Sunday, June 22, 2025
More
    Homeකාලීන පුවත්අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීම: සැකකරු හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක ඇමති...

    අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීම: සැකකරු හඳුනා ගෙන ඇතැයි මහජන ආරක්ෂක ඇමති කියයි

    මාර්තු 10 වන දින රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වූ අයෙකු එහි සිටි වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

    මෙම සිදුවීම අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග ද සනාථ කළේ ය.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසියේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල වෙත පැවසීය.

    ‘සැකකරු හඳුනාගෙන තිබෙනවා’

    වෛද්‍යවරිය දූෂණයට ලක් කළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඔහු ප්‍රකාශ කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව ය.

    “මේ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත් වෙලා විමර්ශන ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට සැකකරු හඳුනාගෙන තිබෙනවා. ඔහු හමුදාවෙන් පළා ගිය පුද්ගලයෙක්. ඔහු පදිංචි ප්‍රදේශය, දැන් රැඳී ඉන්න ප්‍රදේශ මොනවා ද කියලා හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තියෙනවා,” මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    අනුරාධපුර රෝහලේ වැඩවර්ජනයක්

    Doctor Pass

    අනුරාධපුර රෝහල් පරිශ්‍රය තුළ සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව බීබීසී සිංහල සිදුකළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගාමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ ය.

    අද (මාර්තු 11) දින උදෑසන සිට හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් රාජකාරිවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බව ඔහු පැවසුවේ ය.

    “අද අපේ විධායක කමිටුව රැස් කරලා මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නවා,” වෛද්‍යවරුන් දීපව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ දැයි අප විමසූ විට වෛද්‍යවරයා පැවසුවේ ය.

    ‘රෝහල් තුළ ආරක්ෂාව සම්බන්ධ අර්බුදයක් තියෙනවා’

    Hospital Police

    වෛද්‍යවරිය මෙලෙස ලිංගික හිංසනයකට ලක් ව ඇත්තේ, ඇය රාජකාරියේ යෙදී සිටියදී බව වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය.

    “ඩියුටි හිටපු වෛද්‍යවරියක් ක්වාටස් එකේ ඔන්කෝල් රූම් එකේ ඉන්නකොට තමයි මෙහෙම බරපතළ ලිංගික හිංසනයකට ලක් වෙලා තියෙන්නේ. අනුරාධපුර වගේ බොහෝ පුද්ගලයන් ගැවසෙන ප්‍රධාන රෝහලක් ඇතුළේ තමයි මෙහෙම පිහියක් පෙන්වලා වෛද්‍යවරියකට ලිංගික හිංසන කරලා තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.

    රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය.

    “රෝහල් තුළ කාලයක පටන් ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි බරපතළ සිදුවීමක් මෑතකදී වාර්තා වුණු පළමු අවස්ථාව මේක වුණත් උතුරු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන්ට විවිධ බාහිර බලපෑම් ඇති වුණා,” ඔහු පවසයි.

    “මේ නිසා රෝහල්වල ආරක්ෂාව යම් වගකිවයුතු ක්‍රමයකට සකස් කළ යුතුයි කියලා අපි කාලයක පටන් කියලා තියෙනවා.”

    “මෙතෙක් සැකකරු අත්අඩංගුවට අරගත්තා කියලා අපිට දැනගන්න ලැබිලා නෑ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියා සිටිනවා මේ සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වෙන්න කියලා.”

    මේ සම්බන්ධයෙන් විමසීමට බීබීසී සිංහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද මෙම ලිපිය පළ කෙරෙන මොහොත දක්වා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

    කාන්තා හිංසන පැමිණිලි

    මාර්තු 05 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර පැවසුවේ, 2023 වසරේ වාර්තා වී ඇති කාන්තා හිංසන සංඛ්‍යාව 2,252ක් බවත්, 2024 වසරේදී වාර්තා වූ කාන්තා හිංසන පැමිණිලි 2,785ක් බවත් ය.

    ස්ත්‍රී දූෂණයකදී දැනුම් දෙන්න

    ස්ත්‍රී දූෂණයක්, කාන්තා හෝ ළමා හිංසනයක් පිළිබඳව දැනුම් දීම සඳහා ගාස්තු රහිත ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා තිබේ.

    එම අංක මෙසේ ය.

    109 – පොලිස් ළමා හා කාන්තා කාර්යංශය

    1929 – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

    1938 – කාන්තා කටයුතු අමාත්‍යංශය

    සම්පූර්ණ උපුටා ගැනීම – bbc.com/sinahala

    ඉහත මුල් ඡායාරූපය සහ සිදුවීම අතර කිසිම සම්බන්ධයක් නැත – සංස්කාරිකා

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments