Friday, June 13, 2025
More
    Homeක්‍රීඩාහර්ෂිතා – කවීෂා වාර්තාගත සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

    හර්ෂිතා – කවීෂා වාර්තාගත සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

    හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ගෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙය දෙරට අතර එක්දින තරග 24 ක ඉතිහාසයේ ශ්‍රී ලංකාව වාර්තා කරන ලද 6 වැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 21 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්තේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබාදීමෙනි. ඩි ක්ලාර්ක්ගේ පන්දුවකට නිලක්ෂි ද සිල්වා එල්ල කරන ලද පහර ලකුණු හතරක් බවට පරිවර්තනය වීමෙන් පසු ජයග්‍රහණය සනිටුහන් වද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට හෙවත් දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද අවස්ථාව උදාවිය.

    මෙම සුවිශේෂී ජයග්‍රහණයේ නියමුවරිය බවට පත්වූ හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 8 ක් ද සමඟින් පන්දු 93 කදී ලකුණු 77 ක් ලබා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය. ඇයට අමතරව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වීමට දායකත්වය දැක්වූ අනෙක් ක්‍රීඩිකාව වන කවීෂා දිල්හාරි හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් පන්දු 75 කදී ලකුණු 61 ක් ලබා ගත්තාය.

    මෙම සම්බන්ධතාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් මෙතෙක් වාර්තා වන ලද ඉහළම කඩුල්ලේ සම්බන්ධතාව බවට පත්විය. මීට පෙර මෙම කඩුල්ලේ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් සනිටුහන්ව තිබුණේ 2014 වසරේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිවම චමරි අතපත්තු සහ හසිනි පෙරේරා එක්ව රැස් කර තිබූ ලකුණු 111 ක සම්බන්ධතාව විය. එමෙන්ම මෙම සම්බන්ධතාව මෙතෙක් ශ්‍රී ලංකාවේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වන ලද පස්වැනි ඉහළම සම්බන්ධතාව ලෙසින්ද සනිටුහන් විය.

    දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම අභිමුව තිබෙද්දී නායිකා චමරි අතපත්තු පිටියෙන් ඉවත්ව ගියේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 09 ක්ව තිබියදීය. එහෙත් දෙවැනි කඩුල්ලට හසිනි පෙරේරා (42) සමග එක්වූ විශ්මි ගුණරත්න (29) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් තබමින් හඹා යෑමට සාර්ථක අඩිතාලමක් එක් කළහ. විශ්මි සහ හසිනි දෙදෙනාම ලකුණු 12 ක් ඇතුළතදී දැවී යෑමෙන් අනතුරුවව පිටියට පිවිසි හර්ෂිතා සහ කවීෂා යුගලට තරගය ජයග්‍රහණය කරනු ලබන අවසන් රේඛාව තරණ කරන තෙක් පිටියේ රැඳී සිටීමට හෙැකි වුවත්, මුලු ලකුණු සංඛ්‍යාව 218 ක් දක්වා මෙම සම්බන්ධතාව පවත්වාගෙන යෑමට ඔවුහු සමත්වූහ. මොවුන් දෙදෙනා රැස් කරන ලද ලකුණු 129 න් ලකුණු 70 ක්ම කඩුලු අතර දිව යමින් රැස් කරන ලද ලකුණු වීම කැපී පෙනිණ.

    ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනය අනුව පළමුව පන්දුවට පහර දීමට පැමිණි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 120 ක් වැනි අවම ලකුණු සංඛ්‍යාවකදී බිඳ වැටීම නිසා විටෙක ලකුණු 200 සීමාව ඉක්මවාලීමද අවධානම් තත්ත්වයක විය. කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි ඇනරි ඩර්ක්සන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 60 කදී නොදැවී ලකුණු 61 ක් රැස් කිරීමට සමත්වීම නිසා දකුණු අප්‍රිකානු ඉනිම නියමිත පන්දුවාර 50 ඇතුළතදී කඩුලු 9 කට ලකුණු 235 ක් දක්වා ඉහළ දමාගැනීමට ඔවුනට හැකියාව ලැබිණ.

    අද තරගයේදී මංගල එක්දින වරම් දිනාගත් 19 හැවිරිදි දෙව්මි විහංගා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ දැවී ගිය පළමු කඩුලු 5 න් දෙකකටම හිමිකම් කීවාය. නිලක්ෂි ද සිල්වාගේ සහයෝගයත් සමඟ ලාරා ගොඩෝල්ගේ කඩුල්ල සිය මංගල එක්දින කඩුල්ල බවට පත් කර ගත් දෙව්මි නැවතත් සන් ලූස්ගේ කඩුල්ල දවා ගනිමින දකුණු අප්‍රිකානු ඉනිම අපහසුතාවයට පත් කළාය.

    කෙසේ වෙතත් 6 වැනි කඩුල්ලට ඇනරි ඩර්ක්සන් සමග එක්වුණු ක්ලෝ ට්‍රියෝන් පන්දු 62 කදී වේගවත් ලකුනු 62 ක් රැස් කරමින් ලකුණු 200 සීමාවෙන් එහාට දකුණු අප්‍රිකානු කාන්තා ඉනිම රැගෙන ගියහ. ඉන් නොනැවතුණු ඩර්ක්සන් 7 වැනි සහ 8 වැනි කඩුලු වළට පිළිවෙළි නඩිනි ඩි ක්ලාර්ක් සහ මසබටා ක්ලාස් සමග එක්ව පන්දු 44 කදී ලකුණු 32 ක් සහ පන්දු 13 කදී ලකුණු 14 ක් වශයෙන් ලකුණු සම්බන්ධතා පැවැත්වූහ.

    මන්දගාමී වූ ප්‍රේමදාස තණතීරුවේදී පන්දු යවන්නියන් අතර වැඩිම කඩුලු ලාභීණිය බවට පත්වූයේ මල්කි මදාරා වන අතර ඇය පන්දුවාර 10 ඇතුළත ලකුණු 50 කට ප්‍රතිවාදී පිතිකාරිණියන් සිව් දෙනෙකු දවා ගත්තාය. ඇයට අමතරව දෙව්මි විහංග සිය මංගල පන්දු යැවීම පන්දුවාර 10 කදි නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 41 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කරගත්තාය.

    දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 50 දී කඩුලු 9 ක් දැවී ලකුණු 235 යි – (ඇනරී ඩර්ක්සන් 61*, ලෝරා වොල්වාඩ් 10, ටස්මින් බ්‍රිට්ස් 14, ලාරා ගොඩෝල් 46, කාබෝ මෙසෝ 09, සන් ලූස් 31, ක්ලෝ ට්‍රියෝන් 35, ඇනරී ඩර්ක්සන් 61*, නඩිනි ඩි ක්ලාක් 17, මසබටා ක්ලාස් 04, නන්කුලුලෙකෝ ම්ලාබා 00, අයබොංගා ඛාකා 02*, මල්කි මදාරා 50/4? දෙව්මි විහංගා 41/3, ඉනෝකා රණවීිර 33/1, සුගන්ධිකා කුමාරි 49/1)

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 46.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 237 යි – (හර්ෂිතා සමරවික්‍රම 77, විශ්මි ගුණරත්න 29, හසිනි පෙරේරා 42, චමරි අතපත්තු 06, කවීෂා දිල්හාරි 61, නිලක්ෂි ද සිල්වා 11*, අනුෂ්කා සංජීවනී 01*, නොනකුලුලෙකෝ ම්ලාබා 44/2, සන් ලූස් 34/1, නඩිනි ඩි ක්ලාර්ක් 32/1, මසබටා ක්ලාස් 24/1)

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments