ශ්‍රී ලංකාව ඇතුළු බොහෝමයක් ආසියාතික රටවල කොස් දැක ගත හැකිය. ඒ අනුව කොස් සහ කොස් ඇට මානව පරිණාමයේ අනාදිමත් කාලයක සිට මිනිසුන් ආහාරයට ගත් ආහාරයකි. කොස් මදුළුවලට අමතරව කොස් ඇට ද ආහාරයට ගනිති. ගම්වල ජනතාව කොස් ඇට ව්‍යංජන ලෙසත්, අතුරුපස ලෙසත් ආහාරයට ගැනීමට පුරුදුව සිටියහ.
කොස් ඇටවල පෝෂක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. පෝෂණ ගුණයට අමතරව කොස් ඇට සතුව ඖෂධීය ගුණයත් පවතින බව සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කිරීම සඳහා ඉහළ විදේශීය විනිමයක් රජයට ගෙවීමට සිදුවේ. මෙරට ජනතාව ද ආනයනික කිරි පිටි තම දෛනික ජීවිතයේ දී පරිභෝජනය කරති. මෙසේ සඳහන් කිරීමේ දී කොස් ඇට හා කිරිපිටි අතර සම්බන්ධතාවය කුමක්ද යන්න ඔබ සිතනු ඇත. මේ සටහන ආහාර තාක්ෂණය අනුව නව සොයා ගැනීමක් කළ සිසුවියක් පිළිබඳවය.
ඇය නමින්, සනුරි සම්මානි කළුහෙට්ටිආරච්චිය. ඇය මහනුවර අරුප්පල පිහිටි තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරන අවසන් වසරේ ශිෂ්‍යාවකි. තම නව සොයා ගැනීම පිළිබඳව සනුරි සම්මානි ශිෂ්‍යාව මෙසේ ප්‍රකාශ කළාය.
“මම උසස් පෙළ විභාගය කළේ විද්‍යා අංශයෙන්. මට ඒ කාලයේ ඉඳලාම ආහාර තාක්ෂණ විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණා. ඒ නිසා මම උසස් පෙළින් පසුව තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරන්න උනන්දු වුණා. පාඨමාලාවේ අවසන් වසරේ සෑම ශිෂ්‍යයෙකුටම කුඩා පර්යේෂණයක් කළ යුතුයි. ඒ අනුව තමයි මම කොස් ඇටවලින් කිරිමය පානයන් රස කරන්න පුළුවන් Beverage Powder එකක් තමයි නිෂ්පාදනය කළේ. යම් ක්‍රියාවලියකින් පවුඩර් බවට පත් කරගෙන තමයි මං මේ Beverage Powder එක හදන්නේ. රස සුවඳ ගොඩක් කෝපිවල රසයට සමානව තියෙනවා. කිරි කෝපිවලට සහ චොකලට් කිරි පානයන්වලට යන වියදමට සාපේක්ෂව සෑහෙන අඩු පිරිවැයකින් මේ බීම එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙය කැෆේන්වලින් තොර නිෂ්පාදනයක්.
“කොස් ඇට කියන්නේ අපේ රටේ පහසුවෙන් හොයා ගන්න පුළුවන් දෙයක්, ප්‍රමාණයෙන් වැඩි අපතේ යන දෙයක්. ඒ වගේම තමයි කොස් ඇටවල පෝෂක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම පිෂ්ටය, ප්‍රෝටීන්, විටමින්, තයමින්, මැග්නීසියම්, ඛනිජ ලවණ, තන්තු සහ ප්‍රතිඔක්සිකාරක මේ අතර වෙනවා.”
“මේ තරම් පෝෂණ ගුණයක් තිබෙන දෙයක් ගස් යට වැටිලා අපතේ යනවා. විනාශ වෙනවා. මේ ගැන හිතලා මම කොස් ඇට මූලික කර ගත්ත නිෂ්පාදනයක් කළා. මූලික වශයෙන් මෙම පවුඩර් එක නිෂ්පාදනය කරන්න 100% ම යොදාගෙන තියෙන්නේ කොස් ඇට විතරයි. කිසිම කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයක් රසකාරක වර්ගයක් එකතු කර නැහැ.
“ඒ වගේම තමයි කිරි, කෝපි, චොකලට්, වැනිලා වගේ රසයෙන් යුතු කිරි පානයන්වලට මේ නිෂ්පාදනය භාවිත කරන්න පුළුවන්. මේ සම්බන්ධව මම කළ සංවේදී පරීක්ෂණය (Sensory Test) තුළින් තහවුරු වෙලා තිබෙනවා. මෙම පවුඩර් එක කිරි කෝපි, තේ හදාගන්නවා වගේ පහසුවෙන් හදා ගන්න පුළුවන්. රසය හා සුවඳ ගොඩක්ම කෝපිවල රසයට සමානයි. කිරි කෝපිවලට සහ චොකලට් කිරි පානයන්වලට යන පිරිවැයට සාපේක්ෂව අඩු පිරිවැයකින් මේ නිෂ්පාදනය හදා ගන්න පුළුවන්.”
2024 අගෝස්තු මස තාක්ෂණ විද්‍යාලය මඟින් පවත්වනු ලැබු ආහාර තාක්ෂණ ප්‍රදර්ශනයේ දී සනුරි සම්මානි ශිෂ්‍යාවගේ නව සොයා ගැනීමට ප්‍රදර්ශනයට පැමිණි පිරිසගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබිණි.
“කොස් ඇට කිරිමය පවුඩර් වර්ගය නිෂ්පාදනයට ඉහළ පිරිවැයක් වැය නොවන නිසා අඩු මුදලකට වෙෙළඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා පහසු මිලකට පාරිභෝගිකයාට මිලදී ගන්නත් පුළුවන්. කෙසේ වුවත් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට මට දිරි දීමට ආයතනයක් නොමැති ගැටලුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් රජයේ හෝ පෞද්ගලික අංශයෙන් ආයෝජකයෙකුගේ සහාය ලබා දෙනවා නම්, මෙය කර්මාන්තයක් විදිහට වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම විදේශ විනිමය රටට ගෙන්වා ගැනීමටත් හැකියාව තිබෙනවා.”
සනුරි සම්මානි ශිෂ්‍යාවගේ නව නිෂ්පාදනය වෙනුවෙන් උදව් උපකාර කළ, තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය විෂය සම්බන්ධ තම ගුරුවරුන්ව ද, ඇය සිහිපත් කළේ මෙලෙසිනි.
“විරාජ් ජොනික්කුහේවා සර්, අසේල බණ්ඩාර සර්, රසික පෙරේරා සර් සහ මේධා මාරසිංහ මිස් යන අය මගේ මේ නව නිෂ්පාදනයට අවශ්‍ය පර්යේෂණ කටයුතුවලදී ගොඩාක් උදව් කළා.”
එම්. තාරික් – දිනමිණ ඊ පුවත්පතින් උපුටා ගන්නා ලද ලිපියකි