Tuesday, June 17, 2025
More
    Homeකාලීන පුවත්ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් : ජය ගැනීමට අභියෝග සහ ගැටලු රැසක් තිබේ

    ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් : ජය ගැනීමට අභියෝග සහ ගැටලු රැසක් තිබේ

    ස්වර්ණා සුමනසේකර – ජාතික කාන්තා කමිටුවේ හිටපු සභාපති හා පෙරමඟ පදනමේ ලේකම්

    සෑම වසරකම මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ශ්‍රී ලංකාවේ ආරම්භක වූයේ 1979 දී ය. ඒ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය 1978 දී ස්ථානය කළ පසුවය. කාන්තා කාර්යාංශය 1975 වර්ෂයේ මෙක්සිකෝ නුවර පවත්වන ලද කාන්තාවන් පිළිබඳව වන රාජ්‍ය නායක සමුළුවේදී කාන්තා ගැටළු හා ඒ පිළිබඳව වන ප්‍රතිපත්ති තීරණ ගත යුතු බවට කරන ලද ප්‍රතිඥාව පරිදි ස්ථානය කරන ලද යාන්ත්‍රණයයි.

    ක්‍රම සම්පාදන අමාතංශයේ අංශයක් ලෙසට බිහි වූ කාන්තා කාර්යාංශ පුනරාවර්තන සහ ව්‍යාපෘති වියදම් ජාත්‍යන්තර ආයතන විසින් දැරූ හෙයින් රාජ්‍ය ආයතනයකට වඩා ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට එම ආයතනයට අවස්ථාව සැළසිණි. තවද, එහි ක්‍රියකාරීත්වය සඳහා කාන්තා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වය ලැබීම මෙම කටයුතු තීව්‍ර කරන්නක් විය. මේ අනුව ප්‍රථම කාන්තා දින උත්සවය 1979 වසරේ දී අනුරාධපුරය ආශ්‍රිතව සැමරීමට කාර්යාංශයට අවස්ථාව උදා විය.

    ස්වයං රැකියා සඳහා කාන්තාවන්ට ආධාර ලබාදීම, කාන්තා නිෂ්පාදන හා අලෙවිසැල් ප්‍රදර්ශනය, කාන්තා ව්‍යවසායකත්ව පුහුණු හා අසරණ සරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාන්තා දිනය ආශ්‍රිතව සිදු කෙරුණි. අනුරාධපුරයෙන් පසු ඊළඟ වර්ෂවලදී බදුල්ල, මොණරාගල දිස්ත්‍රික් ආශ්‍රිතව අදාළ තේමාවන් ආශ්‍රිතව කාන්තා දින උත්සව දියත් කරන ලද අතර, එම තත්ත්වය වෙනස් වී එය ජාතික උත්සවයක් බවට පරිවර්තනය වූයේ 1985 දී කාන්තා කාර්යාංශය අමාත්‍යාංශයක් බවට පත් වූ පසුවය. සෙසු රාජ්‍ය ආයතන මෙන්ම සිවිල් සංවිධාන ද කාන්තා දිනය උත්කර්ශවත් ලෙස සැමරීම ඇරඹුවේ ඉන් පසුවය.

    විවිධ රටවල් කාන්තා දින වැඩසටහන් දියත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාලීන තේමාවන් හඳුන්වාදීම සහ මූල්‍ය ආධාර ලබාදීම, කාන්තා දින වැඩසටහන් පුළුල් කිරීමට හේතු විය. මුල් අවස්ථාවේ දී එම තේමාවන් කාන්තා සංවර්ධනය, කාන්තා සුබසාධනය තේමා වූවද, පසු කාලයේ එය කාන්තා සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීමේ විිවිධ පැතිකඩයන් ඔස්සේ රටවල් හරහා සන්නිවේදනය කිරීමට සමත් විය. කාන්තාවන් ලබාගත් සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික ජයග්‍රහණයන් මෙන්ම ඒ ආශ්‍රිත ගැටලු හඳුන්වා දී ඒ ආශ්‍රිතව ක්‍රියා කිරීම දිරිගන්වන ලදී.

    කාන්තා අසමානතාවයන් පිළිබඳව රාජ්‍යයන්හි අවධානය වඩාත්ම යොමු කළ හැකි වූයේ 1993 දී කාන්තා හිංසනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වියානා නුවරදී කාන්තා හිංසනයට එරෙහි වන සම්මුතිය අනුමත වූ පසුවය. ශ්‍රී ලංකාවේ ද මේ පිළිබඳව පර්යේෂණ දියත් වූ අතර, ඒ ආශ්‍රිත සැලසුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර, කාන්තා දින උත්සව වලදී මෙය වඩාත් ප්‍රකට කරන මාතෘකාවක් බවට පත් විය.

    ජාත්‍යන්තර කාන්තා දින සැමරීමේ උත්සව ආරම්භ වූයේ 20 වන සියවසේ මුල් භාගයේ දී ය. ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරන කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකිවීම සමරනු වස් දියත් කරන ලද ප්‍රයන්තයක් ලෙසය. පසුව තෝපන්හේගන් නගරයේ පැවති රැස්වීමකදී වැඩ කරන කාන්තාවන් වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වීමට තීරණය වූ අතර එය යුරෝපයේ රටවල දියත් කරන ලද උත්සවයක් විය. අනතුරුව මෙය ජාත්‍යන්තරව පිළිගත් අතර 1975 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය සමරන ලදී. මෙම රැස්වීම් වලද කාන්තාවන් මෙතෙක් ලබාගත් ජයග්‍රහණයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලබා ගැනීමේ අවශ්‍යතාවයන් සනිටුහන් කිරීමත් මෙම උත්සවයන්හි අරමුණු වී ඇත. ඒ ආශ්‍රිතව නිරන්තරයෙන් මතු කරන ගැටලු වන්නේ කාන්තා හිංසනය අවම කිරීම, ආර්ථික අයිතිවාසිකම් ලබාගැනීම, තීරණ ගැනීමේ මට්ටමේ හා දේශපාලන අයිතිවාසිකම් ලබා ගැනීම පිළිබඳව වන ගැටලු සහගත කරුණුය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම තේමාවන් හඳුන්වා දී ඇති අතර මෙවර තේමාව වන්නේ ක්‍රියාකාරකම් වේගවත් (්ජජැකැර්එැ ්ජඑසදබ) කරන ලෙසය.

    ශ්‍රී ලංකාවේ පවත්වන ලද කාන්තා දින උත්සවයන්හි කැපී පෙනෙන ලක්ෂණක් වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කාන්තාවන් ජාති භේදයකින් තොරව මෙම රැස්වීම් වලට සහභාගීවීමය. කාන්තා ගැටලු විසඳීම සඳහා මෙම ජාතීන් අතර ඇත්තේ ජාති භේදයකින් තොර බලවත් සහයෝගීතාවයකි.

    ශ්‍රී ලංකාවේ කාන්තා සමානාත්මතාවය ගැන කතා කිරීමේදී පැහැදිලි වන්නේ, එම තත්ත්වයන් ලබාගැනීම සඳහා නීති ප්‍රතිපාදන, ජාතික සැලසුම්, ව්‍යාපෘති හා වැඩසටහන් ආයතන, ප්‍රතිෂ්ඨාපනය වී තිබීමය. එය වර්ෂ ගණනාවක් තුළ කරන ලද ප්‍රයන්තයන්හි ප්‍රතිඵලයකි. එහෙත් අපේක්ෂිත ලෙස ඒවා ක්‍රියාත්මක නොවීම හා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වී ඇත. මේ ගැටලු පිළිබඳව සංවේදී ක්‍රියාකරුවන් සිටිය යුතුය. මෙය රාජකාරියක් පමණක් නොව, කැපවීමෙන්. ළඟා කර ගත යුතු ඉලක්කයන්ය. මෑත කාලයේ එසේ සාර්ථක ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වූයේ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 22% දක්වා ඉහළ යාමය.

    කෙසේ වූවද කාන්තා දිනයේ දී රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් කාන්තාවන් බලසතු කිරීම පිළිබඳව සංවිධානය කරන ක්‍රියාකාරකම් එදිනට පමණක් සීමා නොකර, එදින ලබන උත්තේජනය වර්ෂය පුරා රඳවා ගත හැකි වන්නේ නම් අපේක්ෂිත ඉලක්කයන් ප්‍රමාණවත්ව සපුරා ගත හැකිය.

    source: midpoint.lk

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments