දරුවන් යනු රටක අනාගතයයි. එනිසා දරුවන් වෙනුවෙන් සහ දරුවන්ගේ අනාගත යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම සැමගේම වගකීමකි. ඒ අතරින් වඩාත්ම වටිනා කරුණක් වන්නේ ළමුන් සම්බන්ධ කරුණුවලදී ජනමාධ්‍ය කටයුතු කරන ආකාරයයි නැතිනම් ජනමාධ්‍ය කටයුතු කළ යුතු ආකාරයයි. සැබැවින්ම ජනමාධ්‍ය වෙත තිබෙන්නේ විශාල වගකීමකි. එහෙත් එම වගකීම තේරුම් ගෙන කටයුතු කරනු නොලබන පිරිස්ද සිටිති. එය සැමට එල්ල කරනු ලබන චෝදනාවක් නොවුණද මේ චෝදනාව ඇතැමුන් වෙත අදාළය. එහෙත් ඒ පිළිබඳව ජනමාධ්‍ය කටයුතු කළ යුතු වගකිව යුතු ක්‍රමයක් තිබේ. එසේ කටයුතු කිරීම මඟින් දරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ළමුන්ගේ අනන්‍යතාව හෙළිදරව් කරමින් මාධ්‍ය මඟින් කරනු ලබන මාධ්‍ය ආචරධර්ම උල්ලංඝනයක් ලෙසද සඳහන් කළ හැකිය.
මෙම කරුණු කලක් තිස්සේ ඉස්මතුවෙමින් තිබුණ ද එය නැවත සමාජ කතාබහට ලක්වෙමින් තිබේ. එයට හේතුව බවට පත්ව තිබෙන්නේ පසුගිය දා කොළඹ නෙළුම් කුලුනෙන් පාසල් දරුවකු ඇද වැටීමේ සිදුවීමයි. එම සිදුවීම මාධ්‍ය තුළ වාර්තා කර තිබුණේ විවිධ අයුරිනි, ඉතාමත් සවිස්තරාත්මක සහ දරුවාගේ අනන්‍යතාවය හෙළිදරව් වන පරිදිය. සැබැවින්ම එය ඒ අයුරින් සිදු විය යුත්තක් ද යන්න සලකා බැලිය යුතුය. හුදු රේටින් මතම යැපීම යනු සැබෑ මාධ්‍යයේ අරමුණ නොවේ. වඩාත් යහපත් සහ හොඳ පසුබිමක් ඇති කිරීම. මාධ්‍යවල අරමුණ වුවද එම අරමුණ පසෙක ලූ අවස්ථා විශාලය.
මේ තත්ත්වයට අවධානය යොමු කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එම නිවේදනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ (නීති) නීතිඥ ප්‍රීතිකා සකලසූරිය මහත්මිය විසින් නිකුත් කර තිබේ.
පාසල් වයසේ පසුවන ගැහැනු ළමයකු නෙළුම් කුලුනින් පැන සිය දිවි නසා ගැනීම පුවත ජනමාධ්‍ය මඟින් වාර්තා කරද්දී ඉතා විස්තරාත්මකව සහ එම ළමයාගේ අනන්‍යතාවය හෙළිවන අයුරින් කරුණු වාර්තා කිරීම ඇතැම් මාධ්‍ය මඟින් බහුලව සිදුකරනු ලබන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට නිරීක්ෂණය වේ. ළමා ආරක්ෂණ අධිකාරිය මේ පිළිබඳව වැඩි දුරටත් සඳහන් කරනු ලබන අතර එම වැඩි දුර කරුණු වාර්තා කිරීම තුළ මෙසේ සඳහන් වේ.
ළමා අපයෝජන සහ සියදිවි හානිකර ගැනීම් ආදි සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් කරුණු වාර්තා කිරීමේදි වින්දිත දරුවාගේ අනන්‍යතාවය හෙළිවන පරිදි කරුණු වාර්තා කිරීම මඟින් ළමයා, එම ළමයාගේ මාපියන් හා සෙසු දරුවන් ඇතුළු පිරිසද මානසිකව දැඩි පීඩාවට ලක්වේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය මේසේ සඳහන් කරනු ලබයි.
“මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයකින් තොරව මරණයට හේතුව පිළිබඳව නිගමනයට එළඹිය නොහැකිය. ඒ පිළිබඳව අසත්‍ය පැහැදිලි කිරීම් ලබා දීම් මඟින් මියගිය දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වේ. ඔවුන්ගේ මිතුරන් සහ සමවයස් ළමුන් වෙත මෙවැනි හානිකර තොරතුරු ලබාදීම මඟින් තමන්ට හානි කර ගැනීමේ ළමුන්ගේ සමාන හැසිරීම ප්‍රවර්ධනය විය හැකි අතර ගැටලු විසඳා ගැනීමේ එකම මාර්ගය ලෙසද භාවිත කළ හැකිය. තවද මියගිය තැනැත්තාට ලැබුණු අවධානය හා සමාන අවධානයක් ලබා ගැනීමේ අරමුණින් ළමුන් සහ නව යොවුන් වියේ අය අතර සියදිවි නසා ගැනීමේ අවදානම වර්ධනය විය හැකිය” එබැවින් ජනමාධ්‍ය තුළ තම පුරවැසි වගකීම ඉටු කිරීමේදී මෙන්ම ළමුන් පිළිබඳ ප්රවෘත්ති වාර්තා කිරීමේදි එම වාර්තා වඩාත් වගකිව යුතු ලෙස ඉටු කළ යුතු අතර වඩාත් සැලකිලිමත් ලෙස මෙම වාර්තාකරණය සිදු කිරීම මඟින් ළමුන් කෙරෙහි ඇතිවන අනිසි බලපෑම් පාලනය කිරීමට හැකියාව තිබේ.
1998 අංක 56 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ (ජ) වගන්තියට අනුව ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබාදීම යන වගන්තිය යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අයිතියක් පැවරි තිබේ.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 5,1 ඇ, වගන්තිය ප්‍රකාරව හිංසා කරනු ලැබීමෙන් නොසලකා හරිනු ලැබීමෙන් අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට සෑම ළමයකුටම අයිතියක් ඇත. එම සම්මුතියෙහි 5, 2 වගන්තිය යටතේ ළමයකුගේ උපරිම සහපත ඇති කිරීම සඳහා මැදිහත් වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත සියලු බලතල පැවරී තිබේ. ඒ ආකාරයට ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබෙන බලතල අනුව ළමා හිංසන අපයෝජන, සියදිවි නසා ගැනීම් මතු කර පෙන්වන ලෙස සිදු කරනු ලබන වාර්තා කිරීම් පිළිබඳව අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට ළමා ආරක්ෂක අධිකාරියට උපරිම බලතල තිබේ.
පසුගිය දා සිදුවූ නෙළුම් කුලුනෙන් පැන දරුවකු සිය දිවි හානිකර ගැනීම පිළිබඳ පුවත ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් පළ කළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙත පැමිණිල්ලක් යොමු කර තිබෙන අතර මෙම ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කළ විද්‍යුත් මාධ්‍ය ආයතනය වෙතද නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් ලිඛිතව දන්වා තිබේ. සැබැවින්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගනු ලබන මෙම ක්‍රියාමාර්ග සහ නෛතික ක්‍රියාමාර්ග අගය කළ යුතුය. මෙවැනි කරුණු සහ ළමුන් පිළිබඳව මාධ්‍ය තුළ තිබෙන විශේෂ වගකීම පෙන්වා දීම සහ වගකීම් දිගින් දිගටම කඩ කරන්නේ නම් ඒ පිළිබඳව නෛතික රාමුව තුළ උපරිම ක්‍රියාමාර්ග ගැනීම අගය කළ යුතුය.
උදිත ගුණවර්ධන – මූලාශ්‍රය – දිනමිණ