පුරෝකථනය කළ ප්‍රමාණයටත් වඩා වේගයෙන් ලොව පුරා සාඵල්‍යතා අනුපාතය පහත වැටෙමින් තිබේ. චීනය වාර්තාගත ලෙස අඩු උපත් අනුපාතිකයක් අත්දකිමින් සිටී. ලතින් ඇමෙරිකාව පුරා, රටින් රටට නිල වාර්තා වන උපත් ගණන පුරෝකථනය කළ ගන්නට වඩා අඩුවෙමින් පවතී.
මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල පවා උපත් අනුපාතිකය බලාපොරොත්තු වූවාට වඩා විශාල ලෙස පහත වැටෙමින් තිබේ. ඒ, පවුල්වල දරුවන් අඩු ගණනක් සිටීමේ ප්‍රතිඵලයක් නිසා වන අතර ම ලොව සෑම රටක ම පාහේ මිනිසුන් වැඩි දෙනෙකුට එක් දරුවෙකු හෝ නොසිටීම ද හේතුවෙනි.
ඉසබෙල් වයස අවුරුදු තිහේදී පමණ ඉතා අයහපත් ලෙස සිදුවූ ප්‍රේම සබඳතාවක් බිඳ වැටීමෙන් පසු Nunca Madres (කිසිදා මව්වරුන් නොවේ) නමැති සමූහයක් පිහිටුවීය. මෙම වෙන්වීම ඇයට දරුවන් ලැබීමට අවශ්‍ය නැති බව වටහා ගැනීමට හේතු විය.
ඇය ජීවත් වන කොලොම්බියාවේදී පමණක් නොව සෑම දිනක ම එම තේරීම සඳහා ඇය විවේචනවලට මුහුණ දෙයි.
“මට වැඩිපුර ම ඇහෙන දේ තමයි ‘ඔයා ඒ ගැන පසුතැවිලි වේවි, ඔය ආත්මාර්ථකාමී යි. වයසට ගියා ම ඔයාව බලා ගන්නේ කවුද?” ඇය පවසයි.
ඉසබෙල්ට, දරුවන් නොමැතිව සිටීම තේරීමකි. තවත් සමහරුන්ට එය ජීව විද්‍යාත්මක වඳභාවයේ ප්‍රතිඵලයකි. තවත් බොහෝ දෙනෙකුට එය වෙනත් දෙයකි. එනම්, පුද්ගලයෙකුට වරක් අවශ්‍ය වූ දරුවෙකු, දැන් නොලැබීමට හේතු වන සාධකවල එකතුවකි. එය සමාජ විද්‍යාඥයන් හඳුන් වන්නේ “සමාජ වඳභාවය” ලෙසනි.
මෑත කාලීනව සිදු කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ, එම පිරිස තමන්ට අවශ්‍ය වුව ද දරුවන් ලැබීමට නොහැකි පිරිමි පුද්ගලයින් (විශේෂයෙන් ම අඩු ආදායම්ලාභී පිරිමින්) වීමට ඇති ඉඩකඩ වැඩි බව ය.
අඩු ආදායම් ලබන සියයට පහ අතර සිටින පිරිමි පුද්ගලයින්ට දරුවන් නොමැති වීමේ අනුපාතය 72%ක් බව ත් ඉහළ ආදායම් ලබන්නන් අතර අනුපාතය 11%ක් බව ත් 2021දී නෝර්වේහි කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. එය පසුගිය වසර 30 තුළ සියයට 20කින් පමණ පුළුල් වී ඇති පරතරයකි.
රොබින් හැඩ්ලිට වයස අවුරුදු තිහක් පමණ වන විට, ඔහුට පියෙකු වීමේ අවශ්‍යතාව දැඩි ලෙස මතුවිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලද නමුත් ඔහුට උතුරු එංගලන්තයේ විශ්වවිද්‍යාල විද්‍යාගාරයක තාක්ෂණික ඡායාරූප ශිල්පියෙකු ලෙස රැකියාවක් තිබිණි.
විසි වන වියේදී විවාහ වූ ඔහු සහ බිරිඳ දරුවෙකු අපේක්ෂාවෙන් පසු වුව ද අවසානයේ ඔවුන්ගේ විවාහය දෙදරා ගියේ ය.
උකස් බරින් පීඩනයට පත්ව සිටි ඔහුට තම බිරිඳ සමග නිදහසේ ගමනක් බිමනක් යාම පවා අභියෝගය විය. තම මිතුරන් සහ සගයින් පියවරුන් බවට පත් වීමත් සමග ඔහුට දැනුනේ සියල්ල අහිමි වී ගිය හැඟීමකි.
“දරුවන්ට දෙන බර්ත්ඩේ කාඩ්, සල්ලි එකතු කරන ඒවා, ඒ හැම එකකින් ම මට මට මතක් උණේ මට නැති දෙයක් ගැන සහ මම බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් ගැන. ඒකත් එක්ක දැනෙන වේදනාවක් තියෙනවා.” ඔහු පවසයි.
තමා ලද අත්දැකීම්, දරුවන් නොමැති පිරිමි පුද්ගලයින් ගැන පොතක් ලිවීමට ඔහු පෙළඹුවේ ය. එම කටයුත්තේ නියැලෙද්දී ඔහුට අවබෝධ වූයේ, “සාඑල්‍යතාවට ආර්ථික, ජීව විද්‍යාත්මක, ජීවිතයේ එක් එක් දෑ සිදුවන් වේලාව, සම්බන්ධතා තෝරා ගැනීම,” ආදී සියල්ල බලපාන බව ය.
එපමණක් නොව, දරුවන් නොමැති පිරිමි පුද්ගලයින් මග හැරී ගොස් ඇති බව වයස්ගත වීම සහ ප්‍රජනනය පිළිබඳව පොත් පත් කියැවීමේදී ඔහුට නිරීක්ෂණය විය. ඔවුන් ගැන බොහෝ රටවල ජාතික සංඛ්‍යාලේඛනවල ද සම්පූර්ණයෙන් ම පාහේ සඳහන් නොවිණි.
‘සමාජ වඳභාවය’ ඉහළ යාම
සමාජ වඳභාවයට හේතු රාශියක් ඇත. එනම් දරුවෙකු ලැබීමට සම්පත් නොමැතිකම හෝ නියම සහකරු නියම වේලාවට හමුනොවීම ආදිය ඒවා අතර වේ. නමුත් එහි මූලය වෙනත් දෙයක් බව වසර 20කට වැඩි කාලයක් යුරෝපයේ සහ ෆින්ලන්තයේ සාඑල්‍යතාව පිළිබඳව ඇති අභිලාෂයන් ගැන අධ්‍යයනය කර ඇති ෆින්ලන්තයේ ජනගහන පර්යේෂණ ආයතනයේ සමාජ විද්‍යාඥවරියක සහ ජනවිකාසඥයෙකු වන ඇනා රොට්කර්ච් තර්ක කරයි. අප දරුවන් දෙස බලන ආකාරයෙහි ගැඹුරු වෙනසක් ඇය දුටුවා ය.
ආසියාවෙන් පිටත පිහිටා ඇති රටක් වන ෆින්ලන්තය යනු, ලොව දරුවන් නොමැති පුද්ගලයින් අනුපාතය ඉහළ රටවල්වලින් එකකි. නමුත් 1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී, එය ලොව ප්‍රමුඛතම ළමා හිතකාමී ප්‍රතිපත්ති ඇති සහ අඩුවෙමින් පවතින සාඑල්‍යතාවට එරෙහිව සටන් කළ රටක් ලෙස ප්‍රසාදයට පාත්‍ර විය. මාපිය නිවාඩු ප්‍රමාණවත් තරම් හිමි වේ. ළමා රැකවරණ සේවා දැරිය හැකි මිලකට ලබා ගත හැකි අතර ම පිරිමි සහ කාන්තාවෝ නිවසේදී ඉතා සමාන වැඩ කොටසක් කරති.
කෙසේ වෙතත්, 2010 වසරේ සිට, රටේ සාඵල්‍යතා අනුපාතය තුනෙන් එකකින් පමණ පහළ වැටී ඇත.
මහාචාර්ය රොට්කර්ච් පවසන්නේ, විවාහය මෙන් ම දරුවෙකු ලැබීම ද ජීවිතයේ මූලික දෙයක් ලෙස කලක් සලකනු ලැබූ බව ත් එය වැඩිහිටි ජීවිතයට අවතීර්ණ වීම සලකුණු කිරීමට තරුණයන් කළ දෙයක් වූ බව ත් ය.
“දරුවෙකු ලැබීම තමන්ගේ ජීවිතවල අවිනිශ්චිතතාවය වැඩි කරනවා කියලා හැම සමාජ තලයක ම ඉන්න කෙනා ම වගේ හිතනවා,” මහාචාර්ය රොට්කර්ච් පැහැදිලි කරයි.
ෆින්ලන්තයේ, ධනවත් කාන්තාවන්ට දරුවන් නොමැතිව සිටීමට ඇත්තේ ඉතා අඩු ඉඩක් බව බව ඇය සොයා ගත්තාය. අනෙක් අතට, අඩු ආදායම්ලාභී පිරිමින් තමන්ට අවශ්‍ය වුව ද දරුවන් නොමැතිව සිටීමේ වැඩි ඉඩක් තිබේ. අතීතය දෙස බැලීමේදී එය විශාල වෙනසකි. මීට පෙර, දුප්පත් පවුල්වල පුද්ගලයින්, අධ්‍යාපනය අතරමග නතර කර, රැකියා සොයා ගෙන, තරුණ වියේදී ම පවුල් ජීවත ආරම්භ කර වැඩිහිටිභාවයට ඉතා ඉක්මනින් එළඹීමට වැඩි නැඹුරුවක් තිබිණි.
පිරිමිබවේ අර්බුදයක්
පිරිමින් සඳහා, මූල්‍ය අවිනිශ්චිතතාවය සංකීර්ණ බලපෑමක් ඇති කරන අතර එය ඔවුන්ට දරුවන් ලැබීමේ සම්භාවිතාව ඊටත් වඩා පහළ දමයි. සමාජ විද්‍යාඥයින් විසින් එය “වරණීය බලපෑම” ලෙස හඳුන්වනු ලබයි. එනම්, කාන්තාවන් සහකරුවෙකු තෝරා ගැනීමේදී එක ම සමාජ පන්තියේ හෝ ඊට වඩා ඉහළ තලයක අයෙකු සෙවීමට නැඹුරු වීම ය.
“මට පේනවා මට මං ගැන තිබුණු විශ්වාසය අතින් ගත්තා ම සහ බුද්ධිමය අතින් ගත්තා ම මම හිටියේ මට නොගැළපෙන තැනක,” තම 30 වන වියේදී විවාහය දෙදරා ගිය රොබින් හැඩ්ලි පවසයි. “ආපස්සට හැරිලා බලද්දී වරණීය බලපෑම සාධකයක් වෙන්න ඇති.”
වයස අවුරුදු 40ට ආසන්න වන විට ඔහුට ඔහුගේ වර්තමාන බිරිඳ මුණගැසුණු අතර, ඇය ඔහු විශ්වවිද්‍යාලය දක්වා ගෙන ගොස් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සහය විය. “එයා නොහිටියා නම් මම අද මෙතන ඉන්න එකක් නැහැ.” ඒ වන විට ඔවුන් දරුවන් පිළිබඳව සිතූ නමුත් ඒ වන විටත් ඔවුන් 40 වන වියේ පසු වූ බැවින්ඒ සඳහා ඔවුන් ප්‍රමාද විය.
ලොව පුරා රටවල්වලින් 70%ක ම අධ්‍යාපනය අතින් කාන්තාවන් පිරිමින් අභිබවා යමින් සිටින අතර, යේල් සමාජ විද්‍යාඥ මාර්සියා ඉන්හෝර්න් විසින් එම ප්‍රවණතාව ‘සහකරු සහ සහකාරිය අතර ඇති පරතරය (the mating gap)’ ලෙස හඳුන්වනු ලැබීය.
අදෘශ්‍යමාන පිරිමි
බොහෝ රටවල පිරිමි පුද්ගලයින්ගේ සාඑල්‍යතාව පිළිබඳ සැලකිය යුතු තරම් දත්ත නොමැත. ඒ, උපතක් ලියාපදිංචි කිරීමේදී ඔවුන් මවගේ සාඑල්‍යතා ඉතිහාසය පිළිබඳව පමණක් සොයා බලන බැවිනි. මෙයින් අදහස් කරන්නේ දරුවන් නොමැති පිරිමින් පිළිගත් “ඛාණ්ඩයක්” ලෙස නොපවතින බව ය.
කෙසේ වෙතත් ඇතැම් ස්කැන්ඩිනේවියානු දෙපාර්ශවයේ ම දත්ත සටහන් කර ගනී. පෙර සඳහන් කළ නෝර්වීජියානු අධ්‍යයනය මගින් ධනවත් සහ දුප්පත් පිරිමින් අතර දරුවන් ලැබීමේ දැවැන්ත විෂමතාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර එහි සඳහන් වූයේ පිරිමි පුද්ගලයින් විශාල ගණන් “මග හැරී” ගොස් ඇති බව ය.
උපත් අනුපාතිකය අඩුවීමේදී පිරිමින්ගේ භූමිකාව බොහෝ විට නොසලකා හැරී ඇති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පිරිමින්ගේ සෞඛ්‍යය සහ සාඑල්‍යතාව පිළිබඳ අධ්‍යයනය කරන වින්සන්ට් ස්ට්‍රෝබ් පවසයි.
සාඑල්‍යතාව පහත වැටීමේදී “පිරිමින්ට ඇති රෝගයේ” භූමිකාව පිළිබඳව ඔහු උනන්දුවක් දක්වයි. එනම්, සමාජය තුළ කාන්තාවන් සවිබල ගැන්වෙන විට තරුණ පිරිමින්ට දැනෙන ව්‍යාකූලත්වය සහ පිරිමිකම සහ පුරුෂභාවය පිළිබඳ අපේක්ෂාවන් වෙනස් වීම ය.
එය “පිරිමිබවේ අර්බුදය” ලෙස ද හඳුන්වනු ලබන අතර, ඇන්ඩෲ ටේට් වැනි දක්ෂිණාංශික ස්ත්‍රී විරෝධීන්ගේ ජනප්‍රියතාවයෙන් එය නිරූපණය වේ.
“අඩු අධ්‍යාපනික සාර්ථකත්වයක් තියෙන පිරිමින්ගේ තත්ත්වය කලින් දශකවලට වඩා බෙහෙවින් නරක අතට හැරිලා තියෙන්නේ,” ස්ට්‍රෝබ් බීබීසීයට පවසයි.
බොහෝ ඉහළ සහ මධ්‍යම ආදායම් ලබන රටවල තාක්‍ෂණික දියුණුව ශාරීරිකව ශ්‍රමය වැය කර සිදු කරන රැකියාවලට අඩු වටිනාකමක් සහ ඒවා අනාරක්ෂිත බවට පත් කර තිබේ. එය විශ්වවිද්‍යාල උපාධි ඇති අය සහ නැති අය අතර පරතරය පුළුල් කරයි.
එය “සහකරු සහ සහකාරිය අතර ඇති පරතරය” ද පුළුල් කර ඇති අතර එය පිරිමින්ගේ සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
“මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින අතර ඒක අප්‍රිකාව, දකුණු සහ මධ්‍යම ඇමෙරිකාවේ ප්‍රජනක වයසේ සිටින පිරිමින් අතර ඉහළ ම අගයක් ගන්නවා.”
මේ සියල්ල සමාජ හා ජීව විද්‍යාත්මක වශයෙන් සාඵල්‍යතාව කෙරෙහි බලපායි. “සරුබව සහ මේ ආකාරයේ සමාජ හා සංස්කෘතික වෙනස්කම් අතර ඇත්ත වශයෙන් ම තේරුම් නොගත්ත මගහැරුණු සම්බන්ධයක් තියෙනවා කියලා මට හැඟෙනවා,” ඔහු පවසයි.
ඉන් පිරිමින්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට මූලික ම බලපෑමක් ඇති විය හැකි ය. “සාමාන්‍යයෙන් තනිකඩ පිරිමින්ගේ සෞඛ්‍යය සහකරුවෙක් හෝ සහකාරියක් සිටින පිරිමින්ට වඩා නරකයි,” ස්ට්‍රොබ් පවසයි.
සරුබව හෙවත් සාඵල්‍යතාව පිළිබඳ සංවාදයේදී සම්පූර්ණයෙන් ම පාහේ කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කෙරෙන බව ස්ට්‍රෝබ් සහ හැඩ්ලි සොයාගෙන ඇත. එය විසඳීමට සැලසුම් කර ඇති සෑම ප්‍රතිපත්තියකට ම පාහේ එම පින්තූරයෙන් අඩක් මග හැරී ගොස් තිබේ.
ස්ට්‍රෝබ් විශ්වාස කරන්නේ පිරිමින්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සාඵල්‍යතාව පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර පියවරුන් වීමේ ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡා කළ යුතු බව ය. “යුරෝපා සංගමයට අයත් රටවල්වල පිරිමින් 100 දෙනෙකුගෙන් එක් අයෙක් විතරයි දරුවෙක් බලා ගන්න තමන්ගේ වෘත්තීයෙන් විරාමයක් ගන්නේ. කාන්තාවන් සඳහා ඒ අනුපාතය තුනෙන් එකයි,” ඔහු පවසයි. ඒ, දරුවෙකු පෝෂණය කිරීම පිරිමි පුද්ගලයින්ගේ සෞඛ්‍යයට හිතකර බවට සාක්ෂි කන්දරාවක් තිබියදී ය.
සිය සංවිධානය වන Nunca Madres හරහා ඉසබෙල් මෙක්සිකෝවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර බැංකුවක නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවූ අතර, ඔවුන් ඇයට පැවසුවේ නව පියවරුන්ට සති හයක පීතෘ නිවාඩු ලබා දුන්න ද, එක අයෙකු හෝ එය නොගත් බව ය.
“එයාලා හිතන්නේ ඒක කාන්තාවන්ගේ වැඩක් කියලා. එහෙම තමයි ලතින්-ඇමේරිකාවේ පිරිමින්ට හැඟෙන්නේ,” ඇය පවසයි.
“අපිටත් හොඳ දත්ත අවශ්‍යයි”, රොබින් හැඩ්ලි පවසයි. අපි පිරිමින්ගේ සරුබව ගැන දත්ත සටහන් කරගන්නකම් අපිට ඒ ගැන හරියට තේරුම් ගන්න බැහැ. එහෙමත් නැත්නම් ඒකෙන් එයාලගේ කායික හා මානසික සෞඛ්‍යයට ඇතිවන බලපෑම ගැන.
එමෙන් ම සාඵල්‍යතාව පිළිබඳ සාකච්ඡාවලදී පිරිමින් අදෘශ්‍යමාන වීම වාර්තාවලින් ඔබ්බට විහිද යයි. තරුණියන් තම සාඵල්‍යතාව අඩුවන ආකාරය ගැන සිතා බැලිය යුතු බවට දැන් වැඩි අවබෝධයක් ඇතත් එය තරුණයන් අතර ඇති වූ සංවාදයක් නොවේ.
පිරිමින්ට ද ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් ඇති බව හැඩ්ලි පවසන්නේ වසර 35න් පසු ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය අඩු වන බව සොයා ගත් පරියේෂණයක් ගෙනහැර දක්වමිනි. මෙම අදෘශ්‍යමාන කණ්ඩායම දෘශ්‍යමාන කිරීම සමාජ වඳභාවයට පිළිතුරු සෙවීමේ එක් ක්‍රමයකි. තවත් දෙයක් විය හැක්කේ, දෙමාපියන් සදහා ඇති නිර්වචනය පුළුල් කිරීම ය.
දරුවන් නොමැතිකම පිළිබඳ අදහස් දැක්වූ සියලු ම පර්යේෂකයන් පෙන්වා දීමට උනන්දු වූයේ, දරුවන් නොමැති මිනිසුන්ට දරුවන් ඇති දැඩි කිරීමේදී තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ඇති බව ය.
එය චර්යාත්මක පරිසර විද්‍යාඥයන් විසින් ‘alloparenting’ ලෙස හඳුන්වන බව, ඇනා රොට්කර්ච් පැහැදිලි කරයි. මානව පරිණාමය පුරා ම දරුවෙකු රැකබලා ගැනීමට සිටියේ දරුවාගේ මව හෝ පියා පමණක් නොවේ. බොහෝ දෙනෙක් දරුවෙකු රැකබලා ගැනීම සිදු කළහ.
ආචාර්ය හැඩ්ලි තම පර්යේෂණයේදී කතා කළ දරුවන් නොමැති පිරිමින්ගෙන් එක් අයෙක්, තම ප්‍රදේශයේ පාපන්දු සමාජයේදී තමාට නිතිපතා මුණගැසෙන පවුලක් ගැන කතා කළේ ය. පාසල් ව්‍යාපෘතියක් සඳහා එම පවුලේ කුඩා පිරිමි ළමුන් දෙදෙනාට සීයා හෝ ආච්චි කෙනෙකු අවශ්‍ය විය. නමුත් ඔවුන්ට ඒ කිසිවෙකු නොසිටියේ ය.
ඔහු ඒ සඳහා ආදේශකයක් වූ අතර ඉන් වසර ගණනාවකට පසුව ද, ඔවුහු ඔහුව පාපන්දු ක්‍රීඩා යෙදිමින් සිටියදී දුටු විට, “හායි සීයා” යැයි ඇමතූහ. එවැනි පිළිගැනීමක් ලැබීම පුදුමාකාර දෙයක් ලෙස දැනුණු බව ඔහු පැවසීය.
“මම හිතන්නේ දරුවන් නැති බොහෝ අය ඇත්තට ම මේ ආකාරයේ රැකවරණයකට සම්බන්ධයි, ඒක අදෘශ්‍යමානයි” යැයි මහාචාර්ය රොට්කර්ච් පවසයි.
“ඒක උප්පැන්න ලේඛනවල දකින්න ලැබෙන්නේ නැහැ, නමුත් ඇත්තෙන් ම ඒක වැදගත්.”
මූලාශ්‍රය – bbc.com/sinhala සම්පූර්ණ උපුටා ගැනීමකි