ඇතැමෙකුට ගුවන් යානයකින්, දුම්රියෙන් හෝ මෝටර් රථයකින් ගමන් කිරීම යන සිතුවිල්ල ම ඔවුන් කනස්සල්ලට පත් කරන්නකි. මෝෂන් සික්නස් (motion sickness) පිළිබඳ භීතිය සැහැල්ලු නිවාඩුවක් පිළිබඳ සියලු සිහින යටපත් කරන අතර ම එදිනෙදා ගමනාගමනය දෛනික බියකරු සිහිනයක් බවට පත් කළ හැකි ය.
මෝෂන් සික්නස් ඇති වන්නේ, මොළයට පරස්පර සංඥා ලැබෙන විට ය. එනම්, අප භෞතිකව නිශ්චලව සිටින විට (මෝටර් රථයක වාඩි වී සිටීම වැනි) නමුත් චලනය වන විට (ගමන් කරන විට) අපගේ ඇස් දකින දේ සහ අපගේ ශරීරයට දැනෙන දේ අතර පරස්පර සංඥා ලැබෙන විට ය.
නිදසුනක් වශයෙන්, අපි ගමන් කරන මෝටර් රථයක වාඩි වී සිටින විට අපගේ ශරීරය භෞතිකව නිශ්චල වන නමුත් අපගේ ඇස්වලට චලනය වන වස්තූන් දැකිය හැකි ය.
මෝෂන් සික්නස් තත්ත්වයෙන් පෙළෙන්නන් මෙම මිශ්‍ර පණිවිඩවලට භෞතිකව ප්‍රතිචාර දක්වන්නේ, ඔක්කාරය, කරකැවිල්ල සහ සාමාන්‍ය අපහසුතාව වැනි රෝග ලක්ෂණ පෙන්වමිනි.
ඇතැමෙකුට මෙම රෝග ලක්ෂණ කෙතරම් දරුණු ද යත්, ඔවුහු දුර ගමන් සම්පූර්ණයෙන් ම වළක්වා ගැනීමට කැමැත්තක් දක්වති. ඒ, තවත් බොහෝ දෙනෙකු ඊට ආශ්චර්යමත් සුවයක් සොයමින් සිටින අතරතුර ය. නමුත් මෝෂන් සික්නස් තත්ත්වය ඇතිවීමට හේතුව කුමක් ද සහ එයට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේ ද?
මෝෂන් සික්නස් ඇතිවීමට හේතුව කුමක් ද?
මෝෂන් සික්නස් තත්ත්වය ඇති වන්නේ මන්දැයි තේරුම් ගැනීමට, අපගේ මොළය අපගේ ශරීරයෙන් ලැබෙන සංවේදක සංඥා සමග කටයුතු කරන ආකාරය අවබෝධ කර ගැනීම උපකාරී වේ. මොළයට ශරීරයේ චලනයන් සහ පිහිටීම් පිළිබඳව ඇතුළු කනින් සහ මාංශපේශීවල ඇති ප්‍රොප්‍රියෝසෙප්ටිව් ප්‍රතිග්‍රාහකවලින්, කණ්ඩරා සහ සන්ධිවලින් නිරන්තරයෙන් සංවේදක සංඥා ලැබේ. ඇතුළු කන සමතුලිතතාවයේ කේන්ද්‍රස්ථානය වේ. එය වෙස්ටිබියුලර් පද්ධතිය ලෙස හඳුන්වන ජාලයක කොටසකි.
මෙම පද්ධතිය අර්ධ චක්‍රාකාර නාළ යුගල තුනකින් සහ සැකියුල් (saccule) හා යූට්‍රිකල් (utricle) නම්වලින් හඳුන්වන කොටස් ඇතුළත් කර්ණාලින්ද දෙකකින් [කන් දෙකේ ම] සමන්විත වේ. ඒවා ශරීරයේ චලනය සහ පිහිටීම පිළිබඳ තොරතුරු මොළයට යවයි.
ඔබේ හිස හරවන විට එහා මෙහා ගමන් කරන තරලයක් අර්ධ චක්‍රාකාර නාළ තුළ පවතී. ඒවා හිස චලනය වන දිශාවන් හඳුනා ගනී. එනම් ඉහළට හෝ පහළට, දකුණට හෝ වමට ඇලවීම සහ පැත්තට හැරීම වැනි චලන ය. කර්ණාලින්දයේ ඇති සැකියුල් (saccule) හා යූට්‍රිකල් (utricle) යන කොටස් දෙක ගුරුත්වාකර්ෂණයට සංවේදී වේ. ඒවා ශරීරය ඉදිරියට, පසුපසට, පැත්තට හෝ ඉහළට හෝ පහළට චලනය වන විට ඒ බව මොළයට දැනුම් දෙයි. නමුත් ඔබේ ඇස් එක් දෙයක් දකිනවා නම්, ඔබේ මාංශ පේශිවලට තවත් දෙයක් දැනෙනවා නම්, ඔබේ ඇතුළු කනට වෙනත් දෙයක් දැනෙනවා නම්, එවිට මොළයට මිශ්‍ර පණිවිඩ ලැබේ. මෙම සංවේදක නොගැලපීම මෝෂන් සික්නස් ඇති කිරීමට තුඩු දෙයි.
උදාහරණයක් ලෙස, ඔබ මෝටර් රථයක ගමන් කරනවා යැයි සිතන්න: වස්තූන් ඔබේ දෘෂ්‍ය රේඛාවට පැමිණ පසුව නොපෙනී යයි. එවිට එය ඔබ චලනය වන බවට ඔබේ මොළයට පණිවිඩයක් යැවීමට ඔබේ ඇස් පොළඹවයි.
නමුත් ඔබේ ඇතුළු කන සහ ඔබේ මාංශ පේශී හා සන්ධිවල ස්නායුවලට, ඔබ තවමත් වාඩි වී සිටින බවක් සංවේදනය වෙයි. එනම්, ඔබ නිශ්චල බවට මොළයට දැනුම් දෙන බැවින් එම පණිවිඩ එකිනෙක ගැටේ.
අනෙක් අතට, ගුවන් යානයක හෝ නැවකදී ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවිය හැකි ය: ඔබේ ඇතුළු කන සහ මාංශ පේශි චලනය හඳුනා ගන්නා නමුත් ඇස්වලට ක්ෂිතිජය නිශ්චලව පෙනේ. එබැවින් එක් ඉන්ද්‍රියකට චලනය දැනෙන අතර අනෙකට එය නොදැනේ. එහි ප්‍රතිඵලය: ඔක්කාරය, හිසරදය සහ සාමාන්‍ය අපහසුතාව සහ දිශාව පිළිබඳ හැඟීම නොමැති වී යාම ය.
මෝෂන් සික්නස් රෝග ලක්ෂණ මොනවා ද?
මෝෂන් සික්නස් විවිධ රෝග ලක්ෂණ ඇති කරයි. ඒවා සාමාන්‍යයෙන් සෙමින් ආරම්භ වන අතර ඒවා ඇති වීමට තුඩු දුන් චලනය නතර නොවන්නේ නම් වඩා ත් නරක අතට හැරේ. රෝග ලක්ෂණවලට මේවා ඇතුළත් වේ:
- කරකැවිල්ල, හිසේ සැහැල්ලු බවක්, අසමතුලිතතාවය හෝ කැරකෙන හැඟීම්
- අසනීප බවක් දැනීම (ඔක්කාරය)
- වමනය
- හිසරදය
- සුදුමැලි සම
- දහඩිය දැමීම
- තෙහෙට්ටුව
සාමාන්‍යයෙන්, රෝග ලක්ෂණ පහවීමට, නැතහොත් නාවිකයෙකු පවසන පරිදි මුහුදු ගමනකින් අනතුරුව සිරුරේ සමතුලිතතාව යථා තත්ත්වයට පත් වීමට, මිනිත්තු 20ක් පමණ ගත වේ. කෙසේ වෙතත්, දරුණු රෝග ලක්ෂණ පහව යාමට පැය 24ක් පමණ ගත විය හැකි ය.
මෝෂන් සික්නස් තත්ත්වයෙන් පීඩා විඳීමට ඉඩ ඇත්තේ කවුද?
ඕනෑ ම කෙනෙකු මෝෂන් සික්නස් තත්ත්වයෙන් පීඩා විඳිය හැකි නමුත් ඇතැම් පුද්ගලයින්ට අනෙක් අයට වඩා වැඩි අවදානමක් ඇත. වයස අවුරුදු දෙකේ සිට 12 දක්වා දරුවන්, ගර්භණී කාන්තාවන් සහ ඉරුවාරදය පිළිබඳ ඉතිහාසයක් ඇති පුද්ගලයින් වැනි පිරිස් ඒ අතර වෙති.
සිත්ගන්නා කරුණ නම්, ළදරුවන්ට මෝෂන් සික්නස් නොවැළඳීම ය. ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝන් ගෝල්ඩින් පවසන්නේ, මෙයට හේතුව ඇස් සහ කන් අතර සහසම්බන්ධතාවයට මොළය තවමත් අනුවර්තනය නොවීම සහ චලනය හඳුනා ගැනීමේ ඒවායේ කාර්යය සඳහා එම ඉන්ද්‍රීන් සැකසී නොමැති වීම ය.
මෝෂන් සික්නස් ජාන ද භූමිකාවක් ඉටු කරයි. මෝෂන් සික්නස් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 65%කට පමණ මෙම තත්ත්වය පරම්පරාවෙන් උරුම වී ඇති බව මහාචාර්ය ගෝල්ඩින් පවසයි.
රෝග ලක්ෂණ අඩු කර ගන්නේ කෙසේ ද?
වළක්වා ගැනීම සෑම විට ම ප්‍රතිකාර ලබා ගැනීමට වඩා උචිත ය. මෝෂන් සික්නස් තත්ත්වය වළක්වා ගැනීමට උපකාරී වන උපදෙස් කිහිපයක් මෙන්න:
ගමනක් යාමට පෙර:
- බර ආහාර හෝ සැර ආහාර ගැනීමෙන් වළකින්න
- කැෆේන් සහ මත්පැන් භාවිතය සීමා කරන්න
- ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගන්න
ගමන අතරතුර:
- ඔබේ ආසනය ප්‍රවේශමෙන් තෝරා ගන්න: මෝටර් රථයක නම් ඉදිරියේ, බෝට්ටුවක හෝ දුම්රියක මැද අසුන් ගන්න, ජනේලයක් ඇති ඉදිරියට මුහුණලා ඇති ආසනයක් තෝරා ගන්න
- ක්ෂිතිජය දෙස බලන්න
- හිස හදිසියේ චලනය කිරීමෙන් වළකින්න
- හැකි නම්, නැවුම් වාතය උපරිමයෙන් ලබා ගැනීමට ජනේලයක් විවෘත කරන්න
- කියවීම, චිත්‍රපට නැරඹීම හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත නොකරන්න
- සංගීතයට සවන් දීම වැනි ක්‍රියාකාරකමකින් ඔබේ අවධානය වෙනතකට යොමු කරන්න
- ඔබේ ඇස් වසා ගන්න
- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න
ඉඟුරු
ඇතැම් අධ්‍යයනවලින් පෙනී යන්නේ ඉඟුරු පෙත්තක් (tablet), බිස්කට් හෝ තේ ලෙස ගැනීමෙන් වමනය සහ කරකැවිල්ල අඩු කළ හැකි බව ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වන අධ්‍යයනයන්වල ප්‍රතිඵල වෙනස් වන බව මහාචාර්ය ගෝල්ඩින් පවසයි.
ඔහු පැහැදිලි කරන්නේ ඉඟුරු උදව් කරන්නේ නම්, ඒ “ඉඟුරුවල ඇති ක්‍රියාකාරී සංඝටකය ආහාර ජීර්ණ පද්ධතියට සහනයක් ගෙන දීමට උපකාරී වන නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ, ඒක ඍජුව මෝෂන් සික්නස් සුව කරනවාට වඩා ඔබට යම් සහනයක් ගෙන දෙනවා.”
අවධානයෙන් හුස්ම ගැනීම
අවධානයෙන් යුතුව හුස්ම ගැනීම යනු, ස්ථාවරව හෝ සාමාන්‍ය වේගයකින් හුස්ම ගැනීම ය.
මහාචාර්ය ගෝල්ඩින් යෝජනා කරන්නේ, ස්ථාවර ලෙස හුස්ම ගැනීම මගින් ඇති කරන බලපෑම මෝෂන් සික්නස් සඳහා ගනු ලබන පෙත්තකින් භාගයක් ගැනීම තරම් ප්‍රයෝජනවත් බව ය.
හුස්ම ගැනීම මොළයේ අවධානය වෙනතකට යොමු කරන බව මහාචාර්යවරයා පවසන අතර එය ඔක්කාරය පිළිබඳ හැඟීම ද යටපත් කරයි.
නිල තෙරපුම සහ රිස්ට්බෑන්ඩ්ස්
මේවා නිල මත පීඩනය යෙදීමෙන් ක්‍රියා කරනු ඇත. කෙසේ වෙතත්, බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ, ඒවා බොහෝ දෙනෙකු සඳහා ඵලදායී නොවන බව ය.
ඖෂධමය ප්‍රතිකාර
මෝෂන් සික්නස් සඳහා ගනු ලබන ඖෂධ ක්‍රියා කරන්නේ මෝෂන් සික්නස් රෝග ලක්ෂණ සුව කිරීමට වඩා ඒවා වැළැක්වීමෙනි. එම නිසා, ඕනෑ ම ඖෂධයක් ඔබේ රුධිර ප්‍රවාහයට අවශෝෂණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමට සාමාන්‍යයෙන් ගමනක දීමට මිනිත්තු 30-60 අතර කාලයකට පෙර ලබා ගත යුතු ය.
මහාචාර්ය ගෝල්ඩින් පැහැදිලි කරන්නේ, මෝෂන් සික්නස් ආමාශයේ අඩංගු ආහාර කුඩාන්ත්‍රය වෙත යොමු කිරීමට වැඩි කාලයක් ගත වන ‘ගැස්ට්‍රික් ස්ටේසිස්’ තත්ත්වය ඇති කරන බව ය. එමනිසා, ඔබ අසනීප වී සිටින විට ඖෂධ [පෙති] ලබා ගන්නේ නම්, ඒවා අවශෝෂණය කර නොගන්නා බැවින් එහි ඵලදායීතාව අඩු වේ.
අනෙක් අතට, මෝෂන් සික්නස් සඳහා භාවිත කරන ‘පැච්’ (anti-motion sickness patches) ඖෂධවලට [පෙති] වඩා සෙමින් ක්‍රියා කරන්නේ ඒවායේ ඇති ඖෂධය සම හරහා අවශෝෂණය කර ගන්නා නිසා ය. එම නිසා, ඒවා ඊටත් පෙර එනම්, ගමනට පැය 10කට පමණ පෙර ගත යුතු ය.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) උපදෙස් දෙන්නේ, වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 10ට වැඩි දරුවන්ට ‘පැච්’ ලබා ගත හැකි බවට ය.
මෝෂන් සික්නස් සහ කරකැවිල්ල අතර වෙනස කුමක් ද?
මෝෂන් සික්නස් සහ කරකැවිල්ල ඇතැම් විට ව්‍යාකූල වන්නේ, ඒවාට සමාන රෝග ලක්ෂණ ඇති බැවිනි: එම තත්ත්ව දෙකේදී ම කරකැවිල්ල, ඔක්කාරය සහ වමනය යන රෝග ලක්ෂණ ඇති කරයි.
කෙසේ වෙතත්, මෙම රෝග දෙක අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක් තිබේ.
- ඔබ ගමන් කරන වාහනයක සිටියත් නැතත් කරකැවිල්ල ඇතිවිය හැක. ඔබ වැතිර සිටින විට පවා එය සිදුවිය හැක.
- කරකැවිල්ල ඔබේ හිස චලනය කරන සෑම විට ම සිදු විය හැකි දරුණු, ව්‍යාජ භ්‍රමණය පිළිබඳ හැඟීමක් ලබා දෙයි.
- එය සාමාන්‍යයෙන් තත්පර කිහිපයක් පවතින අතර එකවර ඇති වේ.
- එය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබේ.
- එය සාමාන්‍යයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ, සමතුලිතතාවයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ඇතුළු කනේ ඇති තරලය සම්බන්ධ ගැටලු මත ය.
සෑම විට ම සූදානම්ව සිටීම සහ ඔබේ චලන අසනීප රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා කල්තියා සැලසුම් කිරීම වඩා ත් යෝග්‍ය වේ.
ඒ වගේ ම, මෙම තත්ත්වයෙන් පීඩා විඳින ඇතැම් පිරිස් පවසන පරිදි, කිසි විටෙකත් මෝෂන් සික්නස් තත්ත්වයට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන්න.
bbc.com/sinhala ඇසුරිනි