ආචාර්ය ගැමුණුපුර සෝමවංශ හිමි
පවුල් සංස්ථාව දෙදරා යෑම, දුරස් වූ මවුපිය දූ දරු සම්බන්ධය, දහම් අධ්‍යාපනය යනාදී කරුණු කාරණා පිළිබඳ තලවතුගොඩ ගනේලන්ද රාජමහා විහාරාධිපති, පන්නිපිටිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේණාධිපති, පන්නිපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, ආචාර්ය ගැමුණුපුර සෝමවංශ හිමියන් සමඟ කළ සාකච්ජා සටහන මෙසේ දක්වමු.
l ස්වාමීන් වහන්ස, වර්තමාන සමාජයේ පවුල් සංස්ථාව දෙදරා යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුමන කාරණාවක් කියා ඔබ වහන්සේ විශ්වාස කරනවා ද?
බුදු දහමට අනුව පවුල් සංස්ථාව කියන්නේ ස්ථාවර ස්වාභාවයක්. ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක් විවාහ කර ගත්තාම මැරෙනතුරු එකට ජීවත්වෙනවා කියන හැඟීම ඇති කරගෙන තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. නමුත් සමාජයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා සමහර වෙලාවලදී ඒ පවුල් සංස්ථා දෙදරා යනවා. මේ සඳහා ප්‍රශ්න රාශියක් බලපානවා.
එකක් මිනිසුන් තුළ පවතින අසීමිත ආසාව. එනිසා එක රාමුවක ජීවත්වීමට ඔවුන් කැමැති නෑ. ඒ රාමුවෙන් පිට පනින්න යනවා. එතැනදී ගැටලුකාරී තත්ත්වයක් මතු වෙනවා. ශික්ෂණය ගොඩනඟා ගැනීමට බැරි නම්, දරා ගැනීමේ හැකියාව නොමැති නම් තමා අර රාමුවෙන් පිටපනින්නේ. එක තැනකදී තමන්ට සෑහීමකට පත් වෙන්න බැරි වෙනවා. එනිසා එතැනින් පිට පනින්න ගියාම පවුල් සංස්ථාව දෙදරා යනවා.
මෙය සමාජීය තත්ත්වයක් හැටියට සමස්ත ලෝකයේම තියෙන ස්වභාවයක් හැටියට දකින්න පුළුවන්. නමුත් මෙය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. ආගමානුකූල පරිසරය දිහා බැලුවත් මෙය වෙනස් වෙනවා. නමුත් බුදු දහමේ තියෙන්නේ එක සීමාවක්. ඒ සීමාවෙන් පිට පනින්න බෑ. එනිසා ඕනෑවට වඩා ආසාවල් පොදි බැඳගෙන ඒ ආසාවල් සංතෘප්ත කර ගන්න යන්න ඉඩ නෑ. එසේ යෑමෙන් විශාල හානි සිදු වෙනවා. එම හානි බලපාන්නේ එක් පුද්ගලයකුට පමණක් නොවේ. එතැනින් ඔබ්බට ගියාම ස්වාමියා නම් බිරියට, දරුවන්ට, ඥාතීන්ට මෙය බලපාන්න පුළුවන්. ඔය සමාජ තත්ත්වයත් සමඟ සලකා ධර්මය තුළින් උගන්වන ශික්ෂණයට පිටුනොපා යම් කෙනකුට තමන්ගේ ආසාවල් සඳහා පවතින සීමාවන් දැනගෙන ඒ සීමාවන්ගෙන් ඔබ්බට නොගොස් කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා කියන්නේ එතැන එක්තරා ඉවසීමක් ඇති වෙලා තියෙනවා කියන එකයි. ඉවසීම තුළිනුයි රැකවරණය ලැබෙන්නේ.
ඊළඟ කාරණය ආර්ථික ප්‍රශ්න. මෙයිනුත් පවුල් සංස්ථාව දෙදරා යනවා. අගහිඟකම් වැඩි වන විටත්, තමන් බලාපොරොත්තු වන දේ නොලැබෙන විටත් අපි ඉවසීම පුරුදු විය යුතුයි. සමහරුන් තමාට තිබෙන සම්පත් ටික කළමනාකරණය කර ගන්නේ නැතිව වැඩි බලාපොරොත්තු ඇති කරගෙන ණය වෙනවා. එතැනිනුත් වන්නේ හානියක්. මෙහිදීත් ඉවසීම සාර්ථකව ගොඩනැඟුවොත් එන ප්‍රශ්න නිරාකරණය කරගැනීමේ හැකියාව තිබෙනවා.
අනෙක් කාරණය පුද්ගලයාගේ මනස තුළ වර්ධනය වන සිතුවිලි. ක්ෂණික කේන්තිය, විශ්වාසය නොමැතිකම, සැකය ආදිය පදනම් කරගෙන සමහරවිට පවුල දෙදරා යනවා.
මේ කාරණා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සඳහන් කර තිබෙනවා. මේ කාරණා සියල්ල එකට සම්පිණ්ඩනය කර බැලුවාම පවුල් සංස්ථාවට යම්කිසි රැකවරණයක් ලබා දෙන්න නම් තමන් තුළ ගුණධර්ම වර්ධනය කර ගත යුතුයි. ගුණධර්ම වර්ධනය කරලීම ධර්මයේ උගන්වනවා. “නකුල මාතා නකුල පිතා” වැනි කතා ප්‍රවෘත්ති ගත්තාම එහි තියෙනවා, සම සීල, සම සද්ධා, සම ත්‍යාග සහ සම ප්‍රඥා කියලා කාරණා හතරක්. මේවා ස්වාමියා සහ බිරිය අතර එක මට්ටමින් වර්ධනය විය යුතුයි. එවගේම මොවුන් දෙදෙනො අතර විශේෂ බැඳියාවක් තිබිය යුතුයි. මේ දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයක් ගොඩනැඟෙන්න බෑ.
l ස්වාමීන් වහන්ස, වර්තමානයේ තිබෙන කාර්යබහුලත්වය නිසාම මවුපියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධය දුරස් වෙලා. එනිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් අපි නිරන්තරයෙන් අහනවා. මේ සඳහා විසඳුම් ධර්මයේ විග්‍රහ කෙරෙන්නේ කෙසේද?
අද මවුපියන් ඉන්නේ ජීවන අරගලයක. එනිසා අම්මයි තාත්තයි දෙන්නම රැකියා සඳහා යොමු වෙලා. එසේ නොකළොත් පවුල නඩත්තු කරගැනීමට නොහැකි තත්ත්වයක් තියෙන්නේ. පැරණි සමාජය මීට හාත්පසින්ම වෙනස්. අම්මා ගෙදර, තාත්තා ගොවිතැන් කරනවා. අම්මා ඒවාට සම්බන්ධ වෙනවා. නමුත් අද අපට කාලය කළමනාකරණය කර ගැනීමට බැරිවී තිබෙනවා. මම දෙන විසඳුම තමයි අම්මයි, තාත්තයි, දරුවොයි දවසේ යම් වෙලාවක් එකට කටයුතු කළ යුතුයි. පැරණි සමාජය තුළ අම්මයි, තාත්තයි, දරුවොයි එකට බුදුන් වැන්දා. අඩුම ගානේ රාත්‍රී කෑම ගන්න වෙලාවෙවත් ගෙදර ඔක්කොම එකතු වුණා. ඒ වෙලාවෙදී ඒ අයට තියෙන ප්‍රශ්න කතා කළා. ඒවාට විසඳුම් ලැබුණා. අදත් එවැනි දෙයකට යොමු වෙන්න පුළුවන් නම් මේ ගැටලු රැසකට විසඳුම් ලැබෙනවා. අද වෙලා තියෙන්නේ දරුවන්ගේ ප්‍රශ්න අහන්න මවුපියන්ට වෙලාවක් නෑ. එනිසා ඔවුන් තනියම විසඳුම් සොයන්න පෙළඹෙනවා. දරුවෝ හැදුවට වැඩක් නෑ, දරුවන්ගේ ගැටලු කෙරෙහි අපි අවධානය යොමු නොකළොත්. එනිසා අඩුම ගානේ දවසේ පැයක්වත් දරුවන් සහ මවුපියන් එකට කටයුතු කළ යුතුයි. එසේ නොවුණාම දරුවන්, මවුපියන්ගෙන් දුරස් වෙනවා. මවුපියන්ගේ සෙනෙහස, රැකවරණය දරුවන්ට ලැබිය යුතුමයි. දරුවන්ට උගන්වා සමාජයේ ඉහළ තැන්වලට යැව්වාට වැඩක් නෑ ඔවුන්ට ගුණධර්ම පුරුදු කර නැත්නම්.
l ස්වාමීන් වහන්ස, දරුවන් දහම් අධ්‍යාපනයට යොමු කිරීමෙන් අද මවුපියන් තරමක්දුරට ඈත් වෙලා. මෙයත් ප්‍රශ්න රැසකට හේතුවක් නේද?
දහම් පාසල් ළමයින් නොඑන්න හේතුවක් වෙලා අමතර පන්ති පැවැත්වීම. රජයට බලපෑම් කරනවා ඉරිදා දවස්වල මේ වෙලාවට අමතර පන්ති නවත්වන්න, පෝය දවසේ අමතර පන්ති නවත්වන්න කියලා. මේ කටයුත්ත කරන්නේ දරුවා ආගමානුකූල පරිසරයකට යොමු කිරීමට. මෙහෙම රජයට බලපෑම් කරලා, නීති දාලා මේවා නැවැත්තුවත් අපට පුළුවන් ද මවුපියෝ යන මේ ගමන නවත්වන්න. බෑ. පොදු පන්තියක් අපට නවත්වන්න පුළුවන් වෙයි. ඒත් පස්සේ අම්මයි තාත්තයි කරන්නේ ගුරුවරයා ගෙදරට ගෙනත් උගන්වන එක. එතකොට අපි බලාපොරොත්තු වන දේ ඉෂ්ට වෙන්නේ නෑ. මේ ක්‍රමවේදයේ වරද තියෙන්නේ මවුපියන් අතේ.
මවුපියන්ට අවශ්‍ය කරන්නේ දරුවා ගුණ ධර්මවලින් පිරුණු දරුවකු කිරීමට නොවේ. දරුවා අධ්‍යාපනයෙන් කොතරම් ඉහළට ගියත් වැඩක් නෑ ඔහුගේ ගුණ ධර්ම පැත්ත පිරිහිලා නම්. දරුවාට ගුණධර්ම පුහුණු කර, ඔහුගේ මනස නිරවුල් කර, අලුත් දෙයක් ගැන සිතීමට අවශ්‍ය වටපිටාව සකසා දිය යුතුයි. මේ අධ්‍යාපන ක්‍රමයෙන් එය සිදු වන්නේ නෑ. ළමයින් පීඩනයෙන් නිදහස් කර, මානසික සුවය ඇති කර ඉදිරියට ගෙන යෑමේ සුවිශේෂී කාර්යභාරය මවුපියන් සතු වගකීමක්.
දිල්හානි ජයවර්ධන – දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි