HomeSMEs GuideSMEs Guide SL: පොල් කට්ටෙන් ඩොලර් හොයන ඩිලාන් - ගිවින්දි යුවළ

SMEs Guide SL: පොල් කට්ටෙන් ඩොලර් හොයන ඩිලාන් – ගිවින්දි යුවළ

මේ කියන්නට යන්නේ පොල් කටුවට අගය එකතු කර වැඩි මිලකට මෙරට මෙන්ම පිටරවලට ද යවනා යුවළක් ගැනය. නමින් ආර්. ඩිලාන් ශෂික සහ ගිවින්දි ගයාංගි පියසිංහ වන මේ දෙදෙනා චිත්‍ර ඇඳීමට උපන්ගෙයිම හපන්කම් දක්වති. තවද පාරම්පරික චිත්‍ර ශිල්පී ව්‍යාපෘතියෙන් බිහිවුණු දක්ෂ චිත්‍ර ශිල්පීන් දෙදෙනකු ලෙස ද හැඳින්විය හැකිය.

පොල් කටුවෙන් දස්කම් දක්වන ඩිලාන් තම ව්‍යාපාරයේ ආරම්භය ගැන ‘විස්කම්’ මෙසේ පැවසීය.

“මුලින්ම මම මතක් කරන්න ඕන කලාසූරී එස්.පී. චාර්ල්ස් මහත්තයව. එතුමා තමයි සෙංකෝලයේ නිර්මාතෘ. එතුමා පාරම්පරික චිත්‍ර ශිල්පී ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරපු කාලෙ මමයි මගෙ බිරිඳයි දෙන්නම පාඨමාලාවක් හැදෑරුවා. අද අප චිත්‍ර අඳින්නෙ එතුමාගෙන් ලබාගත්ත දැනුමෙන්. ඊට පස්සෙ අපි විවිධ නිර්මාණ සිදු කළා. කොරෝනා ආවට පස්සෙ අපේ චිත්‍ර මිල දී ගන්න කෙනෙක් හිටියේ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි විදේශිකයන් එන එක නැවතීම. ඒ වගේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙදිත් අපට ඒක ගොඩක් දැනුණා. ඉතිං අපි කොරෝන කාලෙදි පොල් කටුවල අඳින්න ටිකක් උත්සාහ කළා. අපි මුලින්ම කෝලම් මුහුණු සහ යක් මුහුණු තමයි ඇන්දේ. ඇඳල අපි කිහිපයක් ෆේස්බුක් දාල බැලුවා. ටික ටික ඉල්ලුම වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි පොල් කටුවේ චිත්‍ර අඳින එකට වැඩියෙන් යොමුවුණේ.”

රුපියල් 2ත් – 5ත් අතර සුළු මුදලකට අලෙවි වන පොල් කටුවට රුපියල් 600ත් – 1000ත් අතර වටිනාකමක් එක් කරන්නේ ඩිලාන් තම බිරියත් සමඟ එක්වෙමිනි. එතරම් වටිනාකම් පොල් කටුවට එක් කිරීමට මනා සංයමයක් අවශ්‍යය. එය කොතරම් ද යන්න සියුම් පින්සල් පහරවල්වලින් නිර්මාණය වුණු සිතුවම් හොඳ නිදසුන්ය.

තම සිතුවම් නිර්මාණය ගැන ඩිලාන් අපට පැවසූයේ මෙසේය.

“ඇත්තටම පොල් කටුවේ නිර්මාණ කිරීමේදී ඊට වැඩි වේලාවක් ගත වෙනවා. මොකද මේවා අපි අතින්මයි නිර්මාණය කළ යුත්තේ. දැනට අපි වෙනත් කෙනකුගෙන් චිත්‍ර ඇඳීමට සුදුසු ආකාරයේ පොල්කටු මිල දී ගන්නවා. පොල් කටු අපටම නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර තවම අප සතු නෑ. පොල් කටුව පිටත මෙන්ම අවශ්‍ය නම් ඇතුළතත් සිතුවම් අඳිනවා. වැඩි ඉල්ලුම තියෙන්නේ පොල් කටුව පිටත අඳින සිතුවම්වලට. මේ නිර්මාණ බිත්තියේ එල්ලන්න පුළුවන් විදිහට අපි හදනවා. ඒ වගේම ඉල්ලුම්කරුගේ අවශ්‍යතාව අනුව ඕනෑම ආකාරයකින් චිත්‍ර නිර්මාණය කරනවා. ඒ කියන්නේ කෙනකුට තමන්ගේ රූපය අවශ්‍ය නම් එයත් අපි සිතුවම් කරනවා.”

ඩිලාන්ගේ සහ ගයාංගිගේ පොල් කටු සිතුවම් විදෙස් රටවලද ප්‍රසිද්ධියක් උසුලන්නකි. එසේම විදේශිකයන් වැඩියෙන් ගැවසෙන ගාල්ල, මීගමුව ආදි ප්‍රදේශවලට ද මොවුන්ගේ නිර්මාණවලට ඇත්තේ වැඩි ඉල්ලුමකි. ඒ ගැන ගයාංගි අපට මෙසේ පැවසීය.

“අපේ මේ පොල් කටු නිර්මාණවලට විදේශිකයන් ගොඩක් කැමතියි. ඔවුන් ඇවිත් මිල දී ගෙන යන නිර්මාණ තමන්ගෙ රටවලට ගිහින් වෙනත් අයටත් පෙන්වනවා. ඒ පෙන්නපුවාම තව තවත් ඇණවුම් අපට වැඩියෙන් ලැබෙනවා. දැනට අපි එංගලන්තය, ස්වීඩනය, ඉතාලිය, ඩුබායි, ඉන්දියාව, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව වැනි රටවලට පොල් කටු නිර්මාණ යවනවා. දැනට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ඉතාලිය සහ අමෙරිකාවෙනුයි.”

මෙවැනි නිර්මාණවලට විදේශිකයෝ බෙහෙවින් ආශා කරති. එහෙත් ඍජුවම මෙවැනි නිර්මාණ වෙනත් රටවලට යැවීමට ව්‍යවසායකයන්ට හැකියාවක් නැත. මහා පරිමාණයෙන් මෙවැනි නිර්මාණ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් අපනයනය කිරීමට හැකි නම් ඕනෑ තරම් ඩොලර් මෙරටට ගෙන්වාගත හැකිය. අහක දමන, එහෙමත් නැත්නම් රුපියල් 2ත් – 5ත් අතර අලෙවි වන පොල් කටුව ඩොලර් කිරීමට නම් ඒවා ලෝකයටම ගෙන යා හැකි නිසි වැඩපිළිවෙළක් ද නිර්මාණය කළ යුතුව ඇත.

ගයාන් සංජය– දිනමිණ ඇසුරිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments