Monday, October 13, 2025
More
    Homeපෝෂණයහිතුමතේ විටමින් ගැනීම සුදුසු ද?: ඔබ දැනගත යුතුම කතාව

    හිතුමතේ විටමින් ගැනීම සුදුසු ද?: ඔබ දැනගත යුතුම කතාව

    විටමින් අතිරේක අපගේ ආහාර වේලෙහි පවතින විටමින් ඌණතාවන් සම්පූර්ණ කිරීම සඳහා සුදුසු ක්‍රමයක් විය හැකි වුව ද, එය එක ම හෝ හොඳ ම විකල්පය නොවේ.

    සමස්ත වෙළෙඳපොළේ ඇති විටමින් සහ ඛණිජ ලවණ සහිත අතිරේක ආහාර වටිනාකම ඩොලර් බිලියන 32.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඇමෙරිකානු වැසියන්ගෙන් 74%කට වඩා සහ බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් තුනෙන් දෙකක් ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ඒවා භාවිත කරන බව පැවසේ.

    කෙසේ වෙතත්, මෙම ඖෂධ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ. ඇතැම් අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ, ඒවායේ පැහැදිලිව පෙනෙන සෞඛ්‍ය ප්‍රතිලාභ නොමැති බවය ය, ඇතැම් අධ්‍යයන මගින් සොයා ගෙන ඇත්තේ, ඒවා පුද්ගලයින්ගේ සෞඛ්‍යයට හානි කර විය හැකි බව ය. ඉතින් මෙම මගින් සත්‍ය වශයෙන් ම පෙන්නුම් කරන්නේ කුමක් ද?

    අප සියලු දෙනා විටමින් අතිරේක ලබා ගත යුතු ද? නැතහොත් ඒවා ලබා ගත යුත්තේ අප අතරින් කිහිප දෙනෙකු පමණක් ද?

    මිනිසුන් විටමින් සහ ඛණිජ ලබා ගන්නේ ඇයි?

    විටමින් සහ ඛණිජ ලවණ යනු අපගේ ශරීරය නිපදවන්නේ නැති නමුත් අපගේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය සංයෝග වේ. අපට ඒවා නිපදවිය නොහැකි නිසා අප ඒවා ආහාරවලින් ලබා ගත යුතුව තිබේ.

    උදාහරණයක් ලෙස විටමින් A ඇස්වල මනා සෞඛ්‍යයට සහ සෞඛ්‍ය සම්පන්න සමක් සඳහා වැදගත් වේ; විටමින් C අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය වන අතර විටමින් K රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය‍ ය. කැල්සියම්, මැග්නීසියම්, සෙලේනියම්, පොටෑසියම් සහ වෙනත් දෑ අත්‍යවශ්‍ය ඛණිජ අතරට ඇතුළත් වේ.

    විටමින් සහ ඛණිජ ලවණ ක්ෂුද්‍ර පෝෂක ලෙස හඳුන්වයි. ඒ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද වැනි සර්ව පෝෂක මෙන් නොව අපගේ ශරීරයට ඒවා අවශ්‍ය වන්නේ කුඩා ප්‍රමාණවලින් පමණි.

    සෞඛ්‍ය සම්පන්න හා සමබල ආහාර වේලක් වෙනුවට ලබා ගත හැකි කිසිදු විටමින් අතිරේකයක් නොමැති බව සාධාරණ සත්‍යය යි.

    එබැවින් ශරීරයේ විටමින් අවශ්‍යතා සපුරා ගත හැකි හොඳ ම මාර්ගය වන්නේ කොළ පැහැති එළවළු, පලතුරු, ධාන්‍ය, ඇට වර්ග, කිරි ආහාර සහ මාළු බහුලව ආහාරයට ගැනීම යි.

    කෙසේ වෙතත්, පර්යේෂණ මගින් ද පෙන්වා දෙන්නේ, අප අතරින් බොහෝ දෙනෙකු මෙම ක්‍රියාමාර්ගය අනුගමනය නොකරන බව ය.

    අධිසැකසුම් ක්ෂණික ආහාර ලබා ගැනීමට ඇති පහසුවෙන් අදහස් වන්නේ, අප බොහෝවිට නිවසේ පිසූ ආහාර වෙනුවට ඒවා තෝරා ගැනීමට නැඹුරු වී සිටින බව ය.

    “සාමාන්‍ය ඇමරිකානුවෙකු ආහාරයට ගන්නේ නිර්දේශ කර ඇති පලතුරු සහ එළවළු ප්‍රමාණයෙන් අඩක් පමණ‍ යි,” එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මානව පෝෂණ පර්යේෂණ මධ්‍යස්ථානයේ සහ වයස්ගත වීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු සහ ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන බෙස් ඩෝසන්-හියුස් පවසයි.

    එසේ නම්, ඔබත් අනුගමනය කරන ආහාර ක්‍රමවේදය ඒ හා සමාන නම් ඔබට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් අහිමි වේ.

    මල්ටිවිටමින්වලින් පෝෂණය ලැබනවා ද?

    පෝෂණ ඌණතා සඳහා පවතින හිඩැස පිරවීමට මල්ටිවිටමින්වලට හැකියාවක් තිබේ ද ? පිළිතුර සංකීර්ණ ය.

    බටහිර ලෝකයේ බහුලව පැවති සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීමට විටමින් C උපකාරී විය හැකි ය යන ඔහුගේ න්‍යාය වෙනුවෙන් 1970 දශකයේදී රසායන විද්‍යාඥ ලිනස් පෝලිං නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය. ඔහු පැවසුවේ, නිර්දේශිත විටමින් C ප්‍රමාණය මෙන් 50 ගුණයක් දක්වා ලබා ගැනීමෙන් ඉන්ෆ්ලුවෙන්සා සිට හෘදවාහිනී රෝග, ඇසේ සුද වැනි ඕනෑ ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කළ හැකි බව ය.

    ඔහු පැවසුවේ, ඉන් පිළිකා රෝගය වුව ද සුව කළ හැකි බව ය. විටමින් C අධික ලෙස ලබා ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සුව කළ හැකි බවට වූ අදහස වැරදි බව ඔප්පු වී ඇතත් බොහෝ දෙනෙකු තවමත් එම විශ්වාසයේ ඇලී සිටියි.

    මේ දිනවල මත ඉදිරිපත් කරන්නෝ, ක්ෂුද්‍ර පෝෂක 500%ක් හෝ 1,000%ක් අඩංගු විටමින් අතිරේක ලබා ගැනීම නිර්දේශ කරති. නමුත් විටමින් අතිරේක තුළ සාමාන්‍යයෙන් නියාමනය නොකෙරුණු, ලැයිස්තු ගත කර නොමැති අමුද්‍රව්‍ය අඩංගු විය හැකි අතර තත්ත්ව පාලක පරීක්ෂණ සඳහා යොමු නොකෙරේ.

    විටමින් සහ ඛණිජ ලවණ ”අධිමාත්‍රාවක්” ලබා ගැනීම භයානක විය හැකි ය. විටමින් D අධික ලෙස ලබා ගැනීම පිපාසය සහ නිතර මුත්‍රා පිට කිරීම වැනි රෝග ලක්ෂණවලට හේතු විය හැකි ය. නමුත් දරුණු අවස්ථාවලදී එය සිහිසුන්වීම, කෝමා තත්ත්වයට පත්වීම සහ මරණයට ද හේතු විය හැක.

    මේ අතර, එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය අනතුරු අඟවා ඇත්තේ විටමින් A අධික ලෙස පානය කිරීම ”අධික හිසරදය, පෙනීමේ දුර්වලතා (අපැහැදිලිභාවය), ඔක්කාරය, හිරි වැටීම, මාංශ පේශි වේදනාව සහ චලනය වීමේදී පවතින ගැටළු ඇති කළ හැකි බව ය. විටමින් A අධික ලෙස ලබා ගැනීමෙන් ඇති වන දරුණු තත්ත්වයන්වලදී කෝමා තත්ත්වයට පත්වීම හෝ මරණයට පවා හේතු විය හැක.

    විටමින් සහ ඛණිජ ලවණ පිළිබඳ සිදු කර ඇති සායනික පරීක්ෂණ ඇතැම්විට පරස්පර ප්‍රතිඵල ලබා දේ. විටමින් අතිරේක ලබා ගැනීම ප්‍රතිලාභසහගත ද නැද්ද යන්න එම අතිරේකය ලබා ගන්නා පුද්ගලයා සහ අතිරේකයේ අඩංගු ක්ෂුද්‍ර පෝෂක මත රඳා පවතී.

    විටමින් E අධික ලෙස පරිභෝජනය කිරීමෙන් ආඝාත අවදානම ඉහළ යා හැකි බව සායනික පරීක්ෂණයක් මගින් ද පෙන්වා දී තිබේ.

    ”විටමින් E තුළ රුධිරය තුනී කිරීමේ හැකියාව පවතින අතර, විටමින් E වැඩිපුර ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු කර මොළයේ රුධිරය ගැලීමේ අවදානම ඉහළ නංවනවා,” හාවර්ඩ් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය ජොආන් මැන්සන් පැවසුවේ ය.

    විටමින් D පරිභෝජනය වැදගත් වන්නේ ඇයි?

    නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා ශරීරයට ප්‍රතිඔක්සිකාරක ගැනීම නිර්දේශ නොකරයි. නමුත් අනෙකුත් විටමින් වර්ග ගැන පැවසිය හැක්කේ කුමක් ද?

    විටමින් D යනු බොහෝ දෙනෙකු ප්‍රමාණවත් පරිදි ලබා නොගන්නා පෝෂකයකි.

    විටමින් D නිරෝගී අස්ථි සඳහා අත්‍යවශ්‍ය අණුවකි.

    විටමින් D යනු තාක්ෂණිකව ලැබෙන විටමින් වර්ගයක් නොවන අතර, අපගේ ශරීරයට අවශ්‍ය පමණින් හිරු එළිය ලැබෙන විට ඒවා අපගේ ශරීරයට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කර ගත හැකි ය.

    අපට ඒවා ඇතැම් ආහාර මගින් ද ලබා ගත හැකි ය.

    ශීත කාලය පවතින මාසවලදී අපට ප්‍රමාණවත් පරිදි හිරු එළිය නොලැබෙන බැවින් එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය ඒජන්සිය නිර්දේශ කරන්නේ ඔක්තෝබර් සිට මාර්තු දක්වා සෑම අයෙකු ම විටමින් ලබා ගත යුතු බව ය.

    විටමින් D පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනවලින් ප්‍රධාන එකක් වන්නේ Manson’s Vital Trial ය. ඇමෙරිකාවේ වැඩිහිටියන් 25,000කට වැඩි පිරිසක් සහභාගි කරවා ගනිමින් එය සිදු කර තිබේ.

    විටමින් D හෝ ඔමේගා-3 මේද අම්ල දෛනිකව ආහාරයට එක් කර ගැනීමෙන් පිළිකා, හෘද රෝග සහ ආඝාත වැනි රෝග රෝග මින් පෙර කිසි දිනෙක නොතිබූ පුද්ගලයින්ට එම රෝග වැළදීමේ අවදානම අඩු කරයි ද? යන්න සොයා බැලීම සඳහා පර්යේෂණය සිදු කර තිබිණි.

    විටමින් D අතිරේක හෘදවාහිනී රෝග, ආඝාතය හෝ පිළිකා පැතිරීම කෙරෙහි බලපෑම් එල්ල නොකළ ද, විටමින් D ගන්නා පුද්ගලයින් පිළිකාවෙන් මිය යාමේ සම්භාවිතාව 17%කින් අඩු විය.

    වසර දෙකක් හෝ ඊට වැඩි කාලයක් විටමින් D ලබා ගත් පුද්ගලයින් වෙත පමණක් මැන්සන් සිය අවධානය යොමු කළ විට, පිළිකා මරණ සිදුවීම සියයට 25 ක් ලෙස සැලකිය යුතු අයුරින් පහළ ගොස් ඇති බව පෙනී ගියේ ය.

    එමෙන් ම, පිළිකා සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලියේ ද 17%ක අඩුවීමක් නිරීක්ෂණය විය.

    “විටමින් ඩීවලට පිළිකා සෛලවල ජීවයට බලපෑම් කිරීමේ හැකියාව පවතින අතර ඒවායේ ආක්‍රමණශීලීත්වය සහ පැතිරීමේ හැකියාව ද අඩු කරයි, නමුත් එය පිළිකාවේ මූලික විනිශ්චයට බලපෑමක් එල්ල නොකරයි” මැන්සන් පවසයි.

    වැදගත් අත්හදාබැලීම් මගින් පෙන්නුම් කර ඇත්තේ විටමින් D අතිරේක රූමැටොයිඩ් ආතරයිටිස් සහ psoriasis වැනි ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවීමේ අවස්ථා සැලකිය යුතු ලෙස අඩු කරන බව ය.

    අස්ථි නීරෝගීව පවත්වා ගැනීම සඳහා විටමින් D වැදගත් වන බැවින්, ඇතැමුන් පවසන්නේ ඒවා විශේෂශයෙන් ම වැඩිහිටි පුද්ගලයින්ගේ අස්ථි බිඳීයාම වළක්වන බව ය.

    2000 වර්ෂයේදී ප්‍රංශයේ සිදු කළ සායනික පරීක්ෂාවකදී සොයා ගනු ලැබුවේ, වයස්ගත වැඩිහිටියන් සඳහා විශේෂයෙන් රැකවරණ නිවාසවල සිටින කාන්තාවන්ට විටමින් D අතිරේක ලබා ගැනීමෙන් ප්‍රයෝජන හිමිවන බව ය.

    කෙසේ වෙතත්, පසුකාලීන සාක්ෂිවල අපැහැදිලිබවක් පවතී.

    The Vital Trial මගින් සොයා ගනු ලැබුවේ, විටමින් Dවලට අස්ථි බිඳීම වැළැක්විය නොහැකි බව ය.

    තවත් අධ්‍යයනයන් දෙකක් වන Vida සහ D-Health මගින් සොයා ගැනුණේ අස්ථි බිඳීම් සඳහා විටමින් D අතිරේක ලබා ගැනීමෙන් සැලකිය යුතු ප්‍රතිලාභයක් හිමි නොවන බව ය.

    කෙසේ වෙතත්, අත්හදා බැලීම සඳහා සහභාගී වූ පුද්ගලයින්ට දැනටමත් ප්‍රමාණවත් විටමින් D මට්ටමක් ඇති බැවින් ඔවුන්ට ප්‍රතිලාභ හිමි නොවනු ඇතැයි ඩෝසන්-හියුස් පැවසුවේ ය.

    “කිසිදු අත්හදාබැලීමකදී නිර්ණායකයක් ලෙස අඩු විටමින් D මට්ටමක් සහිත වැඩිහිටි පුද්ගලයින් ලෙස තෝරා නොගත් අතර ඒවා සිදු කෙරුණේ ද විටමින් D සියලු රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රවර්ධනය කළ කාලයකදී‍ ය. එම කාලවකවානුවේදී එක්සත් ජනපදය තුළ විටමින් D අලෙවිය ඉතා ඉහළ මට්ටමක පැවතුණා” ඩෝසන් – හියුස් පවසයි.

    ”එහි ප්‍රතිඵලයක් ලෙස අත්හදා බැලීම සඳහා සහභාගී වූ බොහෝ පිරිසකට ඒ වන විටත් අවශ්‍ය හෝ හොඳ පරාසයක විටමින් D තත්ත්වයක් තිබුණා.”

    ඔබ මල්ටිවිටමින් ලබා ගත යුතු වන්නේ කුමන තත්ත්වයන් යටතේ ද?

    සිත්ගන්නා කරුණක් වන්නේ, දිනපතා මල්ටිවිටමින් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර විය හැකි අතර වැඩිහිටි පුද්ගලයින්ට වඩාත් හිතකර විය හැකි ය.

    මීට වසර 20කට පෙර මැන්සන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වසර 11ක් පුරා දෛනිකව මල්ටිවිටමින් ලබා ගත් පුද්ගලයින්ට පිළිකාවක් වර්ධනය වීමට ඇති අවදානම 8%කින් අඩු බව නිරීක්ෂණය වී තිබේ.

    ඉන් ඇති වූ විශාලතම ප්‍රතිලාභය වූයේ placebo (ප්ලේසෙබෝ – ව්‍යාජ ඖෂධ) කාණ්ඩයට සාපේක්ෂව ගත් කළ මල්ටිවිටමින් ලබා ගත්, අධ්‍යයනයට සහභාගී වූ පුද්ගලයින් අතර සිටි වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට පිළිකා අවදානම 18%කින් අඩු වී තිබීම ය.

    “වයස්ගත වැඩිහිටියන් අඩු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මෙයට හේතුව විය හැකි යි” මැන්සන් පවසයි.

    “එසේත් නොමැති නම් ශරීරයට විටමින් සහ ඛණිජ ලවණ අවශෝෂණය කිරීමේ හැකියාව අඩු නිසා මෙම කණ්ඩායමට වැඩි ප්‍රතිලාභයක් හිමි වනවා විය හැකි යි.”

    ”පිළිකා, ඇසේ සුද සහ මතක ශක්තිය අහිමි වී යාම වයස්ගත වීමත් සමග ඇති වන රෝග වන අතර අධ්‍යයනවලින් පෙනී යන්නේ මල්ටිවිටමින් ඒවා අඩු කිරීමට උපකාරී වන බව යි,” මැන්සන් පවසයි.

    ඉතින් විටමින් ලබා ගත යුත්තේ කවුද? මැන්සන් සහ ඩෝසන් හියුස් යන දෙදෙනා ම පවසන්නේ බොහෝ දෙනෙකුට විටමින් පෙති ලබා ගැනීම බොහෝ දෙනෙකුට අනවශ්‍ය දෙයක් බව ය. සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලකින් ඔබට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම වඩාත් සුදුසු යි.

    ආහාර මූලාශ්‍ර මගින් විටමින් ලබා ගැනීම ඒවා ශරීරයට අවශෝෂණය කර ගැනීම පහසු කරයි. ආහාර මගින් තන්තු වැනි වෙනත් පෝෂ්‍ය පදාර්ථ ද සපයන බැවින් ඒවා ඔබේ බඩවැල්වල සෞඛ්‍යයට වැදගත් වේ.

    විටමින් සහ ඛණිජ සෞඛ්‍යයට අත්‍යවශය වන නමුත් ශරීරය හොඳින් ක්‍රියා කිරීමට අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් පමණි.

    අධ්‍යයන මගින් පැහැදිලිව පෙන්වා දී ඇත්තේ, නිර්දේශිත මාත්‍රාවට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් කිසිදු ප්‍රතිඵලයක් හිමි නොවන බව ය.

    කෙසේ වෙතත්, ඇතැමෙකුට නිර්දේශ කර ඇති පරිදි මල්ටිවිටමින්වලින් ලබා ගැනීමෙන් ප්‍රයෝජන ලබා ගත හැකි ය.

    ගර්භණී කාන්තාවන්ට මල්ටිවිටමින් සහ ෆෝලික් අම්ලය භාවිත කරන ලෙස ජාතික සෞඛ්‍ය සේවාව (NHS) නිර්දේශ කරන අතර ඒවාට වැඩෙන කළලය තුළ ස්නායු නාලවල දෝෂ ඇති වීමේ අවදානම අඩු කළ හැකි ය.

    නිර්මාංශික පුද්ගලයින් හෝ මාළු වැඩිපුර අනුභව නොකරන පුද්ගලයින්ට ඔමේගා-3 අන්තර්ගත වන පෙති ලබා ගැනීමෙන් ප්‍රතිලාභ හිමි වන බවට සාක්ෂි පවතී.

    Vital අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ, ඔමේගා 3 ලබා ගත් මාළු අනුභව නොකරන පුද්ගලයින්ට, placebo (ව්‍යාජ ඖෂධ වර්ග) ලබා දුන් අයට සාපේක්ෂව හෘදවාහිනී රෝග ආශ්‍රිත තත්ත්වයන් 19%කින් අඩු වී ඇති බව ය.

    කෙසේ වෙතත්, සතියකට එක හමාරකට වඩා මාළු අනුභව කළ පුද්ගලයින්ට ඉන් ප්‍රයෝජනයක් හිමි නොවී ය. විටමින් අවශෝෂණය කර ගැනීම සඳහා ශරීරයේ පවතින හැකියාවට බාධා කරන ඇතැම් තත්ත්වයන් ද පවතී. දෙවන වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන මෙට්ෆොමින් වැනි සමහර ඖෂධ විටමින් ශරීරයට අවශෝෂණය කර ගැනීමට ද බලපායි.

    දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා භාවිත කළ මෙට්ෆොමින් වැනි ඇතැම් ඖෂධ, ශරීරයේ විටමින් අවශෝෂණයට ද බලපෑම් එල්ල කරයි.

    “අධිමාත්‍රා” හෝ නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා විටමින් ලබා ගැනීම හොඳ අදහසක් නොවන බව මැන්සන් පවසයි.

    ”නමුත් මල්ටිවිටමින් ඉතාමත් ආරක්ෂිත යි. ඉතිං මම හිතන්නේ සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ප්‍රමාණවත් ලෙස ලබා ගන්නේ ද යන්න සම්බන්ධයෙන් කවුරුන් හෝ සැලකිලිමත් වනවා නම්, මෙම අත්‍යවශ්‍ය විටමින් සහ ඛණිජ ලවණ ලැබෙන බවට තහවුරු කර ගැනීම සඳහා මල්ටිවිටමින් ලබා ගැනීම හොඳ අදහසක් වෙන්න පුළුවන්.”

    source:https://www.bbc.com/sinhala/articles/c2lxjzz1ldvo

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments