Wednesday, January 22, 2025
More
    Homeවිලාසිතාමදුෂා කල්පනී මදුෂානි :හැඩ නූලින් මවන විස්කම්

    මදුෂා කල්පනී මදුෂානි :හැඩ නූලින් මවන විස්කම්

    නමින් මදුෂා කල්පනී මදුෂානි වන ඇයගේ ගම බළන්ගොඩයි. නූලෙන් ගෙත්තම් කරන මේ තරුණ ව්‍යවසායිකාවගේ විස්මිත නිර්මාණයන්, දේශීය වෙළෙඳපොළටත් වඩා ජයගෙන ඇත්තේ විදේශීය වෙළෙඳපොළයි. හිත් පිත් නැති යන්ත්‍ර සූත්‍රයන්ගෙන් දෑතේ කාර්යයන් කරගන්නා අද, සිය දෑතින්ම නිමවන අත්කම් නිර්මාණවලට ද ලෝකයක් ජයගත හැකි බව නොඅනුමානය. ජීවිතයට අහම්බෙන් ලැබුණු අවස්ථාව මඟනොහැර, නූලෙන් ඔප දැමූ අත්කම් නිර්මාණයන්ගෙන් ජීවිතය සරි කරගත් මදූෂා ඒ බව මෙසේ සිහි ගැන්වූයේ ඉමහත් ප්‍රීතියෙනි.

    “මම මුලින් පොඩි මල් තවානක් කළා. ඒකට අලුත් අලුත් දේවල් ගැන දැනගන්න මම යූටියුබ් වීඩියෝ බැලුවා. ඒක කරගෙන යද්දි මට අදහසක් එනවා ප්ලාන්ට් හැඟර් එකක් තිබුණා නම් කියලා. මොකද මම යූටියුබ් එකේ වීඩියෝ එකක් දකිනවා ප්ලාන්ට් හැඟර් එකක් තියලා ඒකෙ කැප්ටස් පැළයක් තියලා තියනවා. ඒ ප්ලාන්ට් හැඟර් එක මොකක්ද කියලා හොයන්න යූටියුබ් ගිහාම තමයි මේ මැක්‍රම් ගැන විස්තර, ඒකට අවශ්‍ය වීඩියෝ ඒ හැමදේම එන්නෙ. ඊට පස්සෙ මම ප්ලාන්ට් හැඟර් එකක් හදනවා. ඒක හැදුවට පස්සෙ තමයි මට අදහස එන්නෙ මේ නූලෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන්නෙ කියලා. ඊට පස්සෙ තමයි මම බිස්නස් එකක් විදිහට මේ නූල පාවිච්චි කරලා වැඩ ටික කරන්න පටන් ගත්තේ. මම මුලින්ම කීටැග් තුනක් හදනවා. ඒක ලස්සනයි කියලා හිතුණ නිසා මම ෆේස්බුක් එකේ මාකට් ප්ලේස් එකට දානවා. ඒ මාකට් ප්ලේස් එකට දාපු ෆොටෝස් ටික මගේ වාසනාවකට එක් විදේශීය කාන්තාවක් දකිනවා. ඊට පස්සෙ ඇය තමයි මට කතා කරලා කියන්නේ ඔයාට මේවා කරන්න පුළුවන් නම් බෑග්ස් කරන්නත් පුළුවන් ඇතිනෙ. ඒ වෙනකන් මගෙ ඔළුවෙ කිසිම අදහසක් තිබුණෙ නෑ, බෑග් හදන්න පුළුවන්, බෑග් හදන්නෙ කොහොමද කියලාවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඇය මට ඇණවුමක් විදිහට දෙනවා බෑග් 3ක් හදලා එවන්න කියලා. ඒක මම මුලදි ප්‍රතික්ෂේප කරනවා දන්නෙ නැති නිසා. හැබැයි මගේ මහත්තයා තමයි කියන්නේ ට්‍රයි කරලා බලන්න කියලා. ඊට පස්සෙ මම යූටියුබ් වීඩියෝ බලලා පුරුදු වෙලා ඒ බෑග් තුන යවනවා. ඒ යැව්වට පස්සෙ ඇය ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සෙ තමයි මට දිගටම ඇය බෑග්වලට ඇණවුම් දෙන්නේ. ඒ අනුව මගේ ආරම්භය මැක්‍රම් බෑග්. ඒවා කරන්න මම මුලින්ම පටන් ගත්තේ ඇය හින්දා.”

    එලෙසින් ඇරඹි මදූෂාගේ ව්‍යාපාරය තුළ ඇය මේ වන විට විවිධාකාර නූලින් ගෙත්තම් කරන්නා වූ විස්මිත නිර්මාණයන් රැසක් දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කරයි. ‘හෑන්ඩ් මේඩ් බයි මදූෂා’ (Hand Made By Madusha) වෙතින් දෙස් විදෙස් පාරිභෝගිකයන්ට ලබාගත හැකි නිෂ්පාදන පිළිබඳව ද මතක් කරන්නට ඇය අමතක නොකළා ය.

    “වැඩියෙන්ම අපි කරන්නෙ බෑග් වර්ග ගොතන එක. ඊට අමතරව ආර්ච්වලට, ජනේලවලට කර්ටන් වර්ග ගොතනවා, බිත්ති සැරසිලි කරනවා. උත්සව අවස්ථාවලට ගැළපෙන පොඩි කීටැග් වර්ග, ෆ්ලවර් පොට්ස් වගේ දේවලුත් අපි කරනවා. සීයට සීයක්ම අපි අත් දෙකෙන් තමයි මේවා ගොතන්නේ. හැමදේම අතින් ගොතන නිර්මාණ තියෙන්නේ. අපි මේවා නිර්මාණය කරන්නේ නූල් වර්ගවලින්. ඒකට පොලියෙස්ටර් කෝඩ් එක, මැක්‍රම් කෝඩ් එක, ටීෂර්ට් යාන් වූල් වගේ විවිධ නූල් වර්ග යොදාගන්නවා.Ó

    මදූෂා වැනි සැඟවී සිටින දක්ෂ අත්කම් ශිල්ප ශිල්පිනියන්, තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවන් ලෝකය ඉදිරියට ගෙන එමින් ඔවුන්ට අත දීමට ‌ෆේස්බුක්, යූටියුබ්, වට්සැප් ආදී වූ සමාජ මාධ්‍යයන්ගෙන් ලැබෙන මහඟු පිටුවහල මෙන්ම, එවැන්නන්ට අතහිත දෙන්නා වූ පුද්ගලයන්ගේ ද වටිනාකම කියා නිම කළ නොහැකිය. හෑන්ඩ් මේඩ් බයි මදූෂා (Hand Made By Madusha) ව්‍යාපාරයේ සාර්ථකත්වය පිටුපස ද එවැනි ශක්තිමත් තවත් හස්තයක් පැවතිණි.

    නූල්වලින් ගොතන මෙම නිර්මාණයන් දේශීය වෙළෙඳපොළට වඩා දිනාගෙන ඇත්තේ විදේශීය වෙළෙඳපොළයි. මදූෂාට ඒ පිළිබඳව ඇත්තේ මෙවන් අදහසකි.

    “මේවට විශේෂයෙන්ම තියෙන්නේ විදේශීය ඉල්ලුම. මොකද මේවට යන නූල් ප්‍රමාණය, මිලත් එක්ක බලද්දි ලංකාවෙ අය මේකක් ගන්න දෙපාරක් හිතනවා. විදේශීය වෙළෙඳපොළට, දේශීය වෙළෙඳපොළට කියලා නෑ දෙගොල්ලන්ටම එකම මිලක් තමයි මම කියන්නේ. නමුත් ලංකාවෙ අයගෙන් ලොකු සපෝර්ට් එකක් මට ලැබෙන්නෙ නැත්තේ මිල ගණන් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. හැබැයි මේකට විදේශීය අය ගොඩක් කැමතියි. මට දැනෙන විදිහට මේ නිෂ්පාදන පරිසර හිතකාමියි. අපිට සෝදලා වුණත් භාවිත කරන්න පුළුවන්. කිසිම වෙලාවක කැඩෙන්නෙ, ගැලවෙන්නෙ නෑ. ඒ නිසා එයාලගෙ ලොකු ඉල්ලුමක් තියෙනවා. එයාලා හරි ආසයි මේකට.Ó

    මදූෂා වැනි තරුණ ව්‍යවසායක ව්‍යවසායිකාවන් දිරිගන්වා, ඔවුන්ගේ ගමනට ශක්තියක් වීම තුළින් රටෙහි ආර්ථිකයට ද අත්වැලක් ලැබෙන නිසාවෙන් රට පුරා සැඟවී සිටින මෙවැනි දක්ෂයන් ඇගයිය යුතු බව මදූෂාගේ ද අදහසයි.

    “මන් වගේම අත්කම් නිර්මාණ කරන්න උත්සාහ කරන, මේ වගේ දේවල් කරන ගොඩාක් පිරිස අපේ රට ඇතුළෙ ඉන්නවා. සමහර අයට අවබෝධයක් නෑ පේජ් එකක්වත් හදාගන්න. මම හැමවෙලාවෙම එයාලට මට පුළුවන් උපරිම සපෝර්ට් එක දෙනවා. නූල් ගන්න තැන් රෙකමන්ඩ් කරනවා, සමහර අයගෙ පේජ් හදලා දෙනවා. විශේෂයෙන්ම ගම්වල ගෙතුම් නිර්මාණවලට ආස අය ඉන්නවා. නමුත් එයාලට අවස්ථාවක් නෑ එළියට එන්න. තාක්ෂණය පිළිබඳ අවබෝධයක් නැතිකම හෝ එයාලට ඉස්සරහට එන්න තියන ආර්ථික ගැටලු හින්දා. ඉතින් ඔහොම ගොඩාක් ප්‍රශ්න තියන අය ඉන්නවනෙ. රජයෙන් ඒවගේ හැංගිලා ඉන්න දක්ෂයන්ව එළියට ගන්න පුළුවන් නම්, වසරකට සැරයක් හෝ තරග විදියටම නැතත් මොනාහරි ප්‍රදර්ශනයක් විදිහට හරි ඔවුන්ව පොඩි ඇගයීමකට ලක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු ශක්තියක් කියලා. එතකොට අපි වුණත් තව තවත් දිරිගැන්වෙනවනේ.”

    තක්ෂිලා උදයංගනී – දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments