Tuesday, July 1, 2025
More
    Homeකාන්තා ලෝකයඅධික උෂ්ණත්වය යටතේ වැඩ කිරීම 'දරු උපත්වලට' කරන බිහිසුණු බලපෑම හෙළිවෙයි !

    අධික උෂ්ණත්වය යටතේ වැඩ කිරීම ‘දරු උපත්වලට’ කරන බිහිසුණු බලපෑම හෙළිවෙයි !

    උණුසුම අධික ගිම්හාන කාල, නිවර්තන දේශගුණික තත්ත්ව යටතේ සිටින කාන්තාවන්ට පමණක් නොව, එක්සත් රාජධානිය වැනි රටවලට ද බලපාන බව පර්යේෂකයෝ පවසති. ඔවුන් පසුවන්නේ, ගෝලීය වශයෙන් වැඩ කරන ගර්භණී කාන්තාවන් සඳහා නිශ්චිත සෞඛ්‍ය උපදෙස් ලබා දීමේ අවශ්‍යතාවෙනි.

    චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය විසින් 2017 වසරේදී ආරම්භ කරන ලද මෙම අධ්‍යයනයට දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවෝ අටසියයක් සහභාගී වූහ. සහභාගී වූවන්ගෙන් අඩක් පමණ කෘෂිකාර්මික, ගඩොල් පෝරණු සහ ලුණු ලේවායන් වැනි අධික උෂ්ණත්වයකට නිරාවරණය වූ ස්ථානවල සේවය කළහ. අනෙක් පිරිස පාසල් සහ රෝහල් වැනි සිසිල් පරිසරයක සේවය කළ නමුත් ඇතැම් සේවකයෝ එම රැකියාවලදී ද ඉතා ඉහළ උෂ්ණත්ව මට්ටමකට නිරාවරණය වූහ. මිනිස් සිරුරට අහිතකර ලෙස සලකන උෂ්ණත්ව මට්ටම කුමක් ද යන්න සඳහා විශ්වීය සීමාවක් නැත. අධ්‍යයනයට දායක වූ විද්‍යාඥවරියක වන මහාචාර්ය ජේන් හර්ස්ට් පවසන්නේ, “[උෂ්ණත්වය බලපාන්නේ] ඔබට පුරුදු උෂ්ණත්ව මට්ටමට සහ ඔබේ ශරීරය පුරුදු මට්ටමට සාපේක්ෂව.”

    චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය විසින් 2017 වසරේදී ආරම්භ කරන ලද මෙම අධ්‍යයනයට දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ගැබිනි කාන්තාවෝ අටසියයක් සහභාගී වූහ.

    තිරුවන්නමලෙයිහි හරිත වර්ණයෙන් නැහැවුණු සශ්‍රීක කෙත්වතු පිරි ප්‍රදේශයකදී මෙම අධ්‍යයනයට සහභාගී වූ ගැබිනි කාන්තාවක වන සුමති මට හමුවෙයි. ඇය ඇගේ ඝන අත්වැසුම් ඉවත් කර අතැඟිලි දිග හැරියේ පැවති අපහසුතාවෙන් මිදීමට ය. ඇය පහුගිය පැය දෙකක කාලය පුරා පිපිඤ්ඤා නෙළමින් සිටියා ය.

    “මේ රස්නෙට මගේ අත් පිච්චෙනවා” ඇය සිය ඇඟිලි තුඩු මෘදු ලෙස පිරිමදිමින් මා හා පවසයි.

    ගිම්හාන ඍතුව තව ම පැමිණ නැතත් වාතයේ ඇති තෙතමනය ද සමග දැනටමත් මෙහි සෙල්සියස් අංශක 30ක් පමණ වන උණුසුමක් දැනේ. පිපිඤ්ඤා මත ඇති සියුම් කටු නිරන්තරයෙන් ඇනීමෙන් තම දෑත් ආරක්ෂා කර ගැනීමට සුමතිට සිදු වුව ද, අත්වැසුම් නිසා ඇයට අධික ලෙස දහඩිය දැමීය.

    “මගේ මූණත් පිච්චෙනවා,” ඇය පවසයි.

    තම ප්‍රධාන රැකියාව ලෙස පාසලක අරක්කැමියෙකු ලෙස සේවය කරන ඇය ඒ සඳහා පිටත්ව යාමට පෙර සහ ඉන් පසු පිපිඤ්ඤා ගොවිපළේ රාජකාරි සඳහා පැමිණෙයි. ඒ සඳහා ඉන්දීය රුපියල් 200ක් හෝ පවුම් 2කට අඩු මුදලක් ඇය වෙත ගෙවනු ලබයි. සුමති මුලින් ම බඳවාගත් අයගෙන් කෙනෙකි. ඇගේ දරුවා ද අධ්‍යයනයට සහභාගී වූ කාන්තාවන් අතුරින් මිය ගිය පළමු අයගෙන් කෙනෙකි.

    “ගර්භණීව ඉඳගෙන රස්නේ වැඩ කරද්දී මට දැඩි වෙහෙසක් දැනුනා,” ඇය පවසයි.

    දිනක් සුමතිට සිය සැමියා වෙත දිවා ආහාරය රැගෙන යමින් සිටියදී එක වර ම දැඩි අසනීප ස්වභාවයක් දැනෙන්නට විය. එදින සවස ඇය වෛද්‍යවරයෙකු හමුවීමට ගිය අතර එහිදී දැනගන්නට ලැබුණේ, ඇයගේ දරුවා මියගොස් ඇති බව ය. ඒ වන විට ඇය ගැබ්ගෙන සති 12ක් පසු වී තිබිණි.

    “මගේ මහත්තයා මාව එයාගේ ඔඩොක්කුවේ තබාගෙන මාව සනසනවා. එයා නැත්තනම් මට මොකක් වේවි ද කියලා හිතාගන්නවත් බෑ,” ඇය පවසයි.

    සුමති තම සැමියා ගැන බොහෝ ආදරයෙන් සඳහන් කරන නමුත් ඇයට ඔහු නොමැතිව ජීවත් වීමට ඉගෙන ගැනීමට සිදුව තිබේ. ඔහු මෑතකදී මිය ගිය අතර ඇය දැන් පවුලේ ප්‍රධාන මුදල් උපයන්නා බවට පත්ව ඇත. ගැබිනි සමයේදී උණුසුමට නිරාවරණය වී වැඩ කිරීම සහ තම පළමු දරුවා අහිමි වීම අතර සම්බන්ධයක් තිබේදැයි සුමති කිසි දිනක නිසැකව ම දැනගන්නේ නැත. නමුත් සමස්තයක් ලෙස ගත් කල, අධ්‍යයනයෙන් හෙළි වූයේ, ඇය හා සමාන තත්ත්වයන් යටතේ සේවය කරන කාන්තාවන් සිසිල් පරිසරයක සේවය කරන කාන්තාවන්ට වඩා දෙගුණයක් මළ දරු උපත්වලට හෝ ගබ්සාවලට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩි බව ය.

    ලොව පුරා සිටින කාන්තාවන් සඳහා වැදගත්

    ඉන්දියාවේ මෙම අධ්‍යයනයට යොදා ගත් ගැබිනි කාන්තාවන් ඇත්ත වශයෙන් ම “දේශගුණික විපර්යාස අත්විඳින පිරිස අතර පෙරමුණේ සිටී” යැයි එක්සත් රාජධානියේ ප්‍රසව වෛද්‍ය උපදේශකවරයෙකු වන සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් වන ජෝර්ජ් ආයතනයේ ගෝලීය කාන්තා සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියකු වන මහාචාර්ය හර්ස්ට් පවසයි.

    පූර්ව කාර්මික කාලය හා සසඳන විට මෙම සියවස අග වන විට පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, ගැබිනි කාන්තාවන්ට “බරපතළ ප්‍රතිවිපාකවලට” මුහුණ දීමට සිදුවීම ඇතුළු “අප සැමට පැවැත්මේ තර්ජනයක්” ඇති බවට ය.

    Rekha measures the heat in sugar cane fields in Titumannamalai
    රේඛා ෂන්මුගම් තිරුවානාමලේ උක් වගා බිමික දිවා කාලයේ උණුසුම මනියි

    පෙර අධ්‍යයනවලින් පෙන්නුම් කළේ, නොමේරූ දරු උපත් සහ උෂ්ණත්වය ඉහළ කාලගුණික තත්ත්වයන්හිදී මළ දරු උපත් සිදුවීමේ අවදානම 15%කින් පමණ ඉහළ ගොස් ඇති බව ය. නමුත් මේවා සාමාන්‍යයෙන් සිදු කර ඇත්තේ, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව වැනි ඉහළ ආදායම් ලබන රටවල ය.

    ඉන්දියාවේ මෙම නවතම සොයාගැනීම් විශේෂයෙන් බරපතළ මෙන් ම කනස්සලට පත් කරවන අතර ම ඒවායේ පුළුල් වැදගත්කමක් ඇතැයි මහාචාර්ය හර්ස්ට් පවසයි.

    “එක්සත් රාජධානියේ ගිම්හාන කාල උණුසුම් වෙමින් තියෙන්නේ. එහේ ඉන්දියාව තරම් රස්නේ නැතත් මේ අහිතකර බලපෑම් [ගැබ් ගැනීම් මත] එක්සත් රාජධානිය වැනි වඩාත් සෞම්‍ය දේශගුණයක් තුළ ඉතා අඩු උෂ්ණත්වවලදී පවා දකින්න පුළුවන්.”

    කෙසේ වෙතත්, ඇය තවදුරටත් පවසන්නේ, ඒවා දෙස “මධ්‍යස්ථව බැලිය යුතු” බව ය. අවදානම දෙගුණයකින් වැඩි වුව ත් දරුවෙකු අහිමි වීම තවමත් “බොහෝ කාන්තාවන් සඳහා දුර්ලභ සිදුවීමක්” වනු ඇත. උණුසුම් පාරිසරික තත්ත්ව යටතේ වැඩ කරන ගර්භණී කාන්තාවන් සඳහා දැනට ජාත්‍යන්තර වශයෙන් නිල උපදෙස් මාලාවක් ලබා දී නොමැත.

    උණුසුම් කාලගුණික තත්ත්ව යටතේ වැඩ කිරීම සඳහා පවතින ප්‍රධාන මාර්ගෝපදේශය පදනම් වී ඇත්තේ, 1960 සහ 70 ගණන්වල එක්සත් ජනපද හමුදාවේ සිටි, කිලෝග්‍රෑම් 70-75ක් බරැති සහ ශරීර ප්‍රමාණයෙන් 20%ක් මේදය සහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයන් මත ය. මෙම අධ්‍යයනය සහ වැඩිදුර පර්යේෂණ මගින් එය වෙනස් කරනු ඇතැයි මහාචාර්ය හර්ස්ට් බලාපොරොත්තු වේ. මේ අතර, උණුසුම් පරිසරයක් තුළ වැඩ කරන ගර්භණී කාන්තාවන්ට පහත ක්‍රම ඔස්සේ තම ආරක්ෂාව සලසා ගත හැක:

    • උණුසුම් පරිසරයක් තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමෙන් වැළකීම
    • උණුසුම් දිනවල එළිමහනේ වැඩ කරන්නේ නම් නිතර සෙවණ ඇති ස්ථානයක් වෙත ගොස් විවේක ගැනීම
    • දවසේ උණුසුම් ම කාලයේදී දීර්ඝ කාලයක් ව්‍යායාම කිරීම හෝ හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකීම
    • නිතර ජලය පානය කිරීම

    ඉන්දියාව සිදු කළ මෙම අධ්‍යයනය සඳහා, පර්යේෂකයන් තෙත්-බල්බ-ගෝලීය-උෂ්ණත්වය (WBGT) ලෙස හඳුන්වනු ලබන මිනුම් ක්‍රමය භාවිත කළ අතර එමගින් උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළඟේ වේගය සහ මිනිස් සිරුරු මගින් අවශෝෂණය කරන ගන්නා තාපයේ බලපෑම මනිනු ලබයි. WBGT කියවීම් බොහෝ විට ඔබ රූපවාහිනියේ හෝ කාලගුණ යෙදුමක් ඔස්සේ දකින උෂ්ණත්වයට වඩා අඩු අගයක් ගනී.

    එක්සත් ජනපදයේ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලන ආයතනයට අනුව බර වැඩ කරන පුද්ගලයින් සඳහා ආරක්ෂිත උෂ්ණත්ව සීමාව 27.5C WBGT වේ.

    ‘අව්වේ වැඩ කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ’

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව, සෙවණෙහි සරලව විවේකීව සිටින නිරෝගී පුද්ගලයින් සඳහා උෂ්ණත්වයේ ආරක්ෂිත සීමාව ඉක්මවා යන ලෝකයේ පළමු රටවලින් එකක් බවට ඉන්දියාව පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 2050 වන විට ඉන්දියාවේ උණුසුම් දින සහ උණුසුම් රාත්‍රී සංඛ්‍යාව (ශරීරය දිවා කාලයේ උණුසුමින් මිදී යථා තත්ත්වයට පත් වීමට අරගල කරන විට) දෙගුණයකින් හෝ හතර ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. හිටපු හෙදියක සහ SRIHER අධ්‍යයනයේ ප්‍රධාන පර්යේෂක රේඛා ෂන්මුගම් තිරුවන්නමලෙයිහි උක් වගා බිම්වල දිවා කාලයේ උණුසුම මැන බලයි.

    අප වටා සිටින කම්කරුවන් 24 දෙනෙක් කුඩා පිහිවලින් ඝන උක් කඳන් කපා දමති. ඉන් අඩක් කාන්තාවෝ වෙති.

    “මෙම කාන්තාවන්ට බොහෝ වෙලාවට අව්වේ වැඩ කිරීම හැර වෙන විකල්පයක් නැහැ – ඔවුන්ට සල්ලි අවශ්‍යයයි,” ෂන්මුගම් පවසයි.

    ඇය මාපන යන්ත්‍රයකට වතුර වත් කර විවිධ බොත්තම් ඔබයි. එහි WBGT උෂ්ණත්වය 29.5C ලෙස පෙන්වයි. එය උණුසුම් පරිසරයක් තුළ මේ ආකාරයේ ශාරීරිකව වෙහෙස මහන්සි වී වැඩ කරන රාජකාරි සඳහා ආරක්ෂිත සීමාවට වඩා ඉහළ අගයකි.

    “මෙම මට්ටමේ උෂ්ණත්වයක කම්කරුවන් දිගු කාලයක් අඛණ්ඩව වැඩ කරනවා කියන්නේ ඔවුන් උණුසුම ආශ්‍රිත රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියන එක. ඒක විශේෂයෙන් ම ගර්භණී කාන්තාවන්ට අදාළ වෙනවා,” ඇය මා හා පවසයි.

    Sandhya
    ,සන්දියා වැනි කාන්තාවන් ඉන්දියාවේ අවිධිමත් ශ්‍රම බලකායේ කොඳු නාරටියයි

    28 හැවිරිදි සන්ධ්‍යා මා හා පවසන්නේ, තමන්ට දිනකට පවුම් 6කටත් අඩුවෙන් එනම් ඉන්දීය රුපියල් 600ක පමණ පඩියක් ලැබෙන මෙවැනි දුෂ්කර වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ය. ඇයට කුඩා දරුවන් දෙදෙනෙකු සහ පෝෂණය කිරීමට විස්තෘත පවුලක් ඇත. සන්ධ්‍යා ද මෙම අධ්‍යයනයට සහභාගී වූ අතර, ඇයට ඇගේ පළමු දරුවා ගැබ්ගෙන මාස හයකට පසු අහිමි විය. යථා තත්ත්වයට පත්වීම සඳහා ඇයට මාස කිහිපයක් රැකියාවෙන් නිවාඩු ගැනීමට සිදු වූ අතර එම කාලය තුළ ඇය ලබා ගත් ණය තවමත් ගෙවන බව ඇය පවසයි.

    “මගේ හැම ආසාවක් ම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මගේ දරුවන්ගේ වටේ, සන්ධ්‍යා මා හා පවසයි. “මට අවශ්‍ය ඔවුන් හොඳින් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කරන්න. ඔවුන් මං වගේ කුඹුරුවලට දිය වෙලා යන්න ඕනේ නැහැ.”

    මුත්‍රා කිරීමේ ගැටලුව

    අධික උෂ්ණත්වය ගර්භණී කාන්තාවන්ට සහ ඔවුන්ගේ වැඩෙන දරුවන්ට කරදරකාරී ලෙස බලපාන්නේ කෙසේ ද සහ ඇයි ද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් නොමැත. ගැම්බියාවේ මීට පෙර කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, අධික උෂ්ණත්වය නිසා භෲණයේ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර පෙකණි වැල හරහා රුධිර පරිවහනය මන්දගාමී විය හැකි බව ය. එක් මතයක් නම්, මව අධික ලෙස උණුසුම් වූ විට, භෲණයෙන් රුධිරය ඉවතට හරවා මව සිසිල් කිරීමට උපකාර විය හැකි බව ය. ෂන්මුගම් සිතන්නේ වැසිකිළි නොමැතිකම ද එහි කොටසක් විය හැකි බව ය.

    බොහෝ කාන්තාවන් එළිමහනේ උක්කුටිකයෙන් වාඩි වීමට අකමැත්තක් දක්වන අතර එම නිසා ජලය පානය කිරීමෙන් වැළකී සිටින බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රා ආබාධ ඇති වන බව ත් මීට පෙර කරන ලද අධ්‍යයනයකින් සොයා ගත් බව ඇය පවසයි.

    “පඳුරු අස්සේ ඉන්නේ කෘමීන් සහ සර්පයන් ගැන වගේ ම පිරිමි එබිකම් කරාවි කියන බය ඒ අයට තියෙන්නේ,” ඇය පවසයි.

    “අනාරක්ෂිතයි කියන හැඟීම ඔවුන්ට තියෙන්නේ. ඒ නිසා දවස පුරා ම හිර කරගෙන ඉඳලා අවසානයේ ගෙදර ගියා ම තමයි ඔවුන් වැසිකිළි යන්නේ.”

    විසඳුම් සෙවීම

    තමිල් නාඩුවේ සිදු කළ මෙම අධ්‍යයනයේ සොයාගැනීම් ඉතා බැරෑරුම් ලෙස සලකන බව මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රාන්තයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටීඑස් සෙල්බවිනායගම් පවසයි.

    “අපි දැනටමත් ගර්භණී කාන්තාවන්ට මුදලින් වන්දි ලබා දෙනවා. නමුත් අපි විකල්ප රැකියා ලබා දෙන්න අවස්ථා තියෙනවා ද කියලත් හොයලා බලන්න ඕනේ,” ඔහු පවසයි.

    ප්‍රාන්ත රජය දුප්පත් බවින් වැඩි ගැබ්ගෙන සති 12ක කාලයක් පසුකර ඇති කාන්තාවන්ට ඉන්දීය රුපියල් 18,000ක් (පවුම් 170ක්) පිරිනමන්නේ ඔවුන්ගේ මූල්‍යමය පීඩනයෙන් කිහිපයක් හෝ ලිහිල් කිරීමට උත්සහ කිරීම සඳහා ය.

    කෙසේ වෙතත්, මෙම අඩු වැටුප් ලබන කම්කරුවන් ආරක්ෂා කිරීමේ වැඩි බලයක් වැඩබිම්වල ප්‍රධානීන්ට පැවරේ.

    ගඩොල් පෝරණුවක හිමිකරුවෙකු වන තිල්ලයි භාස්කර් තම සේවකයන්ට අවශ්‍ය සෙවණ ලබා දීම සඳහා විශේෂ තාප ආරක්ෂිත ආලේපන සහිත යෝධ වානේ වහලවල් ඉදිකර ඇත
    ගඩොල් පෝරණුවක හිමිකරුවෙකු වන තිල්ලයි භාස්කර් තම සේවකයන්ට අවශ්‍ය සෙවණ ලබා දීම සඳහා විශේෂ තාප ආරක්ෂිත ආලේපන සහිත යෝධ වානේ වහලවල් ඉදිකර ඇත

    චෙන්නායි නගරයට නුදුරින් පිහිටා ඇති ගඩොල් පෝරණුවක හිමිකරුවෙකු වන තිල්ලයි භාස්කර් තම සේවකයන්ට අවශ්‍ය සෙවණ ලබා දීම සඳහා විශේෂ තාප ආරක්ෂිත ආලේපන සහිත යෝධ වානේ වහලවල් ඉදිකර ඇත.

    “සේවකයෝ රඳවා ගන්නේ කොහොම ද කියලා දැන ගන්න අයිතිකරුවෝ බුද්ධිමත් වෙන්න ඕනේ,” ඔහු පවසයි. “ඔබ ඔවුන්ව රැකබලා ගන්නවා නම්, ඔවුන් ඔබව ත් රැකබලා ගනීවි.”

    කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ වැසිකිළි ඉදිකිරීමට සැලසුම් කරන බව ද ඔහු අප සමග පැවසීය. ඇතැම් සංවිධාන අධික උෂ්ණත්වයෙන් වඩා හොඳින් ආරක්ෂා වීමට කාන්තාවන්ට ගත හැකි සරල පියවර පිළිබඳ අධ්‍යාපන සැසි ද පවත්වයි.

    පානීය ජලය සිසිල්ව තබා ගැනීම සඳහා පරිවරණය කළ බෝතල් ද සපයා ඇත. සුමතිට ගබ්සා වී වසර දෙකක් ඇතුළත නැවත ගැබ්ගත් විට පවා අධික උණුසුමේ වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි.

    නමුත් ඇය තමන් වඩා ත් හොඳින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් සහ SRIHER පර්යේෂකයන්ගෙන් නිශ්චිත උපදෙස් ලබා ගත්තා ය. වාසනාවකට මෙන්, ඇය නිරෝගී දියණියක සහ පුතෙකු බිහි කළා ය.

    අද රාත්‍රියේ – ඇගේ දිගු සේවා මුරය අවසන් වූ පසු – ඇය නැවත ඔවුන් වෙත යාමට නිවස බලා එනු ඇත. වෙහෙසට පත්ව, සිත් තැවුලට පත්ව සිටින නමුත්, ඔවුන් එම තත්ත්වයේ එහි සිටීම ගැන ඔවුන් තුළ ඇත්තේ කෘතඥපූර්වක හැඟීමකි.

    bbc.com/sinhala ඇසුරිනි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments