සහ ගනිමින් ඉන්නවා. ඒ සඳහා මම කරන්නේ සීනි හා පිටි ආහාර අඩුවෙන් ගන්න එක සහ එරෝබික් ඩාන්ස් පන්තියකට යන එක. දැන් මම දවසකට කැලරි 1000ක් වගේ ලැබෙන ආහාර තමයි ගන්නේ. දැන් මාස හයක වගේ කාලයකදී කිලෝ තුන හතරක් අඩු කර ගන්න පුළුවන් වුණා,” යැයි තිලිණි වැඩිදුරටත් පැවසුවාය.
ශරීරයේ බර අඩු කර ගැනීමට ගන්නා මහන්සියේ ප්‍රතිඵල දැනටමත් බුක්ති විදින බව ඇය ප්‍රකාශ කළාය.
”දැන් මට හොඳට නින්ද යනවා. කම්මැලිකමක් දැනෙන්නේ නෑ. ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. ව්‍යායාමවලට පැය භාගයක්, පැයක් වෙන් කළාට කොහෙත් ම පාඩුවක් නෑ. හොඳට නිදාගෙන පහුවෙනිදාට ප්‍රබෝධවත්ව දවස පටන් ගන්න පුළුවන්,” යනුවෙන් තිලිණි සඳහන් කළේ මේ කතාව ඇසීමෙන් අන් කාන්තාවන්ට ද යහපතක් සිදුවන බවට වූ අපේක්ෂාවෙනි.
මේ අතර වෛද්‍ය රේණුකා ජයතිස්ස ද පෙන්වා දෙන්නේ දිනකට අවම වශයෙන් විනාඩි තිහක කාලයක් හොඳින් දහදිය දමන සේ ඇවිදීම ඉතා හා ව්‍යායාමවල යෙදීම තරබාරු බව අඩුකිරීමට යෝග්‍ය පියවරක් බව ය. . පිටි, සීනි හා තෙල් සහිත ආහාර පරිභෝජනය අඩු කළ යුතු බව වෛද්‍යවරිය සඳහන් කළාය.
රාත්‍රී ආහාර ගැනීම ප්‍රමාදවීම ද තරබාරු බව වැඩිවීමට හේතු වී තිබේ. ප්‍රමාදවී රාත්‍රී ආහාර ගත් පසු බොහෝ දෙනෙකු නින්දට යාම පුරුද්දක් කරගෙන ඇති නිසා එම ආහාර මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමක් සිදු වේ.
පෝෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ කාන්තාවන් එතරම් ක්‍රියාශීලී නොවන නිසා ඔවුන්ගේ ආහාර වේලට එකතු කරගන්නා බත් ප්‍රමාණය අඩකින් අඩුකර ඒ සඳහා වැඩිපුර එළවලු හා පළතුරු වර්ග එක්කර ගැනීම ඉතා යෝග්‍ය බවය.
නින්ද අඩුකම ද තරබාරු බව වැඩිවීමට හේතුවක් ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. වැඩිහිටියෙකුට දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් අවශ්‍ය වන අතර අලුයම 1-2 අතර නින්ද ඉතා වැදගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය කළ පර්යේෂණ වලදී හෙළිවී තිබේ.
source: bbc.com / sinhala