Tuesday, July 1, 2025
More
    HomeSMEs Guideජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ 2024: ‘ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය...

    ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ 2024: ‘ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා’

    ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි

    අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි -කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති

    ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය කටයුතු කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.‍

    දෙහිවල, ඊගල් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කළ ‘ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ 2024‘ අමතමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

    මෙහිදී 2024 වසරේ විශිෂ්ට ජාතික කර්මාන්ත සන්නාම ත්‍රිත්වය ලෙස කුඩා පරිමාණ අංශයෙන් JBRICKS PVT LTD ආයතනයද, මධ්‍ය පරිමාණ අංශයෙන් SINGHE Furniture Manufacturer PVT LTD ආයතනය ද, මහා පරිමාණ අංශයෙන් EARTHFOAM PVT LTD ආයතනය ද අගමැතිවරිය අතින් සම්මාන ලබා ගත්තේය.

    එහිදී අගමැතිවරිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

    “ආර්ථිකමය වශයෙන් මේ වගේ අමාරු කාලෙක ඔබ මෙවැනි ව්‍යාපාරවල නිරත වෙමින් ඉන්න එක අපිට ශක්තියක්. අපි රජයක් ලෙස ව්‍යාපාර ආරක්ෂා කිරීමටත්, ව්‍යාපාරවල දියුණුවට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් කටයුතු කරනවා. ඔබ මෙවැනි ව්‍යාපාරවල යෙදීම අපිට ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙන්න ඉවහල් වෙනවා. කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ සඳහා හොඳ නායකත්වයක් ලබා දෙන බව මට විශ්වාසයි. කුඩා මධ්‍යම හා මහා ප්‍රමාණයේ ව්‍යාපාර දියුණු කරන්න අතහිත දෙන්න එතුමා කටයුතු කරනවා.

    මෙම ව්‍යාපාර මඟින් ආර්ථික ශක්තිය පමණක් නොව, රැකියා අවස්ථා නිර්මාණය වීමත් සිදු වෙනවා. කර්මාන්ත යනු සමාජයේ කොඳු නාරටියයි. ඔබ සැම මෙම කර්මාන්තවල යෙදෙන්නේ සම්පත්වල හිඟතාව, සංස්කෘතික බාධක, ස්ත්‍රී පුරුෂභාවය වැනි ගැටලු රාශියකට මුහුණ දෙමින් බව අපි දන්නවා. ලංකාව තුළ ආර්ථික ශක්තිය නඟාසිටුවන්න කාන්තා ව්‍යවසායකත්වය ඉතා වැදගත්. අපට අවශ්‍යයි “ශ්‍රී ලංකා” සන්නාමය ලෝකය පුරා පතුරුවන්න. සම්මානලාභී ව්‍යවසායකයනි, ඔබේ ගමන මෙතනින් නතර වෙන්නේ නෑ. දැන් තමයි ඔබේ ගමන පටන් ගන්නේ. අපි එකතු වෙලා කර්මාන්ත තුළින් අපේ ආර්ථිකය නඟාසිටුවමුයි ආරාධනා කරනවා.”

    මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා,

    “අපි හැමෝගෙම ව්‍යාපාරවලට සන්නාමයක් තියෙනවා. හැම සන්නාමයටම වඩා මේක ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් කියන එක අපිට වටිනවා. අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි. ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය දා ඉදිරිපත් කළ 2025 වර්ෂයේ අය-වැය මඟින් කර්මාන්ත සඳහා බොහෝ වරප්‍රසාද ලැබෙනවා. මේ වසර අවසාන වන විට ජාතික බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    පාසල් මට්ටමේ ඉඳන් කර්මාන්ත ව්‍යවසායකත්වය වර්ධනය කිරීම, අපනයන ආදායම වර්ධනය කිරීම, සියලු කර්මාන්ත නඟාසිටුවීම ආදී කර්මාන්ත උන්මාදයක් අපේ රටේ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අප සමඟ එකතු වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්ම මහත්මීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන ව්‍යවසායකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments