Tuesday, July 1, 2025
More
    Homeකාලීන පුවත්එළවළු වලින් කරන මේ 'නරුම ගසා කෑම' නතර කළ යුතුම ය -...

    එළවළු වලින් කරන මේ ‘නරුම ගසා කෑම’ නතර කළ යුතුම ය – ගොවි – පාරිභෝගික අපි එක් වෙමු !

    අද දින මා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආර්ථික මධ්‍යස්ථානයකට ගියේ එළවළු මිලදී ගැනීමටය. අද දිනයේ මගේ අරමුණ එළවළු මිලදී ගැනීමට වඩා එහා ගිය දෙයකි .එනම් ලංකාවේ එළවළු මෙතරම් ගිනි ගණන් ඇයි කියා සොයා බැලීමටය. මගේ මේ උත්සාහයෙන් අනාවරණය වූ දෙය අදහගාගැනීමට පවා නොහැකි පුදුම සහගත දෙයකි.

    මා ප්‍රථමයෙන් කලේ තොග වෙළඳාම් කරන කඩ පේලියට ගොස් වර්ග පහකින් එළවලු කිලෝ එක බැගින් මිලදී ගැනීමය . ඉන්පසුව මගේ කාර්යය වුයේ එම එළවළු ටික වාහනයට දමා සිල්ලර විකුණන කඩයකට ගොස් එම එළවළු වර්ග වලින්ම ග්‍රෑම් 500 බැගින් මිලදී ගැනීමය .කඩ දෙකෙන්ම මා බිල්පත් ලබාගැනීමට අමතක නොකළ අතර චායාරුපයේ ඇත්තේ එම බිල්පත් දෙකය.

    කරවිල තොග කිලෝ එකක් රුපියල් 200කි. සිල්ලර කිලෝ එකක් රුපියල් 480කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 280කි. වැටකොළු තොග කිලෝ එකක් රුපියල් 140කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 180කි. නෝකෝල් තොග කිලෝ එකක් රුපියල් 90කි .සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් රුපියල් 230කි. බීට් තොග කිලෝ එකක් රුපියල් 110කි .බිට් සිල්ලර කිලෝ එකක් රුපියල් 320කි .එනම් සිල්ලරට විකිණීමෙන් ලැබෙන ලාභය කිලෝ එකකට රුපියල් 210කි .

    අප මෙතනින් එක වර්ගයක් අරගෙන පොඩ්ඩක් ලිහාගෙන බලමු. නෝකෝල් කිලෝ එකක තොග මිල රුපියල් 90කි. නෝකෝල් අලයක් ඵල දැරීමට මාස දෙක හමාරක් තුනක් පමණ කාලයක් ගතවේ. බිජ සිටුවීමේ සිට ඵල නෙලා ගන්නා තුරු එය රැකබලා ගත යුතුය. අව්ව වැස්ස නොතකා මහන්සිවිය යුතුය. එයට අමතරව පොහොරද සති තුනකට වතාවක් යෙදිය යුතුය. වැස්ස වැටුනේ නැත්නම් එම කාලය පුරාවට දිනපතා ජලය දැමිය යුතුය. දැඩි නියඟයක් හෝ අධික වර්ෂාවක් පතිතවුවහොත් වගාව මුළුමනින්ම විනාශවීමේ අවධානමක්ද ඇත. මේ සියලු අභියෝග වලට මුහුණ දෙමින් ඒ අසරණ ගොවියා කිලෝ එකක් විකුනනවා ඇත්තේ රුපියල් 50ක් වැනි මුදලකට විය යුතුය. හේතුව රුපියල් 110 කට ආර්ථික මධ්‍යස්ථානයේ විකිනීමට ලොරි රථ වල ප්‍රවාහන ගාස්තුව සහ ප්‍රවාහනය කරන්නන්ගේ ලාභය එයට එකතුවන නිසාය. එවිට ඔහුට කිලෝ එකකින් ලැබෙන ලාභය රුපියල් 20ක් පමණ වනු ඇත.

    මේ සියලු දේවල් කර ගොවියා කිලෝ එකකට රුපියල් 20ක් පමණ ලාභ ලබනවිට එළවළු වෙළෙන්දා පැයක් ඇතුළත කිලෝ එකකට රුපියල් 230ක ලාභයක් ලබයි. ගොවියාට මෙතරම් අසාධාරණයක් වන සහ වෙළෙන්ඳා මෙතරම් ලාභයක් ලබන රටක් මේ තුන් ලෝකයේම ඇතිදැයි සැක සහිතය. අනිත් අතින් මෙයින් වඩාත් පිඩාවට පත්වන්නේ ඔබ සහ මා වැනි පාරිභෝගිකයින්ය. මේ වෙළෙඳුන්ගේ අති අසාධාරණ ගසාකෑම නැවැත්වුවහොත් ගොවියාට ඔහුගේ මහන්සියට සරිලන අදායමකුත් පාරිභෝගිකයාට සාධාරණ මුදලකට එළවළුත් ලබාගැනීමට හැකි වනු ඇත.

    රටක ආණ්ඩුවක් ඉන්නේ මේවා සොයාබලා තීරණ ගැනීමට සහ නියාමනය කිරීමටය .මේ ආණ්ඩු සියල්ල නොකරන එකම දෙයත් එයමය .මේවා විසඳීමට ආණ්ඩුව බොහෝවිට කරන්නේ ආණ්ඩුවද එළවලු විකිනීමට පටන්ගැනීම වැනි නරි නාටකය.

    ලෝකයේ බොහෝ රටවල මෙවැනි දෑ පාලනය කිරීමට දියුණු ක්‍රමවේද ඇත .අපිට ක්‍රමයක් නැත්නම් ඒවායින් හෝ පාඩම් ඉගෙන නිවැරදි කල යුතුය. එසේ නොවුනහොත් ඉතාම නුදුරු දිනක ගොවින් ගොවිතැනින් ඉවත් වනු ඇත .එදාට ඔබ සහ මම කුමක් කල යුතුද ? ඊට පෙර මෙම ලිපිය හැකි තරම් ෂෙයාර් කිරීමෙන්ද නොසිතු ප්‍රතිඵල ගෙනදෙනු ඇත.

    උපුටා ගැනීම – Prasanga Alwis Rajarata Agro

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments