Thursday, January 23, 2025
More
    Homeකාන්තා ලෝකයඔබේ සහකරු සමග කොන්ඩම් පිළිබඳව කතා කරන්නේ කෙසේද?

    ඔබේ සහකරු සමග කොන්ඩම් පිළිබඳව කතා කරන්නේ කෙසේද?

    ඔබට කොන්ඩම් අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද?

    යෝනි, ගුද සහ මුඛ සංසර්ග අවස්ථාවලදී කොන්ඩම් භාවිතා කළයුතුය. ඔබ ලිංගිකව එක්වන සහකරුවා ඔබගේම ලිංගිකත්වයකට අයත් හෝ වෙනත් ලිංගිකත්වයකට අයත් හෝ පුද්ගලයන් කිහිපදෙනෙක් සමග හෝ වේවා කොන්ඩම් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.

    කොන්ඩම් පිළිබඳව කතා කිරීම වැදගත් වන්නේ ඇයි?

    කොන්ඩම් භාවිතා කිරීම සෑම කෙනෙකුටම සුවපහසු නොවිය හැකිය. එම නිසා, ඔබගේ සහකරු කොන්ඩම් භාවිතය පිළිබඳව කැමැත්තෙන් හෝ සුදානම්ව සිටිනු ඇතැයි උපකල්පනය නොකළ යුතුය. එබැවින්, ඒ පිළිබඳව කතා කිරීම ඔබ දෙදෙනාම අදාළ තෝරාගැනීම සඳහාත් දෙදෙනාම ලිංගික එක්වීමක් සඳහා එකඟ බවත් ප්‍රකාශ කරයි.

    කොන්ඩම් පිළිබඳ මාතෘකාව ඉස්මතු කළ යුත්තේ කවුද?

    උපත් පාලන ක්‍රම පිළිබඳව කතා කිරීම දෙදෙනාම සතු වගකීමක් වන අතර එය එක පුද්ගලයෙකුට සිමා නොවේ. ඇතැම් සංස්කෘතීන් තුළ උපත් පාලනය වැනි කරුණු පිළිබඳව කතා කිරීම කාන්තාවන්ට වඩාත් දුෂ්කර වන නමුත් දෙදෙනාම වගකීම බෙදාහදා ගැනීම වැදගත් වේ.

    මේ පිලිබදව කතාබහ කිරීමේදී ලැජ්ජාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මේ සංවාදය වඩාත් පහසු කිරීමට ක්‍රම තිබේ.

    • පෙර සංවාදයක යෙදීම: ශාරීරිකව එක්වීමට පෙර මේ පිළිබඳව කතාබහ කරන්න. මේ හරහා ඔබට අවශ්‍ය සුදුසුම පියවර ගැනීමට පහසු වේ.
    • ප්‍රශ්න කරන්න: “ඔයා කොන්ඩම් භාවිතා කරනවාද?” “ඔයා ළග කොන්ඩම් එකක් තියෙනවද?” “ඔයා කැමති මොනවගේ කොන්ඩම්වලටද? රසගන්වා ඇති ඒවාටද? රළු මතුපිටක් සහිත ඒවාටද? වැනි ප්‍රශ්න ඔබට ඇසිය හැකිය.
    • ඔබ ඒ පිළිබඳව කතා කරන්නේ ඇයි දැයි පැහැදිලි කරන්න: ඒ ඔබට ඔහුව අවිශ්වාස නිසා නොවන බව ඔබේ සහකරුවට සහතික කරන්න. ඒ ඔබගේ සහ ඔහුගේ ආරක්ෂාවට බව පැහැදිලි කරදෙන්න.
    • පැහැදිලි සහ සෘජු වන්න: ඔබ දෙදෙනාගේම ආරක්ෂාව සඳහා කොන්ඩමයක් භාවිතා කිරීමට එකඟ වන්නේනම් පමණක් ඔබ ලිංගිකව එක්වන බව සහකරුට පවසන්න.
    • එක්ව සැලසුම් කරන්න: කොන්ඩම් ලබාදෙන්නේ කවුද? ලබා ගත හැක්කේ කොතැනින්ද? යන්න එක්ව තීරණය කරන්න.

    ඔබේ සහකරුවා කොන්ඩම් භාවිතා කිරීමට කැමැත්තක් නොදක්වයි නම් ඒ සඳහා ඔවුන් උනන්දු කරවීමට ක්‍රම කිහිපයක් පහත දක්වා ඇත.

    • කොන්ඩම් භාවිතා කළත් ඔබට ලිංගික එක්විමේ උපරිම තෘප්තිය ලබාගත හැකිය. මෙහිදී රසගන්වා ඇති සහ රළු මතුපිටක් සහිත කොන්ඩම් භාවිතය විනෝදජනක වියහැකි ආකාරයත් ඒ හරහා ඔබ දෙදෙනාටම මුහුණදීමට සිදුවන සෞඛ්‍යමය අවදානම්වලින් තොරවීමට උපකාරවන ආකාරයත් ඔබේ සහකරුට පහදා දෙන්න.
    • කොන්ඩම් භාවිතය එකිනෙකාගේ සෞඛ්‍ය පිළිබඳව දක්වන සැලකිල්ල පෙන්වා දෙයි. කොන්ඩම් භාවිතා කිරීමෙන් පෙන්නුම් කරන්නේ ඔබ ඔබගේත් ඔබේ සහකරුගේත් යහපැවැත්ම පිළිබඳව දක්වන සැලකිල්ලයි.
    • කොන්ඩම් ආරක්ෂාකාරී සහ භාවිතයට පහසුවේ. කොන්ඩම් භාවිතා කිරීමේදී සෞඛ්‍ය අවදානම් නොමැති බව ඔබේ සහකරුවා දැනුවත් කරන්න. එසේම, කොන්ඩම් භාවිතා නොකිරීම අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්.අයි.වී. තත්වයන් ඇතිවීමට හේතුවන බවද දන්වන්න.
    • කොන්ඩම් ඉතා පහසුවෙන් දැරියහැකි මිලකට ලබාගත හැකිය. මේවා රජය විසින් පවත්වාගෙන යන සායනවලින්ද, පවුල් සංවිධාන සංගමය විසින් පවත්වාගෙන යන සායනවලින් හා ඔවුන්ගේ අන්තර්ජාල වෙළඳ ශාඛාව https://www.fpasrilanka.org/en/condoms හරහාද ලබාගත හැකි අතර බොහෝ සුපිරි වෙළඳසැල්වලින් සහ ඔසුසල්වලින් මිලදීගත හැකිය.
    • සියලුම මිථ්‍යාවන්ට අභියෝග කරන්න: ඇතැම් පුද්ගලයන්ට කොන්ඩම් පිළිබඳව වැරදි වැටහීම් ඇත. එනම්, ඒවා භාවිතා කිරීම “පිරිමිකමට” හානියක් යැයි සිතීම හෝ කොන්ඩම් භාවිතයෙන් ලිංගික වින්දනයේ උපරිම සතුට අඩුවනවා යැයි සිතීම ආදියයි. එවැනි මත සත්‍ය නොවන බව ඔවුන්ට පැහැදිලි කිරීමට ඔබට උත්සාහ කළ හැකිය.

    උපුටා ගැනීම – https://www.fpasrilanka.org ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments