මුල් වරට අසභ්‍ය දර්ශන නැරඹීමට පටන් ගන්නා විට ෂෝන් ෆ්ලෝරස්ගේ වයස අවුරුදු 11කි. ඒ, මිතුරෙකු විසින් ඔහුට ඒවා හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ය.
“හරි ඉක්මනට මම ඒවාට පුරුදු වුණා,” දැන් 30 හැවිරිදි වියේ පසුවන ඔහු පවසයි.
“මට නිකම් ඒක, වාව් කියලා හිතුනේ. මිනිස්සු මොනවා ද ඒ කරන්නේ, උපරිමයෙන් සතුටු වේවි.”
ෂෝන්ගේ කුතුහලය ඉක්මනින් නතර කිරීමට අපහසු දෙයක් බවට පත් විය. ඔහු උදේ, දවල් සහ රෑ අසභ්‍ය චිත්‍රපට නැරඹූ ආකාරය විස්තර කරන්නේ, “දත් මදින එක වගේ පුරුද්දක්” වූ බව ද පවසමිනි.
“මට කිසි දෙයක් කරගන්න ශක්තියක් නැති වෙද්දී මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම තේරුම් ගත්තා,” ඔහු පවසයි. “මට ෆුට්බෝල් ප්ලේ කරන්නවත් ඕනේ වුණේ නැහැ, මට ඕනේ වුණේ ඇතුළකට වෙලා ඉන්න. ඒත් ඒකත් එක්ක ආවා වරදකාරී හැඟීමයි, ලැජ්ජාවක් තිබුණා. මම මොන උත්සහය ගත්තත් මට ඒවා බලන එක නතර කරගන්න බැරි වුණා. ඒ වෙලාවේ තමයි මට එතන මොනවා හරි දෙයක් තියෙනවා කියලා හිතුණේ.”
අසභ්‍ය දර්ශන නරඹන සෑම කෙනෙකුට ම ඉන් අහිතකර බලපෑමක් ඇති නොවුණ ද ෂෝන් ඔහුගේ මෙම නැරඹීමේ පුරුදු තුළ තනිව වී නැත.
Ofcomහි ඔන්ලයින් නේෂන් 2024 වාර්තාව යෝජනා කරන්නේ, 2024 මැයි මාසයේදී එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් 29%ක් මාර්ගගත අසභ්‍ය දර්ශන වෙත ප්‍රවේශ වූ බව ය. මීට අමතරව, UKAT නමැති ඇබ්බැහි වීම් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයේ නව පර්යේෂණවලින් පෙනී යන්නේ, මිලියන ගණනක් බ්‍රිතාන්‍යයන් නිතිපතා අසභ්‍ය දර්ශන නරඹන බව ය. එනම්, දිනකට මිලියන 1.8ක් ඒවා නරඹන අතර ඇතැමෙක් දිනකට කිහිප වතාවක් නරඹති.
ප්‍රතිකාර කරන්නන්ට අනුව, ගැටලුසහගත අසභ්‍ය දර්ශන නැරඹීමේ පුරුද්ද සඳහා බොහෝ පිරිසක් උපකාර පතති. ලන්ඩනයේ ලෝරල් මධ්‍යස්ථානයේ UKCP-අනුබද්ධිත ලිංගික සහ සම්බන්ධතා මනෝචිකිත්සකවරියක වන වෛද්‍ය පෝලා හෝල්, ලිංගික ඇබ්බැහිවීම් සහ අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහිවීම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයින්ට උපකාර කිරීමේ කාර්යයේ විශේෂඥයෙකි.
“ලෝරල් මධ්‍යස්ථානයේ අසභ්‍ය දර්ශන ගැටලු සඳහා උපකාර පතන සේවාදායකයින්ගේ සංඛ්‍යාව වගේ ම, ඒ ගැන තවත් පුහුණු වෙන්න අපේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන ඉල්ලීම් පවා මෑත වසරවලදී දෙගුණයක් වෙලා තියෙන්නේ,” ඇය බීබීසී වෙත පවසයි.
වෛද්‍ය හෝල් පැහැදිලි කරන්නේ, උපකාර පතන වයසින් අඩු පුද්ගලයින් සංඛ්‍යාවේ ද ඉහළ යාමක් ඔවුන් නිරීක්ෂණය කර ඇති බව ය.
“අවුරුදු දහයකට කලින් අපි ගාවට ආව අයගෙන් වැඩි දෙනෙක් අවුරුදු 40 සහ 50 වගේ හිටපු බැඳපු පිරිමි අය, තමන් ලිංගික ශ්‍රමිකයන් ඇසුරු කරනවා කියලා ඒ අයගේ සහකරු/සහකාරියට අහු වුණු අය,” ඇය පවසයි.
“නමුත් දැන් 20 සහ 30 ඉන්න අපේ සේවාලාභීන් වැඩි වෙමින් තියෙන්නේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තනිකඩයි. අසභ්‍ය දර්ශන ඒ අයගේ ජීවිතවලට නරක විදිහට බලපාලා කියලා සහ සබඳතාවක් පටන් ගන්න හරි පවත්වාගෙන හරි යන්න ගැටලු තියෙනවා කියලා අඳුන ගත්ත අය.”
‘එක පාරක් පටන්ගත්තොත් ඒක නතර කරගන්න අමාරු දෙයක්’
UKAT මධ්‍යස්ථානයේ ප්‍රධාන චිකිත්සක ලී ෆර්නැන්ඩස් ද පවසන්නේ මෑත වසරවලදී ගැටලුසහගත අසභ්‍ය දර්ශන නැරඹීම සඳහා ඔවුන් ප්‍රතිකාර කරන පුද්ගලයින් සංඛ්‍යාව “සැලකිය යුතු ලෙස” ඉහළ ගොස් ඇති බව ය. අසභ්‍ය දර්ශන නැරඹීම සමග අරගල කරන පුද්ගලයින්ගෙන් උපකාර ඉල්ලා ඔවුන්ට දැන් දෛනිකව බහුවිධ විමසීම් ලැබෙමින් තිබේ. 2020ට පෙර එය සතියකට විමසීම් එකක් හෝ දෙකක් විය.
තාක්‍ෂණයේ දියුණුව සහ ඉන් පසුව අසභ්‍ය දර්ශන වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වීම, සෑම වයස් කාණ්ඩයක ම පුද්ගලයින්ට ඉන්ටර්නෙට් හරහා ලිංගික අන්තර්ගතයන් වෙත ප්‍රවේශ වීම පහසු කරන බව ෆර්නැන්ඩස් පැහැදිලි කරයි. ඔහු විශ්වාස කරන්නේ, තමා අත්විඳ ඇති පරිදි තම මධ්‍යස්ථානය උපකාර පතා එන පුද්ගලයින්ගේ වැඩි වීමට දායක වන බව ය.
“වයස අවුරුදු 12ක් වුණත් 60ක් වුණත් කෙනෙකුට තමන්ගේ ෆෝන් එක එළියට අරන් වෙබ්සයිට් එකකට ගිහින් අසභ්‍ය දර්ශන බලන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි,” ඔහු පවසයි. “ඒක කණගාටුවට කාරණාවක්.”
ෆර්නැන්ඩස් පවසන පරිදි, ඉන්ටර්නෙට් හරහා අසභ්‍ය දර්ශන නැරඹීමට ඇති වෙනත් හේතු අතර කුතුහලය, කම්මැලිකම, මානසික ආතතිය සහ ලිංගික තෘප්තිය නොමැතිකම ඇතුළත් වේ. මෙම හේතූන් නිසා අසභ්‍ය දර්ශන නැරඹීම ආරම්භ විය හැකි අතර, ෆර්නැන්ඩස් එය විස්තර කරන්නේ එය “ඉතා ඇබ්බැහි වූවක්” ලෙස ය.
“ඒක ඩොපමයින් රිවෝඩ් සිස්ටම් එක සංසිදුවනවා,” ඔහු පැහැදිලි කරයි. “එක පාරක් පටන් ගත්තොත් ඒක නතර කරන්න අමාරුයි.”
‘අසභ්‍ය දර්ශන තවදුරටත් වැඩිහිටි අන්තර්ගතයන් ඇති වෙබ් අඩවිවලට පමණක් සීමා වෙන්නේ නැහැ’
කෙසේ වෙතත්, ගැටලුසහගත අසභ්‍ය දර්ශන නැරඹීම ඇබ්බැහි වීමකට සමාන කළ හැකි නමුත්, එය එවැනි තත්ත්වයක් ලෙස හඳුනා නොගනී. ඒ වෙනුවට, එය ‘problematic online pornography (POPU)’ හෝ අත්හළ නොහැකි හැසිරීමක් (compulsive behaviour) ලෙස වර්ගීකරණය කර ඇත.
අසභ්‍ය දර්ශන සමග මෙවැනි සම්බන්ධතාවක් ගොඩනගා ගන්නා පුද්ගලයින් සඳහා, ප්‍රතිවිපාක ඍණාත්මක විය හැකි ය. නිරායාසයෙන් ම ලැබෙන, අසභ්‍ය දර්ශන තම ඇඟිලි තුඩු අසල ඇතිව වැඩෙන සමාජයක සිටින ළාබාලතම ප්‍රජාවට නිසි වයසට පෙර ඒවාට නිරාවරණය වීමෙන් ඇතිවන බලපෑම විවිධාකාර විය හැක. එංගලන්තයේ ළමා කොමසාරිස් කාර්යාලය දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීමට බැඳී සිටියි.
2023 දී ළමුන්ගෙන් 10%ක් වයස අවුරුදු නවය වන විටත් 27%ක් වයස අවුරුදු 11 වන විටත් අසභ්‍ය දර්ශන නරඹා ඇති බව එම කාර්යාලයේ නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
“පොඩි අය මාත් එක්ක කියන්නේ අසභ්‍ය දර්ශනවලට එයාලා නිරාවරණය වීම පුළුල් සහ සාමාන්‍යයි කියලා. ඒ කියන්නේ දරුවන් මුලින් ම අසභ්‍ය දර්ශන නරඹන සාමාන්‍ය වයස අවුරුදු 13 කියලා,” වත්මන් ළමා කොමසාරිස් ඩේම් රේචල් ඩි සූසා බීබීසීයට පවසයි.
“අසභ්‍ය දර්ශන තවදුරටත් වැඩිහිටි වෙබ් අඩවිවලට විතරක් සීමා වෙන්නේ නැහැ – සමාජ මාධ්‍යවල බලහත්කාර, පහත් හෝ වේදනාව ඇති කරන ලිංගික ක්‍රියා නිරූපනය කරන ප්‍රචණ්ඩ අන්තර්ගතයන් දකින්න ලැබෙනවා කියලා දරුවෝ මට කියනවා.”
“මේ වගේ දේවල් දකින එකෙන් ලැබෙන ඇඟවීම් විශාලයි – මගේ පර්යේෂණයෙන් හොයා ගත්තේ නිතර අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයින් ශාරීරිකව ආක්‍රමණශීලී ලිංගික ක්‍රියාවල යෙදීමට වැඩි ඉඩක් තියෙනවා.”
අසභ්‍ය දර්ශන යථාර්ථවාදී නොවන බව යෞවනයන්ට තේරුම් ගැනීමට උපකාර කිරීමට උසස් තත්ත්වයේ සබඳතා සහ ලිංගික අධ්‍යාපනය සඳහා අනෙකුත් විෂයයන් සමග සමානව වැදගත්කමක් ලබා දීම “අත්‍යවශ්‍ය” බව ඩි සූසා වැඩිදුරටත් පවසයි. අත්හළ නොහැකි ලිංගික හැසිරීම්වලට ප්‍රතිකාර කිරීම පිළිබඳ විශේෂඥ මනෝචිකිත්සකවරයෙකු වන සිල්වා නෙවීස් ද ඊට එකඟ වෙමින් පවසන්නේ ළාබාල වියේදී ම අසභ්‍ය දර්ශන නැරඹීම අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව ය.
කෙසේ වෙතත්, තරුණ තරුණියන්ට ගුණාත්මක ලිංගික අධ්‍යාපනයක් නොලැබීම ඔවුන් වෙනත් තැන්වල තොරතුරු සෙවීමට හේතු වන බව ඔහු අවධාරණය කරයි.
“ඊට පස්සේ එයාලා රෝම නැති ස්ත්‍රී ලිංගික අවයව දකිනවා,” ඔහු පවසයි. “අඟල් 9ක් දිග පුරුෂ ලිංග දකිනවා. මිනිත්තු 30ක් විතර හුස්ම හිර කරගෙන කර්කශ විදිහට ලිංගිකව හැසිරෙනවා දකිනවා. මේ හැමදේ ම දැකලා එයාලා හිතනවා, ‘හරි, එහෙනම් මේක තමයි සෙක්ස් කියන්නේ. නමුත් අසභ්‍ය දර්ශන වෙත ඇඟිල්ල දිගු කරලා අසභ්‍ය දර්ශන තමයි ප්‍රශ්නය කියලා කියන එක වඩා පහසුයි.”
26 හැවිරිදි කෝට්නි ඩැනියෙලා බෝටෙන්ග් මුලින් ම අසභ්‍ය දර්ශන නැරඹීමට පටන් ගත්තේ ඇය ප්‍රාථමික පාසලේ සිටියදී ය.

ඒවා නැරඹීමට ඇය අර්ධ වශයෙන් මෙහෙයවනු ලැබුවේ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම ය. පාසලේදී ලිංගික අත්දැකීම්වලට වඩා ප්‍රජනනය පිළිබඳ ජීව විද්‍යාව කෙරෙහි අවධානය යොමු කළ බව ඇය පැහැදිලි කරයි.
ඇය පවසන්නේ, එය වටා ඇති බව පෙනෙන්නට තිබූ තහනම එය තේරුම් ගැනීමට උත්සහ කිරීම වඩාත් ආකර්ෂණීය කළ බව ය.
“මම අන්තිමට සෙක්ස් වීඩියෝස් හොයා ගෙන ගියා,” ඇය පැහැදිලි කරයි. “ඒක හරි ලොකු දොරක් අලුත් ම ලෝකයකට යන්න ඇරිලා තිබුණ.”
‘අසභ්‍ය දර්ශන මා තුළ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ඇති කළා’
කෝට්නි ඒවා ඉඳහිට නැරඹීමට පටන් ගත්තා ය. ඇතැම් විට සති අන්තයේ හෝ ඉඳහිට පාසල් යාමට පෙර ඇය ඒවා නැරඹුවා ය. නමුත් පසුව එය සෑම දිනක ම පාහේ සිදු වූ බව ඇය පවසයි.
“ඒ වෙලාවේ තමයි මෙකෙන් මගී ජීවිතයට ඍණාත්මක බලපෑමක් ඇති වෙනවා කියලා තේරුම් ගත්ත. මොකද මම නිතර ඒවා බලපු නිසා,” ඇය පවසයි.
කර්ට්නිට වයස අවුරුදු 18දී ඇගේ කන්‍යාභාවය අහිමි විය. ඇය එම අත්දැකීම විස්තර කරන්නේ “භයානක” අත්දැකීමක් ලෙස ය.
“වීඩියෝවල දැක්ක වගේ ඇත්ත ජීවිතය එක්ක ඒ අත්දැකීම කිසි ම මොහොතක ගැලපුණේ නැහැ. මම අසභ්‍ය වීඩියෝ බලලා, නැත්නම් ස්වයං වින්දනයේ යෙදෙද්දී දැනුණා වගේ, ඇය පවසයි.
ඇය අසභ්‍ය දර්ශන මත සෞඛ්‍ය සම්පන්න නොවන ලෙස යැපෙන ඇති බව කර්ට්නි අවසානයේ තේරුම් ගත්තා ය.
“මට මේ පුරුද්ද ඇත්තට ම නතර කරගන්න පුළුවන් වේවි ද කියලා මම මගෙන් ම ප්‍රශ්න කළා. ඒත් අන්තිමට මට මාව අසරණයි කියලා දැනුණා,” ඇය පැවසීය.
ඇය 20 ගණන්වල මුල් භාගයේදී අසභ්‍ය දර්ශන නැරඹීම නැවැත්වූ අතර ලිංගික කටයුතුවලින් බැහැරව සිටීමට තීරණය කළා ය. ඇය තම පෙම්වතා සමග එකඟතාවකට ද පැමිණියේ විවාහ වන තුරු එම ක්‍රියාවලින් වැළකී සිටීමට ය.

ෂෝන්, ඔහුගේ අසභ්‍ය දර්ශන නැරඹීමේ ඇබ්බැහි වීම නිසා ස්වයං වින්දනයේ යෙදීමෙන් “වෙහෙසට” පත් විය.
“මම හිතන්නේ ඒවායින් [අසභ්‍ය දර්ශන] සිද්ධ වුණ දේ තමයි මගේ ආත්මීය හැඟීම විකෘති කරලා, ලිංගිකත්වය, මගේ ශරීරය හෝ මගේ ශිෂ්ණය ගැන වද වෙන එක ඇති කරපු එක,” ඔහු පවසයි.
කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ බොහෝ දෙනෙකුට අසභ්‍ය දර්ශන සමග සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් ඇති කරගත හැකි බව හඳුනා ගැනීම ද වැදගත් බව ය. නිදසුනක් වශයෙන්, බ්‍රිතාන්‍ය චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලය (BBFC) විසින් කරන ලද පර්යේෂණයකින් ඇඟවෙන්නේ අසභ්‍ය දර්ශන තම ලිංගිකත්වය පිළිබඳ අවිනිශ්චිත තරුණයින්ට තමන්ව වඩා හොඳින් අවබෝධ කර ගැනීමට මාර්ගයක් සපයන බව ය.
“අපි මතක තබාගත යුතු දෙයක් තමයි අසභ්‍ය දර්ශන සමග සෞඛ්‍යයට අහිතකර සම්බන්ධයක් ඇති වෙන්නේ පුද්ගලයාට තේරීමක් සිදු කිරීමට බලය නැති වුණා ම; අසභ්‍ය දර්ශන නරඹන්නේ නැතුව එයාලට තමන්ගේ ජීවිතයේ දෛනික වැඩ කරගෙන යන්න බැහැ,” ෆර්නැන්ඩස් සංවාදය අවසන් කරයි.
“ඔවුන් මෙම තත්ත්වයට පත්වෙලා කියලා හිතන ඕනෑ ම අයෙකුට අපි කියන්නේ වෘත්තීය මට්ටමේ ඉන්න කෙනෙකුගෙන් උපකාර ගන්න කියලා. ඒකෙන් මට වුණේ, ඉගෙන ගත්ත ගොඩක් වැරදි දේවල් අතහරින්න්න,” කෝට්නි පවසයි. “ඇත්තට ම සෙක්ස් කියන්නේ මොකක් ද කියලා මට ඉගෙන ගන්න සිද්ධ වුණා. මට මගේ ශරීරයට ආදරය කරන හැටි ඉගෙන ගන්නවා වගේ ම වෙනත් අය එක්ක මගේ ශරීරය සංසන්දය නොකර ඉන්නත් මට ඉගෙන ගන්න වුණා. මට මිනිස්සුන්ට ආදරේ කරන හැටි ඉගෙන ගන්නත්, ගෑනු සහ පිරිමි දිහා භෞතික වස්තු විදිහට නැතුව දකින්නත් ඉගෙන ගන්න වුණා. ඒ වගේ ම, ඒ අය ලිංගික භාණ්ඩයක් නෙවෙයි, ඒ අයව මිනිස්සු විදිහට දකින්නත් ඉගෙන ගන්න වුණා. මට කාලය ආපස්සට යවන්න පුළුවන් වුණා නම්, මට ඒක පටන් ගන්නේ නැහැ.”
ෂෝන්ට, අත්හැරීම ඔහු මෙතෙක් ගත් “හොඳ ම තීරණවලින්” එකකි.
“මේ ඇබ්බැහියත් එක්ක මට මිනිස්සුත් එක්ක තිබ්බ සම්බන්ධතා දුර්වල වුණා. මම දැන් උත්සහ කරන්නේ මම ආදරේ කරන සහ වදවෙන මිනිස්සුත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න,” ඔහු පවසයි.
සම්පූර්ණ උපුටා ගැනීම – bbc.com/sinhala