Tuesday, June 24, 2025
More
    Homeකාලීන පුවත්ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළට: කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80යි

    ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළට: කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 80යි

    ශ්‍රී ලාංකිකයින්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කළේය.

    වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න (ජනවාරි 30 වැනි දා) මාධ්‍ය හමුවකදී පැවසීය.

    ආයු අපේක්ෂාව වැඩි වීමට බලපෑ හේතු මොනවා ද?

    ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

    “අපේ සමාජ ආර්ථික දියුණුව තමයි ප්‍රධානම දේ, පහුගිය අවුරුදු 75 ඇතුළත වෙච්ච සමාජ ආර්ථික දියුණුව, දේශපාලන තීරණ ගැනිම්, ප්‍රතිපත්ති ඒවා තමයි ප්‍රධාන ම දේ.”

    සෞඛ්‍ය සේවාව වැඩි දියුණුවීම මෙන් ම සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ යාම ද ආයු අපේක්ෂාව ඉහළ යාමට බලපෑ මූලික කරුණු ලෙස විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේ ය.

    “හාට් ඇටෑක් එකක් හැදුණොතින් මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා දෙවි පිහිට තමයි. දැන් එහෙම නෑ ඉතින් ආපු ගමන්ම ලේ කැටිය දිය කරලා අනිත් පැත්තෙන් ආයේ හැදෙන එක වළක්වන්න බට දාලා ලෙඩා හොඳ කරලා දවස් තුනෙන් ගෙදර යවනවා,” විශේෂඥ වෛද්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවයේ දියුණුව ගැන එලෙස පැහැදිලි කළේය.

    කලාපයේ ඉහළින් ඉන්න ලංකාව

    කලාපයේ අසල්වැසි රටවල් හා සංසන්දනය කිරීමේදී මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල⁣ට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයින්ගේ අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69කි.

    බංගලාදේශයේ පිරිමි වයස අවුරුදු 73ක් වන අතර කාන්තාවන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු 74කි. පකිස්ථානයේ ආයු අපේක්ෂාව පිරිමි අවුරුදු 65ක් සහ ගැහැණු අවුරුදු 66කි.

    නේපාලයේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 68ක් වන අතර ගැහැණු අවුරුදු 71ක් බව එම දත්තවල සඳහන් වේ.

    මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු  76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ
    මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් තිබේ

    ‘ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍යයි’

    අපේක්ෂිත ආයූ කාලය සහ වැඩිහිටි ජනගහනය වැඩි වීම හරහා ර⁣ටට ඵලදායි සේවයක් ලබා ගැනීමට ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    “දැන් ඉන්න අයට අවුරුදු 70ක් විතර වෙනකම් සේවය සපයන්න හැකියාව තියෙනවා. ඔස්ට්‍රේලියාවේ එහෙම ඕන තරම් කාලයක් වැඩ කරන්න පුළුවන්. අපි ඒකට හරියන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙනවා, ඒ අයගෙන් වැඩි කාලයක් රටට සේවය ලබා ගැනීමට,” යැයි විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

    සෞඛ්‍ය සේවයේ සිදුවිය යුතු වෙනස්කම් මොනවා ද?

    මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය කේෂත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අදහස් පළ කළේය.

    ⁣එහිදී බෝ නොවන රෝග, පිළිකා, මානසික සෞඛ්‍ය මෙන්ම අබල දුබල භාවයට පත්වන වැඩිහිටියන් පුනුරුත්ථාපනය වැනි ක්‍රියාවලි කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

    වයෝවෘද්ධ පුද්ගලයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා වෛද්‍ය ක්ෂෙත්‍රයට අවශ්‍ය අයවලුන් සෞඛ්‍ය කේෂ්ත්‍රය තුළ වැඩියෙන් බිහි කළ යුතු බව ද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.

    වැඩිහිටි ප්‍රතිශතය ගැන සලකා සෞඛ්‍ය සේවය ප්‍රතිසංවිධානය වීමට අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය.

    උපත් පහළට… මරණ ඉහළට…

    මෙරට සිදුවන දරු උපත් පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටලු ගැන ද ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

    එහිදී මෙරට උපත් සංඛ්‍යාවේ පහළ යාම සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති ආකාරය 2019 සහ 2023 දක්වා කාලය තුළ දත්ත සහිතව ඔහු පැහැදිලි කළේය.

    මෙරටින් වසරකට ගර්භණි කාන්තාවන් තුන්ලක්ෂ දහතුන්දහසක් පමණ වාර්තා වන බව මෙන්ම සජීවී දරු උපත් දෙලක්ෂ පනස්දහසක් පමණ සිදුවන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

    කපිල ජයරත්න විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට දරුවන් 30% ක් පමණ ස්ථූලභාවයෙන් පෙළෙන බව සහ තවත් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

    අබාධ සහිත කළල ඉවත් කරන්න ඉඩ ඉල්ලයි

    මළ දරු උපත් වැළැක්වීමට මෙරටින් ඉදිරිපත් කළ කොළඹ ප්‍රකාශනය මේ වන විට ලෝකයේ ම පිළිගැනීමට ලක්ව ඇතැයි ඔහු කියා සිටියේය.

    මාරාන්තික උපත් ආබාධ සහිත කළල ඉවත් කර ගැනීමට ඉඩ ලබා දීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විශේෂඥ වෛද්‍යවරයා ඉන්දියාව පවා ඒ සඳහා ඉඩ දී ඇති බව පැවසීය.

    වසර විස්සක පමණ සිට එම නීතිය මෙරට ක්‍රියාත්මක කරවා ගැනීමට ගත් උත්සහයන් මෙතෙක් සාර්ථක වී නැති නමුත් එය බලාත්මක කරවා ගැනීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පෙරමුණ ගෙන කටයුතු කරයි.

    ළමා මරණ සහ සිය දිවි නසා ගැනීම්

    වර්ෂයකට මෙරට අවුරුදු 5ට අඩු දරුවන් 3,300 පමණ මිය යන බව ළමා මරණ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ‍ වෛද්‍යවරයා අනාවරණය කළේය.

    එමෙන් ම නිල නොවන වාර්තාවලට අනුව 2024 වසරේ දී අවුරුදු 18ට අඩු දරුවන් 200කට ආසන්න පිරිසක් සිය දිවි හානි කරගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

    source:bbc.com/sinhala

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments