Friday, August 29, 2025
More
    Homeකෘෂිකර්මයකෘෂිකර්මාන්තයේ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ එහි අභියෝග

    කෘෂිකර්මාන්තයේ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ එහි අභියෝග

    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ග්‍රාමීය ආර්ථිකය බොහෝ දුරට කෘෂිකර්මාන්තය සහ කෘෂිකාර්මික සැපයුම් දාම ක්‍රියාකාරකම් / agriculture supply chain activities මත රඳා පවතී. දේශගුණික විපර්යාසවල බලපෑම් වලට මෙම අංශය සැලකිය යුතු ලෙස ගොදුරු විය හැකි බව පැහැදිලි  කරුණකි.

    කෘෂිකර්මාන්තයේ නියැලෙන කාන්තාවන් බොහෝ විට දේශගුණික විපර්යාසයන්ගෙන් අසමාන ලෙස පීඩාවට පත්වන බව දක්නට ලැබෙන අතර පිරිමින්ට වඩා වෙනස් ලෙස දේශගුණික විපර්යාස අත්විඳිති. නිසි අධ්‍යාපනය, ඉඩම්, සම්පත් හෝ වෙළඳපොළට ප්‍රවේශ වීම වළක්වා ගත හැකි භෞතික, මූල්‍ය, සංස්කෘතික හෝ ප්‍රතිපත්තිමය සීමාවන් අනුව කාන්තාවන් ස්ත්‍රී පුරුෂභාවයට විශේෂිත බාධකවලට මුහුණ දිය හැකිය. එවැනි සීමාවන් නිසා කාන්තාවන්ට එම අංශයේ පිරිමින් හා සසඳන විට දේශගුණික විපර්යාස හා හානිවලින් ඉක්මනින් සුවය ලබා ගැනීමට සහ ඒවාට අනුවර්තනය වීමට නොහැකි විය හැකිය. දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා කෘෂිකර්මාන්තයේ කාන්තාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම, මෙම අංශයේ වර්ධනයට විශාල වශයෙන් දායක වීමට විශාල විභවයක් ඇත. 

    ගෝලීය කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් 45%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන් වන අතර ඔවුන් බොහෝ විට ගෘහ කළමනාකරණයට ප්‍රධාන දායකත්වයක් සපයයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2020 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ශ්‍රම බලකා සමීක්ෂණයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියුතු කාන්තාවන් රටේ මුළු කෘෂිකාර්මික ශ්‍රම බලකායෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් බවයි. මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් ජීවනෝපාය සඳහා වගා කටයුතු මත බොහෝ දුරට යැපෙන අතර සමහරුන්ට ජීවනෝපාය සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග තිබිය හැකිය. ආහාර සුරක්ෂිතතා ප්‍රතිඵල සපුරාලීම සඳහා මෙම කාන්තාවන්ගේ දායකත්වය අතිමහත් වුව ද, බොහෝ අවස්ථාවන්හිදී, ඔවුන්ගේ ශ්‍රමය ගණන් නොගනී.

    අපට මෙම තත්ත්වය නිදසුන් කිහිපයක් මඟින් වටහා ගත හැකිය.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කල්‍යාණපුර පදිංචි චන්ද්‍රා ගලගොඩ මහත්මිය 70 දශකයේ මුල් භාගයේ සිට ගොවිතැන් කටයුතුවල නියැලී සිටී. එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමය ගැන කතා කරමින් ගලගොඩ මහත්මිය මෙසේ පැවසුවාය, ‘ඒ කාලේ මට ළිඳක් තිබුණේ නැහැ. මම වගා කළ දේට වතුර දාන්න මම දිනකට වතුර භාජන 40ක් පමණ රැගෙන ගියා, ඒවා දෛනික පරිභෝජනයට සහ ගෙදර දොරේ වැඩ සඳහා භාවිතා කළා. ඒ කාලේ මගේ ගෙදර හත් දෙනෙක් සහ මගේ සැමියා සහ දරුවන් පස් දෙනෙක් හිටියා. අපි කවදාවත් කඩෙන් එළවළු ගත්තේ නැහැ. මම වගා කළ දේ අපි හැමදාම කෑවා”.

    ඒ කාලේ ඇගේ සැමියා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කළේය.      ඇය කියා සිටියේ ඇය බොහෝ විට තම දරුවන් පස් දෙනා රැකබලා ගනිමින් සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ කටයුතුවල නියැලෙන අතරතුර තනිවම වගා කළ බවයි.

    වෙනස් වන දේශගුණය සමඟ ඔවුන්ගේ වර්තමාන සටන කෙරෙහි අවධානය යොමු කරමින්, වර්ෂාපතන රටා වසර ගණනාවක් තිස්සේ වෙනස් වී ඇති බවත් වගාව විවිධ නව රෝග සහ අකල් කෘමි ප්‍රහාරවලට මුහුණ දෙන බවත් ඇය පැවසුවාය.

    ‘මෙම කන්නයේදී පණුවන් නිසා ඇතිවන රෝගයක් නිසා බඩ ඉරිඟු වගාව විනාශ වුණා. බොහෝ ගොවීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මමත් එම ගැටලුවම අත්විඳිමින් සිටිනවා’ ඇය තවදුරටත් පැවසුවාය.

    දේශගුණික විපර්යාසයන්ට ඉක්මනින් අනුවර්තනය වීමට සහ හානිවලින් ගොඩ ඒමට නොහැකි වීම නිසා මිනිසුන් රැකියා සඳහා සංක්‍රමණය වීමට බල කෙරෙයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා කෘෂිකාර්මික පසුබිම්වල කාන්තාවන් සහ පිරිමින් බොහෝ විට අඩු කුසලතා ඇති ශ්‍රමිකයන් සහ ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග රටවලට සංක්‍රමණය වන අතර, ඔවුන්ගේ පවුල් මේ නිසා පීඩාවට පත් වේ.

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිලේකඩවල පදිංචි නිරෝෂා සමන් කුමාරි මහත්මිය, වයස අවුරුදු පහළොවේ සිට ගොවිතැනේ නියැලී සිටින අතර, 2012 දී දේශගුණික විපර්යාස නිසා ඇති වූ පාඩු පියවා ගැනීමට නොහැකි වූ නිසා රැකියාව සඳහා රට හැර යාමට සිදු විය.

    “2012 දී මම කුඹුරු අක්කර අටක් වගා කළා. එම කන්නයේදී අලි ප්‍රහාර හේතුවෙන් බොහෝ පාඩු සිදු වුණා. කෙසේ හෝ, අපි අස්වැන්නෙන් කොටසක් ගෙදර ගෙන ඒමට සමත් වුණා. අපි අස්වැන්න ගෙදර ගෙන ආ දිනයේ තද වැසි ඇති වුණා. අඛණ්ඩව දින තුනක් වැසි ඇද හැළුණා. වී කිලෝග්‍රෑම් 24,000ක් පමණ වැස්සට හසු වුණා. මුළු වී අස්වැන්නම කළු වුණා. මට වී කිලෝවක් රුපියල් 15කට පමණ තමය විකුණා ගන්න පුළුවන් වුණේ. වගාව සඳහා කුලියට ගත් යන්ත්‍රෝපකරණ සඳහා ගෙවීමට මට මුදල් නොමැති නිසා මගේ රන් ආභරණ උකස් කිරීමට පවා සිද වුණා. වගාව සඳහා රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීමට මම ණය ලබාගෙන තිබූ බැවින්,  ණය ආපසු ගෙවීමට නොහැකි වුණා. එම ණය ආපසු ගෙවීමට මුදල් උපයා ගැනීමට මට විදේශගත වීමට සි වුණා,’ ඇය පැවසුවාය.

    ඇය කුවේටයට ගියේ ඇගේ පස් හැවිරිදි නිවුන් දියණියන් ඇගේ මහලු දෙමාපියන් සමඟ තබා ය. ඒ වන විටත් ඇගේ මව වකුගඩු රෝගයෙන් පීඩා විඳි අතර පියාට පිළිකාවක් වැළඳී තිබුණි.

    දේශගුණික විපර්යාස සහ ඇගේ වගාවට සිදු වූ හානිය පිළිබඳ තවත් අවස්ථාවක් ද නිරෝෂා මහත්මිය ඉස්මතු කළාය. 2016 දී ජල ගැලීම් හේතුවෙන් ඇගේ වී වගාව සම්පූර්ණයෙන්ම හානි විය.

    ‘අපි අපේ ප්‍රදේශයේ නිලධාරීන් හමුවී ඒ ගැන ඔවුන්ට දැනුම් දුන්නා. නමුත් අපට තව දුරටත් පාඩු අත්විඳීමට අවශ්‍ය නොවන බැවින් අපි කෙත සීසා නැවත මුල සිටම වී වගා කළා. අපගේ වී වගාව රක්ෂණය කර තිබුණා. නමුත් වගා හානි  පිළිබදව පරීක්ෂා කිරීමට නිලධාරීන් පැමිණියේ මාස එකහමාරක පමණ කාලයක් ගත වූ පසුවයි.  දින 21ක් පමණක් පැරණි වගාවට සිදු වූ හානි පිළිබඳව අපි ලිපි ඉදිරිපත් කළා. නමුත් ඔවුන් ඒ්වා ප්‍රතික්ෂේප කළා. අපට කිසිව වන්දියක් ලැබුණේ නැහැ” ඇය පැවසුවාය.

    තනි කාන්තා ගෘහ මූලික පවුල්වලට දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන පාඩු හා හානිවලින් ගොඩ ඒම සඳහා වඩා හොඳ සහයෝගයක් සහ අවදානම් හුවමාරු යාන්ත්‍රණ අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ වගා රක්ෂණය වැනි පවතින අවදානම් හුවමාරු යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සහ ගොඩනැගීම ගොවීන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා සහ උපකාර අවශ්‍ය විටෙක ඔවුන්ට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය වේ. එවැනි යාන්ත්‍රණයන්ට විශේෂයෙන් කාන්තා ගොවීන් සඳහා ආරක්ෂිත දැලක් ලෙස සේවය කිරීමට, ඔවුන්ගේ ජීවනෝපාය ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ සංක්‍රමණයේ අහිතකර බලපෑම්වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත. 

    https://www.slycantrust.org/blog-posts-knowledge/building-resilience-of-women-in-agriculture

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments