ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් අතින් වසරකට විවිධ මාතෘකා යටතේ ව්‍යාපෘති දස දහස් ගණනක් ලිය වේ. එහෙත් එම ව්‍යාපෘතිවලින් සිය ජීවිතයට ආලෝකයක් ලබා ගන්නේ කීයෙන් කී දෙනා ද ? එසේම තමන් උගත් උපාධියට සාධාරණය ඉටුකරන්නේ කීයෙන් කී දෙනා ද ?. දශක ගණනාවක් පුරා අඛණ්ඩව ඇසෙන මේ චෝදනාව මතකයේ තබා ගෙන අපි රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය වෙත හැරෙමු. ඊට පසුව වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් බිහිකළ ‘සුවිශේෂි’ උපාධිධාරිනියක් කියන ලෝකයම දැනගත යුතු කතාව අසමු.
ඔව්, ඔබ ඊට පෙර යමක් නොව වැදගත්ම දෙයක් දැන සිටිය යුතුය. ඒ අපේ කතා නායිකාව කවුද ? කියා ය.
ඔබ නුවර පාරේ ගමන් කළේ නම් හෝ මහනුවර ශ්‍රී දළඳා මාළිඟාව වැඳ පුදා ගැනීමට ළඟකදී ගියේ නම් නම ඇසුවත් සුමිහිරි රසයක් දැනෙන මේ නව හොඳට හුරු පුරුදු විය හැකි ය. ඒ සුපිහිරි නම ‘Durianzila’ය. වඩාත් විස්තරාත්මක කියන්නේ නම් Durianzila Lanka Food Products (PVT) Ltd ය. එහි නිර්මාථෘවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය අපේ කතා නායිකාවයි. ඇය නමින් ‘හිමාලි සුරවීරය’. හිමාලි පදිංචිව සිටින්නේ මහනුවර මයිලපිටියේ ය.
හිමාලි මේ වන විට බොහෝ දුර ගමන් යා හැකි බව ප්‍රකට කර ඇති තරණ ව්‍යවසායිකාවකි. නව නිපැයුම්කාරිනියකි. දේශීය වෙළෙඳපොළ මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජය ගැනීමට ශක්තියක් ඇති විධායක නිලධාරිනියකි. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරමින් අපි හිමාලි කියන කතාව කියවමු !
‘රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන කොට අපට නවතම ආහාර සංකල්පයක් ඉදිරිපත් කරන්න ඕනෑ. ඉතිං මම දූරියන් ගැන තමයි පරීක්ෂණ කළේ. මුලින්ම මම හදන්න ගියේ මිල්ක් පවුඩර් එකක්. ඒ වෙනකොටත් වෙළෙඳපොළේ එම නිෂ්පාදන තිබුණ නිසා මම දූරියන් ඇටවල තියෙන ගම් එකෙන් ජෑම් එකක් හැදුවා. එතනදි අපේ සීනියර් අයිය කෙනෙක් කිව්වා දූරියන් කියන්නේ මිල අධික පලතුරක්. ඉතින් ඇටවලින් ප්‍රඩක්ට් එකක් කරන්න ගියොත් වැඩි වියදමක් දරන්න වෙනවා. ඔයා දූරියන් ගෙඩියේ අනිත් දේවල්වලිනුත් නිෂ්පාදන කරන්න බලන්න කියලා. ඊට පස්සේ තමයි සීරෝ වේස්ට් (ක්ෂුද්‍ර අමුද්‍රව්‍ය කළමනාකරණය /Zero Waste -Micro Raw Materials Management) කියන කන්සෙප්ට් එකට ඇප්ලයි කරල දූරියන් ගෙඩියේ හැම දේකින්ම නිෂ්පාදන පෙළක් හැදුවේ.”
තම විජයග්‍රහණයේ කතාව කියන අතරතුර හිමාලි අතීතයට ද යයි.
‘ඇත්තටම මමත් ඉස්සර දූරියන් කන්න අකමැති කෙනෙක්. ඒත් පස්සෙ දවසක මම දූරියන් කන්න ගත්තම අනිත් අයටත් වඩා ආශාවෙන් කන්න ගත්තා. ‘මිනිස්සු මේ වගේ ගුණ දෙයක් කන්නෙ නැත්තෙ අපරාදෙනේ’ කියන දේ මගෙ ඔළුවෙ නිතරම තිබුණා. ඉතින් අවස්ථාව ලැබුණු ගමන් මම දූරියන් කන්නෙ නැති අයට කන්න පුළුවන් ප්‍රඩක්ට් එකක් විදිහට කන්සෙප්ට් එකක් ඉදිරිපත් කළා. ඒ ආරම්භ කරපු ගමන තමයි අද මේ දක්වා ඇවිත් තියෙන්නේ” හිමාලි අතීතයේ කිමිදෙමින් පැවසුවා ය.
මේ කතාවට ම අදාළ තවත් අමතක නොකළ යුතු තොරතුරක් මා සතුව තිබේ. හිමාලි මහනුවර තාක්ෂණ විද්‍යාලයේ ආහාර තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි. මෙම දැනුම හා පුහුණුව ඇයට තවත් ශක්තියක් වූ බව ඇය කීවා ය.
පාස්කු ඉරිදා ප්‍රහාරය, ඊට පසුව අවුරුදු දෙකක් පමණ පැවති කොවිඩ් 19 වසංගතය ලෝකයම උඩු යටිකුරු කළේ ය. විශේෂයෙන් ව්‍යාපාරික ලෝකයට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට කොවිඩ් වසංගතය දැවැන්ත විනාශයක් ගෙනාවේ ය. එහෙත් ‘සෑම වළාකුළකම රිදී ඉරක්’ දකින්නා සේ කොවිඩ් වසංගතය නිවසටම හිරවී සිටි හිමාලිගේ ජීවිතයට අලුත් අරමුණක් ගෙන ආවේ ය.
මේ ඒ අතීතය සිහිපත් කරමින් හිමාලි අද කරන ආවර්ජනය යි.
“කොරෝනා කාලේ අපි ගෙවල්වලටම හිර වෙනවා. ඒ කාලේ තමයි මට හිතෙන්නේ දූරියන් ගැන කරපු පරීක්ෂණවලින් ඉගෙනගත් දේවල් උපයෝගි කරගෙන මොනව හරි දෙයක් කරන්න ඕනෑ කියලා. අපි ගෙදර පොඩියට දූරියන් නිෂ්පාදන හදලා ෆේස්බුක් එකේ එහෙම දැම්මා. ඒවට අපි නොහිතුව විදිහේ ඉල්ලුමක් ලැබෙන්න ගත්තා. ඒ වගේම අපේ අක්කා නුවර ඉස්පිරිතාලේ වැඩ කළේ. අක්කගෙ මාර්ගයෙන් මට හොස්පිට්ල් එකෙත් දූරියන් නිෂ්පාදනවලට ඉල්ලුම වැඩි වුණා. ඔහොම ටික ටික අපි නිෂ්පාදන වැඩි කරගෙන යද්දි RDB බැංකුවෙන් ඇවිත් අපට ලෝන් එකක් දෙනවා. ඒ ලෝන් එකෙන් අපි මයිලපිටියෙ පොඩි තැනක මේ ප්‍රඩක්ට් එක හදන්න ගන්නවා. ගම නිසා කැෆේ එකක් දැම්මට වැඩක් වුණේ නෑ. දවසක් අපට කේ.සී.සී. එකේ ප්‍රදර්ශනයකට අපට ආරාධනාවක් ලැබෙනවා. එතනදි තමයි අපේ දූරියන් නිෂ්පාදන ගොඩක් නුවර වගේම රට පුරා ප්‍රසිද්ධ වෙන්නේ.
පස්සෙ අපි ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වෙලා එතනදි අපට BOC බැංකුවෙන් ලෝන් එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි නුවරට එන්නේ. ඒ කාලෙ වෙද්දි දූරියන් අයිස්ක්‍රීම් එක හදාගන් අපට මැෂින් තිබ්බෙ නෑ. මම ටෙක්නිකල් කොලේජ් එකට ගිහින් තමයි හදන් එන්නේ. ප්‍රොෆෙසර් ජයන්ත කියල පිටරට හිටපු සර් කෙනෙක් ලංකාවට එද්දි මට අයිස් ක්‍රීම් මැෂින් එකක් ගෙනත් දෙනවා. ඊට අමතරව මං අදටවත් නොදැකපු මිස් කෙනෙක් මට කතා කරලා කාන්තාවක් විදිහට ඔයා කරගෙන යන වැඩේට කියලා එයා ලක්ෂ පහක මුදලක් දෙනවා. ඒ උපකරණත් එක්ක අපේ අයියගෙනුත් ලැබුණු සල්ලිවලින් තමයි මම දැන් මේ කරන දූරියන් කැෆේ එක පටන් ගත්තේ. අපි ළඟදීම දළදා මාළිගාව කිට්ටුව තැනකට ප්‍රඩක්ෂන් එකයි රෙස්ටුරන්ට් එකයි ගෙනියනවා. ඒකට හේතුව දූරියන්වලින් හදන කෑමවලට විදේශිකයන් ගොඩක් කැමතියි. ඒ වගේම අපි කොළඹත් අලුතින් රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න දැන් වැඩකටයුතු කරගෙන යනවා. සීසන් එකට කලින් අපි ඒ රෙස්ටුරන්ට් එකත් පටන් ගන්නවා.” වසර කිහිපයකට පෙර ඒ අභියෝගාත්මක අතීතය සිහිපත් කරමින් ද තමන්ට පිහිට වූ බැංකු වෙත සිය කෘතඥතාවය පළ කරමින් ද හිමාලි පැවසුවාය.
දූරියන් පලතුරක් ලෙස කොතරම් ජනප්‍රිය වුව ද කලකට පෙර හිමාලි මෙන් ම දූරියන් අප්‍රිය කරන පිරිසක් ද සිටී. මේ ගැන හිමාලිගේ අදහස දැන ගැනීම දූරියන් ලෝලීන්ට මෙන්ම දූරියන් අප්‍රිය කරන අයට ද වැදගත් ය.
“දූරියන් යම් පිරිසක් අතර ඉතා ජනප්‍රිය පලතුරක් වුවත් එහි කටුක සුවඳට බොහෝ දෙනෙක් කැමති නැහැ. මටත් කාලයක් එවැනි අදහසක් තිබුණා. නමුත් මට අවශ්‍ය වුණේ හැමෝට ම දූරියන් රසවිඳිය හැකි නිෂ්පාදන නිර්මාණය කිරීමට යි. දූරියන්වල ඒ විශ්මිත රසය සියලු දෙනා සමඟ බෙදා ගැනීමටයි. ඒ සියල්ලටම වඩා, ශුන්‍ය අපද්‍රව්‍ය සංකල්පය මත පදනම් වූ නිෂ්පාදනයක් නිර්මාණය කිරීම මගේ තවත් සිහිනයක් වුණා. දූරියන් ගෙඩිය විශාල වුවත් ආහාරයට ගත හැකි කොටස සාපේක්ෂව ඉතා කුඩායි. මට අවශ්‍ය වූයේ දූරියන් වල අනෙකුත් කොටස් ද ප්‍රයෝජනයට ගත හැකි නිෂ්පාදන නිර්මාණය කිරීමට යි, මේ වන විට එය ඉතා සාර්ථක වී තිබෙනවා. නමුත් එය හාස්‍යජනක යි. මන්ද මගේ ව්‍යාපෘතිය මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට සහ අද මා කරන දේ කිරීමට හේතු වනු ඇතැයි මම කිසි විටෙකත් සිතුවේ නැහැ” හිමාලි සිනාසෙමින් පැවසුවා ය.
ඇත්තෙන්ම Himali’s DurianZilla සාර්ථක ව්‍යාපාරයකි. Himali’s DurianZilla ගෙවී ගිය කෙටි කාලය තුළ Profood Propack, ජාතික තරුණ සේවා සභාවේ Startup Sri Lanka 2021, සහ (Food Tech-Thon 2021) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ සංගමයේ ඇගයීම් සහිත සම්මානලාභී ව්‍යාපාරයකි.
හිමාලි තම පාරිභෝගිකයින්ට සිය කෘතඥතාව පළ කිරීමට ද අමතක නොකළා ය. “මෙම ව්‍යාපෘතිය සහ ඒ සඳහා වූ අදහස මගේ වුව ද, මට මේ ගමන එන්න බොහෝ දෙනෙක් උදව් කළා. මගේ යාළුවෝ හැමෝම නොසෑහෙන්න උදව් කළා, මගේ මිතුරා අද ඔබ දකින ලාංඡනය නිර්මාණය කිරීමට උදව් කළා. මගේ සහෝදරයා මම කරන්න යන දේ විශ්වාස කළා, RDB සහ BOC වෙතින් මට ලැබුණු මුදල් සමඟ ඔහුගේ මහන්සියෙන් උපයාගත් මුදල් මම මේ ව්‍යාපාරයට ආයෝජනය කළා,” ඇය තවදුරටත් පැවසුවාය.
“මගේ ජීවිතයේ මින් පෙර කිසිදා නොදුටු Durianzila ගැන සමාජ මාධ්‍යවලින් ඇසූ අය, දැන් එක්සත් රාජධානියේ වෙසෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ජයන්ත වැනි සියලු දෙනාම Durianzila අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට උදව් කළා.”
දූරියන්සිල්ලාගේ අයිස්ක්‍රීම් කොළඹට පැමිණි විට, මම අනිවාර්යයෙන්ම පෝලිමේ පළමුවැන්නා වනු ඇත. පෝෂණ ගුණයෙන් පොහොසත්, Durianzila හි දූරියන් අයිස්ක්‍රීම් ප්‍රනීත රසයෙන් යුක්ත වන නමුත් කිසිම ආකාරයකින් අධිබල නොවේ. එය පරිපූර්ණ සම්මිශ්‍රණයක් වන අතර, එහි සුමිහිරි රසය යළි නොවිඳ අපට තවත් කාලයක් බලා සිටිය නොහැකිය. එතෙක්, ඔබ මහනුවර සංචාරය කරන්නේ නම්, Durianzila යනු ඔබට මග හැරිය යුතු නැති ස්ථානයකි.
Durianzila Lanka Food Products (PVT) Ltd, අංක: 433, පේරාදෙණිය පාර, මහනුවර, +9477 444 2466, info@durianzila.lk
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.