Wednesday, January 22, 2025
More
    Homeළමා ලෝකයනිවෙස පිරි­සුදු නම් 'ළමා හතිය' පාල­නය කරන්න පුළු­වන්

    නිවෙස පිරි­සුදු නම් ‘ළමා හතිය’ පාල­නය කරන්න පුළු­වන්

    කුඩා දරු­වන් අතර දක්නට ලැබෙන හතිය අද ඉතා සුලභ වෙමින් පවතී. දරු­වෙ­කුට වුණත් වැඩි­හිටි කෙනෙ­කුට වුණත් හතිය ඇති­වීමේ හැකි­යා­වක් ඇත. මේ දින­ව­ලදී දරු­වන් අතර උණ, කැස්ස වගේම ළමා හතිය ඇති­වීමේ තත්ත්ව­යක් වාර්තා වේ. වැසි සහිත කාල­ගුණ තත්ත්ව­යත් සමඟ කුඩා දරු­වන් අතරේ ළමා හතියේ රෝග ලක්ෂණ පැති­රී­මට පට­න්ගෙන තිබේ. මෙලෙස දරු­වන් අතර පැතිර යන ළමා හතිය සම්බ­න්ධ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය වෛද්‍ය පීඨයේ ළමා රෝග අධ්‍ය­යන අංශයේ කථි­කා­චාර්ය විශේ­ෂඥ වෛද්‍ය තරින්දි සූරි­ය­ප්පෙ­රුම මහ­ත්මිය සමඟ සිදු කළ සංවා­ද­යකි.

    වර්ත­මා­නයේ ලැබෙන වර්ෂා­ප­ත­න­යත් සමඟ ඇති­වන ශීත දේශ­ගු­ණය සමඟ ළමා හතිය වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පව­ස­නවා මෙය සත්‍යක් ද?

    මෙය සත්‍ය­යක්. සීත සුළඟ හා සීත දේශ­ගු­ණය සම­හර දරු­වන්ගේ හතිය වැඩි කිරී­මට හේතු වෙනවා. මෙහිදී සිදු­වන්නේ සීත සුළඟ මඟින් ශ්වසන පද්ධ­තිය නාළි­කා­වල විෂ්ක­ම්භය අඩු­වීම උත්තේ­ජ­නය කිරී­මයි. එනම් ශ්වසන නාළිකා සංකෝ­ච­නය වීමයි. සංකෝ­ච­නය වූ ශ්වසන නාළිකා හරහා ප්‍රාශ්වාස කිරී­මේදී හතිය ඇති වෙනවා.

    එසේ ළමා හතිය වැඩි­වී­මට බලපා ඇති හේතු මොන­වාද ?

    හතිය වැඩි­වීම සඳහා බල­පාන සාධක හැම දරු­වෙ­කු­ටම එකසේ බල­පාන්නේ නැහැ. ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත වයි­රස් රෝග, ශීත සුළඟ, ව්‍යායාම, සිග­රට් දුම්, පරාග හා සතුන්ගේ ලෝම වැනි සාධක ළමා හතිය වැඩි කිරී­මට හේතු වෙනවා. බහු­ල­වම දායක වන්නේ ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත වෛරස් ආසා­ද­න­යිග බැලූ බැල්මට නි‍ෙවස පිරි­සිදු ස්ථාන­යක් වුණත් අපට නොපෙ­නෙන දූවිලි මයි­ටා­වන් සහ නාග­රික පරි­ස­ර­ය­කදී නම් දූවිලි, වාහන දුම වැනි තත්ත්ව­යන් නිසාද දරු­වාට හතිය ඇති­වීමේ අව­දා­නම වැඩි­වෙ­නවා.

    දරු­වන්ට සෙම්ප්‍ර­ති­ශ්‍යාව තිබීම සාමාන්‍ය දෙයක්, සෙම්ප්‍ර­ති­ශ්‍යාව සහ ළමා හතිය අතර තිබෙන වෙනස කුමක්ද ?

    සෙම්ප්‍ර­ති­ශ්‍යාව සහ ළමා හතිය යනු සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් රෝගී තත්ත්ව දෙකක්. සෙම්ප්‍ර­ති­ශ්‍යාව කියන්නේ වයි­රස් ආසා­ද­න­යක්. එය බල­පාන්නේ ඉහළ ශ්වසන පද්ධ­ති­යට පම­ණයි. සෙම්ප්‍ර­ති­ශ්‍යාව මඟින් පෙණ­හ­ලු­ව­ලට බල­පෑ­මක් නෑ. රෝග ලක්ෂණ පෙන්වන්නේ නාසය ආශ්‍රි­තව පම­ණයි. නාස­යන් සොටු දියර ගැලීම හා නාසය හිර­වීම ප්‍රධාන රෝග ලක්ෂ­ණ­යයි. ඒ අතර උණ හට ගැනී­මත් දකින්න ලැබෙන්න පුළු­වන්. හතිය ඇති වන්නේ කුඩා ශ්වසන නාළි­කා­වල විෂ්ක­ම්භය අඩු­වී­මෙන්. හතිය පෙණ­හලු ආශ්‍රිත රෝගී තත්ත්ව­යක්. සෙම්ප්‍ර­ති­ශ්‍යාව සෑදෙන සෑම විටම හතිය ඇති­වෙ­න්නෙ­වත්, හතිය ඇති­වන සෑම අව­ස්ථා­ව­කම සෙම්ප්‍ර­ති­ශ්‍යා­වෙන් ආරම්භ වන්නේ නැහැ. නමුත් හතිය තිබෙන දරු­වන්ට සෙම්ප්‍ර­ති­ශ්‍යාව සෑදුනු විට හතිය වැඩි වෙන්න පුළු­වන්. සෙම්ප්‍ර­ති­ශ්‍යාව කෙටි කාල­ය­කදී සම්පූ­ර්ණ­යෙන්ම සුව වන නමුත් හතිය රෝගය දිගු­කා­ලීන රෝගී තත්ත්ව­යක්. හතිය සම්පූ­ර්ණ­යෙන්ම සුව කළ නොහැකි නමුත් එය ඉතා හොඳින් පාල­නය කර­ගත හැකියි.

    ළමා හති­යේදී දැක­ගන්න පුළු­වන් රෝග ලක්ෂණ මොන­වාද ?

    ළමා හති­යේදී ප්‍රධාන රෝග ලක්ෂණ තුනක් දකින්න පුළු­වන්. කැස්ස, හතිය (wheezing) හා පපුව හිර කිරී­මයි. ඒ අත­රම ශ්වසන නාළි­කා­වල විෂ්ක­ම්භය අඩු­වන නිසා හුස්ම ගැනීමේ අප­හ­සු­තා­වය හා ශ්වසන වේගය වැඩි­වී­මත් දකින්න පුළු­වන්. රාත්‍රී කාල­යේදී වැඩි­වන කැස්ස ඉතා සුලභ රෝග ලක්ෂ­ණ­යක්. හුස්ම ගැනීමේ අප­හ­සුතා හා ශ්වසන වේගය වැඩි­වී­මත් දකින්න පුළු­වන්. ව්‍යායාම හෝ ක්‍රීඩා කිරී­මේදී හතිය උත්සන්න වීමක් මෙහිදී දකින්න ලැබෙ­නවා. උණ හට ගැනීම හතිය සෑදෙන සෑම විටම සිදු­ව­න්නක් නෙවෙයි. නමුත් ශ්වසන පද්ධ­තියේ ආසා­ද­න­යත් සමඟ හතිය හට­ගන්නා අව­ස්ථා­වල උණ හට ගැනීම සිදු­වෙ­නවා. ඉහ­තින් සඳ­හන් කළ රෝග ලක්ෂණ නිතර නිතර පෙන්වන්නේ නම් ළමා හතිය යන රෝග විනි­ශ්චය ලබා දෙන්න පුළු­වන්. එලෙස රෝග විනි­ශ්චය කරන්නේ වයස අවු­රුදු පහට පසු­වයි. නමුත් ඊට වඩා කුඩා වයසේ සිටම ඉහත රෝග ලක්ෂණ නැවත නැවත පෙන්නුම් කර­නවා නම් එය ළමා හතිය බවට පත්වී­මට බොහෝ ඉඩ­ක­ඩක් පව­ති­නවා.

    ළමා හතිය සඳහා ජාන­වල බල­පෑ­මක් තිබෙ­න­වාද ?

    ළමා හතිය සඳහා ජාන­වල බල­පෑ­මක් තිබෙ­නවා. ළඟම ඥාතීන්ට හතිය, පීන­සය අනෙ­කුත් අසා­ත්මි­කතා (allergies) ඇත්නම් දරු­වන්ට එහි බල­පෑ­මක් තිබෙ­නවා. දරු­වන්ට එම රෝග වැල­ඳී­මට වැඩි නැඹු­රු­වක් තිබෙ­නවා. නමුත් අනි­වා­ර්ය­යෙන්ම වැල­ඳෙන්නේ නැහැ. සීත දේශ­ගු­ණ­යක් පව­තින විට ළම­යින් අතර ළමා හතිය වැඩි වශ­යෙන් ව්‍යාප්ත වෙනවා.

    ළමා හති­යට ගොඳුරු වූ දරු­වෙකු බලා ගන්නේ කොහො­මද ?

    ළමා හතිය කලක් සිටම තිබෙන දරු­වෙක් නම් එම දරුවා සතුව ඉන්හේ­ලර් (inhaler) එකක් බොහෝ විට තිබෙ­නවා. ළමා හතිය තිබෙන සම­හර දරු­වන්ට දින­පතා භාවිත කිරී­ම­ටත් බෙහෙත් තිබෙ­නවා වෙන්න පුළු­වන්. ඒ බෙහෙත් ලබා­දෙ­න්නෙත් ඉන්හේ­ලර් එක හර­හාම තමයි. කැස්ස හා හුස්ම ගැනීම අප­හසු විට භාවිත කිරී­මට සැල්බි­යු­ට­මෝල් කියා බේතක් තිබෙ­නවා. නි‍ෙව­සේදී අදාළ උප­දෙස් ලබා දී ඇති මාත්‍රා­වට එම බෙහෙත ඉන්හේ­ලර් එක මඟින් ලබා දෙන්න පුළු­වන්. නමුත් ඉන් සහ­න­යක් ඇති නොවේ නම් හෝ පැය හත­ර­කට වඩා අඩු කාල­ය­කදී ඉන්හේ­ලර් එක භාවිත කිරී­මට සිදු­වෙ­නවා නම් වහාම රෝහ­ලට ගෙන යා යුතුයි. දින­පතා භාවි­ත­යට ලබා දී ඇති බෙහෙත හතිය වැඩි වූ අව­ස්ථා­ව­ල­දීත් එලෙ­සම භාවිත කළ යුතුයි. ඉන්හේ­ලර් එකක් නොමැති දරු­ව­කුට හතිය සෑදුණු විට එම දරුවා වෛද්‍ය­ව­ර­යකු විසින් පරීක්ෂා කර ඉන්හේ­ලර් එකක් අවශ්‍ය ද නැත්නම් මෙම අව­ස්ථා­වේදී රෝහ­ලට ඇතු­ළත් කර දුම් ඇල්ලීම (nebulization) කළ යුතුද යන්න තීර­ණය කළ යුතුයි. හතිය ඇති­වන සෑම අව­ස්ථා­ව­ක­දීම ප්‍රති­ජී­වක ඖෂධ (antibiotics) ලබා­දීම අවශ්‍ය වන්නේ නැහැ. දරුවා පරීක්ෂා කර බැලී­මෙන් පසු ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත බැක්ටී­රියා ආසා­ද­න­යක් පව­තින බවට රෝග ලක්ෂණ පෙන්ව­නවා නම් පම­ණක් ප්‍රති­ජී­වක ඖෂධ ලබා­දිය යුතුයි. දරු­වාට සාමාන්‍ය පරිදි ආහාර ලබා දිය හැකියි. ආහාර රුචිය අඩු නම් අවශ්‍ය ප්‍රමා­ණ­යට බීම වර්ග ලබා­දී­මෙන් විජ­ල­නය වීම වළක්වා ගත හැකියි. බීම සඳහා ජලය, කැඳ, සුප්, ජීවනි වැනි පාන­යන් ලබා­දිය හැකියි. හතිය ඇති අව­ස්ථා­ව­ලදී ඉතාම අප­හ­සු­වෙන් හුස්ම ගන්නේ නම්, හුස්ම ගන්නා විට පපුවේ කැක්කුම ඇත්නම්, සම්පූර්ණ වාක්‍ය­යක් කතා කර ගැනී­මට නොහැකි නම් වහාම රෝහල වෙත රැගෙන යා යුතුයි.

    නි‍ෙවසේ ඇති­ක­රන සුර­තල් සතුන් ළමා හතිය සඳහා හේතු වෙන­වද ?

    සෑම දරු­වෙ­කු­ටම සතුන්ගේ ලෝම එක ලෙස බල­පාන්නේ නැහැ. සම­හර දරු­වන් සතුන්ගේ ලෝම­ව­ලට අසා­ත්මි­ක­තා­ව­යක් පෙන්ව­නවා. එම දරු­වන්ගේ හතිය වැඩි­වී­මට සතුන්ගේ ලෝම හේතු වෙන අවස්ථා තිබෙ­නවා.

    ළමා හතිය නිසි ප්‍රති­කාර හා ඖෂ­ධ­ව­ලින් සම්පූ­ර්ණ­යෙන් සුව කළ හැකිද ?

    ළමා හතිය නිසි ප්‍රති­කාර මඟින් හොඳින්ම පාල­නය කර­ගන්න පුළු­වන්. නමුත් එක­ව­රම සුව කිරී­මක් බෙහෙ­ත්ව­ලින් බලා­පො­රොත්තු වෙන්න බැහැ. ළමා හතිය කාල­යත් සමඟ දරු­වා­ගෙන් ඈත්වී යාම බොහෝ අව­ස්ථා­වල දකි­න්නට ලැබෙ­නවා. සුළු පිරි­ස­කගේ ළමා හතිය වැඩි­හිටි අව­ධිය දක්වාම තිබෙ­නවා. නමුත් මෙය ඖෂධ මඟින් පාල­නය කර­ගන්න පුළු­වන්. එවිට දරු­වාට සාමාන්‍ය ජීවන රටා­වක් ගත කරන්න පුළු­වන් වෙනවා.

    ළමා හතිය වළක්වා ගන්නේ කෙසේද ?

    මෙහිදී දරු­වාට හතිය ඇති­වී­මට හේතු­වන සාධක පාල­නය කර ගැනීම ඉතා වැද­ගත් වෙනවා. දුම්පා­නය කරන පරි­ස­ර­යක් ඇත්නම් දරුවා දුමට නිරා­ව­ර­ණය නොකි­රීම, රථ­වා­හන දුම, මහා­මාර්ග දූවිලි ආසන්න පරි­ස­ර­යක නම් දරුවා එයින් දුරස් කිරීම, අධික ශීතල තත්ත්ව­යක් ඇත්නම් දරුවා එම සීත­ලට නිරා­ව­ර­ණය නොකි­රීම, දරුවා නිදන කාම­ර­යට හොඳින් ඉර එළිය ලැබෙ­න්නට සැලැ­ස්වීම, දරු­වාගේ කොට්ට, මෙට්ට, ඇති­රිල්ලි සහ මදුරු දැල් දූවිලි නොමැති සේ පිරි­සි­දුව තැබීම වැනි දේ අපට කරන්න පුළු­වන්. ඒ වගේම සම­හර දරු­වන්ට ව්‍යායාම් කිරී­මේදී හතිය නිසා අප­හ­සු­තා­ව­යක් ඇති වෙන්න පුළු­වන්. ව්‍යායාම හෝ ක්‍රීඩා කිරී­මට ප්‍රථම සැල්බි­යු­ට­මෝල් ඉන්හේ­ල­රය භාවි­ත­යෙන් ව්‍යායාම කිරී­මේදී ඇති­වන ශ්වසන අප­හ­සුතා අඩු කර­ගැ­නී­මට පුළු­වන්. ඉන්හේ­ලර් භාවි­තය පිළි­බ­ඳව සමා­ජය තුළ වැරදි මත පව­ති­නවා. ඉන්හේ­ලර් දිග­ටම භාවි­ත­යෙන් දරු­වාගේ හති රෝගය ඉන්හේ­ලර් නොමැ­තිව පාල­නය කර කර­ගත නොහැකි තත්ත්ව­යට පත්වෙ­නවා කියා මත­යක් සමා­ජය තුළ තිබෙ­නවා. සම­හර දෙම­වු­පි­යන් මෙය අර්ථ දක්වන්නේ ඉන්හේ­ල­ර­යට ඇබ්බැහි වීමක් ලෙසයි. මෙය සත්‍ය ප්‍රකා­ශ­යක් නෙවෙයි. ඉන්හේ­ලර් භාවි­තය මඟින් දරු­වාට බොහෝ වාසි සැල­සෙ­නවා. ඇත්ත වශ­යෙන්ම ඉන්හේ­ලර් මඟින් ලබා­දෙන බෙහෙ­ත්වල අතුරු ප්‍රති­ඵල අඩුයි. ඉන්හේ­ලර් එක දිගට උදේ හවස ලබා දෙන්නත් එලෙස ලබා දෙන බෙහෙත් ස්ටීරො­යිඩ් (steroid) කාණ්ඩයේ බෙහෙ­තක් වීම නිසා දෙම­වු­පි­යන් නිත­රම බිය වෙනවා. නමුත් ඉන්හේ­ලර් මඟින් ලබා දෙන මාත්‍රාව ඉතාම කුඩයි. එය ලබා දෙන්නෙත් පෙණ­හලු තුළට පම­ණයි. එම­ඟින් ශරී­ර­යට බල­පාන අතුරු ප්‍රති­ඵල ඇති­වෙන්නේ නැහැ. හතිය නිතර නිතර උත්සන්න වීමට ඉඩ හැරී­මෙන් එම කාණ්ඩයේ බෙහෙත් නිතර නිතර බීමට සිදු­වෙ­නවා. ඇත්ත­ටම ඉන් ඇති­විය හැකි අතුරු ප්‍රති­ඵල පිළි­බ­ඳව බිය විය යුත්තේ. ඉන්හේ­ලර් බෙහෙත් ඉතා ආර­ක්ෂිත සහ ඉන් දරු­වාට ලැබෙන සාමාන්‍ය ජීවන රටා­ව­කට ඉඩ­කඩ සලසා දෙනවා.

    ළමා හති­යෙන් දරු­වන් ආරක්ෂා කර ගැනී­මට දෙම­වු­පි­යන් අනු­ග­ම­නය කළ යුතු කරුණු මොන­වාද ?

    ළමා හති­යෙන් දරු­වන් ආරක්ෂා කර ගැනී­මට අන­වශ්‍ය ලෙස දරු­වන් හිර කර තබා ගැනීම ප්‍රායෝ­ගික නැහැ. ළමා හතිය බෝවෙන රෝග­යක් නොවේ. හතිය තිබෙන දරු­වෙකු නම් ලබා දී ඇති ඉන්හේ­ලර්, උප­දෙස් දී ඇති මාත්‍රා­වෙන් හරි ආකා­රව පාවිච්චි කිරී­මයි කළ හැකි හොඳම දේ. ළමා හතිය ඇති දරු­ව­කුට ප්‍රති­කාර ලබා­දෙ­මින් රෝගී තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කිරී­මට වඩා ළමා හතිය පාල­නය කර­ග­නි­මින් දරුවා රැක­බලා ගැනීම පවුලේ වග­කී­මක් වෙනවා.

    ළමා හති­යට නිසි ප්‍රති­කා­ර­ව­ලට යොමු නොකි­රීම හේතු­වෙන් දරු­වන්ට සිදු විය හැකි බල­පෑම කෙබ­ඳුද ?

    මේ ඉතාම වැද­ගත් ප්‍රශ්න­යක්. ළමා හතිය විෂ­බී­ජ­යක් නිසා හට­ගන්නා රෝගී තත්ත්ව­යක් නෙවෙයි. නමුත් මා කලින් සඳ­හන් කළා වගේ ශ්වසන පද්ධ­තිය ආශ්‍රිත වයි­රස, හතිය තිබෙන දරු­වන්ගේ හතිය නැවත මතු­ක­ර­වන්න දායක වෙනවා. හතිය පාල­නය කර ගැනී­මට ඉන්හේ­ලර් භාවි­තය ඉතා­මත් වැද­ගත්. නිසි මාත්‍රාව හා නිවැ­රදි පිළි­වෙ­ළට එය කළ යුතු වෙනවා. ළමා හතිය පාල­නය කර නොග­ත­හොත් නිත­රම හතිය උත්සන්න වී රෝහ­ල්ගත වීමට සිදු­වෙ­නවා. තවද රාත්‍රී නින්දට බාධා පැමි­ණෙ­නවා. එය දරු­වාගේ උස යාමට බල­පා­නවා.

    නිත­රම රෝගා­තුර වන නිසා ශරී­ර­යට ලැබෙන පෝෂ­ණය අඩාළ වෙනවා. එයින් දරුවා කෘෂ වෙනවා. හතිය පාල­නය කර නොගත් දරු­වාට හොඳින් සෙල්ලම් කරන්න නොහැකි වෙනවා. නිත­රම පාසල් ගම­නට බාධා ඇති වෙනවා. හතිය ඉතාම දැඩිව උත්සන්න වුව­හොත් එය පාල­නය කර ගැනී­මට පවා අප­හසු වෙන්න පුළු­වන්. ඉන් ජීවිත තර්ජන ඇති­වෙන අවස්ථා පවා තිබෙ­නවා. එබැ­වින් ළමා හතිය නිසි ප්‍රති­කාර තුළින් පාල­නය කර ගැනීම ඉතා වැද­ගත් කාර­ණ­යක්. ඔබේ දරු­වාට හතිය රෝග තත්ත්ව තිබෙ­නවා නම් ඒ වෙනු­වෙන් සුදු­සු­ක­ම්ලත් වෛද්‍ය­ව­ර­යෙ­කු­ගෙන් ප්‍රති­කාර ලබා ගැනීම ඉතා වැද­ගත්.

    හතිය ශ්වස­න­යට සම්බන්ධ නිසා දරු­වාට හුස්ම ගැනීමේ අප­හ­සු­තා­ව­යක් ඇති කර­නවා. එනිසා දරු­වාට හතිය සම්බන්ධ රෝග ලක්ෂණ තිබෙ­නවා නම් මුල් අව­ස්ථාවේ පටන්ම ප්‍රති­කාර ලබා­දීම ඉතා වැද­ගත්.

    සාකච්ඡා සට­හන – රුවන් පුෂ්ප කුමාර සන්නි­වේ­දන හා මාධ්‍ය ඒක­කය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය – දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments