ළමයින් අනාරක්ෂිත වීමට හේතු සහ මේ සඳහා අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයන අංශයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ සමඟ පැවැත්වූ සංවාදයකි.
අපේ රටේ දරුවන්ගේ ආරක්ෂාව බිඳවැටීමට හේතු මොනවාද?
දරුවන්ගේ ආරක්ෂාව එක් පැත්තකින් නෙවෙයි පැති කිහිපයකින් බිඳ වැටිලා තියෙනවා. දරුවාගේ ආරක්ෂාව පිළිබඳව මූලික වගකීම තිබෙන්නේ මවුපියන්ට. දරුවන්ට මූලික ආරක්ෂාව ලබාදිය යුත්තේ මවුපියන්. ළමයින් කියන්නේ සමාජයේ තනිව ජීවත් වෙන්න පුළුවන් පිරිසක් නෙවෙයි. මේ නිසා මවුපියන්ට අමතරව දරුවාට සාමාජයීය වශයෙන් ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. දරුවෙකුට පෝෂණය, අධ්‍යාපනය අවශ්‍ය වෙනවා සේම හොඳ පුරවැසියෙකු ලෙස වර්ධනය වීමට අවශ්‍ය මඟ පෙන්වීම මවුපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ මහ සමාජය තුළින් ලැබිය යුතුයි. මෙයට මූලික වගකීම, වගවීම ඇත්තේ මවුපියන් සතුවයි.
වර්තමානයේ සෑම පවුලක් තුළටම ඍජුව බලපා තිබෙන ආර්ථික ප්‍රශ්න, සාමාජයීය ප්‍රශ්න සමඟ පවුල තුළ දරුවන් කෙරෙහි තිබිය යුතු අවධානය අඩු වී තිබෙනවා. සමාජය තාක්ෂණය සමඟ ඉදිරියට ශීඝ්‍රයෙන් ගමන් කරමින් වර්තමානයේ මවුපියන් දරුවන් සමඟ සහෝදර සහෝදරියන් සමඟ පවුලේ සාමාජිකයන් සමඟ තිබූ සම්බන්ධතාවය බිඳවැටෙමින් යනවා. කාර්යබහුල ජීවිතයක මවුපියන් සිරව සිටින නිසා දරුවන්ගේ ගැටලුවක්වත් අසන්නට වෙලාවක් නැහැ. මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සුපරික්ෂාකාරීව බලන්න.
ළමා ආරක්ෂණයේදී ළමා අපයෝජනය හා හිංසනය වැළැක්වීමේ වැදගත්කම පැහැදිළි කළ හැකිද?
ළමා ආරක්ෂණයේදී ළමා අපයෝජන, ළමා හිංසනය වැළැක්වීම නීතියෙන් පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ළමා ආරක්ෂණය පිළිබඳව දරුවා මෙන්ම සමාජයේ සිටින සෑම පුද්ගලයෙක්ම දැනුම්වත් කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. එය පාසල් මට්ටමෙන් වගේම සමාජයීය මට්ටමින්ද සිදු කරන්න ඕනේ. දරුවන්, මවුපියන් සහ ගුරුවරුන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන, යුක්තිය පසිඳලන ආයතන ද මේ පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත්. සමාජයීය වශයෙන් දරුවන්ගේ ආරක්‍ෂණය පිළිබඳ මිනිසුන් දැනුම්වත් වීම හරහා සමාජයේ සෑම දරුවෙකුගේම ආරක්ෂාව සහතික කළ හැකියි. ලෝකයේ සිදු කර තිබෙන පර්යේෂණවලින් හෙළි කර තිබෙන කරුණු අනුව කුඩා අවධියක යම් හිංසනයකට, අපයෝජනයකට ගොදුරු වුණොත් දරුවන් තරුණ අවධියට පිවිසෙන විට ඔවුන්ගේ පෞරුෂත්වය බිඳවැටීමක් වගේම සහකම්පනයක් නැති පුද්ගලයන් බිහි වීම දක්නට ලැබෙනවා. එම නිසා පවුල තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය අවම කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක්. ළමා ආරක්ෂණයේදී මූලික වශයෙන් ළමා හිංසනය වැළැක්විය යුතුයි. ළමා හිංසනය කායික, මානසික හා ලිංගික හිංසනය ලෙස මූලික වශයෙන් වර්ග කෙරෙනවා. දරුවෙකු නොසලකා හැරීම සහ සූරාකෑම කියන්නෙත් ළමා හිංසනයක්. ළමා හිංසනය කියන්නේ අයිස් කන්දක් වගේ. අයිස් කන්දෙන් 1/3ක් තමයි පෙනෙන්න තියෙන්නේ. 2/3ක කොටසක් වැහිලා තියෙන්නේ. ඒ වගේම අතීතයේ සිදුවූ ළමා හිංසන සිදුවීම්වලට වඩා වර්තමානයේ සිදු වන ළමා හිංසන සිදුවීම් සංකීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන බව අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින මට පෙනී යනවා.
මේ ගැන ළමාරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත්ද?
ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් අපේ රටේ ඇති තරම් නීති තිබෙනවා. නමුත් ප්‍රශ්නය නීතිය හරියට ක්‍රියාත්මක නොවීමයි. මෙහිදී අධිකරණ ක්‍රියාවලියට යන කාලය සම්බන්ධව මම කිසිවිටක සෑහීමකට පත් වන්නේ නැහැ. ජාතික ළමාරක්ෂක අධිකාරියට සහ පොලිසියට තමයි ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වගකීම පැවරිලා තියෙන්නේ. ළමාරක්ෂක අධිකාරිය සහ පොලිසිය යම් යම් අවස්ථාවල ප්‍රශස්ත මැදිහත් වීම් සිදු කිරීම දකින්න ලැබුණත් සමස්තයක් ලෙස ඊට වඩා ප්‍රශස්ත ලෙස මැදිහත් වීම සිදු කළ යුතුයි.
ළමා සුරැකුම් කාර්යයේදී අධිකරණ ක්‍රියාවලිය පැහැදිලි කළොත්?
අධිකරණ ක්‍රියාවලිය අයත් වෙන්නේ යුක්තිය පසිඳලීමටයි. යම් දරුවකුට හිංසනයක් සිදු වූ අවස්ථාවකදී එය නැවත නැවත එම දරුවාගෙන් විමසීමට යෑම තවත් හිංසනයකට යොමු කිරීමක් වෙනවා. දරුවෙකු සම්බන්ධ සිදුවීමකදී විමර්ශනය කිරීමේ බලය පොලිසියට පැවරී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු අනුව චුදිතයාට දඬුවම් ලබාදීම සහ වින්දිතයාට සාධාරණය ඉටු කිරීම අධිකරණය මඟින් සිදු කරනු ලබනවා. පොලිසියට ළමයකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණොත් එම විමර්ශනය සිදු කරනු ලබන්නේ ළමා හා කාන්තා කාර්යාංශයේ පුහුණු නිලධාරින් විසිනුයි. එම විමර්ශනයේ විශේෂඥ සාක්‍ෂි සඳහා වෛද්‍යවරුන් වෙත යොමු කරනවා. මෙහිදී පුහුණු අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙත යොමු කිරීම ඉතා වැදගත්. ළමා හිංසනය කියන්නේ නීතිමය ගැටලුවක්ම පමණක් නොවෙයි. එතැන සෞඛ්‍ය, පවුල සහ සමාජයීය යන අංශවල ගැටලු තිබෙනවා. ඒ සියලු ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට පොලිසිය, අධිකරණ, සෞඛ්‍ය, සමාජ සේවා සහ පවුල යන සෑම අංශයක්ම එකට එකතු වී කටයුතු කිරීමට නීතියෙන් බැඳී සිටිනවා.
මේ පිළිබඳව මවුපියන්ට හා වැඩිහිටියන්ට තිබෙන වගකීම මොන වගේද? ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණවත්ද?
දරුවා ආරක්ෂා කිරීමේ මූලික වගකීම තිබෙන්නේ මවුපියන්ටයි. තමන්ගේ ආරක්ෂාවට සිටින මවුපියන් අතින්ම වරදක් වීම ඉතා ඛේදනීයයි. අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින අපට වැඩි වශයෙන් වාර්තා වෙන්නේ ශාරීරික හිංසනයට වඩා ලිංගික හිංසන සිදුවීම්. ළමා හිංසන ක්‍රියා බොහොමයක් වාර්තා වෙන්නේ නැහැ, බොහෝ ඒවා සැඟව තිබෙනවා. පවුලේ කෙනෙක්ගෙන් හිංසනයක් වුණාම කුඩා දරුවන් ඒ පිළිබඳව කියන්න බයයි. ඒ නිසා බොහෝ සිදුවීම් මඟහැරෙනවා. ඒවා පොලිසියට වාර්තා වන්නේ කුඩා ප්‍රමාණයක්. ලිංගික හිංසනයක් තමාගේ පියා අතින් සිදු වුණොත් එය නීතිමය රාමුවට ඒමේදී සමහර මවුවරුන් විසින් එය දැනගත්තත් එය සැඟවීමට උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස ඕක මටත් වෙලා තියෙනවා, තාත්තා ඔයාට ආදරේ නිසානේ එහෙම කරේ. මෙවැනි දරුවන් පසුව ගුරුවරයෙක් හෝ විශ්වාස කරන වෙන කෙනෙකු මාර්ගයෙන් තමන්ට සිදුවුණු අපයෝජනය කියා සිටිනවා. එම නිසා මෙවැනි සිදුවීම් වාර්තා වීමට නම් දරුවන්ගේ දැනුම්වත්භාවය වැඩි කිරීම අවශ්‍ය වෙනවා. මෙය වැරැද්දක් කියලා දරුවා කුඩා වයසේදීම දැනගෙන ඉන්නවා නම් ඔවුන්ගේ ආරක්ෂාව සලසා ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. දැනටමත් ජාතික ළමාරක්ෂක අධිකාරිය, පොලිසිය, රාජ්‍ය නොවන සංවිධාන ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විවිධ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා.
හිංසන, අපරාධ වැඩි වීම සඳහා මාධ්‍යයේ බලපෑම මොන වගේ ද? ඒවා අවම කර ගන්නේ කොහොමද?
ළමා අපරාධ, ළමා හිංසන වැඩි වීම සඳහා මාධ්‍යයේ බලපෑමක් තිබෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් ඍජු පිළිතුරක් ලබාදීමට අපහසුයි. ළමා හිංසනය පිටුදැකීම, වැළැක්වීම සඳහා මාධ්‍යයට විශාල වගකීමක් තිබෙනවා. මෙවැනි සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍ය ආචාර ධර්මවලින් තොර වීම සියලු මාධ්‍යවල දැකගන්න පුළුවන් තත්ත්වයක්. දැනුම්වත් කිරීම සහ වාර්තා කිරීම කියන්නේ කාරණා දෙකක්. බොහෝ මාධ්‍ය තුළ දකින්න ලැබෙන්නේ වාර්තා කිරීමක්. නමුත් මාධ්‍ය කළ යුත්තේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ළමයින් දැනුම්වත් කිරීමයි. එවැනි දැනුවත් කිරීමේ අවස්ථා මාධ්‍ය තුළින් දැකගන්න ලැබෙන්නේ ඉතා අඩු වශයෙන්. බොහෝ සිදුවීම් මාධ්‍ය වාර්තා කිරීමේදී අවම සදාචාරයවත් යොදා නොගැනීම හරහා බොහෝ දරුවන්ට නැවත සමාජගත වීමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ අවස්ථා අපට දක්නට ලැබුණා. මාධ්‍ය තුළින් කළ යුත්තේ වැළැක්වීම සඳහා දැනුම්වත් කිරීමයි. මාධ්‍යට ඇති තරම් ආචාර ධර්ම තිබුණත් ඒවා පොතට පමණක් සීමා කරමින් වාර්තාකරණයේ නිරත වීමක් මාධ්‍ය තුළ දකින්න තිබෙනවා. ඇත්ත වශයෙන්ම මාධ්‍ය මඟින් නිසි ආකාරයෙන් මේ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කරනවා නම්, වාර්තා වන සිදුවීම් අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඉදිරියේදී සංවිධානය වීමට නියමිත ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ගැන කෙටියෙන් හැඳින්වීමක් කළ හැකිද ?
කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අධ්‍යයන කේන්ද්‍රය, ජාතික ළමාරක්ෂණ අධිකාරිය සහ යුනිසෙෆ් ආයතනය ඒකාබද්ධව ළමා ආරක්ෂණය සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවක් (International Conference on Child Protection ICCP-2025) පවත්වන්න අපේක්ෂා කරනවා. මෙය ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කරගෙන යනවා. ඉහත ආයතනවලට අමතරව මෙම ක්‍ෂේත්‍රයේ කටයුතු කරන සියලුම වෘත්තිකයන් අයත් වන සංගම් හා රාජ්‍ය ආයතන සහභාගි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙයට අමතරව ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර විශේෂඥ සංගම්වලටද ආරාධනා කරනවා. සම්මන්ත්‍රණයට පෙර ජාතික සහ අන්තර්ජාතික ළමා ආරක්ෂණය පිළිබඳ විද්වතුන් මෙහෙය වන වැඩමුළු පවත්වන්න කටයුතු කරනවා.
රුවන් කුමාර
දිනමිණ ඊ පුවත්පත