Friday, June 13, 2025
More
    Homeකාන්තා ලෝකයරුචිරා සුභාෂිනි ගන්නිලේ : අභියෝග ජයගත් කාන්තාවකගෙන් සුවඳ හමන ඉටි පන්දම්

    රුචිරා සුභාෂිනි ගන්නිලේ : අභියෝග ජයගත් කාන්තාවකගෙන් සුවඳ හමන ඉටි පන්දම්

    කොවිඩ් වසංගතය හේතුවෙන් රටෙහි සමස්ත ක්‍රියාකාරීත්වය අඩපණ වූ කාල වකවානුවක් අපට පැවති බව නොරහසකි. වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ පුද්ගලයින්ගේ රැකියා අහිමි වූ අතර ආර්ථික වශයෙන් විශාල පරිහානියකට පත්විය. එම අර්බුදකාරී තත්ත්වයටද අභියෝග කරමින් ඇරඹි ඉටිපන්දම් ව්‍යාපාරය ව්‍යාපාරික ක්ෂේත්‍රය නවමු මගකට යොමු කරලීමට සමත් විය. සාම්ප්‍රදායික ඉටිපන්දම් කර්මාන්තයෙන් ඔබ්බට ගොස් සිය නිර්මාණාත්මක චින්තනය, නව ආදායම් මාර්ගයක් කරගත් ඇය, රුචිරා සුභාෂිනි ගන්නිලේ මහත්මියයි.

    ප්‍රමාණ සමීක්ෂකවරියක් ලෙස රැකියාවෙහි නිරතුරු ඇය හට කොවිඩ් වසංගත තත්වය හමුවේ සිය රැකියාව අහිමිවිය. නමුත් ඉන් අධෛර්යයට පත් නොවූ ඇය නව ව්‍යාපාරික අවස්ථා සෙවූවාය. ඇගේ අවශ්‍යතාවය වූයේ ලාංකීය පාරිභෝගිකයින් හට වෙනස් ආකාරයේ නිෂ්පාදනයක් ලබා දීමය. එහිදී මූලික වශයෙන් එම ව්‍යාපාරය පිළිබඳව න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා ගැනීම පිළිබඳව ඇය සැලකිලිමත් විය.

    “මුල් කාලයේදී ඉටිපන්දම් නිර්මාණය කරන්න අමුද්‍රව්‍ය සොයා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වුණා. ඇත්තටම මගේ පළවෙනි නිර්මාණය සිදුකරන්න පාවිච්චි කළේ යෝගට් කෝප්පයක්. නියමිත ආකාරයට උෂ්ණත්වය සහ සුවඳ වර්ග භාවිත කරමින් මම ඒ නිර්මාණ කළා. ඇත්තටම ඒක ගොඩක් සාර්ථක වුණා. ඉතින් මට විශ්වාසයක් ඇතිවුණා මෙම ව්‍යාපාරය මට කරන්න පුළුවන් කියලා.”

    ඇගේ ව්‍යාපාරය ආරම්භ කොට මාස දෙකක් ගතවීමටත් ප්‍රථමයෙන් මංගල උත්සව සඳහා ඉටිපන්දම් නිර්මාණය කිරීමේ ඇණවුමක් ඇයට හිමි විය. එතැන් සිට සිය ව්‍යාපාරය ක්‍රමවත්ව සහ සැලසුම් සහගතව සිදුකිරීමට ඇය කටයුතු කර තිබිණි. එවකට පැවති සමාජ, ආර්ථික වාතාවරණයන් හමුවේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවුවද ඇගේ නොබසුබට උත්සාහය හමුවේ එම අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකි විය.

    එලෙස ආරම්භ කළ ඇගේ ඉටිපන්දම් සඳහා අද වන විට පවතින ඉල්ලුම අධිකය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව, ඉතාලිය වැනි රටවල්හී පදිංචි පුද්ගලයින් බවට පැමිණ ආපසු යන විට මෙම ඉටිපන්දම් රැගෙන යන බැව් ඇය පැවසුවාය.

    අද වන විට බොහෝ පාරිභෝගික ආකර්ෂණයක් දිනා තිබෙන මෙම ඉටිපන්දම් ව්‍යාපාරයෙන් ඉතාමත් හොඳ ආදායමක් ඉපයීමට ඇයට හැකියාව ලැබී ඇත. සියලුම නිර්මාණ කටයුතු රුචිරා මහත්මිය විසින් තනිව සිදුකරන අතර ඇසුරුම් කිරීම සඳහා පමණක් එක් අයෙකුගේ සහය ලබා ගැනීමට ඇය කටයුතු කරයි.

    සාම්ප්‍රදායිකව සිදුකළ ඉටිපන්දම් ව්‍යාපාරය නව මුහුණුවරකින් සමාජගත කිරීමෙහිලා දැඩි වෙහෙසක් ගත් ඇය සෑම විටම අනෙකුත් ඉටිපන්දම් නිර්මාණකරුවන් අතර සිය අනන්‍යතාවය පවත්වාගෙන යාම පිළිබඳවද සැලකිලිමත්වේ.

    ” දැන් ගොඩක් අය ඉටිපන්දම් ව්‍යාපාරයේ නිරත වෙනවා. ඒක හොඳ දෙයක්. ඒත් මම හැම වෙලාවකම වෙනස් විදියට හිතනවා. වෙනත් නිර්මාණකරුවෙක් මම කරපු නිර්මාණයක් වුණත් කරලා තියෙනවනම් මම ඒ නිර්මාණය නැවත කරන්නේ නෑ. මට අවශ්‍ය වෙන්නේ මටම කියලා අනන්‍යතාවක් ගොඩනංවා ගන්න. මම කරන නිර්මාණ අතරින් සී තීම් (sea theme) ඉටිපන්දම් , කේක් ආකෘතියට හදන ඉටිපන්දම් මම වෙනත් නිර්මාණකරුවන් කරනවා තවම දැකලා නැහැ.”

    ඕනෑම නිෂ්පාදනයක් සඳහා කොතෙක් ඉල්ලුමක් පැවතියද ඒ ආශ්‍රිතව පැන නැගෙන්න වූ ගැටලුද බොහෝමයකි. එය ඉටිපන්දම් නිර්මාණකරුවන් හටද පොදුය.

    මෙවැනි ගැටලු මධ්‍යයේ වුවද මෙම ව්‍යාපාරය සිදු කරන රුචිරා සුභාෂිණී හට සිය නිර්මාණ විදේශයට අපනයනය කිරීමට මෙන්ම දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් තමාගේම ව්‍යාපාරික ස්ථානයක් ඇරඹීමට සිහිනයක් ඇත.

    තමා මෙන්ම දිරියෙන් ජීවිතය ජය ගැනීමට උත්සහා දරන්නා වූ සුවහසක් දෙනාහට ඇය ලබා දෙන උපදෙස් වනුයේ,

    “අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඕනෑම කෙනෙක් මුලින්ම දේශීය වගේම විදේශීය වෙළෙඳපල අධ්‍යයනය කරන්න ඕනි. ඕනෑ තරම් ව්‍යාපාරික අවස්ථා අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි මිනිස්සු කැමති ගුණාත්මක භාවයකින් යුක්ත අලුත් දේවල්වලට. ඒ නිසා අනිත් අය අනුකරණය නොකර තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගන්න ඕනි. මොන නිෂ්පාදනයක් කළත් හොඳට හිතලා නිර්මාණශීලීව කරන්න ඕන.”

    නවෝදා හඳරාගම – දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments