Sunday, October 12, 2025
More
    Homeආධ්‍යාත්මිකදෙතොල නොකී දේ 'මුහුණේ ලියවෙනවාද ?': එහෙමනම් මේක කියවා ඇත්ත දැන ගන්න

    දෙතොල නොකී දේ ‘මුහුණේ ලියවෙනවාද ?’: එහෙමනම් මේක කියවා ඇත්ත දැන ගන්න

    කවදා හරි ඔයාට හිතිලා තියෙනවද, අපිත් එක්ක කතා කරන කෙනාගේ මූණ දිහා බලලා එයාගේ හිතේ තියෙන හැමදේම දැනගන්න පුළුවන් නම් කියලා?

    ඔයා අලුත් ව්‍යාපාරික ගනුදෙනුවකට යනවා, නැත්නම් යාළුවෙක් හම්බවෙනවා, එහෙමත් නැත්නම් ඔයාගේ සහකරු සහකාරියත් එක්ක පොඩි වාදයක් යනවා කියලා. මේ හැම වෙලාවකම, එයාගේ ඇස් වලින්, තොල් වලින්, මූණේ රැළි වලින් එයා කියන්න හදන දේ වගේම, එයා හංගන දේත් ඔයාට කියවගන්න පුළුවන් නම්, ඒක කොච්චර වටිනවද? ඒක හරියට හරි පොටර් මැජික් වගේ කියලා හිතෙයි නේද?

    අපේ අද කතාව ආරම්භ වෙන්නේ Chase Hughes නම් පුදුම හිතෙන කෙනෙක් එක්ක. එයා තමයි ලෝකයේ අංක එකේ ශරීර භාෂා විශේෂඥයා, ඇමරිකානු හමුදා නායකයින්ට මිනිස්සුන්ගේ හැසිරීම් කියවන හැටි, ප්‍රශ්න කිරීම් සහ මනෝවිද්‍යාත්මක යුධ උපක්‍රම ගැන එයා පුහුණු කරලා තියෙනවා. FBI නියෝජිතයන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට පවා උපදෙස් දෙනවා. ඇත්තටම, එයාට පුළුවන්ලු මිනිසෙක්ව මිනී මරන්න පවා මෝහනය කරන්න. ඒකට ගතවෙන්නේ විනාඩි 40ක් වගේ කෙටි කාලයක්! ඒක කොච්චර භයානකද?

    “ඔයාට කෙනෙක්ව මෝහනය කරලා මිනී මරන්න පුළුවන්ද?

    “අනිවාර්යයෙන්ම පුළුවන්.”

    “ඒකට කොච්චර වෙලාවක් යයිද?”

    “විනාඩි 40ක්.”

    මේක ඇහුවම ඇඟ කිළිපොළා යනවා නේද? ඒත් එයා මේ දැනුම පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට උදව් කරන්න, ආරක්ෂා වෙන්න උගන්වන්න මිසක් වැරදි දේවල් වලට නෙවෙයි. එයා කියනවා, මිනිස්සු දුර්වල, තර්ජනයට ලක්වෙලා, නැත්නම් අනාරක්ෂිත බවක් දැනෙන වෙලාවට, පිරිමි අය නිතරම වගේ තමන්ගේ ලිංගේන්ද්‍රිය ආවරණය කරගන්නවා. ඒත් ගැහැණු අය කරන්නේ තමන්ගේ බඩ හරස් අතට අතක් තියාගෙන ගර්භාෂය ආවරණය කරගන්න එක. මේක හරියට ස්වභාවික ආරක්ෂක යාන්ත්‍රණයක් වගේ..

    අපි කෙනෙක් දිහා බලන කොට මුලින්ම බලන්නේ එයාගේ මූණ දිහානේ. ඉතින්, මූණකින් මොනවද අපට කියව ගන්න පුළුවන්?

    Chase අපිට කියනවා, අපි කෙනෙක්ගේ මූණ දිහා බලලා පුදුම හිතෙන දේවල් දැනගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම, වයස 18-19 වෙන කොටම අපේ මූණේ හැදෙන රැළි වලින් අපේ ස්වභාවික හැසිරීම් සහ ජීවන රටාව ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්ලු. මේවා වයසට යන නිසා හැදෙන රැළි නෙවෙයි, හැඟීම් ප්‍රකාශ කරන නිසා හැදෙන රැළිලු!

    සතුටින් ඉන්න අය..

    නිතරම හිනාවෙන කෙනෙක්ගේ ඇස් කොණේ “කපුටු කකුල්” (crow’s feet) වගේ පොඩි රැළි තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිතය සතුටින් ගතකරන, සතුට ප්‍රකාශ කරන අය..

    තරහින් ඉන්න අය..

    කෙනෙක් නිතරම තරහින් ඉන්නවා නම්, ඇහි බැමි දෙක අස්සේ, නළල මැද්දේ පොඩි රැළි දෙකක් තියෙනවා. මේකට “ග්ලාබෙලා” (glabella) කියලා කියනවා.

    සමාජශීලී අය..

    ගොඩක් සමාජශීලී අයගේ නළලේ වැඩි රැළි ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව, අපේ නළල කියන්නේ අපේ “සමාජ දැන්වීම් පුවරුව” social billboard වගේ දෙයක්. අපි හැඟීම් ප්‍රකාශ කරන්න නළල ගොඩක් පාවිච්චි කරනවා.

    උදාහරණයක් විදිහට, ඔයා කෙනෙක්ට “ආයුබෝවන්” කියන කොට ඔයාගේ ඇහිබැමි ඉහළට උස්සනවා නම්, 90%ක් දෙනාත් ඔයාට උත්තර දෙන්නේ එහෙමමයි. ඒක අපේ මොළයට ස්වභාවිකවම වැඩසටහන් වෙලා තියෙන දෙයක්. ඒ නිසා තමයි හිස කෙස් වලින් නළල වැහිලා තියෙන අයට මිනිස්සු ස්වභාවිකවම විශ්වාස නොකරන්නේ..

    ඇස්වලින් කියවෙන රහස්

    Chase කියනවා, අපිට කෙනෙක්ගේ මූණෙන් කියවගන්න පුළුවන් වැදගත්ම දේ තමයි එයා ඇස් පියවන වේගය, මේකට කියන්නේ blink rate කියලා. මේක අපිට පුදුම බලයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් කතාබහකදී මිනිසෙක් විනාඩියකට 15-17 වතාවක් ඇස් පියවනවා.

    ආතතියේදී..

    කෙනෙක් ආතතියෙන් ඉන්නවා නම්, එයාගේ blink rate එක විනාඩියකට 80 දක්වා වැඩි වෙන්න පුළුවන්. හිතන්න, ඔයා ව්‍යාපාරික සාකච්ඡාවකදී කෙනෙක්ගෙන් එයාගේ සැලසුම් ගැන අහන කොට එයාගේ ඇස් පියවන වේගය එකපාරටම වැඩි වෙනවා නම්, ඒක ආතති සහගත තත්ත්වයක්. ඒ වගේ වෙලාවට “රැවටීමක්” වෙන්නත් පුළුවන්…

    උනන්දුව සහ අවධානය

    කෙනෙක් කතාබහකදී අවංකවම උනන්දුවෙන් සහ අවධානයෙන් ඉන්නවා නම්, එයාගේ blink rate එක විනාඩියකට 3-4 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒක හරිම පුදුමයි නේද?

    මේක ඔයාට ලොකු වාසියක් වෙන්න පුළුවන්. ඔයා කතා කරන කෙනාගේ ඇස් පියවන වේගය වැඩි වෙනවා නම්, ඔයා දන්නවා එයා ආතතියෙන් ඉන්නේ කියලා. උදාහරණයක් විදිහට, ඔයා පොදු දේශනයක් කරන කෙනෙක් නම්, ප්‍රේක්ෂකාගාරය දිහා බලාගෙන ඉන්නකොට, ඒ අයගේ blink rate එක වැඩි වෙනවා නම්, ඔයාට තේරෙනවා ඔයාට අවධානය නැතිවෙනවා කියලා…

    ඒ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ කටහඬ වෙනස් කරන්න, වේදිකාවේ අනිත් පැත්තට ඇවිදින්න, අත්පුඩි ගහන්න, නැත්නම් මාතෘකාව වෙනස් කරන්න. එතකොට ආයෙත් blink rate එක අඩු වෙනවා, ඒ කියන්නේ අවධානය ආයෙත් ඇතිවෙනවා. මේක කෙනෙක්ව අවධානයෙන් තියාගන්න හොඳ උපක්‍රමයක්.

    Shutter Speed

    ඇස් පියවෙන වේගය

    (මේ කියන්නේ ඇහි බැම වැහිලා ආයෙත් ඇරෙන වේගයට)

    බිය ඇතිවිට..

    කෙනෙක්ට බය දැනෙනකොට, ඇස් පියවෙන වේගය වැඩි වෙනවා.

    සුවපහසුවක් දැනෙනවිට..

    කෙනෙක්ට සුවපහසුවක් දැනෙනකොට, ඇස් පියවෙන වේගය අඩු වෙනවා.

    හිතන්න, ඔයා කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට, එකපාරටම එයාගේ මුදල් ප්‍රශ්න ගැන කතා කරන කොට එයාගේ blink rate එක වැඩි වෙනවා වගේම shutter speed එකත් වැඩි වෙනවා නම්, ඔයා දන්නවා ඒක එයාට සංවේදී මාතෘකාවක් කියලා. ඔයාට එයාගේ හිත කියවන්න බැරි වුණත්, ඔයාට තේරෙනවා එයාගේ ප්‍රතිචාරය ඒ මාතෘකාවට කොහොමද කියලා.

    තොල්වල රහස්

    මුහුණේ තවත් වැදගත් ඉඟි දෙකක් තමයි තොල්වලින් කියවෙන රහස්.

    තොල් තද කරගැනීම..

    කෙනෙක් තමන්ගේ තොල් එකට තද කරගෙන ඉන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ බොහෝ විට එයා තමන්ගේ අදහසක් හෝ හැඟීමක් හංගනවා කියන එකයි. උදාහරණයක් විදිහට, ඔයා කෙනෙක්ගෙන් අහනවා,

    “ඔයා අලුතින් ගත්ත දේ කොහොමද?” කියලා. එයා “ආ, නියමයි” කියලා තොල් තද කරගෙන කියනවා නම්, එයා ඇත්තටම කැමති නැති වෙන්න පුළුවන්. ඒක රැවටීමක්ම නෙවෙයි, ඒත් එයා යමක් හංගනවා කියලා අපිට තේරෙනවා. විකුණුම්කරුවෙක්ට මේක දැක්කොත්, එයාට තේරෙනවා ඒ මාතෘකාව ගැන ආයෙත් කතා නොකර ඉන්න එක හොඳයි කියලා. හැබැයි පොලීසීයේ ප්‍රශ්න කිරීමකදී නම්, මේකෙන් අදහස් වෙන්නේ ඒ මාතෘකාව ගැන තවත් ප්‍රශ්න අහන්න ඕන කියලා.

    තොල් ඇතුළට ගැනීම

    කෙනෙක් තමන්ගේ තොල් ඇතුළට ගන්නවා නම්, නැත්නම් ඇඟිල්ලක් කටේ දාගන්නවා නම්, ඒකෙන් කියවෙන්නේ එයාට යම්කිසි සහතිකයක් reassurance අවශ්‍යයි කියන එකයි. ඒ කියන්නේ එයාට යම්කිසි ආරක්ශාවක් හෝ සහයෝගයක් අවශ්‍යයි. Chase කියනවා එයා වේදිකාවට කෙනෙක්ව ගෙන්න ගන්න කොට, ඒ අය මේ වගේ දේවල් කරනවා කියලා. ඒ වෙලාවට එයාට තේරෙනවා ඒ අයට සහතිකයක් අවශ්‍යයි කියලා. මේ වගේ සරල දේවල් තේරුම් ගැනීමෙන් අපිට මිනිස්සුත් එක්ක වඩා හොඳින් අන්තර් ක්‍රියා කරන්න පුළුවන්. කෙනෙක්ගේ blink rate එක වැඩි වෙනකොට ඔයාට තේරෙනවා එයා ආතතියෙන් ඉන්නේ කියලා, ඒ නිසා ඔයාට පුළුවන් සංවාදය වෙනස් කරන්න.

    කෙනෙක්ගේ තොල් තද කරගෙන ඉන්නවා නම්, ඔයාට තේරෙනවා එයා මොකක් හරි හංගනවා කියලා. මේවා අපේ දෛනික ජීවිතයට ගොඩක් වැදගත්. හිතන්න, ඔයාගේ යාළුවෙක් ඔයාට බොරුවක් කරනවා කියලා සැකයක් ආවොත්, එයාගේ blink rate එක වැඩි වෙනවද කියලා බලන්න පුළුවන්. නැත්නම්, ඔයා අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නකොට, ඔයාගේ සහකරු, සහකාරියගේ මුහුණේ ඉරියව්වලින් එයාගේ ඇත්ත ස්වභාවය ගැන පොඩි ඉඟි ටිකක් අහුලා ගන්න පුළුවන්. මේකෙන් අපි කෙනෙක්ව විනිශ්චය කරන්න ඕනේ නැහැ, ඒත් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් එයාගේ ඇත්ත හැඟීම් මොනවද කියලා.

    Chase ගෙන් ඇහුවා, කෙනෙක්ව තමන් වටා පහසුවට පත්කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද කියලා. එයා දුන්නේ අපූරු උපදෙස් කීපයක්!

    ඔබ පුරෝකථනය කළ හැකි සහ විශ්වාසදායක කෙනෙක් ලෙස පෙනී ඉන්න.(Predictable and Reliable)

    මුලින්ම, අනිත් කෙනාට ඔබෙන් කිසිම තර්ජනයක් නැහැ කියලා දැනෙන්න ඕනේ. ඒකට පහසුම විදියක් තමයි, කෙනෙක්ට මුහුණට මුහුණලා කතා නොකිරීම. අපේ මොළය ස්වභාවිකවම හැඩගැහිලා තියෙන්නේ, කෙනෙක් මුහුණට මුහුණලා ඉන්න කොට තරඟකාරී (competitive) හැඟීමක් ඇතිවෙන විදිහට. මේක පිරිමින්ට විතරක් නෙවෙයි, කාන්තාවන්ටත් පොදුයි. ඒක අපේ මොළයේ “සත්ත්ව මොළය” (mammalian brain) කියන කොටසෙන් එන දෙයක්. මේ මොළය අවුරුදු 200,000ක් තිස්සේ වෙනස් වෙලා නැහැ. ඔබ දැකලා ඇති, බාර්වල පිටිපස්සේ විශාල කණ්ණාඩි තියෙනවා. ඒකට හේතුව තමයි, මිනිස්සුන්ට මුහුණට මුහුණලා කතා නොකර, කණ්ණාඩියෙන් බලලා කතා කරන්න පුළුවන් නම්, රණ්ඩු සරුවල් ඇතිවීමේ සම්භාවිතාව අඩු වෙනවා කියලා ඒ අය කලින් ඉඳන්ම දැනගෙන හිටපු එක. ඉතින්, කෙනෙක්ව පහසුවට පත්කරගන්න නම්, ඔබ කිසිදු තර්ජනයක් නොවන විදිහට, කෙළින්ම මුහුණට මුහුණලා නොසිටීම වැදගත්.

    සන්නිවේදනයේදී වචන වලට වඩා Non-verbal communication වැදගත්…

    අපි කෙනෙක්ව විශ්වාස කරන්නේ හෝ පහසුවට පත්කරගන්නේ මොන වචන පාවිච්චි කරනවද කියන එකෙන් නෙවෙයි. Chase කියනවා, “බලපෑමක් කිරීමේදී වචන කියන්නේ අඩුම වැදගත් දෙය”. අපේ මොළයේ අන්තිමටම දියුණු වුණු කොටස තමයි භාෂාවට අදාළ කොටස. ඒ නිසා අපි බොහෝ වෙලාවට යැපෙන්නේ වාචික නොවන සන්නිවේදනය මත.

    ඉතින්, කෙනෙක්ව පහසුවට පත්කරගැනීමේ හැකියාව 90%ක්ම රඳා පවතින්නේ වාචික නොවන සන්නිවේදනය මතයි. ඒ කියන්නේ, ඔබ ඒ පුද්ගලයාට ළංවෙන විදිහ, ඔබ හැසිරෙන විදිහ.

    කෙනෙක්ව විශ්වාසදායක සහ පහසුවෙන් දැනෙන කෙනෙක් බවට පත්කරගන්න පුළුවන් තවත් බලවත්ම ක්‍රමයක් තමයි, කතා කරනකොට විවෘත අත්ල (open palms) පෙන්වීම. ඔබ කතා කරන අතරතුර, ඔබගේ අත් සහ අත්ල බඩ හරියේ මට්ටමට තබාගෙන, වැදගත් කරුණු පැහැදිලි කරන විට අත්ල විවෘතව පෙන්වන්න.

    මිනිස්සුන්ට ඔබව විශ්වාස කරන්න සහ ඔබ කියන දේ පිළිගන්න මේක 10 ගුණයකින් පමණ වැඩි ඉඩක් තියෙනවා. හිතන්න, ඔයා බයෙන් ඉන්න කොට, බොරු කියන කොට, නැත්නම් යම්කිසි දේකට බය වෙන කොට, අපි ස්වභාවිකවම ලිංගේන්ද්‍රිය ආවරණය කරගන්නවා. නැත්නම්, කාන්තාවන් නම් බඩ ආවරණය කරගන්නවා. මොකද මේ ප්‍රදේශයේ අස්ථි නැති නිසා අවදානමක් දැනෙනවා. ඒ වගේ වෙලාවක “ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්” කියලා අත්ල වහගෙන කිව්වොත්, ඒක ඔබටත් අමුත්තක් දැනෙයි. ඒත්, “ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්” කියලා අත්ල විවෘතව කිව්වොත්, ඒක මොළයට සම්පූර්ණයෙන්ම වෙනස් හැඟීමක් දෙනවා.

    අපි හැමෝම ෆේස්බුක් එකේ හෝ ටී.වී. එකේ පින්තූර දැකලා, කෙනෙක්ගේ “බොඩි ලැන්ග්වේජ්” (ශරීර භාෂාව) ගැන අදහස් දක්වනවා. “අන්න අරයා බය වෙලා, ඒකයි අත මෙහෙම තියන්නේ” නැත්නම් “මෙයා බොරු කියනවා, ඒකයි මෙහෙම හැසිරෙන්නේ” වගේ දේවල් අපි කියනවා. මෑතකදී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර පැවති සාකච්ඡාවක පින්තූර ගැනත් මේ වගේ අදහස් ගොඩක් පළ වුණා. ට්‍රම්ප් තමන්ගේ ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන සිටි අතර, සෙලෙන්ස්කි විවෘතව වාඩි වී සිටි බව බොහෝ දෙනා සඳහන් කළා. ඒත් මේවා ඇත්තටම අපිට කියන්නේ මොනවද? මේ ගැන ලෝකයේ අංක එකේ ශරීර භාෂා විශේෂඥයා වන Chase Hughes මොනවාද කියන්නේ කියලා බලමු.

    Chase කියනවා, අවධානය යොමු කළ යුතු වැදගත්ම දේ තමයි “වෙනස්වීම්” changes. කෙනෙක්ගේ හැසිරීම් රටාවේ වෙනසක් සිදුවුණේ කීයටද? කොච්චර වෙලාවක් ඒ විදිහටම තිබුණද? ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ආවේ කීයටද ? මේවා තමයි වැදගත් ප්‍රශ්න.

    ඔබට පුළුවන් ඡායාරූපයක තනි මොහොතක් අරගෙන, ඒකෙන් ඔබට ඕනෑම අර්ථයක් ගන්න. සෙලෙන්ස්කි පවා තමන්ගේ බඩ හෝ ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන ඉන්න ඡායාරූප කීපයක් හොයාගන්න පුළුවන්. ඒත් අපි බලන්න ඕනේ ඒ මොහොතේ සිදුවුණු වෙනස මොකක්ද කියලයි.

    ඒ නිසා, ට්‍රම්ප් ලිංගේන්ද්‍රිය ආවරණය කරගෙන සිටියේ සම්මුඛ සාකච්ඡාව පුරාම නම්, ඒකෙන් කියවෙන්න පුළුවන් එයා දුර්වල, තර්ජනයට ලක්වෙලා, නැත්නම් අනාරක්ෂිත බවක් දැනෙනවා කියලා. ඒත් ඒක තනි මොහොතක සිදුවුණ දෙයක් නම්, ඒකෙන් ලොකු දෙයක් කියවෙන්නේ නැහැ. අපි මිනිස් හැසිරීම් අධ්‍යයනය කරන කොට, තනි දෙයක් විතරක් නෙවෙයි බලන්න ඕනේ. විවිධ දේවල් කිහිපයක එකතුවක් (cluster of different things) දිහා බලලා තමයි නිගමනයකට එන්න ඕනේ.

    ඔබට අවශ්‍ය දේ ලබාගැනීමට…

    ඔබට අවශ්‍ය දේ ලබාගැනීමට නම්, මුලින්ම ඔබගේ “අපේක්ෂිත ප්‍රතිඵලය” (desired outcome) කුමක්දැයි තීරණය කරගත යුතුයි. බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඔබ කතා කරන සෑම කතාබහකම යම්කිසි ප්‍රතිඵලයක් තිබිය යුතුයි. “මේ කෙනාට හොඳ හැඟීමක් ඇති කරවන්න මට ඕනේ” කියන එක පවා හොඳ ප්‍රතිඵලයක්.

    Chase උගන්වන ප්‍රබලම ක්‍රමවේදයක් තමයි ඔබ අනිත් කෙනාව එයාගේ හිතෙන්ම හෝ වචනයෙන් “මම මේ වගේ පුද්ගලයෙක්” (I am the type of person who blank) කියලා එකඟ කරගන්න එකයි. උදාහරණයක් විදිහට, Chase පොඩ්කාස්ට් එකකට යන කොට, එයා මුලින්ම කියනවා,

    “Jack, පොඩ්කාස්ට් කරන අය ගොඩක් ඉන්නවා, ඒ අය යම්කිසි දැඩි රාමුවකට කොටුවෙලා, ඒත් අද ඔයත් එක්ක මේකට එන්න ලැබීම ගැන මම සතුටුයි.”

    මෙතනදී එයා Jack ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් Jack මානසිකව එකඟ වුණා, “මම ඒ වගේ කෙනෙක් නෙවෙයි” කියලා. මේක හරිම ඉක්මනින් වැඩ කරනවා. Chase මෙය තවත් පැහැදිලි කරනවා, ඔබ කෙනෙක්ට කෙලින්ම “ඔයා මෙහෙමයි” කියලා ප්‍රශංසා කළොත්, එයාගේ මොළයට දැනෙන්න පුළුවන් ඒක බලපෑමක් හෝ රැවටීමක් (manipulation) කියලා.. ඒත් ඔබ පොදු ප්‍රකාශයක් කරලා, “ඇත්තටම හරියට පොඩ්කාස්ට් කරන අය හරිම දුර්ලභයි. මම ඒකට ගොඩක් කැමතියි.” කියලා කිව්වොත්, ඔබ එයාට කෙලින්ම කිව්වේ නැතත්, එයාගේ මොළයට දැනෙනවා “ඔව්, ඒ මම තමයි” කියලා. මේකෙන් ඔබට අනිත් කෙනාගේ ප්‍රතිචාරය විවේචනය කිරීමේ හැකියාව අඩු වෙනවා.

    මතක තියාගන්න, මේක සංවාදයක ආරම්භයේ දී විතරයි. ඔබට කෙනෙක්ව වඩාත් විවෘත කරගන්න අවශ්‍ය නම්, ඔබට අහන්න පුළුවන්,

    “ඔයා මේ තරම් විවෘත වුණේ කොහොමද? ඔයා හැමදාම මෙහෙමද, නැත්නම් මේකට ඔයාට මහන්සි වෙන්න සිද්ධ වුණාද?”

    මේ ප්‍රශ්නයට උත්තර දෙන්න පටන් ගන්න කොටම, එයා වාචිකව තමන්ගේ අනන්‍යතාවයකට එකඟ වෙනවා. අපේ මොළයට බලපෑම් කරන්න පුළුවන් තවත් ප්‍රබල ක්‍රමවේදයක් තමයි Negative Dissociation කියන්නේ..

    ඔබට කෙනෙක්ගේ යම්කිසි ගති ලක්ෂණයක් නැති කරන්න අවශ්‍ය නම්, ඔබ ඒ ගති ලක්ෂණය තියෙන කණ්ඩායමක් ගැන නරක විදිහට කතා කරන්න. උදාහරණයක් විදිහට, “අද කාලේ පොඩ්කාස්ට් කරන ගොඩක් දෙනෙක් වැඩ කරන්නේ ඔරලෝසුව දිහා බලාගෙන, වැඩේ ඉක්මනට ඉවර කරන්න හදනවා. ඒක හරියට මාව ගණන් නොගන්න ඩොක්ටර් කෙනෙක් එක්ක ඉන්නවා වගේ…” මෙතනදී ඔබ අනිත් කෙනාට සෘණාත්මක චිත්‍රයක් මවා පෙන්වා, ඔබ ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා එයාගේ හිතට දානවා. කරල බලන්න ඒක නියමට වැඩ කරනවා..

    අවසාන වශයෙන්, කෙනෙක්ව පහසුවට පත්කරගැනීම කියන්නේ, ඔබේ විශ්වාසය (confidence) බෝවන ගතියක් බවට පත්කිරීමයි. කෙනෙක් කෘත්‍රිම විශ්වාසයක් (artificial confidence) පෙන්වන කොට, ඒකෙන් අනිත් අයට පොඩි හැඟීමක් ඇතිවෙන්න පුළුවන්.

    ඔබ ආතතියෙන් සිටියත්, සන්සුන් භාවයක් සහ ආත්ම විශ්වාසයක් පෙන්වන විට, ඔබේ විශ්වාසය අනිත් අයටත් ගමන් කරනවා. ඔබ කෙනෙක්ට බලපෑම් කරන්න (persuade) උත්සාහ කරනවා නම් ඒක ආගමික නායකයෙක් වුණත්, ප්‍රශ්න කරන්නෙක් වුණත්, දරුවෙක් හදන මවක් හෝ පියෙක් වුණත් ඔබේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ඔබේ විශ්වාස මට්ටම අනිත් පුද්ගලයාට “මාරු කිරීම” (transfer)යි. එනම් ඔවුන්ට තීරණයක් ගැනීමට අවශ්‍ය විශ්වාසය ඔවුන් තුළ ඇති කිරීමයි.

    ඉතින්, මේ දැනුමෙන් අපි ඉගෙන ගන්නේ, මිනිස් හැසිරීම් කියන්නේ සංකීර්ණ දෙයක් වුණත්, පොඩි පොඩි දේවල් වලින් අපිට ලොකු දේවල් තේරුම් ගන්න පුළුවන් කියන එකයි. ඔබේ සන්නිවේදනය වඩාත් ඵලදායී කරගන්න, අනෙක් අයව වඩා හොඳින් තේරුම් ගන්න, සහ ඔබේ විශ්වාසය ඔවුන්ටත් ලබා දෙන්න මේ කරුණු නිසැකව ඔබට උපකාරී වේවි.

    සම්පූර්ණ උපුටා ගැනීම – © සාගර දියගම – diyagama@outlook.com

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments