Tuesday, June 17, 2025
More
    Homeළමා ලෝකය'මගේ දරුවාට සහජ දක්ෂතා ඇතිබව මම දැනගත්තේ මෙහෙම යි'

    ‘මගේ දරුවාට සහජ දක්ෂතා ඇතිබව මම දැනගත්තේ මෙහෙම යි’

    ‘සහජ දකෂතාව’ මතභේදයට තුඩුදෙන සංකල්පයකි. එක් අතකින්, සහජ දක්ෂතා ඇත්තේ ඉහළ බුද්ධි මට්ටමක් (IQ) ඇති දරුවන්ට පමණක් බව ස්නායු විද්‍යාඥයින්, ස්නායු මනෝවිද්‍යාඥයින් වැනි විශේෂඥයෝ පවසති. අනෙක් අතට, අධ්‍යාපනඥයින් සහ ක්‍රීඩා පුහුණුකරුවන් වැනි වෘත්තිකයන් පවසන්නේ සහජ දක්ෂතාව වඩා පුළුල් බවත්, ක්ෂේත්‍ර කිහිපයක ඉහළ හැකියා ඇති දරුවන්ද සහජ දක්ෂතා ඇති දරුවන් ලෙස සැලකිය යුතු බවත් ය. මේ සංවාදය දිගට ඇදී යයි.

    කෙසේ වෙතත්, බුද්ධිය මනින මිනුමක් වන බුද්ධි පරීක්ෂණයට සහභාගි වී 97%කට වැඩි ප්‍රතිශතයකට ළඟාවන දරුවන් සහජ දක්ෂතා ඇති දරුවන්බවට පොදු එකඟතාවක් පවතියි.

    සාඕ පවුලෝහි හය හැවිරිදි තියෝ කොස්ටා රිබෙයිරෝ එම දරුවන්ගෙන් කෙනෙකි. සයමාසයක් වන විට ඔහු සිය පළමු වචන තෙපලූ අතර මාස 18ක් වන විට කලබලයකින් තොරව වාක්‍ය ගොඩනැගුවේ ය. ඒ, ඔහු පෙර පාසල් යාම ආරම්භ කළ කාලය යි.

    “ඔහු වචනයක් දැකල එක් එක් අකුර මොකක් ද කියලා අපිට පැහැදිලි කරන්න කිව්වා. පස්සේ දිගටම ඇහුවා. ඒ වුණාට ඒවා බොළඳ ප්‍රශ්න නෙවෙයි,” තියෝගේ පියා වන ඉගෝර් රිබෙයිරෝ බීබීසීයට පවසයි.

    රිබෙයිරෝ පවසන්නේ, පවුලේ අය ඔහුට කිසිවක් කිරීමට බල නොකළ නමුත් ඔහුගේ කුතුහලය කිසි විටෙකත් නොසලකාහැරියේ නැති බව ය.

    වසංගතය මධ්‍යයේ, අනෙක් දරුවන් හෝඩිය ඉගෙන ගනිමින් සිටි අතරතුර, තෙහැවිරිදි තියෝ ඒ වන විටත් කියවීම, ලිවීම සහ ගණනය කිරීම් සිදුකරමින් සිටියේ ය. 2021 ජූලි මාසයේ දී ඔහු නැවත පාසල් ගිය අතර වැඩි කාලයක් නොගොස් ඔහුගේ දෙමාපියන් රැස්වීමකට කැඳවනු ලැබීය. එම සංවාදයේ දී, මෙම දරුවාගේ හැකියා සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් ඉහළ බව පවසා ඇති අතර ඔහු බුද්ධි පරීක්ෂණයකට සහභාගි කරවීමට යෝජනා කර තිබේ.

    “පස්සේ, අපි බුද්ධි පරීක්ෂණ සහ චිත්තවේගාත්මක සහ චාලක හැකියාව ද පරීක්ෂා කරන ස්නායු මනෝවිද්‍යාඥවරයෙක් හමුවෙන්න ගියා. ඊට පස්සේ ඇය අපිව ටිකක් මවිතයට පත් කරපු වාර්තාවක් දීලා කිව්වා, තියෝගේ මට්ටම සහජ හැකියා මට්ටමත් ඉක්මවා යනවා කියලා,” රිබෙයිරෝ ආවර්ජනය කරයි.

    “අපි ඇහුවා, ‘හරි, ඒත් අපි දැන් මොකක් ද මේ කොල්ලට කරන්නේ?’ කියලා”, ඔහු සිනාසෙමින් පවසයි.

    වයස අවුරුදු හයක ‘යෞවනයෙක්’

    ස්නායු මනෝවිද්‍යාඥවරයා නිශ්චය කළ පරිදි වයස අවුරුදු පහේ දී, වයස අවුරුදු 14ත් 15ත් අතර පුද්ගලයෙකුගේ බුද්ධිමය හා චිත්තවේගීය බුද්ධි මට්ටමට සමාන බුද්ධි මට්ටමක් තියෝට තිබුණි.

    කෙසේ වෙතත්, එම දරුවා සාමාන්‍ය දරුවෙකු ලෙස හැසිරෙන්නේ නැතැ යි ඉන් අදහස් නොවේ. ඔහු සෑම විටම සමාජශීලී, මිතුරන් ඇතිකර ගැනීමට ප්‍රිය, සෙල්ලම් කිරීමට, පාසලේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ පන්තිවලට ප්‍රිය කරන්නෙකු වන අතර ඩයිනෝසෝරයන් කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි [ඔහු යූටියුබ් නාලිකාවක් පවා නිර්මාණය කළේ එබැවිනි.]

    Theo Costa Ribeiro playing with dinosaurs
    “සමහර වෙලාවට ඔහු ඩයිනෝසෝරයන් සමග සෙල්ලම් කරන්න, කාටූන් බලන්න සහ වීඩියෝ ගේම්ස් ගහන්න කැමති වයස අවුරුදු හයක දරුවෙක්. තවත් සමහර වෙලාවට ඔහු ඇතුළේ ඉන්න යෞවනයා අවධිවෙලා ඔබත් එක්ක දාර්ශනික සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්,” පියා පවසයි

    “සමහර වෙලාවට ඔහු ඩයිනෝසෝරයන් සමග සෙල්ලම් කරන්න, කාටූන් බලන්න සහ වීඩියෝ ගේම්ස් ගහන්න කැමති වයස අවුරුදු හයක දරුවෙක්. තවත් සමහර වෙලාවට ඔහු ඇතුළේ ඉන්න යෞවනයා අවධිවෙලා ඔබත් එක්ක දාර්ශනික සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්,” පියා පවසයි.

    “මිනිස්සු ප්‍රජනනය කරන්නේ කොහොම ද, ජාන කියන්නේ මොනව ද කියලා පැහැදිලි කරන්න අපිට දැනටමත් සිද්ධ වෙලා තියෙන්නේ. ඔහු ළමා හා නව යොවුන් වියේ මිශ්‍රණයක්,” රිබෙයිරෝ සිහිපත් කරයි.

    විස්මයන් එතැනින් නතර වූයේ නැත: ගිය වසරේ පෙබරවාරි මාසයේ දී ‘මෙන්සා’ ජාත්‍යන්තර බුද්ධි මිනුම් ආයතනයට සම්බන්ධ වූ ලාබාලතම බ්‍රසීල ජාතිකයා බවට තියෝ පත්විය.

    අද, ඔහු පාසල් අධ්‍යාපනයට අමතරව, පාපන්දු ක්‍රීඩාව සහ සංගීතය හදාරයි.

    “අපට නොලැබෙන දේ තමයි, රජයෙන් ලැබෙන දිරිගැන්වීම් සහ මේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබාදීල, ඔවුන්ව සුදුසුම විධියට ‘භාවිතා’ කරන එක,” රිබෙයිරෝ පවසයි.

    තියෝගේ පියා පවසන්නේ, තියෝ ප්‍රාථමික පාසලකට ඇතුළත් කිරීම සඳහා අවසර ලබා ගැනීමට අධිකරණයට​​යාමට සිදුවූ බව ය.

    “ඒක හරියට අධ්‍යාපන බලධාරීන් හිතාමතාම මේ වගේ දරුවන් ඉදිරියට යාම වළක්වන්න ඔවුන් පස්සට ඇදලා දානවා වගේ”, රිබෙයිරෝ සිත්තැවුලෙන් යුතුව පවසයි.

    අදහස් විමසීම සඳහා බීබීසීය බ්‍රසීලයේ අධ්‍යාපන අමාත්‍යංශය විද්‍යුත් තැපෑලෙන් සහ දුරකතනයෙන් කිහිප වතාවක් සම්බන්ධකර ගත් නමුත් මෙම ලිපිය ප්‍රකාශයට පත් කරන තෙක් ඔවුන්ගෙන් පිළිතුරක් නොලැබිණි.

    “ඇත්ත වශයෙන්ම දක්ෂතා වර්ධනය කරන පාසල අවස්ථා සපයන පාසලක් මිස, නිත්‍යානුකූල අයිතියක් ලබාගන්න පියා රජයේ අභිචෝදක කාර්යාලයට යනකම් බලන් ඉන්න තැනක් නෙවෙයි,” සහජ දක්ෂතා ගැන හසල දැනුමක් ඇති අධ්‍යාපනඥයෙකු වන පැට්‍රීෂියා ගොන්ක්ලේව්ස් පවසයි.

    නිකෝල්ගේ කතාව

    අටහැවිරිදි නිකෝල් පික්සෝටෝ ඇගේ පළමු වචනය වූ ‘තාත්තා’ යන්න මාස හයේ දී තෙපලුවා ය.

    Theo with his parents and his sister
    තියෝට ප්‍රාථමික පාසලට ඉක්මන් ප්‍රවේශයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහුගේ දෙමාපියන් අධිකරණයට ගියේ ය

    “වයස අවුරුද්දේ දී මම ඇයට බෝනික්කන් අරන් දෙන්න පුරුදු වෙලා හිටියේ, ඒත් එයාගේ කැමතිම සෙල්ලම් බඩු වුණේ පැන්සල් සහ කඩදාසි,” නිකෝල්ගේ මව, ජෙසිකා පික්සෝටෝ, සිහිපත් කරයි.

    “මිනිස්සු කිව්වේ ඇය වෙනස් කියලා, ඒත් මම හිතුවේ ඒක අම්මා කෙනෙක් විධියට දැනෙන හැඟීමක් කියලා.”

    එහෙත් එවැනි ලක්ෂණ පහළවීම නැවතුණේ නැත. වයස අවුරුදු දෙකේ දී, නිකෝල් ළදරු පාසලට යන සමයේ ඇය හැඳින්වුණේ, “අනෙක් දරුවන්ට වඩා කැපී පෙනෙන” දරුවෙකු ලෙස යි.

    2021 දී, එවකට හත් හැවිරිදි නිකෝල්, රියෝ ද ජැනයිරෝහි පාසලකට ගියා ය. ඇයගේ මව සහ පියාට ඇය බුද්ධි පරීක්ෂණයකට යොමුකරන ලෙස යෝජනාවක් පැමිණියේ එහි දී ය.

    දැනට නිකෝල් ප්‍රාථමික පාසලේ තෙවන වසරේ ඉගෙනුම ලබයි.

    “අවශ්‍ය කරන වාර්තාවකුත් තියෙන නිසා අපි දැන් උත්සහ කරන්නේ ඇයව ශ්‍රේණියක් ඉහළ පන්තියකට දාන්න,” ඇගේ මව පැහැදිලි කරයි.

    ගණිතයට ප්‍රිය කළ ද, නිකෝල් වෛද්‍ය වෘත්තිය ගැන ඉතා කුතුහලයෙන් සිටින අතර දැනටමත් වෛද්‍යවරියකවීමට සිහින දකියි.

    “දවසක්, අපි පල්ලියේ දේව මෙහෙයක ඉන්න වෙලාවේ ඇය 6 වන ශ්‍රේණියේ ගණිත පොතක් ගෙනාපු පාසැල් මිතුරියක් ළඟින් වාඩි වුණා. ඒ දරුවා කුඩා පොදු ගුණාකාරය සම්බන්ධ ගණන් හදද්දී නිකෝල් ඒ දිහා බලාගෙන හිටියේ. ගෙදර ආවට පස්සේ එයා ඒ හැම ගාණක්ම ආපහු හරියට හැදුවා,” මව පවසයි.

    නිකෝල්ට වයස අවුරුදු හයේ දී, ‘කීබෝඩ්’ එක වාදනය කරන ලෙස ඇය පියාට පවසා ඇති අතර, ඔහු ඇයට මූලික කරුණු පැහැදිලි කර තිබේ.

    “ඊට පස්සේ ඇය වාඩි වෙලා තනියම ගීතයක් වාදනය කිරීමට පටන් ගත්තා,” ඇගේ මව සිහිපත් කරයි.

    Nicolle and her parents
    දෙමාපියන් පවසන පරිදි, නිකෝල් ගණිතය සහ සංගීතය පිළිබඳ දක්ෂතා පෙන්වා ඇත

    ඇයට පුද්ගල සබඳතා පිළිබඳ කිසිදු දුෂ්කරතාවක් නොමැති තරම් ය. “ඇයට තියෙන්නේ මොකක් ද කියල මම දන්නේ නැහැ. ඒත් ඇයට මිතුරන් ඇතිකර ගැනීම හරිම පහසු යි. ඒත් එක්කම ඕනෑම පරිසරයකට හොඳින් අනුවර්තනය වෙන්න පුළුවන්,” පික්සෝටෝ පවසයි.

    නිකෝල් ද බ්‍රසීලයේ ‘මෙන්සා’ ජාත්‍යන්තර බුද්ධි මිනුම් ආයතනයේ සාමාජිකාවකි.

    “ඇය මට කියනවා ඇගේ ජීවිතේ කිසිවක් වෙනස් වෙලා නැහැ, ඇය හැම වෙලේම පරණ නිකෝල්ම තමයි කියලා,” පික්සෝටෝ පවසයි.

    “මම උත්සහ කරන්නේ, එයත් අනිත් අය වගේම යි කියලා උගන්නන්න.”

    සහජ දක්ෂතා ඇති දරුවෙකු හඳුනාගන්නේ කෙසේ ද?

    ආරම්භයක් ලෙස හොඳ ඉඟි ලබාදුන්න ද, වයසට වඩා මුහුකුරා ගියබව සහජ දක්ෂතාව නිර්වචනය නොකරයි. එය නිසැකවම සලකා බැලිය හැක්කේ, බුද්ධිමය සැකසුම් ධාරිතාව අවබෝධ කර ගැනීම අරමුණුකර ගත් ,විශේෂයෙන්, බුද්ධි මට්ටම මැනීමේ පරීක්ෂණ පෙළකිනි.

    මනෝවිද්‍යාඥයින්, ස්නායු මනෝවිද්‍යාඥයින්, අධ්‍යාපනඥයින් සහ විෂය පිළිබඳ විශේෂඥයින් විසින් එම ඇගයීම සිදුකරනු ලබයි.

    එමගින් අදහස් වන්නේ, ඇතැම් ලක්ෂණ අවසානයේ සහජ දක්ෂතාව පෙන්නුම් කළ හැකි බව ය. ඒවා නම්:

    • තියුණු කුතුහලය
    • වයසට වඩා මුහුකුරා ඇති උසස් වාග්මාලාව
    • ඉගෙනීමට ඇති පහසුව සහ ඉතා ඉහළ බුද්ධි ධාරිතාව
    • ඉක්මනින් තර්ක කිරීමට ඇති හැකියාව
    • නායකත්වය සහ ආත්ම විශ්වාසය
    • විශිෂ්ට මතකය
    • නිර්මාණශීලිත්වය
    • අනුවර්තනයවීමට හෝ අදහස් වෙනස් කිරීමට ඇති හැකියාව
    • සූක්ෂ්ම නිරීක්ෂණ
    • ඉලක්කයක් හඹා යාමේ නොපසුබට උත්සහය

    සහජ දක්ෂතාව හඳුනානොගත් දරුවන්ට, අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව අඩුවිය හැකි අතර චර්යාත්මක ගැටලු ඇතිවිය හැකි ය.

    “උත්තේජනයක් නොමැතිකම නිසා පාසලේ දී හොඳ ලකුණු ලබානොගන්නා බොහෝ සහජ දක්ෂතා ඇති අය ඉන්නවා. ඇතැම් විට, පුනරාවර්තන ඉගැන්වීමේ ක්‍රමය සහ පන්ති කාමර සන්දර්භය සහජ දක්ෂතා ඇති අය බොහෝ ලෙස පීඩනයට පත් කරනවා වගේම ඒ ක්‍රමවේද ඔවුන්ගේ කුසලතා වර්ධනය කරන්නෙත් නැහැ,” ස්නායු විද්‍යාඥයෙකු වන ආචාර්ය ෆැබියානෝ ඩි ආබෘ පැහැදිලි කරයි.

    A smiling child with glasses and notebooks
    ප්‍රවීණයන් තවමත් ‘සහජ දක්ෂතාව’ ලෙස සැලකිය හැක්කේ කුමක්දැ යි විවාද කරයි

    බ්‍රසීලයේ සහ තවත් බොහෝ රටවල සහජ දක්ෂතා ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විධිමත් ක්‍රමයක් නොමැත. ඔවුන් “සොයාගනු ලබන්නේ” ඔවුන්ගේම පවුලේ සාමාජිකයින්, පාසල හෝ මිතුරන් විසිනි. ඒ හේතුවෙන් පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ, සහජ දක්ෂතා ඇති දරුවන්ගේ සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු බව ය.

    ක්‍රීඩාව, කලාව, ඉගෙනීමට ඇති හැකියාව: මේ සියල්ල සහජ දකෂතා ද?

    සහජ දක්ෂතා සඳහා වූ බ්‍රසීලියානු කවුන්සිලයට (ConBraSD) අනුව, සහජ දක්ෂතා ඇති පුද්ගලයින් විශාල කණ්ඩායම් දෙකකට වර්ගකර ඇත. පළමු කණ්ඩායම ඉහළ ලකුණු ලබාගන්නා සහ විද්‍යාත්මක දැනුම ඉගෙනීමට ඉතා දක්ෂ, සහජ දක්ෂතා ඇති උගතුන් ය. දෙවන විශාල කණ්ඩායම “ඵලදායි සහ/හෝ නිර්මාණශීලී” ලෙස හැඳින්වේ.

    බ්‍රසීලයේ ‘මෙන්සා’හි මනෝවිද්‍යා අධීක්ෂකවරිය වන ප්‍රිසිලා සයාට අනුව, බුද්ධිය සහ ඉතා ඉහළ හැකියා සහජ දක්ෂතාවයේ කොටසකි.

    “කෙසේ වෙතත්, සහජ දක්ෂතා ඇති අයෙකු ලෙස සලකන්න පුද්ගලයන් චිත්තවේගීය හා සමාජීය අංශවලට සම්බන්ධ වෙනත් ලක්ෂණත් පෙන්නුම් කළ යුතු යි. ඔවුන් වඩාත් සංවේදී සහ සභානුභූතිය ඇති පුද්ගලයන් වගේම, යුක්තිය පිළිබඳ ඉතා තියුණු හැඟීමක් ඇති, වඩාත් නිරීක්ෂණශීලී, කුඩා තොරතුරු පිළිබඳ අවධානය දක්වන අය යි,” සයා පවසයි.

    “සංගීතය, ක්‍රීඩාව, කලාව සහ නැටුම් වැනි හැකියාවලින් පෙන්නුම් කරන, බුද්ධිමය අංශයෙන් ඔබ්බට යන කුසලතාත් තිබෙනවා.”

    මතභේද

    නමුත් සහජ දක්ෂතාව මතභේදයට තුඩුදෙන විෂයයකි.

    “විද්‍යාත්මක සාහිත්‍යයේ පොදු එකඟතාවක් නැහැ. ඒත්, මට නම්, සහජ දක්ෂතාව අත්‍යවශ්‍යයෙන්ම බුද්ධිමය බව පවසන තර්කය තිබෙනවා,” සාඕ පවුලෝ විශ්වවිද්‍යාලයයේ ස්නායු මනෝවිද්‍යාඥ ආචාර්ය පැට්‍රිෂියා රෙසාක් තර්ක කරයි.

    සහජ දක්ෂතා සඳහා වූ බ්‍රසීලියානු කවුන්සිලයයේ සාමාජිකයෙකු වන මේ විශේෂඥයාට අනුව, සහජ දක්ෂතාව මෙන්ම අමතර ඉහළ හැකියා ඇති අය ද සිටිති.

    “අතිශයින්ම දියුණු කලාත්මක හෝ මළල ක්‍රීඩා හැකියාවක් හෝ ඒ ක්ෂේත්‍රයම ඉලක්කකර ගත් නිශ්චිත විභවයක් ඇති දරුවෙක් මට ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒකට මම සහජ දක්ෂතාව කියන්නේ නැහැ. හැබැයි ඉහළ හැකියා කියලා කියනවා,” රෙසාක් උනන්දුවෙන් පවසයි.

    දරුවෙකු සහජ දක්ෂතා ඇති අයෙකු බවට පත්කරන්නේ කුමක් ද?

    විශේෂඥයින් පවසන පරිදි, සහජ දක්ෂතා ඇති දරුවන්ට මොළයේ ඇතැම් ප්‍රදේශවල ධූසර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති අතර, මෙය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියා කිරීමට උපාගම (සම්බන්ධතා) ඇති කරයි. ඊට හේතුව ධූසර ද්‍රව්‍ය මොළයේ ඉදිරිපස බාහිකයට මෙන්ම චින්තනයට බලපාන ඇතැම් ව්‍යුහයන්ට බලපෑම් කරන බැවිනි.

    “සහජ දක්ෂතා ඇති මිනිසුන්ගේ මොළය වෙනස් නිසා ඇත්තටම ඔවුන් බුද්ධිමය වශයෙන් දියුණු යි. ඔවුන්ගේ මොළය සුවිශේෂී බවට පත්කරන වඩා ශක්තිමත් හා ඉහළ ප්‍රවේශයක් සහිත සහ උපාගමික සම්බන්ධතා, වඩාත් තීව්‍ර සහ කල් පවතින බවට පත්කරන විශාල නියුරෝන තිබෙනවා.”

    “මේ සියල්ලටම තීරණ ගැනීමට, තර්කනයට, නිවාරණයට, මතකයට සහ අවධානයට සඳහා වගකියන මොළයේ පූර්ව ඉදිරිපස බාහිකය සම්බන්ධ වෙනවා.”

    ඇතැම් අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ, සුවිශේෂී බුද්ධිමය හැකියා ඇති දරුවන්ගේ මොළයේ මතක පද්ධති සාමාන්‍යයෙන් වර්ධනය වන දරුවන්ට වඩා විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත බව ය. තවත් සමහරු අවධාරණය කරන්නේ සහජ දක්ෂතා ඇති දරුවන්ට වඩාත් ඒකාබද්ධ හා බහුකාර්ය නියුරෝන පද්ධතියක් ඇති බව ය.

    බ්‍රසීලයේ ‘මෙන්සා’හි මනෝවිද්‍යා අධීක්ෂකවරිය වන ප්‍රිසිලා සයා ද පෙන්වා දෙන්නේ සහජ දක්ෂතාව රෝගී තත්ත්වයක් නොවන බව ය.

    “එය පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ දෙයක් මිස ස්නායු ආබාධයක් නෙවෙයි. සහජ දක්ෂතාව ගොඩනැගීමක්, මනෝවිද්‍යාත්මක අංගයක් විධියටයි අපි තේරුම් ගන්නේ,” ඇය පවසයි.

    source:bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments