Wednesday, January 22, 2025
More
    Homeළමා ලෝකයපාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ...

    පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ ගන්න – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත්, මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිළධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    “පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අදාල උපායමාර්ග සකස් කිරීම” වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ ඊයේ (11) පැවති වැඩමුළුවට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් පුර්ව ළමාවිය සංවර්ධනය කිරීමේ සිට උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය දක්වා වූ අධ්‍යාපන අවධි තුළ නව පරිවර්තනිය වෙනසක් සිදුකිරීමට අවශ්‍ය වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේසේද පැවසුවාය.

    අධ්‍යාපනය කියන්නේ පරිවර්තනීය දෙයක් කියන එක අපි වටහා ගත යුතුයි. දැනුම ලබා ගැනීමට එහා ගියා පුද්ගල පරිවර්තනයක් වගේම සාමූහිකයක් හැටියට සමාජ පරිවර්තනයකුත් සිද්ධ විය යුතුයි. ඒ පරිවර්තනය ගොඩනැගිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අපිට තියෙන්න ඕනේ. එතුළින් දරුවන්ට ලෝකයට විවෘත වන අවස්ථා තියෙනවා කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ වගකීමක් දැනෙන්න ඕනේ. පුද්ගලිකව ගොඩ යන එක විතරක් නෙවෙයි, සමාජයක් හැටියටත් ගොඩ යන්න ඕනේ. ඒ සඳහා සමාජ වගකීම තිබිය යුතුයි කියලා හැඟෙන්න ඕනේ. දැනුම සහ කුසලතාත් ඒ තුළින් ලැබිය යුතුයි.

    අධ්‍යාපනය කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙවෙයි. අපි අධ්‍යාපනය කියන එක ගනුදෙනුවක් බවට පත් කරලා තියෙන්නේ. අධ්‍යාපනය ගනුදෙනුවක් විදිහට සළකන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.

    අපි අධ්‍යාපනයට ආයෝජනයක් කරන්නේ සතියකින් දෙකකින් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නෙමෙයි. මේක දීර්ඝ කාලීන ආයෝජනයක් ආණ්ඩුව ඒ ආයෝජනය කරනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න තැන බවට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන පත්විය යුතුයි. ඒ ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ ගැනීම දත්ත මත පදනම්ව සිදු විය යුතුයි. හිතළු මත, පුද්ගලික අදහස් මත තීන්දු තීරණ ගන්න බැහැ. දත්ත එකතු කරගන්න, දත්ත පවත්වාගෙන යන්න ක්‍රමයක් අපිට අවශ්‍යයි.

    නිලධාරීන්ට සහකම්පනය තියෙන්න ඕනේ. අපි දකිනවා, සේවාවක් බලාපොරොත්තුවෙන් එන අය අඬාගෙන යනවා. නිලධාරීන් ඇහුන්කම් දෙන්නෑ, හරියට කතා කරන්නෑ, ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම උත්තර දෙන් නැහැ, අවුරුදු ගානක් රස්තියාදු කරනවා කියන චෝදනා තියනවා. මෙන්න මේ ක්‍රමය නැවැත්වීමට පියවර ගත යුතුයි යැයිද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන වෘත්තීයවේදීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments