මහාචාර්ය තනතුරු, අචාර්ය උපාධි සහ අධ්‍යාපන මට්ටම් පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ආචාර්ය උපාධියක් ඇතැයි කී කතානායකවරයාගේ එම උපාධි ප්රශ්නය කෙළවර වූයේ, ඔහුට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙනි.
මේ අතර, මහාචාර්ය නාමය භාවිත කළ ඇතැමුන් ඒවා වෙබ් අඩවිවලින් ඉවත් කර ගෙන ඇති බවට ද, ඩිප්ලෝමාධාරීන් ඉන්ජිනේරුවරුන් ලෙස හඳුන්වාගෙන ඇති බවට ද විවිධ චෝදනා මෙන් ම උපහාසයන් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
ඇතැමුන් ආචාර්ය, මහාචාර්ය නාමයන් කෙලෙස භාවිත කළ ද, ශ්‍රී ලංකාවේ එවැනි නාමයන් භාවිත කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් පවතී. ඒ පිළිබඳව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ ඇති ‘ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය’ (Sri Lanka Qualifications Framework) මගින් නිශ්චිතව පැහැදිලි කර තිබේ.
මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමකි.
යෝග්‍යතා ස්ථර
‘ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය ස්ථර දොළහකින් සමන්විත වේ. ඉගැනුම් ඵල හා ඉගැනුම් විවිධත්ව අවශ්‍යතා ඒ එක් එක් ස්ථරය සමග ඉහළ යයි,’ ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ ස්ථර, එක් එක් ස්ථරයේදී ප්රදානය කෙරෙන යෝග්‍යතා හා එක් එක් ස්ථර සඳහා අවශ්‍ය අවම අධ්‍යයන සම්භාර අවශ්‍යතාව ද දක්වා තිබේ.
ඊට අනුරූප ජාතික වෘත්තීය පුහුණු යෝග්‍යතා මාර්ගෝපදේශ (NVQF) ස්ථර ද ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකයේදී හඳුනාගැනෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය ස්ථර 12කින් සමන්විත වන අතර එම ස්ථර 12 කොටස් තුනකට බෙදා දක්වයි.
- ජ්‍යෙෂ්ඨ ද්විතියික ස්ථරය – සහතික පත්‍ර සහ උසස් සහතික පත්‍ර
- උපාධි අපේක්ෂක ස්ථරය – ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය සහ ගෞරව ප්‍රථම උපාධිය (Hons)
- පශ්චාත් උපාධි ස්ථරය – පශ්චාත් උපාධි සහතිකය, පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශාස්ත්‍රපති උපාධිය (Masters), දර්ශනපති උපාධිය (MPhil) සහ දර්ශන විශාරද උපාධිය (PhD/MD)
ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකයේ අන්තර්ගත ස්ථර 12 මොනවා ද?
ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය අනුව පළමු ස්ථරය ආරම්භ වන්නේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිට ය.
ඒ අනුව, ස්ථර 12 මෙසේ ය.
- සහතික පත්‍රය – අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ සමාන යෝග්‍යතාවක්
- උසස් සහතික පත්‍රය – අ.පො.ස. උසස් පෙළ හෝ සමාන යෝග්‍යතාවක්
- ඩිප්ලෝමාව
- උසස් ඩිප්ලෝමාව
- ප්‍රථම උපාධිය
- ගෞරව ප්‍රථම උපාධිය
- පශ්චාත් උපාධි සහතිකය
- පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
- ඉගැන්වීම් පාඨමාලාව සහිත ශාස්ත්‍රපති උපාධිය
- පර්යේෂණ සංරචකය හා ඉගැන්වීමේ පාඨමාලාව සහිත ශාස්ත්‍රපති උපාධිය
- දර්ශනපති උපාධිය (MPhil)
- දර්ශන විශාරද උපාධිය (Phd)/ වෛද්‍ය සභාවේ අනුමැතිය සමග වෛද්‍ය විශාරද උපාධිය (MD)/ දර්ශනසූරී උපාධිය (Doctor of Letters)/ විද්‍යා විශාරද උපාධිය (Doctor of Science)
මේ අතර, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ප්‍රථම උපාධිය ලබා ගැනීමට නොහැකි වූවන්ට ජාතික වෘත්තීය යෝග්‍යතා මාර්ගෝපදේශකය (NVQ) ඔස්සේ එම තත්ත්වයට ළඟා වීමට ද අවස්ථා පවතී.
ජාතික වෘත්තීය යෝග්‍යතා අනුව ප්‍රථම උපාධිය දක්වා ළඟා විය හැකි පියවර මෙසේ ය.
- NVQ 2 සහ 3 මට්ටම් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍රයට සමාන වේ.
- NVQ 4 මට්ටම අ.පො.ස. උසස් පෙළ සහතික පත්‍රයට සමාන වේ.
- NVQ 5 සහ 6 පිළිවෙළින් ඩිප්ලෝමාවට සහ උසස් ඩිප්ලෝමාවට සමාන වේ.
- NVQ 7 මට්ටම ප්‍රථම උපාධියට සමාන යෝග්‍යතාවක් ලෙස පිළිගැනේ.
ඒ අනුව, ප්‍රථම උපාධිය නොමැති පුද්ගලයින්ට NVQ 7 මට්ටමෙන් පසු ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකයේ 5 වන ස්ථරයේ සිට ඉහළට යා හැකි ය.https://flo.uri.sh/visualisation/20808295/embed?auto=1
*පශ්චාද් උපාධි සහතිකය, පශ්චාද් උපාධි ඩිප්ලෝමාව හා ඉගැන්වීම් පාඨමාලාව සහිත ශාස්ත්‍රපති උපාධිය ප්රදානය කෙරෙන විස්තීර්ණ මාදිලියේ ඉගැනුම් පාඨමාලා ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශයේ සත් වැනි, අට වැනි හා නව වැනි ස්තරවල අනුපිළිවෙළින් ස්ථානගත කර ඇත. පශ්චාද් උපාධි සහතිකය, පශ්චාද් උපාධි ඩිප්ලෝමාව හෝ ඉගැන්වීම් පාඨමාලාව සහිත ශාස්ත්‍රපති උපාධිය ප්රදානය කෙරෙන අනුවර්තන මාදිලියේ ඉගැනුම් පාඨමාලා එහි සය වැනි ස්තරයේ ස්ථානගත කර ඇත.
දර්ශන විශාරද හෙවත් ආචාර්ය උපාධිය ලැබෙන්නේ කාට ද?
දර්ශන විශාරද හෙවත් 12 වන ස්ථරයේ යෝග්‍යතාව හිමි කර ගැනීම සඳහා සුදුසුකම් ලබන්නෙකුගෙන් අපේක්ෂා කරන දැනුම පිළිබඳව ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකයේ මෙලෙස විස්තර කර තිබේ.
‘ඉහළ මට්ටමේ, උත්පාදක හා ස්වායත්ත පර්යේෂණ හා ශිෂ්‍යත්ව සඳහා දායකත්වය සැපැයීමෙන් හෝ ඉහළ තලයේ විශේෂඥ වෘත්තිවල නියැලීම සඳහා අවස්ථාව ලබා දීමට වෘත්තීය, කළමනාකරණ පරිපාලන, පර්යේෂණ හා තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීම මගින් නියත අධ්‍යයන ක්ෂේත්රයක ස්වාධීන දැනුම ඇති කිරීම සඳහා උපාධිධාරියාගේ ධාරිතාව වර්ධනය කිරීම,’ මෙහිදී අපේක්ෂිත ය.
‘දර්ශන විශාරද උපාධි අපේක්ෂකයකු අදාළ යෝග්‍යතා ස්ථරයේ හෝ සමාන යෝග්යතාධාරී අධීක්ෂකවරකුගේ මග පෙන්වීම යටතේ ඉහළ මට්ටමේ පර්යේෂණ සිදු කිරීම අපේක්ෂිත අතර නව දැනුම නිර්මාණයට උත්පාදක හා විශේෂ ශාස්ත්‍රීය දායකත්වයක් දැක්විය යුතු ය. පර්යේෂණ සොයාගැනීම් ඇතුළත් නිබන්ධයක් අපේෂකයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර එය තක්සේරු කර පිළිගැනෙන්නක් වේ. පර්යේෂණයට අගය එකතු කිරීම හෝ මූලික කටයුතු ලෙසින් ඉගැනුම් පාඨමාලාවක් හැදෑරීම ද අවශ්‍ය විය හැකි නමුත් යෝග්‍යතාව සඳහා වන අධ්‍යයන සම්භාර (Credits) සඳහා මේ ඉගැනුම් පාඨමාලාව අදාළ නො විය හැකි ය. පර්යේෂණය සමපදස්ථ සමාලෝචන තෘප්ත කළ යුතු අතර ප්රකාශනය සඳහා යෝග්‍ය විය යුතු ය. එය අදාළ විෂයය පූර්ණ වශයෙන් පදනම් කර ගත් පර්යේෂණයත් හෝ බහු-විෂය පර්යේෂණයක් විය හැකි ය.’
12 වන ස්ථරයට පිවිසෙන යෝග්යතාධාරීහු පහත දැක්වෙන සුදුසුකම් සපුරාලිය යුතු ය.
- නව දැනුම නිර්මාණය කිරීම පිළිබඳ සාක්ෂ්‍ය සමාලෝචිත විෂයානුබද්ධ සඟරාවල පළකිරීම් හරහා ඉදිරිපත් කිරීමට සමත් විය යුතු ය.
- නව දැනුම සංවර්ධනයට විශේෂයෙන් දායක වන ස්වාධීන පූර්ණ සහ/ හෝ ව්‍යවහාරික පර්යේෂණ සැලසුම් කිරීම හා සිදු කිරිමට සමත් විය යුතු ය.
- පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් උපාධිලාභී ශිෂ්‍යයන් පුහුණු කිරීමට, හා සෙස්සන් විසින් විශේෂඥතා ක්ෂේත්රයෙහි සිදු කරන ලද ස්වායත්ත පර්යේෂණ අධීක්ෂණයට හා අගැයීමට සමත් විය යුතු ය.
- විෂය ක්ෂේත්රයෙහි වර්තමානයේ ඇති වන සංකීර්ණ හා මතභේදාත්මක තත්ත්ව පිළිබඳ ශාස්ත්‍රීය අවබෝධ පෙන්වීමට, විශ්ලේෂණය කිරීමට හා වෘත්තීය කටයුතුවලදී අදාළ නිපුණතා යෙදවීමට සමත් විය යුතු ය.
- යම් ක්ෂේත්රයක ඇති වන සංකීර්ණ කරුණු සම්බන්ධයෙන් තීරණ ගැනීමට හා විශේෂඥතා දැනුම ඇති හා නැති කණ්ඩායම් වෙත තම අදහස් හා තීරණ පැහැදිලිව හා ඵලදායීව සන්නිවේදනය කිරීමට සමත් විය යුතු ය.
- වෘත්තීය පරිසරයෙහි ඇති වන පූර්ව නිගමනය කළ නො හැකි අවස්ථාවලදී වුව ද පෞද්ගලික තීරණ හා වගකීම ක්‍රියාත්මක කිරීමට සමත් විය යුතු ය.
මහාචාර්ය තනතුර
මහාචාර්ය තනතුර යනු අදාළ විෂය සම්බන්ධයෙන් දක්වා ඇති දායකත්වය මත පදනම්ව අයැදුම් කර ලබා ගත යුතු නාමයකි. ඒ සඳහා සාමාන්‍ය ක්‍රමවේදය අනුව විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු අභ්‍යන්තර අයැදුම්කරුවෙකු නම් 1 හෝ 2 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු විය යුතු ය. බාහිර අයැදුම්කරුවෙකු නම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සහිත තැනැත්තෙකු විය යුතු ය.
මූලික සුදුසුකම් සහිත පුද්ගලයින්, විශේෂ කමිටුවක් ඉදිරියේ සිය යෝග්‍යතා ඉදිරිපත් කළ යුතු ය. එම කමිටුව, සභාපතිවරයෙකු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද නියෝජිතයින් දෙදෙනෙකු, විශ්වවිද්‍යාල සභාව නම් කරන දෙදෙනෙකු, අදාළ පීඨයේ පීඨාධිපති, අදාළ විෂයේ අංශාධිපති සහ විශ්වවිද්‍යාල සෙනෙට් සභාවෙන් නම් කරන මහාචාර්ය/ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
මූලාශ්‍රය – bbc.com/sinhala- සම්පූර්ණ උපුටා ගැනීමකි