ලොව පුරා වෙසෙන වැඩිහිටියන්ගෙන් අඩකට වැඩි පිරිසක් සහ ළමුන්, නව යොවුන් හා තරුණ වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක පිරිසක් 2050 වන විට තරබාරු හෝ අධිබරකින් යුක්ත වනු ඇති බවට අනාවැකි පළව තිබේ.
මේ බව අනාවරණය වන්නේ, The Lancet නමැති සගරාවේ පළවූ 200කට අධික රටවලින් ගෝලීය වශයෙන් ලැබුණු දත්ත පිළිබඳව කරනු ලැබූ නව අධ්‍යයනයකින් ය.
මෙම දශකයේ ඉතිරිව පවතින කාලයේදී විශේෂයෙන් අඩු ආදායම් රටවල වෙසෙන්නන්ගේ ස්ථුලභාවය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි පර්යේෂකයින් අනතුරු අගවයි.
කෙසේ වෙතත්, ආණ්ඩු විසින් කඩිනම් පියවර ගන්නේ නම්, ‘ගැඹුරු ශෝකාන්තයක්’ ලෙසින් විස්තර කරන එවැන්නක් සිදු වීම වළක්වා ගතහැකි බව විශේෂඥයින් පවසයි.
වසර 2021 වන විට ගෝලීය වැඩිහිටි ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්, එසේත් නොමැතිනම් වයස අවුරුදු 25ට සහ ඊට වැඩි පිරිමින් බිලියනයක් හා කාන්තාවන් බිලියන 1.11ක් අධිබරකින් හෝ ස්ථුලභාවයෙන් හෝ යුක්ත විය.
මෙම තත්ත්වයට මුහුණපා සිටි පිරිමින් මෙන්ම කාන්තාවන් සංඛ්‍යාවන් ද 1990 සිට දෙගුණ වී තිබේ.
එම නැඹුරුව දිගටම පැවතියහොත් අධිබර හෝ ස්ථුලභාවයෙන් හෝ පෙළෙන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව 2050 වන විට පිරිමින් අතර සියයට 57.4ක් හා කාන්තාවන් අතර සියයට 60.3ක් දක්වා ඉහළ යනු ඇත.
සංඛ්‍යාත්මකව ගත් කළ, චීනය (මිලියන 627), ඉන්දියාව (මිලියන 450) සහ ඇමෙරිකාව (මිලියන 214ක්) යන රටවල් 2050 වන විට ස්ථුලභාවය හෝ අධිබරකින් යුක්ත වැඩිම ජනගහනයකින් සමන්විත වනු ඇත.
එනමුත්, ජනගහන වර්ධනය සැලකිල්ලට ගත් කළ උප සහරා අප්‍රිකානු කලාපයේ එම සංඛ්‍යාව සියයට 250කටත් අධික ප්‍රතිශතයකින් ඉහළ ගොස් මිලියන 522ක් වනු ඇති බවට අනාවැකි පළවී තිබේ.
ඒ අතරින් නයිජීරියාවේ තෙගුණයකටත් වඩා වැඩි වර්ධනයක් (2021දී පැවති මිලියන 36.6ක පිරිස 2050දී මිලියන 141ක් දක්වා) වර්ධනය වනු ඇතැයි සැලකේ. අධිබරකින් හෝ ස්ථුලභාවයෙන් යුත් වැඩිම වැඩිහිටි ජනගහනය සිටින රටවල් අතර නයිජියාව සිව් වැනි ස්ථානයට පත්වනු ඇත.
ශරීරයේ බර අඩු කිරීම සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලින් ඇතිවන වෙනස පිළිබඳව එහිදී නොසකා හැර ඇති බව එම අධ්‍යයනයේ ප්‍රධානීන් පිළිගනියි. අනාගතයේදී එවැනි ඖෂධවලට සැලකිය යුතු භූමිකාවක් දැරිය හැකිවනු ඇති බවට අපේක්ෂිත ය.
ආණ්ඩු විසින් ඉක්මන් පියවර ගන්නේ නම්, අවදානමට ලක්විය හැකි සෞඛ්‍ය සේවා පද්ධතිවලට මුහුණ පෑමට සිදු වන ඉමහත් ව්‍යසනකාරී තත්ත්වය වළක්වා ගතහැකි බව විශේෂඥයින් අවධාරණය කර සිටියි.
මෙම පර්යේෂණය මෙහෙයවා ඇත්තේ, ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගැයීම් ආයතනයේ මහාචාර්ය එමනුවෙලා ගකිඩු විසිනි.
“(ආණ්ඩුවලට) පුළුවන් ශරීර බරෙහි දැන් පවතින හා පුරෝකථනය කරපු සංක්‍රාන්තික අදියර, වේලාව හා වේගය ගැන අපි කරපු ගණන් බැලීම් පාවිච්චි කරලා, ක්ෂණික මැදිහත්වීමක් හා ප්‍රතිකාර ඕනෑ කරන තරබාරු මිනිස්සුන්ට සහ ප්‍රධාන වශයෙන් අධික බරින් පෙළෙන හා වැළැක්වීමේ ක්‍රම සමග ප්‍රධාන වශයෙන් ඉලක්කගත ප්‍රමුඛතා ජනගහනය හඳුනා ගන්න.”
“තරබාරු හෝ ස්ථුලභාවයේ මේ පෙර නොවූ විරූ ගෝලීය වසංගතය ගැඹුරු ශෝකාන්තයක් වගේම සමාජමය අසමත් වීමක්,” යැයි ද ඇය කියා සිටියාය.

Mounjaro සහ Wegovy වැනි බර අඩු කර ගැනීමේ ඖෂධ ක්‍රියා කරන්නේ කෙසේද?
මේ අවස්ථාව වන විටත් ස්ථුලභාවයට පත්ව සිටින පිරිසෙහි ඉහළ යෑම ශීඝ්‍රයෙන් සිදුවන අතර ඊට විශේෂයෙන්ම ගොදුරුව සිටින්නේ තරුණ වියෙහි පසුවන්නන් ය.
1990 සිට 2021 දක්වා කාලය තුළ, ළමුන් සහ නව යොවුන් වයසේ සිටින්නන් අතර ස්ථුලභාවය (සියයට 8.8 සිට සියයට 18.1) සහ තරුණ වැඩිහිටියන් අතර (වයස අවුරුදු 25කට අඩු – සියයට 9.9 සිට සියයට 20.3) දක්වා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, 2050 වන විට තරුණ වියෙහි පසුවන්නන් අතුරින් සෑම තිදෙනෙකුගෙන් ම එක් අයෙකු ඊට ගොදුරු වනු ඇත.
අදාළ වාර්තාවෙහි සම ප්‍රධානියා වන ඔස්ට්‍රේලියාවේ මර්ඩොක් ළමා පර්යේෂණ ආයතනයේ ආචාර්ය ජෙසිකා කර් පවසන්නේ, එළැඹෙන වසරවලදී මෙම දත්තවලින් සෞඛ්‍ය සේවා පද්ධතීන්ට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බවයි.
“නමුත්, අපි දැන්ම ක්‍රියාත්මක වුණොත්, ළමයින් හා යොවුන් වියේ ඉන්න අය හැම දෙනාම තරබාරු බවට පත් වීම වළක්වා ගන්න එක තවමත් කළ හැකියි,” යයි ද ඇය පැවසුවාය.
“අපේ අනුමානවලින් හඳුනාගෙන ඉන්න යුරෝපයේ හා දකුණු ආසියාවේ ළමුන් හා යොවුන් වියේ පසුවෙන දැනටමත් තරබාරුව සිටින වැඩි කොටසක් ස්ථුල බව වළක්වා ගැනීමේ උපායමාර්ගවලින් ඉලක්ක කරගන්න අවශ්‍යයි.”
“උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රලේෂියා, ඕෂනියා, උතුරු අප්‍රිකාව, මැදපෙරදිග හා ලතින් ඇමෙරිකාවේ ඉන්න විශාල ජනගහනයක්, විශේෂයෙන් නව යොවුන් වියේ පසුවන්නන්, ස්ථුලභාවයට පත්වෙන්න යන බවට අපි හඳුනාගෙන තියෙනවා. ඒ අයට ඉක්මන් හා බහුවිධ මැදිහත්වීමක් වගේම ප්‍රතිකාරත් ඕනෑ වෙනවා.”
“තරබාරුකම පරම්පරා අතර සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට සහ අනාගත පරම්පරාවන් සඳහා බරපතල සෞඛ්‍ය තත්වයන් සහ දරුණු මූල්‍ය හා සමාජීය පිරිවැය වැළැක්වීමට මේක අත්‍යවශ්‍යයි.”